එක්සත් රටකට පෙරමඟ සෑදූ පියරජාණන්; කාවන්තිස්ස රජු

988

මධ්‍යම කඳුකරයේ ගිනිකොනදිග හා දකුණුදිග ප‍්‍රදේශයන්ට පහතින් පිහිටි භූවිෂමතා කලාපය අතීතයේ දී දේශපාලන වැදගත්කමින් රජරට ප‍්‍රදේශයට පමණක් දෙවැනි තැනට පත් වූ ප‍්‍රදේශය යැයි පැවසීම සාවද්‍ය නොවේ. මධ්‍යම කඳුකරයෙන් හා මහවැලි නදියෙන් ලැබුණු ස්වාභාවික රැකවරණය මත මෙකී ප‍්‍රදේශයේ බිහිවූ ජනාවාස ඉතා දිගු කලක් මුළුල්ලේ ස්වාධීනව පැවැතුණු බව පෙනේ. මේ ප‍්‍රදේශයේ පැවැති ප‍්‍රධාන පාලක පරපුරක් වූ මාගම රජ පෙළපත පිළිබඳව මහාවංශය සඳහන් කරන්නේ එහි විසි දෙවන (22) පරිච්ෙඡ්දයේය. එහි එන කතා පුවත අනුව මාගම රාජ්‍යය ආරම්භ වනුයේ අනුරාධපුරයෙන් රුහුණට පලා එන මහානාග යුව රජුගෙන් ය. වංසත්තප්පකාසිනියේ සඳහන් වන ආකාරයට මහානාග යුවරජු රෝහණයට පලා ආවේ සිය අඹු දරුවන් හා සේනාවන් ද සමඟය. පසුව මහානාග යුව රජ මුළු රෝහණ රාජ්‍යයේම පාලකයා වූ බවද දැක්වේ.

මහානාග යුව රජුගෙන් ඇරඹුන මාගම රජ පරපුර යටාලතිස්ස, ගෝඨාභය හා කාවන්තිස්ස (කාකවණ්නතිස්ස) යන පාලකයන් සිය දේශපාලන ආධිපත්‍යය රුහුණු ප‍්‍රදේශය තුළ ව්‍යාප්ත කර ගත් ආකාරය අධ්‍යයනයේ දී මහාවංශයෙන් ඊට ප‍්‍රමාණවත් තරම් පිටිවහලක් නොලැබේ. මහාවංශයේ සඳහන් ඇතැම් කරුණු වලට අමතරව වංසත්තප්පකාසිනිය, ලලාට ධාතු වංශය, බෝධි වංශය, ධාතු වංශය, සහස්සවත්ථු අට්ඨ කථාව, සීහළ වත්ථුප්කරණය, රසවාහිනිය, පූජාවලිය, රාජරත්නාකරය වැනි සාහිත්‍යමය මූලාශ‍්‍ර වලට අමතරව පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර මගින් ද රෝහණ රාජ්‍යයේ ඉතිහාසය අධ්‍යනයට තොරතුරු සපයා ගත හැකිය.

වංසත්තප්පකාසිනියේ සඳහන් වන ආකාරයට මහා ග‍්‍රාමයෙහි (මාගම) අගනුවර වූයේ වඞ්ඪමානක නම් ගමකි. ගමක ප‍්‍රධානියා ”ගාමිණී’’ නම් විය. වංසත්තප්පකාසිනියට අනුව කාවන්තිස්ස රජු මුල්කාලයේදී වඞ්ඪමානක ග‍්‍රාමයේ ප‍්‍රධානියා වූ ගමික නැතහොත් ගාමිණී තනතුරේ පසුවිය. ශ‍්‍රී මහා බෝධිය රෝපණය කිරීමේ උත්සව වලට කාචරග‍්‍රාමයෙහි ක්‍ෂති‍්‍රයන් ද සහභාගි වූ බව මහාවංශයේ දැක්වේ. මේ අනුව රෝහණ ප‍්‍රදේශයටම අයත් කාචරගාම පාලනය කළ බව ඉන් තහවුරු වේ. මෙහිදී වැදගත් වන්නේ මාගම පාලකයන් ”ගාමිණී’’ ලෙස හඳුන්වා තිබීමත් කතරගම සිටි පාලකයින් ක්‍ෂති‍්‍රයන් ලෙස හඳුන්වා තිබීමත් ය.

ධාතු වංශයෙහි සඳහන් වන ආකාරයට මාගම වඞ්ඪමානක අගනුවර කරගත් ගාමිණී වරුන්, කතරගම විසූ ශාස්ත‍්‍රීය ඝාතනය කොට කතරගම ප‍්‍රදේශයේ මහා ගමට ඈඳා ගන්නේ ගෝඨාභය රාජ්‍ය සමයේ දී ය.

”… මේ රජ කතරගම දස බෑ රජුන් මරවා දඬුවම් පිණිස මහවැලි ගඟ එගොඩ විහාර පන්සියයක් හා මෙගොඩ විහාර පන්සියයක් කරවී ය…’’ යනුවෙන් වංසත්තප්පකාසිනියේ ඇති සඳහනින් හා බෝවත්තේගල පැරණි ශිලා ලිපි වලින් ද මෙහි ඓතිහාසිකත්වය තහවුරු වෙයි. රෝහණය තුළ පැවති කතරගම ප‍්‍රාදේශීය පාලනය ගෝඨාභය රජු විසින් යටත් කර ගැනීම මාගම රාජධානියක් වශයෙන් වර්ධනය වීමේ පළමු පියවර ලෙස සඳහන් කළ හැකිය.

ගෝඨාභය රජුගෙන් පසුව මාගම රාජ්‍යය කාවන්තිස්ස රජුට හිමිවිය. තම පියා ඇරඹි දේශපාලන බල ව්‍යාප්තිය ඉදිරියට ගෙන යෑමට කාවන්තිස්ස රජු ආරම්භ කළ පියවර අතර විවාහ සබඳතා ප‍්‍රමුඛ වේ. ගිනිකොනදිග හා දකුණේ පැවැති නොයෙකුත් ආර්ය ජනාවාස එක දේශපාලන බලවේගයක් බවට පත් කිරීමේ නිසි ගෞරවය හිමි වන්නේ කාවන්තිස්ස රජුටය. තම පියා වූ ගෝඨාභය රජුගේ කාලයේ දී කතරගම ප‍්‍රබල ක්‍ෂති‍්‍රය පරම්පරාව ජයගැනීමත්, නිරිතදිග ප‍්‍රදේශවල දේශපාලන බලවතා වූ කැලණි රාජ්‍යය සමග ඇතිකරගත් විවාහ සම්බන්ධයත් ඔහුගේ දේශපාලන බල වර්ධනයට හේතු වූ බව නිසැකය.

මාගම රජ පෙළපතේ බලය කැලණිය රජ පෙළපත හා සම්බන්ධ වූයේ කැලණි පාලක කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය කාවන්තිස්ස රජු විසින් විවාහ කරගැනීම නිසාය. මේ රජ පෙළපත් දෙකම අනුරාධපුර රජ පෙළපතේ ශාඛා වූ බව වංශ කථා ප‍්‍රවෘත්ති අනුව පැහැදිලි වේ. තවද ධාතු වංශය සඳහන් කරන ආකාරයට කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමා දේවිය කැලණියේ රජ කළ සිව රජුගේ සොහොයුරා වූ අභය කුමරුට සරණ පාවා දෙන ලදී. මේ සිව රජු කැලණිතිස්ස රජුගෙන් පසුව කැලණියේ රජ වූ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අනුමත කරයි.

කාවන්තිස්ස රජු රජ වී (ක‍්‍රි. පූ. 209) වසර හතරකට පසුව එලාර රජු අනුරාධපුරය ආක‍්‍රමණය කර අසේල රජුගෙන් සිහසුන පැහැර ගත්තේය. මේ අනුව කාවන්තිස්ස රජතුමා මෙම ආක‍්‍රමණිකයාගෙන් රුහුණු ප‍්‍රදේශය ආරක්ෂා කර ගැනීමේ අභිප‍්‍රායෙන් ඊට අවශ්‍ය පියවර ගත් බව පෙනේ. තවද අනුරාධපුර රාජ්‍යය අබෞද්ධ දමිල පාලකයන් අතට පත්වීම නිසා ඇතිවූ තත්ත්වය ද කාවන්තිස්ස රජුගේ දේශපාලන බල වර්ධනයට හේතු විය. මේ තත්ත්වයෙන් ප‍්‍රයෝජන ගත් කාවන්තිස්ස රජු බුද්ධ ශාසනයම උපයෝගී කරගෙන තවදුරටත් තම දේශපාලන බල ව්‍යාප්තිය සිදු කර ගත් ආකාරය පැහැදිලි කරන පුවතක් ධාතු වංශයේ සඳහන් වෙයි.

එම පුවත අනුව කාවන්තිස්ස රජු බලයට පත්වන විට රුහුණු රටට අයත් ප‍්‍රදේශ තුනක් මාගමින් බොහෝ දුර පිහිටා තිබුණි. මහවැලි ගෙඟ් උතුරු කෙළවර ආසන්නයේ පිහිටි මෙම රාජ්‍යයන් අතරින් සෝම නුවර අභය කුමරු විසින් ද, සේරුනුවර සිව නමැති පාලකයකු විසින් ද, ලෝණ නුවර මහා නාග නම් කුමාරයකු විසින් ද පාලනය කරන ලද බව ලලාට ධාතු වංශයේ සඳහන් වෙයි. එළාර රජුගෙන් රුහුණු දේශයට එල්ල විය හැකි තර්ජන පිළිබ`දව කාවන්තිස්ස රජු මුල සිටම අවධානයෙන් සිටි බැවින් රෝහණයට අයත් සියලූම ප‍්‍රදේශ පාලනය කළ අය තම අණසක යටතට ගෙන රුහුණ එක්සේසත් කොට ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තේය. කාවන්තිස්ස රජු විසින් සේරු නුවර ඉදිකළ චෛත්‍ය බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කිරීම සඳහා මහ පෙරහැරකින් සේරු නුවරට ගිය බවත්, එම උත්සවයට පැමිණි සෝම සහ ලෝණ ජනපදවල ප‍්‍රධානීන් දෙදෙනා ද එතැන් සිට කාවන්තිස්ස රජුගේ නායකත්වය පිළිගත් බවත් ලලාට ධාතු වංශයේ සඳහන් වෙයි.

රුහුණ එක්සේසත් කිරීමෙන් පසු කාවන්තිස්ස රජු ගොවිතැන් කටයුතු දියුණු කර රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගත්තේය. අනාගතයේදී උතුරට කෙරෙන හමුදා මෙහෙයුමකදී හෝ උතුරින් එල්ල විය හැකි ආක‍්‍රමණයකදී හෝ ඉතා වැදගත් විය හැකි ප‍්‍රදේශයක් වූ දීඝවාපියේ ආරක්ෂාව හා එම ප‍්‍රදේශයේ සංවර්ධනය සඳහා තම කනිටු පුත් තිස්ස කුමරුට එම ප‍්‍රදේශයේ පාලනය භාර කොට යැවීය.

ඉන් අනතුරුව මහවැලි ගෙඟ් කසාතොට (කච්ච තිත්ථ) ආරක්ෂක සංවිධානය කර තිබීම හා ඒ සඳහා දීඝාභය කුමරු පත් කිරීම ද සුවිශේෂී කාර්යයකි. විශේෂයෙන්ම මෙම ස්ථානය උතුරෙන් එල්ලවිය හැකි ආක‍්‍රමණයකදී මහවැලි ගඟ හරහා රජරටට පිවිසෙන වැදගත් දොරටුවකි.

කාවන්තිස්ස රජුගේ මීළඟ පියවර වූයේ විශේෂ හමුදා භට කණ්ඩායමක් පිහිටුවා ඔවුනට අවශ්‍ය පුහුණුව ලබා දීමයි. මෙම භට කණ්ඩායම් සඳහා ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් ප‍්‍රසිද්ධියට පත්ව සිටි ශක්ති සම්පන්න තරුණයින් (යෝධයන්) දස දෙනෙකු මාගමට ගෙන්වා ඔවුන්ට විවිධ සටන් ක‍්‍රම පුහුණු කොට ඔවුන්ගේ නායකත්වය යටතේ සේනා සංවිධානය කළේය. මෙම සේනාපතිවරුන් දසමහා යෝධයන් නමින් ප‍්‍රකට විය. නන්දිමිත‍්‍ර, වේළුසුමන, මහසෝණ, ගෝඨයිම්බර, ඵුස්සදේව, ක‘ක්‍ද්ච දේව, ලභිය වසභ, ථේරපුත්තාභය, සුරනිමල, භරණ යන මොවුන් ගැන විසිතුරු විස්තර මහාවංශයේ සඳහන් වී ඇත. දස මහා යෝධයන් අතරින් නන්දිමිත‍්‍ර, වේළුසුමන හා ඵුස්සදේව යන තිදෙනා පිළිබඳ ව සමකාලීන සෙල්ලිපි සාධක ද ලැබී ඇත.

මීට අමතරව හමුදා ශක්තිමත් කිරීමට සමගාමීව යුද අවි නිෂ්පාදන කම්මල් ද සුදුසු ස්ථානයන් හි පිහිටු වූ බව රසවාහිනියේ සඳහන් වෙයි.

මාගම මුල්කරගෙන රෝහණ රාජ්‍යය මෙලෙස දිවයිනේ නිරිතදිග මධ්‍යම ප‍්‍රදේශය හා ගිණිකොන මෙන්ම දකුණු ප‍්‍රදේශවල බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව, උතුරු දිග තැනිතලාව අනුරාධපුරය මුල් කරගෙන පාලනය කළ චෝල දේශීය රාජ්‍ය පාහරයකු වූ එළාර රජුට එරෙහිව සටන් මෙහෙය වන්නේ කාවන්තිස්ස රජුගේ දෙටුපුත් ගැමුණු රජුගේ කාලයේදීය. එළාර රජුට විරුද්ධව දුටුගැමුණු රජු මෙහෙය වූ සටන් ව්‍යාපාරය නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ගෙන ගිය එකක් වුවත් අනිවාර්යෙන්ම ජය ගත යුතුව තිබුණි. ඊට ප‍්‍රධානතම හේතුව වූයේ මුළු දිවයිනම මේ වන විටත් සංස්කෘතික වශයෙන් ඒකීය රාජ්‍යයක් බවට පත්ව තිබීමයි. ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට දක්නට ලැබෙන දහස් ගණනක් වූ බ‍්‍රාහ්මී ශිලා ලිපි වලින් ප‍්‍රකාශ වන්නේ මේ ඒකීයත්වයයි.

විදේශීය රාජ්‍ය පාහරයෙකු යටතේ අනුරාධපුර නගරය හා අවට පෙදෙස් පැවතීම මේ ඒකීයත්වයට (එක්සත් බවට) ප‍්‍රබල අභියෝගයක් විය. බෞද්ධ ධර්මදූතයන් වහන්සේලාට සීමා බන්ධන නොතිබුණු අතර උන්වහන්සේලා විවිධ දේශ සීමා තරණය කරමින් ගමින් ගමට, ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට සංචාරය කරමින් ධර්ම ප‍්‍රචාරණ කටයුතුවල යෙදුණහ. මෙම ප‍්‍රබල ධර්ම ප‍්‍රචාරක ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් වූයේ නොයෙකුත් දේශපාලන බෙදීම් බිඳ දමමින් බුදු සසුන රැක ගැනීම මුඛ්‍යාර්ථය කොටගත් දුටුගැමුණු සටන් ව්‍යාපාරය පෝෂණය වීමයි.

තමා අනුරාධපුර රාජ්‍යය ජය ගනු සඳහා ගමන් කරන්නේ රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යැයි දුටුගැමුණු රජු විසින් කරන ලදැයි කියන ප‍්‍රකාශයෙහි හරය තේරුම්ගත යුත්තේ සංස්කෘතික වශයෙන් ඒකීය රාජ්‍යයක් වූ දිවයිනෙහි දේශපාලනමය වශයෙන්ද එක්සේසත් කිරීම කාලීන අවශ්‍යතාවයක් පැවති බව සලකා ගෙනය. උක්ත දැක්වූ ආකාරයටම මහාවංශ ප‍්‍රථම භාගයෙහි මහානාම හිමි පළමුවරට ”ඒකච්ඡත්තං කරිත්වාන’’ (ඒකඡත‍්‍ර කොට) යනුවෙන්
දුටුගැමුණු රාජ්‍ය කාලයෙහි වටිනාකම පැහැදිලි කරන්නේ එම කාලීන අවශ්‍යතාවය ඒ රජුගේ කාලයේ දී ඉටු වූ බැවිනි.

නමුත් කාවන්තිස්ස රජු විසින් ඉටුකරන ලද කාර්යභාරය මහාවංශයේ අපක්ෂපාතීව ඉදිරිපත් කර නැත. ඔහු බියසුලූ පාලකයකු ලෙස හුවා දක්වා

දුටුගැමුණු රජුගේ වීරත්වය ඉස්මතු කර දැක්වීම මහාවංශ කතුවරයා ගෙන ඇති උත්සාහය සාධාරණ නොවන බව මහාවංශයේම සඳහන් ඇතැම් කරුණු වලින්ම සනාථ වෙයි. ඔහු අනුරාධපුරයේ රජකළ එළාර රජුට එරෙහිව ආක‍්‍රමණයන් දියත් කිරීමට ඉක්මන් නොවූයේ බියසුළු කම නිසා නොව ඒ සඳහා සුදුසු වාතාවරණයක් නොවූ නිසා විය හැකිය. එළාර රජු ප‍්‍රබල හමුදා ශක්තියකින් යුතු තරුණ වියේ සිටි ආක‍්‍රමණික පාලකයකු විය. ඔහුට අවශ්‍ය විටක දකුණු ඉන්දියාවෙන් හමුදා ආධාර ලබාගත හැකිව තිබුණි. එබැවින් එළාර රජුගෙන් රෝහණ දේශය ආරක්ෂා කර ගැනීම කාවන්තිස්ස රජුගේ මූලික අරමුණ වූවාට සැකයක් නැත.

වසර හතළිස් පහක් පමණ වූ තම රාජ්‍ය කාලය තුළ රුහුණු දේශයේ ආර්ථික කටයුතු ශක්තිමත්ව වර්ධනය කිරීමට අමතරව බුදු සසුනේ දියුණුව සඳහා ද කාවන්තිස්ස රජු කටයුතු රැසක් ඉටු කර ඇත. ඔහු ඉදිකළ වෙහෙර විහාර සංඛ්‍යාව 64ක් බව මූලාශ‍්‍රවල දැක්වේ. මාගම තිස්ස විහාරය, සේරුවිල මංගල මහා සෑය, ත‍්‍රිකුණාමලය අසල වූ වෙල්ගම් වෙහෙර, සිතුල්පව්ව රාජමහා විහාරය සහ ජාත පබ්බත විහාරය ඉන් කිහිපයකි. පූජාවලියට අනුව මෙම රජු කැලණි විහාරය ද ප‍්‍රතිසංස්කරණය කරවා ඇත. සූසැට වියේදී කාවන්තිස්ස රජු මියගිය බව වංශ කථාවල සඳහන් වේ.

කේ. එම්. ජී. අර්ජුන මානගේ
පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment