එංගලන්තයේ 57 වැනි අගමැතිවරයා මෙන්ම ප්‍රථම ආසියානු සම්භවයක් සහිත අගමැතිවරයා හා මෙතෙක් පත් වූ ලාබාලම අගමැතිවරයා වන රිෂි සුනක් හට බිඳ වැටි ඇති එංගලන්ත ආර්ථිකය ගොඩ නැගීමේ දැවැන්ත අභියෝගයට මුහුණ පෑමට සිදුව තිබීම නිසා ඔහුගේ ගමන් මාර්ගය ලෙහෙසි පහසු එකක් නොවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
එංගලන්තයේ චාල්ස් රජු හමු වීමෙන් පසු රජුගේ ආරාධනයෙන් ඊයේ (25දා) එංගලන්ත වේලාවෙන් උදෑසන 11.35ට පමණ අගමැති සුනක් එංගලන්තයේ නව අගමැතිවරයා වශයෙන් නිල වශයෙන් ලංඩනයේ ඩවුනින් වීථියේ පිහිටි අගමැති නිල නිවසේදී සිය රාජකාරි කටයුතු ඇරඹීමට නියමිතව තිබිණි. සිය රාජකාරි කටයුතු ඇරඹීමෙන් පසු නව අගමැතිවරයා විසින් අගමැති නිල නිවස ඉදිරිපිට සිට සිය ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කිරීමටද සැලසුම් කර තිබිණි. වසර හතළිහකට පසු දරුණුම ආර්ථික උද්ධමනකාරී තත්ත්වයකට හා ගෑස් හා විදුලි මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ තත්ත්වයකට මුහුණ පා ඇති එංගලන්තයේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමේ දැවැන්ත අභියෝගයට නව අගමැති සුනක් මුහුණ පා සිටින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. හිටපු බැංකුකරුවකු මෙන්ම බොරිස් ජොන්සන් රජයේ මුදල් ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති එංගලන්තයේ උපත ලබා ඇති ඉන්දීය සම්භවයක් සහිත නව අගමැතිවරයා තමාට මුහුණ දීමට දැවැන්ත අභියෝගයක් පවතින බව පිළිගෙන ඇතත් ඒ සම්බන්ධයෙන් ඊයේ දහවල් වන විටද වැඩි යමක් ප්‍රකාශ කර නොතිබිණි. මේ අතර හිටපු අගමැතිනි ලිස් ට්‍රස් ඊයේ උදෑසන අගමැති නිල නිවසේදී සිය අවසන් කැබිනට් රැස්වීමට සහභාගී වීමෙන් පසු චාල්ස් රජු හමු වී සිය ඉල්ලා අස් වීම නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි.
මේ අතර නව එංගලන්ත අගමැතිවරයා වශයෙන් රිෂි සුනක් පත් වීම පිළිබඳව ඉන්දීය විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය පෙරේදා (24දා) සිටම පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් සිටින අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදී ද නව එංගලන්ත අගමැතිවරයා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබිණි. කෙසේ වුවද එංගලන්තයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් කෙයිර් ස්ටාමර් පවසා ඇත්තේ රටට දැන් අවශ්‍යව ඇත්තේ මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් පත් කර ගැනීම මිසක පාලක කොන්සර්වේටිව් පක්ෂයට අවශ්‍ය පරිදි වරින් වර අගමැතිවරුන් මාරු කිරීම නොවන බවයි . විපක්ෂයේ පක්ෂයක් වන ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයද පවසා ඇත්තේ රටට මේ මොහොතේ අවශ්‍ය මහ මැතිවරණයක් බවයි. නවතම සමීක්ෂණවල ප්‍රතිපලවලට අනුව මේ මොහොතේ එංගලන්තයේ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් පාලක කම්කරු පක්ෂය ජය ගන්නා බවත් වත්මන් පාලක කොන්සර්වේටිව් පක්ෂය තෙවැනි ස්ථානයට පත් වන බවත් අනාවරණය වී තිබේ.
සංස්කරණය
ඒමන්ති මාරඹේ