ඍණ සහ තෘණ

1113

ශ‍්‍රී ලංකාව විසින් ආපසු හරවා යවන ලද කාබනික පොහොර තොගය පටවාගත් චීන නැව වෙනුවෙන් ඩොලර් මිලියන අටක වන්දියක් අදාළ චීන පොහොර කොම්පැනියට ගෙවීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ. චීනුන්ගේ බලය සහ ඔවුන් ශ‍්‍රී ලංකාව කෙරෙහි දක්වන ආදරයේ බර ටොන් එකක් නම්, ඩොලර් මිලියන අටක් යනු ග‍්‍රෑම් භාගයක් තරම් වත් නොවටනා මුදලක් බව අප පිළිගනිමු. එහෙත් කොත්තමල්ලි ටිකක්වත් රටින් ගෙන්වා ගැනීමට බැරිවන තරමට ඩොලර් සම්පත් වලින් දුප්පත් වී ඇති මේ රටේ රාජ්‍ය භාණ්ඩාගාරය ඩොලර් මිලියන අටක් චීනුන්ට ගෙවනු පිණිස කවර කැටයක් කඩන ලද්දේ ද යන්න පිළිබඳව විපක්ෂය තුළ කුකුසක් මෙන්ම විවේචනයක් ද පවතී. මේ අතර පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කියා ඇත්තේ චීන සමාගමේ පොහොර නැවට වන්දි ගෙවීමට බැරි තරමට ලංකාව බිමට වැටී නැති බවය. එහෙත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අදහස වන්නේ කොළඹ වරායේ තිබෙන අල, ලූනු කන්ටේනර් ටිකත් කිරි පිටි කන්ටේනර් ටිකත් සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර කන්ටේනර් ටිකත් රට ඇතුළට ගෙන්වා ගැනීමට බැරි තරමට ඩොලර් හිඟයක් පවතින බවය. කෙසේ වුවද මහාචාර්යතුමාගේ අර්ථකතනය ලංකාව වැටී නැති බව නම් අපි මහත් ආඩම්බරයෙන් එය පිළිගනිමු. එහෙත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අලූත්ම නිවේදනයක සඳහන් වන පරිදි ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේ තුන්වෙනි කාර්තුවේදී 1.5 % න් සංකෝචනය වී ඇත. ඒ අනුව අපට දැනෙන පරිදි ආර්ථිකය ඍන වී තිබේ. පසුගිය දවස්වල මහ බැංකුවෙන් විශ‍්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයකුගේ අදහසට අනුව තව සති තුනකට වඩා ජීවත්වනු පිණිස අපට ඩොලර් නැත. එසේම මේ මොහොතේදී ඉන්ධන මිලට ගැනීමද ප‍්‍රශ්නයක් වී තිබේ. තවත් සතියකින් හෝ දෙකකින් ආණ්ඩුව ඞීසල් ආනයනය නොකළොත් සිදුවන්නේ බස් සහ ලොරි ඇතුළු ඞීසල් වාහන දිවවීම නොව එම වාහන පාරේ එක පෙළට තබා ඒ මතින් ජනතාවට දුවන්නටය. ශ‍්‍රී ලංකාව වූකලී ස්වයං පෝෂණය වීමේ අනගි අවස්ථාව අවස්ථා කිහිපයකදී පැහැර හළ මී හරක් රාජ්‍යයකි. 1970 දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව මේ රට ආහාර වලින් ස්වයං පෝෂණය කිරීමට තැත් කළ නමුදු පාලකයන්ගේ දෙබිඩි හැසිරීමත් රට ස්වයං පෝෂණය වනතුරු මිනිසුන්ට ඉවසා සිටීමට නොහැකි වීමත් නිසා වැඬේ කුරුවල් විය. ඉන්පසු එකී ස්වයං පෝෂණ ආණ්ඩුව යටතේම මේ රටේ ජනයා විදේශ රැකියා සඳහා ඩුබායි යෑමට පටන් ගත්හ. එක්දහස් නවසිය හැත්තෑ ගණන් යනු මැද පෙරදිග තිබූ හොඳම අවධියයි.
තම භූමියෙන් එන ඛනිජ තෙල් වලින් සල්ලි උනන ආකාරය දුටු ඒ මිනිස්සු එමගින් විල්ම්බීතව ගොස් තමන්ගේ අතිශය පෞද්ගලික කාරණා වූ බඩ දිය බැහැර කිරීම සහ මළ පහ කිරීම හැර සෙසු සියලූ කටයුතු විදේශ වලින් පැමිණි ශ‍්‍රමිකයන් ලවා මුදලට කරවා ගන්නට පටන් ගත්හ. ඒ අනුව මේ රට විවෘත ආර්ථිකයට යනු පිණිස මුල් වරට දොර අරින්නේ සමගි පෙරමුණු ආණ්ඩුව පැවති කාලයේදීමය. එවිට එම දොරෙන් පමණක් නොව ජනෙල් වලින්ද පැන ගත් මේ රටේ ජනයා එක පිම්මේ ජේ. ආර්. ජයවර්ධන වෙත දිවගොස් 1977 දී ඔහු බලයට පත්කොට 80 ජූලි වැඩ වර්ජනයේදී සිය රස්සාවල් වලටත් කෙළවා ගෙන පොදුජන විරෝධතා ව්‍යාපාර වලදී බයිසිකල් චෙන්වලින් ගුටිත් කා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අම රස පානය කළහ. අද මේ රට වැටී තිබෙන හිඟන තත්ත්වයට වගකිව යුත්තේ මේ ආණ්ඩුව විතරක්ම නොවේ. 1948 දී මෙරටට දුන් පසු බලයට පත් සියලූ ආණ්ඩුත් විශේෂයෙන්ම 1970 සිට බලයට පත්වූ සියලූ ආණ්ඩුත් මේ හිඟන තත්ත්වයට වගකිව යුතුය. අද වනවිට මේ රටේ ආර්ථික කළමනාකරණය ගැන කිසිදු රටක විශවාස නැත. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යුද්ධය කරන අතරතුර පිට රටවලින් ඩොලර් බිලියන 2000 ට වඩා ණයට ගත් අතර යහපාලන ආණ්ඩුව කිසිදු යුද්ධයක් නැතිව සාමය පවතින අවස්ථා වලදීත් ඩොලර් බිලියන 1500 ක් ණයට ගත්තේය. අපගේ ගණන් හිලව්වල සුළු සුළු මිස්ටේක් තිබීමට ඉඩ ඇත. එහෙත් මූලික කාරණා වශයෙන් ගනිද්දී මේ කතන්දර ඇත්තය. පසුගියදා අප ඉන්දියාවෙන් ණයක් ඉල්ලන ලද කල්හි නරේන්ද්‍ර මෝදි ගේ ආණ්ඩුව කියා සිටියේ සල්ලි නොව ඒ වටිනාකමට ආහාර ද්‍රව්‍ය මෙරටට ලබාදෙන බවය. සල්ලි ලැබුනොත් අපි කවර පිස්සුවක් කෙළීද යන්න ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හිතුවා වත්ද? එක්දහස් නවසිය අසූ ගණන් වලදී ඉතියෝපියාව නමැති අප‍්‍රිකානු රාජ්‍යය තුළ භයානක නියඟයක් හටගත්තේය. එමගින් මිනිස්සු ලක්ෂ ගණනක් මළහ. මේ ශෝකජනක ආරංචියෙන් කම්පාවට පත් සුප‍්‍රකට ගායක මයිකල් ජැක්සන් ඇතුළු කලාකරුවන් පිරිසක් ඇමරිකාව පුරා සංගීත සංදර්ශන පවත්වා ඩොලර් කෝටියක් එකතුකොට නියං සහන කටයුතු වෙනුවෙන් වැය කරනු පිණිස ඉතියෝපියාවට තෑගි කළහ. ඒ ජවනිකාව එතැනින් අවසන් කරනු ලැබේ. අවුරුද්දකට පසු ඊළඟ ජවනිකාව දැක ගැනීම පිණිස ත්‍යාගශීලී කලාකාර රැළ ගුවන් යානයක නැගී ඉතියෝපියාව බලා ගියහ. මෙහිදී ඔවුන් දුටුවේ කුමක්ද? නියං සහන සඳහා දුන් මුදලින් ඉතියෝපියාවේ පාලකයා විශාල මාලිගාවක් හදා ඒ වටා