පක්ෂ නායක රන්ජන් රාමනායක කළුතරදී කියයි
අපේ පක්ෂයේ තියෙන්නේ ඕන හොරෙකු ඇතුල් කරගන්නා සැලුන් දොරක් නොවෙයි. අදූෂිත පුද්ගලයින් තෝරාගන්නා පෙනේරයක්. මේ තෝරාගෙන සිටින්නේ ඒ වගේ අය යැයි එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා ඉකුත් 08 වැනිදා කළුතරදී ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයින්ට ආධාර පිණිස උතුරු කළුතර පොළ භූමියේ පැවැති ජන රැළිය අමතා කතා කරමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
වසර 05 කට බලයට ආ අය රටට කළ විනාශය අපි දැක්කා. වසර 76 ක් තිස්සේ රට පාලනය කළ අය රට බංකොළොත් රාජ්‍යයක් බවට පත් කළා. බි්රතාන්ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ බොහෝ රටවල් අපව පහු කරගෙන ඉදිරියට ගියා. මෙහෙම වෙන්න හේතුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ ජනතාව තෝරා එවූ අය නිසා එයාට කරන්න දෙයක් නැහැ කියලයි. අපි ඒ වගේ අය නාම යෝජනා පත්‍රයටවත් නොදමන්නේ ඒ නිසයි. හොරු පාර්ලිමේන්තු ගියේ ඒ ඒ පක්ෂ ඔවුන්ගේ නම් නාම යෝජනා පත්‍රයට ඇතුළු කළ නිසයි.
අපි කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය ලබාදී තිබෙන්නේ ලොවම හඳුනන තිලකරත්න ඩිල්ෂාන්ට. පෙරාපු රත්තරං වගේ බුලට් එකක්. ඒ වගේම තමයි අපේ අය අතින් වංචාවක් සිදු වුවහොත් ඉස්සෙල්ලාම උසාවි යන්නෙත් අපිම බව මතක් කරනවා.ඒනිසාකළුතර දිස්ත්‍රික්කයෙන් තුන් දෙනෙක්වත් එවන්න කටයුතු කරන්න. මම අද ගාල්ලෙ රැස්වීම කතා කරන කොට ලයිට් කැපුවා. අද අපට ඒ තරමට බයයි. ඉදිරි වසර පහ සඳහා හොඳ පුරවැසියන් පාර්ලිමේන්තුවට තෝරා යවන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක කංඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා
මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා කංඩායම් 27 ක් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කරනවා. ඒ ප්‍රධාන දේශපාලන පක්ෂයකටවත් මේ වගේ සාර්ථක රැළියක් සංවිධානය කරන්න බැහැ. අළුත් දේශපාලන පක්ෂයක් හැටියට අපේ සාර්ථකත්වය ගැන අපි සතුටු වෙනවා. මීට පෙර මට දේශපාලනයට එන්න හුඟක් අවස්ථා තිබුණා. එදා ඒ ඉල්ලීම් භාර ගත්තා නම් අවුරුදු 2 1/2 න් මමත් ගෙදර. මමත් හොරු 225 ටම වැටෙනවා.
වර්ෂ 1990දී කළුතරින් පටන් ගත් ගමන බොහෝ දුෂ්කරතා මැද ගොස් ලෝකය ජය ගන්නට මට හැකි වුණා. එදා සිට බැලූ විට දියුණුවක් නොවූ එකම නගරයයි. කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසැල් 57 ක් තිබෙනවා. එහෙත් ක්‍රීඩා උපකරණ ඇතුළු පහසුකම් නැහැ. මේ පාසැල්වල ඉන්න දක්ෂ ක්‍රීඩකයො එකතු කරලා විශේෂ පුහුණු වැඩසටහනක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කළුතර කියන්නෙ හැම ආණ්ඩුවකම අගමැතිවරු ඇමැතිවරු වැඩිපුරම හිටපු දිස්ත්‍රික්කයක්. ඉකුත් වසර 30-35 ක කාලය තුළ කළුතර වෙනස් වෙලා නැහැ. මම කළුතර වෙනස් කරනව.
මෙම රැස්වීම අමතා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක කංඩායමේ සාමාජික සාමාජිකාවෝද කතා කළහ .