තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසුව මෙරටට නොපැමිණි නිලධාරියෙක් සහ ක්‍රීඩකයන් නවදෙනා සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පසුගිය 08 වැනිදා සමාප්ත වූ අතර ඉහත කිහිපදෙනා හැරෙන්නට මේ වනවිට අන් සියලුදෙනා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ලේකම්වරයා කීය.
ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට එංගලන්තයේ රැඳී සිටීමට මාස 06ක වීසා කාලයක් ලබාදී තිබුණත් ක්‍රීඩා උළෙල අවසන් වී ඇති නිසා ගිය සියලු දෙනාම පැමිණිය යුතු බවද ඒ මහතා කීය. ඉසව් 14ක් සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහ නිලධාරීහු 161ක් සහභාගි වූ බවත් ඉන් 10 දෙනෙක් හැර අනෙක් සියලුම දෙනා පැමිණි බවත් ලේකම්වරයා කීය.
අතුරුදන්ව සිටින ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහ නිලධාරියා සම්බන්ධයෙන් වාර්තාවක් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හරහා එරට ආගමන විගමන නිලධාරීන්ට ලබාදී ඔවුන් මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඒ මහතා කීය.
මෙම පිරිස මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව මෙරට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවත්, මින් පසු වෙනත් රටවල ක්‍රීඩාවන් සඳහා ඔවුන් යොමු නොකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවට අමතරව ක්‍රීඩා උළෙලට සහභාගි වූ වෙනත් ආසියානු හා අප්‍රිකානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද මෙසේ බර්මින්හැම් නුවරදී අතුරුදන් වී තිබූ බවට වාර්තා විය.
චමින්ද සිල්වා