පිහිටි අක්කර ගණනක භූමියට තණ පිඩලි අල්ලා ඇති බවයි. කලාකරුවන් එහි යන විටත් යාබද රටකින් දේශසීමාව හරහා ගෙන්වන ලද වතුර බවුසර කිහිපයක් එම තණ පිඩලිවලට වත්කරමින් තිබුණේලූ. මේ ආරංචිය ලොව පුරා පැතිර ගිය අතර සෑහෙන කලක් යනතුරු කිසිම කෙනෙක් ඉතියෝපියාවේ ආණ්ඩුවට ඇල් වතුර පොල් කට්ටකින්වත් ආධාර කළේ නැත. ලංකාව ගැන එබඳු චිත‍්‍රයක් නැති බව අපි ඉඳුරාම දනිමු. ඔය පිට රටින් එන කොන්තරාත් එකකින් 10%ක් 15% ක් ගසාකෑම හැර හෝ කිසියම් වැඩකට යන වියදම දෙගුණ කර පෙන්වා මුදලක් ගසා කා එම මුදල පැනමාවේ හෝ ස්විට්සර්ලන්තයේ ගිණුමක තැන්පත් කිරීම වැනි දෙයක් හැර ආධාර මුදල් වලින් පිට්ටනිවල තණකොළ ඇල්ලීමක් මේ රටේ සිදු නොවේ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ වීමට සාධාරණ හේතු තිබේ. 20-21 අවුරුදු වල මාස විසි හතරෙන් මාස 12 ක් පමණ කාලයක් මේ රට වසා දමා තිබිණ. ඒ කාලයේදී මඤ්ඤොක්කා සහ වට්ටක්කා වලින් පමණක් රට ස්වයං පෝෂණය විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අදටත් මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 60 කි. (හෝල් සේල් මිල රුපියල් 30 කි) වට්ටක්කා කිලෝවකුත් රුපියල් 60 කි. (හෝල් සේල් මිල රුපියල් 10 කි) කහ වලින් රට ස්වයං පෝෂණය කිරීමේ වැඩපිළිවෙළක් ද දියත් වූ නමුදු අමු කහ කිලෝව රුපියල් 750 ට අඩුවෙන් මිලට ගැනීමට කිසිසේත්ම නොහැකිය. රට වසා තැබූ කාලයේදී මේ රටේ වැඩි පිරිස ක්‍රෙඩිට් කාඞ් වලින් ණයට කමින් ආතල් ගත්තා මිස තුත්තිරි ගහක්වත් වවා නැත. කිසියම් රටක් වැරදි කළමනාකරණයක් සහිතව ආර්ථිකය සහ සමාජය හසුරුවන විට ඒ රටට ආධාර කිරීමට සෙසු රටවල් මැලි වෙති. උදාහරණයක් ලෙස ඔබේ අසල්වැසියා උදේ සිට ? වෙනතුරු වක ගසාගෙන නිදා සිටින කම්මැලි ශරීර හොරෙක් නම් ඔහුට කිසිදු ආධාරයක් කිරීමට ඔබ කැමති නැත. ඔහුගේ අත පය හතර හොඳට ඇති බව තක්සේරු කරන ඔබ මූට හෙණ ගහලාදැයි සිතමින් ඔහු මගහරින්නට පටන් ගනී. පසුගිය කාලයේදී විවිධ රටවල් ලංකාවට ඩොලර් වලින් ණය දෙන බවට බයිලා ගායනයේ යෙදුනු නමුදු බංගලාදේශයෙන් හැර වෙන කිසිදු රටකින් තඹ දොයිතුවක් ලබා ගැනීමට නොහැකි විය. මේ තත්ත්වය පවතින්නේ මේ ආකාරයෙන් නම් ආර්ථිකය ඍණ වී ආහාර වශයෙන් තෘණ කෑමට ජනයාට සිදුවේ. එසේ තණකොළ නොකා සිටීමට නම් අද සිට හෝ මතවාදී හිඟන්නන් ලෙස නොහැසිරී මොළයේ පැකින් ඉවත්කර එයින් වැඩක් ගැනීම ජනයාගේ යුතුකම බවය අපගේ හැඟීම ය.

advertistmentadvertistment
advertistmentadvertistment