ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කළ ඇමරිකානුවා මියයයි

597

ලොව ප්‍රථම වරට ජාන තාක්ෂණය හරහා වෙනස් කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කළ ඇමරිකානු ජාතිකයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් මාර්තු මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් රෝහලේදී ජාන වෙනස් කළ ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කළ 62 හැවිරිදි රීක් ස්ලේමන් පෙරේදා (12දා) මියගොස් ඇති බව එම මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ස්ලේමන් ඉකුත් වසරේ අවසන් අදියරයේ වකුගඩු රෝගයකින් පෙළෙන බව හඳුනා ගැනීමෙන් පසු ඔහුට ජාන තාක්ෂණය හරහා වෙනස් කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කෙරිණි. එවැනි වකුගඩුවක් බද්ධ කළ ලොව ප්‍රථමයා වූ ස්ලේමන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවෙසට ගිය බවත් ඔහු සුවයෙන් පසුවන බවත් ඔහුට සැත්කම සිදු කළ වෛද්‍යවරුන් පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති මියගිය තැනැත්තාට වකුගඩුව බද්ධ කිරීමේ සැත්කම සිදු කළ රෝහල අවධාරණය කර ඇත්තේ වකුගඩුව බද්ධ කිරීම ඔහුගේ මරණයට හේතු වී ඇතැයි හෙළි වී නොමැති බවයි. පැය හතරක සැත්කමකින් පසු ජාන වෙනස් කරන ලද උරෙකුගේ වකුගඩුව ස්ලේමන්ට සාර්ථකව බද්ධ කිරීමෙන් අනතුරුව එම වෛද්‍යවරුන් කියා සිටියේ එම වකුගඩුව වසර ගණනක් හොඳ ක්‍රියාකාරිත්වයකින් පසුවනු ඇති බවයි.

කෙසේ වුවද සත්ත්වයකුගේ අවයවයක් මිනිසාට බද්ධ කිරීමේදී මෙතෙක් අනාවරණය කරගත නොහැකි වූ තත්ත්වයන් තිබිය හැකි බවද වෛද්‍යවරුන් පවසා තිබිණි. සැත්කමෙන් පසු ඉකුත් අප්‍රේල් මාසයේදී ස්ලේමන් රෝහලෙන් මුදාහැර තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment