අප මේ කියන්නට යන කතාව ඉතා සරලය. ජනතාවටත් තේරුම් ගන්නට ලෙහෙසිය. පසුගිය කාලයක් තිස්සේ රටේ ජනතාවගේ ආර්ථික පැවැත්ම වළපල්ලට ඇද දැමූ පාලකයන්ම, ඒ අර්බුදයෙන් රට ගොඩගැනීමේ පොරොන්දු ලබාදෙමින් සිටී. රට ගොඩනැඟීමේ මාවතක් ලෙස පෙන්වමින් නව ප්‍රතිසංස්කරණ ගණනාවක් අලුතින් ක්‍රියාත්මක වෙමින් පවතී. මුළු රටේ ම ආර්ථික රටාව වෙනස් කරමින් පවතී.

එවැනි මොහොතක, උරුමය නමින් ඉඩම් ඔප්පු ලබාදීමේ ව්‍යාපෘතියක් රජය ක්‍රියාත්මක කරමින් සිටී. එම ව්‍යාපෘතිය පිළිබඳ රජය පැත්තේ කතාව අපි මෙහි දීර්ඝ ලෙස විස්තර නොකරන්නෙමු.

එයට හේතුව රජයේ කතාව ඉතා දැවැන්ත රාජ්‍ය ප්‍රචාරණ යාන්ත්‍රණයක් තුළින් සමාගත කරමින් සිටින නිසාය. අපට ඇති ඉඩකඩ, ඒ කතාවට පසුපසින් ඇති නොකී කතාවක් උදෙසා වෙන් කළ යුතුය.

ගොවි ජනතාව මෙන්ම ඉඩම් අයිතිය වෙනුවෙන් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ පාර්ශ්ව චෝදනා කරන්නේ එම ව්‍යාපෘතිය ඉඩම් අයිතිය මහා පරිමාණ සමාගම් සතු කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙසය. ඇත්තෙන්ම මේ සිදු කරන්නේ ඉඩම් අයිති කරගැනීමේ වුවමනාව ඇති සමාගම් ගණනාවකට තිබෙන නීතිමය බාධාවන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් බව ඔවුහු චෝදනා කරතී.

පොන්නාවෙලි

අප්‍රේල් 05 සිකුරාදා කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ප්‍රදේශයේ කිරාන්චි ගම්මානයේ ඉදි කිරීමට සැලසුම් කර ඇති සිමෙන්ති කර්මාන්ත ශාලාවක් උදෙසා වූ ව්‍යාපෘතියක් විවෘත කිරීමට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යන්නට උත්සාහ කළේය. එයට එරෙහිව ගම්වාසීන් දැවැන්ත විරෝධතාවක් දියත් කළේ, අමාත්‍යවරයාට ගමට ඇතුළු වෙන්නට ඉඩ නොදෙන බව කියමිනි. විරෝධයේ ප්‍රබලතාව හමුවේ අමාත්‍යවරයාට පසු බැසීමට සිදු විය. මේ කියන ව්‍යාපෘතිය වෙනුවෙන් අක්කර තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ගොවි ඉඩම් සිමෙන්ති කම්හලකට ලබාදීමට සැලසුම් කර තිබේ. මේ තනි සිදුවීම කීවේ, ඉඩම් අයිතිය වෙනුවෙන් වූ ජනතාවගේ නැඟිටීම් තේරුම් ගැනීමට පදනම දමාගත යුතු නිසාය.

ගොවි, ධීවර ඉඩම් සටන් ගොඩක් අතරින් මේ එකක් පමණි.

හුදෙකලා නෑ

ඒ අනුව අප මේ විස්තර කළ පොන්නාවෙලි සිදුවීම තනි සිදුවීමක් නොවේ. මේ ආකාරයෙන් මහා පරිමාණයේ ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් දසදහස් ගණන් ලබාදීමේ සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙයි. ඒ පසුබිමේ, උරුමය ගැන විස්තර කළ ඉඩම් අයිතිය උදෙසා ජනතා සන්ධානයේ සඳුන් තුඩුගල මෙසේ කීය.

‘රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ උත්සාහය දරන්නේ පළමු වැනි වතාව නෙවෙයි. 2002 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වෙලා ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් අගමැති වුණා. ඒ අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ චොක්සි අමාත්‍යතුමා. එතැනත් ඔවුන් කියනවා තම රජයේ ප්‍රධාන අරමුණක් තමයි ගොවීන්ට සින්නක්කර ඔප්පු ලබාදීම. 2015- 2019 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී සිටි සමයේ තමයි යහපාලන ආණ්ඩුව සිටියේ. ඒ සමයේදීත් වරින් වර කීවා ගොවි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම මූලික වගකීමක් කියලා.

ගොවීන්ට ඔප්පු එපා කියලා අපි කියන්නෙ නෑ. එහෙනම් ඒක උමතුවක් වෙන්න එපායැ. ඒත් මේ කියන කතාව මෙච්චර සරල ද? මේ ප්‍රකාශිත අරමුණ මෙහෙම ක්‍රියාත්මක වෙනකොට මේ එක්කම සමගාමීව යනවා තවත් අරමුණක් ප්‍රකාශ වෙමින්. ඒ අරමුණ මුලින්ම ලිඛිතව ප්‍රකාශ වුණේ 1996 ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරපු වැවිලි නොවන ක්ෂේත්‍රයේ විකල්ප ප්‍රතිපත්ති කියන ලියැවිල්ල තුළ ලෝක බැංකුව කියනවා ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට නම් ගොවීන්ට විකිණිය හැකි ඔප්පු ලබාදිය යුතුයි. සුළුගොවීන් ඉඩම් තම සන්තකයේ තියාගෙන සිටීම තුළ තවදුරටත් මේ ක්ෂේත්‍රය දියුණු වෙන්නේ නෑ. ඒ නිසා ගොවීන්ට විකිණිය හැකි ඔප්පු ලබාදුන්නාම හැකියාව සහිත ගොවීන් වැඩි වැඩියෙන් ඉඩම් අරගෙන තමන්ගේ ගොවි බිම් පුළුල් කරගෙන ඵලදායීතාව වැඩි කර ගනීවි. ඒකෙන්, ආර්ථිකයට දායකත්වය ලැබේවි.

රැකියාවක් නැති ගොවීන් වෙනත් ක්ෂේත්‍රවල රැකියාවන් හොයා ගනීවි.

හැකියාව ඇති ගොවීන් ඉතිරිවෙලා හැකියාව නැති ගොවීන් වෙන මොනවාහරි කරගෙන පාඩුවේ ඉඳීවී අපට ඉඩම්වල අයිතිය දෙන්න. අපේ භූමියේ අයිතිය දෙන්න. එය අපේ රැකියාව, අපේ අනන්‍යතාව, සංස්කෘතිය ආදී සියල්ල භූමියේ අයිතිය එක්ක ගැටගැහිලා. අපි කාලයක් තිස්සේ ඒ අයිතිය වෙනුවෙන් සටන් කරනවා. ඇත්තට ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව උරුමය නමින් තහවුරු කරන්න යන්නේ සුළු ගොවි ජනතාවගේ, ගොවීන්ගේ අයිතිය වෙනුවට තමන්ගේ ඉඩම්වලින් විකුණලා ඉන්දියාවේ අදානිලාට, සිංගප්පූරුවට නැත්නම් එංගලන්ත සහ ඇමෙරිකාව ආදී රටවල සමාගම්වලට තුට්ටු දෙකේ අයට ලබාදීමට ද මේ සූදානම් වෙන්නේ. අපට කොකා පෙන්වන්න ද මේ උත්සාහ කරන්නේ. අපේ ඉඩම්වලට දැන් තියෙන අයිතියත් අහිමි කරන්න ද උත්සාහ කරන්නේ.

ටෙරන්ස් ගාමිණී මහතා රාජාංගණය

ගොවි ව්‍යාපාරය නියෝජනය කරන්නෙකි. ඔහු දැන් ඉඩම් විකිණීමට ඇති බාධකය සහ එම බාධක උරුමය ඔප්පු හරහා ඉවත් වෙන හැටි එදිනෙදා අත්දැකීම් ඇසුරෙන් විස්තර කළේ මෙසේය. ‘ඉඩමක් මිනිහෙකුට ගන්න විධියක් නෑ. එහෙම වෙලාවක ඔප්පුවක් දෙනවා. එතකොට විරුද්ධ වෙනවා. සල්ලි තියෙන මිනිස්සු කියනවා මට ඉඩමක් ගන්න විධියක් නෑ. ස්වර්ණ භූමි, ජයභූමි ඔප්පු තියෙන මිනිස්සු කියනවා ඉඩම විකුණන්න විධියක් නෑ කියලා.

ඇත්තට ම ස්වර්ණ භූමි ඔප්පුවක් විකුණන්න නම් එයාට තවත් ඉඩමක් තියෙන්න ඕනෑ. වෙනත් ආදායම් තියෙන්න ඕනෑ. ඉඩමක් ගන්නවා නම් ගොවි පන්තියට අයිති වෙන්න ඕනෑ. ඇයි මේවා හදලා තියෙන්නේ. අහිංසක මිනිස්සු පාරට වැටෙන එක වළක්වන්න. ඒක නොදන්න මිනිස්සු කියන්නේ මා අර මුලින් කී එක. හැම මඟුලට ම විරුද්ධ වෙනවා කියලා. මමත් ඉඩමක් ගන්න ගියා. ගොවියෙකුගේ පුතෙක් විධියට මට ගන්න ලැබුණේ නෑ. මට ගන්නට ඉඩමක් තිබුණේ නැතිව නෙවෙයි. ඒ සමහර අයගෙන් මම ඉඩම් ගත්තා නම් ඒ පවුල් මහපාරට වැටෙනවා. ගොවියාට අද කියන්නේ ගොවිතැන් කරන්න බැරි නම් ඉඩම විකුණන්න කියලා. දැන් ඉඩම විකුණන්නට බාධකය විකුණනවා.

ගොවියන්ට කිසිම පහසුකමක් නෑ. අමාරුවෙන් නිෂ්පාදනය කරපු දේ විකුණා ගන්න ක්‍රමයක් නෑ. දැන් කියනවා විකුණන්න කියලා. දැන් ඉඩම් ගන්නට මිනිස්සු නෙවෙයි සමාගම් ඉන්නවා. අපි මේ කතාව ගමට ගෙනිච්ච ගමන් එන්නේ හැමදේටම විරුද්ධ වෙනවා කියන චෝදනාව. ගොවියාට ඇත්තටම ඕනෑ ඔප්පු නෙවෙයි. ගොවිතැන් කරන්න ඉඩකඩ. ඇත්තට ම ඉඩම් ඔප්පුවක් නැතිව ඉන්න වතුකරයේ හෝ නාගරික මිනිස්සුන්ට ඉඩම් ඔප්පුවක් සහ අයිතිය දෙන්නේ නෑ.

ඉඩම් ප්‍රතිපත්ති

එක් අතකින් ඔප්පුව දී අනෙක් අතින් ඉඩම ගන්නවා උරුමයේ හැබෑ කරුමය

ඔහු පෙන්වා දෙන මෙම කාරණය තවදුරටත් පැහැදිලි කළේ, කාලයක් තිස්සේ ඉඩම් අයිතිය වෙනුවෙන් කටයුතු කරන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතාය.

‘බලයට පත් වූ රජයන් උත්සාහ දැරුවා පියවරින් පියවර රටේ ඉඩම් නීති පද්ධතිය වෙනස් කරන්න. ලෝක බැංකුව දිගින් දිගට ම නිර්දේශ නිකුත් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ඊට පරිබාහිරව චීන රජය සහ අපි ද්විපාර්ශ්වික සමහර ගිවිසුම්වලට එළැඹිලා තියෙන ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව වැනි රජයන්වල අවශ්‍යතාවත් මේක පිටිපස්සේ තියෙනවා.

මේ සැලසුම් වගේම, ඊට අමතරව එයට බද්ධ වූ ක්‍රියාවලීන් තුළ කොහොමද සිද්ධ වුණේ කියන එක පැහැදිලි කළාම තවදුරටත් අවබෝධ කරගන්න පහසු වෙනවා, අපි දන්නවා මේ වෙද්දී මොනරාගල, බදුල්ල සහ අම්පාර කියන දිස්ත්‍රික්ක තුනෙන් අක්කර 62,500ක් උක් වගා කරන්නට සිංගප්පූරු සමාගමකට ලබාදෙන්න තීන්දු කරලා තියෙනවා. මෙය පැහැදිලිව ජාතික භෞතික සැලැස්මේ සිතියම්ගත කරලා තියෙන දෙයක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම කියලා සමාගමකට දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් සීයට 6ක් හෙවත් අක්කර 104,066ක භූමියක් දෙන්න තීන්දු කරලා තියෙනවා. ඒක බෝග වගාවක් විධියට කෝමාරිකා ශාකය වගා කරන්න.

තායිලන්තයේ සුටෙක් ඉංජිනියරින් කියන සමාගම එක්ක අද සැලසුම් කරලා තියෙනවා වවුනියා දිස්ත්‍රික්කයෙන් අක්කර 72,000ක භූමියක් උක් වගාවට ලබාදෙන්න සැලසුම් කරලා තියෙනවා. එයත් ජාතික භෞතික සැලැස්මේ කොටසක්.

මේ වෙද්දී ඉඩම් විශාල ප්‍රමාණයක් විවිධාකාරයෙන් ලබාදෙනවා. මාගම්පුර වරාය බදු දෙනකොට පොදු එකඟතාවක් ආවා ඒ ආසන්නයෙන් අක්කර 15,000ක් චීන කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම සඳහා ලබාදෙන්න. ඊට පස්සේ ඒ වගේම තව ක්‍රියාවලියක් මේ වෙනකොට කිළිනොච්චි දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. පොන්නාවෙලි ප්‍රදේශයේ කිරාන්චිවල අක්කර 3500ක් ධීවර සහ කෘෂි බිම් ප්‍රදේශ ජපාන සිමෙන්ති සමාගමකට ලබාදෙන්න සැලසුම් කරලා තියෙනවා. මන්නාරම අක්කර 500කට වැඩි භූමි ප්‍රමාණයක් සුළං විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා ලබාදෙන්න සැලසුම් කරලා තියෙනවා. ත්‍රිකුණාමලයේ මහා වාණිජ නගරය ඉදි කිරීම සඳහා ජාතික භෞතික සැලසුමට අනුව ගොවි සහ ධීවර ඉඩම් පවරාගෙන යනවා. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවල තියෙනවා සංකීර්ණ ඉඩම් නීති නිසා වාණිජ පරමාර්ථවලට ඉඩම් පාවිච්චි කරන්න බැරි බව. ඒ නිසා ඉඩම් පහසුවෙන් වෙළෙඳ පොළට ලක් කරන්න පුළුවන් නීති පද්ධතියක් ගොඩනඟන්න ඕනෑ. ඒ නිසා සංකිර්ණ නීති ලිහිල් කරලා සරල නීති පද්ධතියක් ගෙන්න ඕනෑ කියන්නේ.

ලංකාවේ සුළු පරිමාණ කෘෂිකර්මාන්තය අවාසි නිසා ඒක බෝග වාණිජ කෘෂිකර්මයට යන්න ඕනෑ බව ලෝක බැංකුව පැහැදිලිව කියනවා. එහෙම සංශෝධනවලින් එකක් තමයි වනසංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය සංශෝධනය කරලා 21 (අ) වගන්තිය ගෙනැල්ලා සංචාරක, සුනිත්‍ය බලශක්ති ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබාදිය හැකි ලෙස පනත සංශෝධනය කරන බව. අර කියන සංවර්ධන සැලසුම්වලට හෙවත් අපෙන් වියුක්ත වූ විවිධ අවශ්‍යතා මත ගොඩනැඟුණු සංශෝධනවලට ඉඩම් ලබාදෙන්න ඕනෑ.

ඊළඟ ක්‍රියාවලිය තමයි ඉඩම් කළමනාකරණ භාරයක් ස්ථාපිත කිරීම සඳහා පසුගිය දිනවල කැබිනට් අනුමැතිය ලබාගැනීම. ඒ යටතට ලක් කරන්න සැලසුම් කරලා තියෙන ඉඩම් ප්‍රධාන වශයෙන් තියෙන්නේ වතුකර ප්‍රදේශවලට අයිති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති සියලු ඉඩම්. ඉඩම් කළමනාකරණ ආයතනය කියන සියලු සමාගම්වලට ඒක දියහැකි අන්දමේ තනි සමාගමකට පැවරීමේ සැලසුමක්.

මේ ආකාරයට පොදු ඉඩම් කළමනාකරණය කරද්දී ගැටලුවකට තියෙන ඉතිරි කාරණය තමයි බලපත්‍ර යටතේ පුද්ගල සන්තක ඉඩම් පැවතීම. උදාහරණයක් ලෙස අවුරා ලංකා සමාගමට අක්කර 104,066ක් ලබාදෙන කොට ඒ සියල්ලම වනසංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය යටතේ පාලනය වූ ඉඩම් නොවෙයි. කොටසක් ඒ යටතේ පාලනය වෙනවා. ඒ ටික දෙන්න ඕනෑ ක්‍රියාවලිය හදලා තියෙනවා. තව ඉඩම් ප්‍රමාණයක් තියෙනවා ඒවා බලපත්‍ර සහ ප්‍රධාන පත්‍ර යටතේ ගොවි ජනතාවට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් ඉඩම්. මේවා ලබාදෙන්න හැකියාවක් නෑ. ඒවා ලබාදෙන්නට නම් වෙනස් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනෑ.

ඒ ක්‍රමය තමයි උරුමය ඔප්පු නමින් ක්‍රියාත්මක වෙන්නේ. දැන් රජයට අයිති ඉඩම් ටික වනසංරක්ෂණ ආඥා පනත සංශෝධනය කරලා දෙන්න පුළුවන්. ඉතිරි ඉඩම් ටික ලබාගැනීම පහසු කරගන්නවා උරුමය ඔප්පු හරහා නිදහස් කිරීමෙන්. ගොවීන්ට පරම අයිතිය සහිත ඔප්පු ලබාදීමට විරුද්ධ වෙනවාද කියලා සමහරුන් අහනවා. ඒත් අපි කියන්නේ මීට එහා ගිය ක්‍රියාවලියක් තියෙන බව. අපි මේක වැරදි තැනින් අල්ලා නොගත යුතුයි.

අරුණ කුමාර පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගිරිතලේ ගොවි ජනපදයේ පදිංචිවූවෙකි. ඔහු ඉඩම් විකුණන්නට සිදුවන හැටි මෙලෙස විස්තර කළේය.

‘මම ගොවි පන්තියේ තුන්වැනි පරම්පරාවට අයිතියි. අපේ තාත්තලා සීයලා මුල් පදිංචිකරුවන්. අපි ඉස්සරහට එනකොට මේ වෙනකොට අත්විඳින්න තියෙන ඉරණම ගොවි ජනපදවලින් ඉවත් වෙන එක සහ ඉඩම් අයිතිය වෙන කෙනෙකුට විකුණලා දාලා වෙන තැනකට යන එක. තමන්ගේ ඉඩමේම කුලීකාරයෙක් බවට පත් වෙන එක. අපි කරන්නේ වී, වී කරන්න කුඹුරට ගොවියා බහින්න අවශ්‍ය යෙදවුම් වන ඩීසල්, ට්‍රැක්ටරය, බිත්තර වී ඇතුළු සියල්ල සමාගම්වලින් ලබාගන්න සිද්ධවෙලා. ඒවායේ ආර්ථික වටිනාකම් ඉතා ඉහළයි.

ගොවියෙකුගේ ආදායමත් එක්ක මේ අවශ්‍ය කළමනා ගළපා ගත්තාම පාඩුවක් මිස ලාභයක් නෑ. දියුණු වෙන්න ලාභයක් අවශ්‍යයමයි ගොවියෙකුට. ඒක කවදාවත් ගන්න බෑ. පෝෂණයත් ඉතා දුර්වල තැනක තියෙන්නේ. ගොවියා ගොවිතැනින් ඉවත් කිරීමේ සහ ඉඩම් අයිතිය ලබාගැනීමේ ක්‍රමයට ඔවුන් හෙමීට අවතීර්ණ වුණා. අපට 1958 කාලේ ඉඩම් දුන්නේ. මේ ඉඩම් සින්නක්කර ඔප්පුව දීමෙන් අපේ මරණ සහතිකය ලියනවා කියන එක පැහැදිලියි. තරුණ පරම්පරාවේ කෙනෙක් හැටියට මගේ පන්තියේ පාසලේ හිටපු බොහෝ දෙනෙක් ගොවිතැනින් අයින්වෙලා විදේශගත වෙලා හෝ විවිධ තැන්වල රැකියා කරනවා. අද වෙනකොට මගේ තාත්තාත් මට කියන්නේ ගොවිතැනින් ඉවත් වෙන්න කියලා. ගොවිතැන කරන්නත් බෑ, ලාභයකුත් නෑ. අපට සිද්ධ වෙන්නේ අපේ ඉඩම් උකස් කරන්න, බද්දට දෙන්න නැත්නම් විකුණන්න. කලින් අපට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ඇතිව මිස ඉඩම් විකුණන්න බෑ. ඉස්සර ඉඩම උකස් කළත් වික්කේ අඩුවෙන්. දැන් සින්නක්කර ඔප්පුව තුළින් විකිණීමේ හැකියාව තියෙනවා. ඒක තමයි අපේ ඉඩම් කඩිනමින් සමාගම්වලට ලබාගන්නේ. ගොවියාත් මේක තේරුම් අරන් තියෙන්නේ. ඒත් ගොවීන් විධියට අපට පවතින්න බෑ කියන එකත් විශ්වාසයි. අපට ඔප්පුවක් ඕනෑ. සින්නක්කර වුණත් කමක් නෑ. ඒත් ඉඩම විකිණීමට අපව තල්ලු කිරීම තුළින් ව්‍යාපාරිකයන්ට ඉඩම් අයිතිය ලැබෙනවා.

සැබෑ කතාව මේකයි. ආණ්ඩුවට ජාතික සැලසුමක් ඇත්තේ ඉඩම් විකුණා වෙළෙන්දන් සතු කරන්නට මිස, ඉඩම් අයිතිය තහවුරු කරන්නට ගොවියා ශක්තිමත් කරන්නට නොවේ.

අනතුර කුමක් ද?

මේ සියල්ල මැද ජනතාව විමසනු ඇති පැනය වන්නේ, උරුමය හරහා ඉඩම් වෙළෙඳපොළ විවෘත කර මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අක්කර දහස් ගණන් අත්පත් කර දීමේ වරද කුමක්ද යන්නය. මේ පිළිබඳ ඉඩම් අයිතිය උදෙසා ජනතා සන්ධානය නිකුත් කළ ප්‍රකාශනයක ඉතා පැහැදිලිව දැක්වේ.

‘මෙසේ පෞද්ගලික ආයෝජකයන් විසින් සිදුකරන මහා පරිමාණ වගාවන් පාරිසරිකව තිරසාර නොවන සංචාරක ව්‍යාපෘති හා විවිධ ආයෝජන සඳහා ඉඩම් ලබාදීම මෙරට තුළ අලුත් ක්‍රියාවලියක් නොවේ. 1977 ආර්ථිකය නිදහස් කළ දින සිට ම මෙරට පැවැති රජයන් විසින් වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් හුවා දක්වන ආයෝජන අරමුණු වෙනුවෙන් මෙරට විශාලතම සම්පත වන ඉඩම් විවිධ සමාගම් වෙත ලබාදී තිබේ.

පසුගිය දශක හතරකට මඳක් වැඩි කාලය තුළ මෙරට ඉඩම් අක්කර ලක්ෂ ගණනක් පෞද්ගලික ආයෝජකයන් වෙත ලබාදී තිබේ. තේ, උක්, බඩඉරිඟු, දුම්කොළ, කෙසෙල්, අඹ යනාදී වශයෙන් වූ මහා පරිමාණ ඒක භෝග වගාවන්ට ලබාදුන් ඉඩම් කිසිවක් අද වනවිට ආර්ථික වශයෙන් ඵලදායී නොවේ. එම ව්‍යාපාරවලින් මෙරට ඇතිවූ සීමිත ප්‍රතිලාභයට වඩා දීර්ඝ කාලීනව මෙරට ජනතාවට හා පරිසරයට අතිමහත් විනාශයන්ට මුහුණදීමට සිදුව තිබේ. බොහෝ ආයෝජකයෝ බාහිර යෙදවුම් විශාල වශයෙන් යොදමින් ඉතා කෙටි කලකින් භූමියේ සම්පූර්ණ සාරය විනාශ වන වගා ක්‍රම අනුගමනය කරමින් උපරිම ලාභ ලබා නිසරු පොළොවක් ඉතිරිකර ඒවා හැර ගොසිනි.

මෙම ප්‍රදේශවල භූගත ජල සම්පත විශාල වශයෙන් විනාශ වී තිබේ. තිරසාර නොවන අහිතකර පාරිසරික භාවිතාවන් හේතුකොට ගෙන එම භූමියේ ජීවත්වන ජනතාවට නිධන්ගත වකුගඩු රෝගය ඇතුළු දීර්ඝ කාලීන රෝගාබාධ රැසකට මුහුණ දීමට සිදුව ඇත. මෙම වගාවන් හරහා සිදුවූ දැවැන්ත පරිසර සංහාරයන් නිසා පරිසර පද්ධතිවලට දීර්ඝ කාලීන නැවත හැරවිය නොහැකි බලපෑම් සිදුව ඇත. නිමක් නොවන අලි- මිනිස් ගැටුම නිර්මාණය කරනු ලැබූයේ ද දිනෙන් දින එය තීව්‍ර කරනු ලැබූයේ ද මෙම අමන තීරණ විසිනි. මේ බොහෝමයක් ප්‍රතිඵල විසින් ඉඩම් නැමැති සම්පතෙන් අනාගත පරම්පරාවන්ට ලැබිය හැකිව තිබූ ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි කොට ඇත.

ජනතාවට ලැබෙන බවට ශපථ කළ ආර්ථික ප්‍රතිලාභ සම්බන්ධයෙන් අද අප දකින්නේ කවර යථාර්ථයක් ද? මේ එකදු ආයෝජනයක් හෝ සිදුවූ ප්‍රදේශයක දරිද්‍රතාවය දශමයකින් හෝ අඩුවී නොමැත. ජනතාව පෙර සිටි තත්ත්වයටත් වඩා දරිද්‍රතාවට ණයගැති ිභාවයට ඇදවැටී ඇත. ඔවුහු තමන්ට තිරසාර ලෙස ප්‍රතිලාභ ලැබිය හැකිව තිබූ ඉඩම් පෞද්ගලික ආයෝජකයන්ට ලබාදී දිළිඳුව- ණයගැතිව-රෝගාබාධයන් ගෙන් පීඩා විඳිමින්- වනඅලි ප්‍රහාරයන්ට ලක්වෙමින්- බීමට පිරිසිදු ජල පොදක් හෝ නැතිව දුක්ඛිත ජීවිත ගතකරති. මෙය ශ්‍රී ලංකාවට පමණක් උරුම වූ ඉරණමක් නොවේ. එදා මෙරට පාලකයන් කියා පෑ (වර්තමාන රජය ද වර්ණනා කරමින් ඉදිරිපත් කරන) තර්ක මත සිය භූමියේ ඉඩම් මහා පරිමාණ ඒක භෝග වගාවන්ට සමාගම් වෙත ගොදුරු කළ ආසියානු, ලතින් ඇමෙරිකානු හා අප්‍රිකානු රටවල්වල මේ කනගාටුදායක යථාර්ථය මේ ආකාරයෙන්ම දිග හැරෙමින් පවතී. ඇත්ත වශයෙන්ම රජය විසින් ඉඩම් සම්බන්ධයෙන් ඉදිරිපත්කොට ඇති ආර්ථිකමය තර්ක කිසිවක් අලුත් ඒවා නොවේ. ඒවා ලෝකයේ කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක කොට අසාර්ථක වූ ඒවාය.

ඇත්තටම මෙය අලුත් දෙයක් නොවන බවත් මෙහි භයානකකම ලොවපුරා අත්දැකීම් ලෙස අපට පැහැදිලිව දක්නට ඇති බවත් විශේෂයෙන් මතක තබාගත යුතුය. සරලව තේරුම් ගනිමු. කවුරුන් හෝ ව්‍යාපාරිකයකුගේ හෝ ව්‍යාපාරිකයන් කණ්ඩායමකගේ සාක්කු පිරවීම තවදුරටත් මේ රටේ ආර්ථිකය හදන ක්‍රමය නොවේ. ගොවීන් ශක්තිමත් කිරීම, ගොවීන්ට සාමූහික සමුපකාර ක්‍රම හරහා දියුණු වගා ක්‍රමවලට යොමු වෙන්න ඉඩ සලසා අස්වනු මිලදී ගැනීමට සාධාරණ ක්‍රමවේද සකසා, ආහාර නිෂ්පාදනයට සාධාරණ ඉඩක් ලබාදීම තුළය. ඇත්තටම ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු වනු ඇත්තේ අපේ ආහාර නිෂ්පාදනාගාරවල ඉඩම් කොල්ලකා සුද්දන්ගේ ඇගේ අතුල්ලන්නට හෝ සුද්දන්ට උරන්නට කංසා වැවීම හෝ සිමෙන්ති හැදීම සැබෑ ආර්ථික සැලැස්මක් නොවේ. මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් දශක ගණන් තිස්සේ උපයාගත් ලාභය පවා මෙරට ඉතිරි කර නැත. ඒවා ස්විස් හෝ වෙනත් අක්වෙරළ ගිණුමක ගොඩගසා ඇත. ඉතින් මේවා දුප්පත්කම, අවතැන්වීම මෙන්ම ඒ මත ගොඩනැඟෙන අපේ රටට දරාගත නොහැකි ජන අරගල යළි යළිත් මතුවීමට පෙරමං තැනීමකි.

උක්ත නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

‘වඩාත්ම අන්තරාදායක කාරණය වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් තමන්ගේ පෞද්ගලික දේපළක් සේ සලකා මේ විනාශකර දමන්නේ මේ රටේ වටිනාම සම්පත වන ඉඩම් වීමයි. ඇත්ත වශයෙන්ම මේ ඉඩම් රජයට අයති නොවේ. ඒවා මේ භූමියේ වෙසෙන සමස්ථ මිනිස් හා ජෛව ප්‍රජාවේ පමණක් නොව ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ගේ ද පොදු සම්පතකි. රජයට පවරා ඇති වගකීම වන්නේ මෙම භූමියේ ජීවත්වන ජනතාව සහ ජෛව පද්ධතියේ සෙසු සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ අනාගත පරම්පරාවල සුබසිද්ධිය පිණිස නිසි පරිදි එම සම්පත කළමනාකරණය කිරීමයි. එය මෙරට ඉඩම් පිළිබඳ නීතියේ පදනම සැපයූ ඉඩම් කොමිසම් විසින්ද අන්තර් ජාතිකව පිළිගත් අනාගත පරම්පරාවේ අයිතීන් ඇතුළු මානව හිමිකම් සම්මතයන් අන්තර්ගත සම්මුතීන් විසින් මෙන්ම එප්පාවල පොස්පේට් නඩුව ඇතුළු තීරණාත්මක නඩුකර ගණනාවකදී මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද පිළිගත් මූලධර්මයකි.

ඒ අනුව ඇත්තට ම ඉඩම් පිළිබඳ අයිතිය වෙනුවෙන් වූ සැබෑ සටනක් අද තමන්ගේම දෙසට දික් කරන ඔප්පුව දෙස බලාගෙන ජනතාව විසින් දියත් කළ යුතුව තිබේ. තමන්ව රැවටීමට ගෙන එන නොයෙකුත් උගුල් ගැන තියුණු අවබෝධයකින් ජනතාව කටයුතු කළ යුතුව තිබේ.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment