එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම හේතුවෙන් රටේ සමුද්‍රීය පාරිසරික පද්ධතියට සිදුවූ හානිය අතිවිශාල බවත්, මෙහිදී ආර්ථිකමය හානියක්ද සිදුවූ බවත්, නමුත් එයින් අගතියට පත් පාර්ශ්වවලට සම්පූර්ණ වන්දි මුදල් හිමි වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව මෙතෙක් එළිදක්වා නොමැති බවත්, එය බරපතළ ගැටලුවක් බවත් රටේ ලක්ෂ 220ට එම වාර්තාව පරිශීලනය කිරීමට ලබාදිය යුතු බවත් එම වාර්තාව හැකි ඉක්මනින් එළිදක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර මගින් ධීවර ප්‍රජාව සඳහා රුපියල් බිලියන 2.5 ක වන්දි මුදලක් රක්ෂණ සමාගමෙන් ලබාදී ඇති බව හිටපු අධිකරණ ඇමැතිවරයා පැවසූ බවත් එම වන්දි මුදල් බෙදි ගිය ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
විපතක් සිදුවුණු පසු විපතට භාජනය වුණ කණ්ඩායම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වන්දි තක්සේරුවක් සිදුකොට විපත සිදුකළ කණ්ඩායමෙන් එම වන්දි මුදල අය කරගැනීම කටයුතු කළ යුතු බවත් නමුත් එවැනි කටයුත්තක් එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී සිදුවී නැති බවත් විපත ක්‍රියාත්මක කළ පිරිස තක්සේරු කර මුදලක් ලබාදී ඇති බවත්, මෙවැනි ආකාරයට වගකීම් විරහිතව රජයක් කටයුතු කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ආකාරයට ශ්‍රී ලංකාවට හැසිරීමට නොහැකි බවත් ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බවත් දේශපාලන නිදහසක් තිබෙන රටක් බවත් එම නිසා මෙවැනි ඛේදවාචකයකදී රටක් ලෙස තීන්දු තීරණ ගතයුතු බවත් සිදුවූ හානිය පිළිබඳව සහ එයින් විපතට පත් ප්‍රජාවට වන්දි ලබාදීම පිළිබඳව සැලැස්මක් විපත ඇතිකළ සමාගමට ලබාදීමට කටයුතු කළ යුතු බවත් විපත නිර්මාණය කළ සමාගම සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් සාධාරණ වන්දියක්
ලබාගැනීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
එමෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ රසායකින ද්‍රව්‍ය සම්පුර්ණයෙන් ඉවත් නොකිරීම හේතුවෙන් එම රසායනික ද්‍රව්‍ය ක්‍රමයෙන් ජලයට මිශ්‍ර වී ඇති බවත්, එය ජලය භාවිතයේදී සනාථ වී ඇති බවත් මීගමුවේ සිට වත්තල හැඳල දක්වා වෙරළ තීරයේ ඇති ඉස්සන් කොටු ආශ්‍රිතවද ගැටලු රැසක් ඇති වී ඇති බවද වාර්තා වූ බවත් මේ හේතුවෙන් ඉස්සන් කොටු පවත්වාගෙන යන පිරිස් දුෂ්කරතාවට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් පියවරක් රජය ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.
ධීවර කර්මාන්තය සඳහා යොදාගන්නා ආම්පන්නවල මිල ඉහළ ගොස් ඇති බවත් මාලු ගැවසෙන තැන් හදුනාගැනීමට යොදාගන්නා තාක්ෂණවල ඌණතාවයක් තිබෙන බවත් මාලු අස්වැන්න කල් තබාගැනීමට ශීතාගාර පහසුකම් නැති බවත් මාලු අස්වැන්න සඳහා ස්ථාවර මිලක් රට තුළ නොමැති බවත් විදේශීය ධීවරයින් ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකන බවත් ඊට නිසි විසඳුමක් නැති බවත් සුහුරු ධීවර කර්මාන්තයක් රට තුළ ඇති කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන