එක් ඩෙල්ටා විකෘති ප‍්‍රභේදයක් වාර්තා වන්නේ ලංකාවෙන් විතරයි… ජනතාව සහයෝගය දුන්නොත් සැප්තැම්බර් අග වනවිට වසංගතය පාලනය කරන්න පුළුවන්!

155

ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර

ශ‍්‍රී ලංකාවේ මේ වනවිට කොවිඞ්-19 රෝගයට හේතුවන වෛරසයේ විකෘතිතා කිහිපයක් පැතිර යන බවටත්, විකෘතිතා කිහිපයක එකතුවෙන් ‘‘සුපර් ඩෙල්ටා” තත්ත්වයක් ඇතිවී තිබෙන බවටත් විවිධ මත පළවෙමින් තිබේ. රටේ කොවිඞ් ආසාදන හා කොවිඞ් මරණ ඉහළ යෑම සඳහා මේ තත්ත්වය බලපා ඇති බව පවතින මතයයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සමග එකී තොරතුරුවල සත්‍යාසත්‍යතාව හා තවත් කරුණු අළලා සිදු කරන ලද සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාවේ ඇතිවී තිබෙන නව ප‍්‍රභේද හා ඒවායින් විය හැකි හානිකර තත්ත්ව මොන වගේද….?

පිළිතුර – කොවිඞ්-19 රෝගියෙක් මුලින්ම 2019 වසර අවසානයේදී චීනයේ වූහාන් නගරයෙන් හමුවුණා. කොවිඞ්-19 රෝගය සාර්ස් කොවි 2 (SARS-CoV-2) වෛරසය ආසාදනය වීමෙන් වැළඳෙන බව සොයා ගැනුනා. සාර්ස් කොවි 2 (SARS-CoV-2) වෛරසය වයිල්ඞ් ටයිප් (wild type) වෛරස් එකක්. වෛරසයක් පරම්පරාවෙන් පරම්පරාවට විභේදනය වන විට ඒවායේ ජාන විකෘතිතා ඇතිවීම සාමාන්‍ය ගුණාංගයක් වුවත් සාර්ස් කොවි-2 (SARS-CoV-2) වෛරසයට වැරදි නිවැරදි කර ගැනීමේ හැකියාව සහිත ජානයක් තිබෙන නිසා අනෙකුත් වෛරස්වලට වඩා විකෘතිතා ඇති වීම අඩුයි. සාමාන්‍යයෙන් මාසයකට විකෘතිතා දෙකක් තුනක් වගේ තමයි ඇති වෙන්නේ. වෛරසයේ විකෘතිතා ඇතිවීම මගින් වෛරසයට යම් යම් වාසි ඇතිවෙනවා. ඒ වාසි සහගත තත්ත්වයන් මේ වෛරසයට ඇති වුණොත් විකෘති වූ වෛරස ඉදිරියට පැතිරී යනවා. ලංකාවේ මුලින්ම කොවිඞ්-19 රෝගියෙක් වාර්තා වුණේ 2020 මාර්තු මාසයේ දී යි. එදා සිට අද දක්වා හැම මසකට වරක්ම අපි කොවිඞ්-19 රෝගයට හේතු වූ වෛරසයේ ජාන අනුක‍්‍රමික පිළිවෙළේ සැකසුම සොයා බලා ලංකාව තුළ එම රෝගයට හේතු වන වෛරසයේ ප‍්‍රභේද හඳුනා ගැනීම සිදු කරනවා.

කොවිඞ්-19 රෝගයට අදාළව අපටම ආවේණික වූ ශ‍්‍රී ලාංකික වෛරස් ප‍්‍රභේදයක් (B1411) තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වී. ඕ.සී. (Varients of concern) කාණ්ඩයට අන්තර්ගත කර තියෙන වෛරස් ප‍්‍රභේද 4ක් ලෝකයෙන් හඳුනා ගැනුණා. ඒවා ඇල්ෆා (Alpha) එංගලන්තය, ඇමරිකාව ආශ‍්‍රිතවත්, බීටා (Beeta) දකුණු අප‍්‍රිකාව ආශ‍්‍රිතවත්, ගැමා (Gama) බ‍්‍රසීලය ආශ‍්‍රිතවත්, ඩෙල්ටා (Delta) ඉන්දියාව ආශ‍්‍රිතවත් හඳුනා ගැනුනා. මේවායින් ඇල්ෆා ප‍්‍රභේදය 2021 ජනවාරි මාසයේදී ලංකාවෙන් වාර්තා වුණා. ඩෙල්ටා ප‍්‍රභේදය මුලින්ම ලංකාවෙන් වාර්තා වන්නේ 2021 අපේ‍්‍රල් මාසයේදී යි. ඒක ජුනි මාසයේදී සමාජය තුළින් වාර්තා වුණා. එය අනෙකුත් ප‍්‍රභේදවලට වඩා ඉතා වේගයෙන් ලංකාව පුරා පැතිරෙන්න පටන් ගත්තා. යම්කිසි වෛරස් ප‍්‍රභේදයක් විභේදනය වීම වැඩිවීමෙන් එහි ජාන විකෘතිතා වැඩි වෙන්න පුළුවන් නිසා අපි ඩෙල්ටා ප‍්‍රභේදය ගැන වැඩිපුර පරීක්ෂණ සිදු කළා. නව ප‍්‍රභේදයක් ගොඩනැගීම ගැන අපි නවතම ජාන විශ්ලේෂණ පරීක්ෂාව හැටියට පසුගිය දිනක සඳහන් කළේ ඒ අනුව යි. ඒක ඇත්තට ම නව ප‍්‍රභේදයක් නෙවෙයි. එය ඩෙල්ටා ප‍්‍රභේදයේ ම විකෘතිතා තුනක් සහිත ව සැදුණු ‘‘විකෘති වූ ඩෙල්ටා” ප‍්‍රභේදය යි. ‘සුපර් ඩෙල්ටා‘ කියලා අපි කිව්වෙත් එයම තමයි. ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘතිතා තුනෙන් එකක් වාර්තා වන්නේ ලංකාවෙන් විතරයි. තව විකෘතිතාවක් ලංකාවෙන් සහ මැලේසියාවෙනුත්, අනෙක් විකෘතිය හැම රටකින් ම වගේ වාර්තා වෙනවා.

මේ විකෘතිතා තුනම සහිත විකෘතිතාවක් ප‍්‍රථම වරට වාර්තා වන්නේ ලංකාවෙනුයි. මේවා කරදරකාරී ප‍්‍රභේද ලෙස පසු කාලයේදී වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. ඒ ගැන අපි වැඩිදුර අධ්‍යයන කරගෙන යනවා. මෑතකදී අපි කොළඹ නගරය ආශ‍්‍රිතව සිදු කළ පරීක්ෂණයෙන් තහවුරු වුණේ එම විකෘතිතා තුනක් සහිත ඩෙල්ටා විකෘතිතාව ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාව තිබෙන බව යි.”

ප‍්‍රශ්නය – ජාන විශ්ලේෂණ පරීක්ෂණ කිරීම මෙවන් අවස්ථාවක අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ ඇයි…?

පිළිතුර – දැන් ලංකාව තියෙන්නේ සංචාරකයන්ට ගමන් කිරීමට සුදුසු නැත කියන රතු ලයිස්තු කලාපයේ යි. ඉන්දියාව, පකිස්තානය වගේ රටවල් මේ කලාපයේ තියෙනවා. ඒවායේ වෛරසය පැතිරීම දරුණුයි. රටක් රතු ලැයිස්තු ගතවීම තීරණය වෙන්නේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ හා පී. සී. ආර්. පරීක්ෂණ ධනාත්මක වීම මතයි. ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය වර්ධනීය ලෙස පවත්වා ගැනීමට නම් සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා රට හා ලෝකය හමුවේ අප ලබාදිය යුතුයි. එතකොට තමයි අපට රතු ලයිස්තු කලාපයෙන් එළියට එන්න පුළුවන් වෙන්නේ. දත්ත සඟවාගෙන සිටීමෙන් අපට මෙයින් මිදෙන්න බෑ. අපේ රටේ ප‍්‍රභේදයක වෙනසක් වෙනවා නම් අපි ඒ ගැන දැන ගන්න ඕනේ. අපි ඒ ගැන ලෝකෙට කියන්න ඕනේ. අපි මේ වන විට ඒ පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යනවා. හැකි ඉක්මනින් ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

ප‍්‍රශ්නය – ඔබගේ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සම්පත් ප‍්‍රමාණවත්ව තිබෙනවා ද……?

පිළිතුර – කොළඹ නගර සභාවට සම්බන්ධව සියලූම පී.සී.ආර්. පරීක්ෂණ වසර එකහමාරක පටන් සිදුකරන්නේ අපේ පර්යේෂණාගාරයේදී. ඊට අමතරව විශේෂිත ක‍්‍රම කිහිපයක් යටතේ ප‍්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණත් අපි කරනවා. ඒ නිසා කොළඹ දිස්ත‍්‍රික්කයේ අපි කරපු පරීක්ෂණ ඇසුරෙන් තමයි කොළඹ දිස්ත‍්‍රික්කයේ 100%ක් ම තියෙන්නෙ ඩෙල්ටා ප‍්‍රභේදය කියලා අපි පෙන්වා දුන්නේ. නමුත් සෙසු දිස්ත‍්‍රික්කවලින් අපට නියැදි ලබා ගැනීමේ ගැටලූ තියෙනවා. ඒවා ප‍්‍රවාහනය කිරීමේ ගැටලූ මතුවෙලා තියෙනවා. දකුණු පළාතට, යාපනය, මඩකලපුව, ගම්පහ වගේ දිස්ත‍්‍රික්කවලට අපි පුද්ගලිකව කතා කරලා නියැදි ඉල්ලීමක් කළා. ඒ සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාර ලැබී තිබෙනවා. ඒ අනුව අපි කඩිනමින් අනෙකුත් දිස්ත‍්‍රික්කවලට අදාළවත් පරීක්ෂණ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පරීක්‍ෂණ සාර්ථක වෙන්න නම් අපට වැඩි වැඩියෙන් සාම්පල් නැත්නම් නියැදි ලැබීමට අවශ්‍යයි.”

ප‍්‍රශ්නය – ඩෙල්ටා ප‍්‍රභේදයේ ක‍්‍රියාකාරිත්වයේ වේගවත් බව කෙබඳු ද…? ආසාදන හා මරණවලට කොයි ආකාරයෙන්ද මේ ප‍්‍රභේදය බලපාන්නේ..?

පිළිතුර- චීනයේ වූහාන් නගරයෙන් 2019 හමුවූ කොවිඞ්-19 රෝගියාගේ ශරීරගතව තිබුණු ‘සාර්ස් කොවි 2‘ (SARS-CoV-2) නමැති වෛරසය මිනිස් ශරීරයට අන්තර්ග‍්‍රහණය වූ පසු එවැනි වෛරස ලක්ෂ ගාණක් ශරීරය අභ්‍යන්තරයේ නිපදවෙනවා. ඒකෙන් තමයි රෝග ලක්ෂණ ඇති වෙන්නේ. මෙම ‘සාර්ස් කොවි2’ වෛරසයට වඩා 50% ක වේගයකින් ඇල්ෆා වෛරස් ප‍්‍රභේදය පැතිරුණා. ඇල්ෆා වෛරස් ප‍්‍රභේදයට වඩා 50%ක වේගයකින් ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය පැතිරෙනවා. ඒ කියන්නේ කොවිඞ්-19 රෝගය සෑදීමට හේතුව වූ මුල් වෛරසය වගේ දෙගුණයක වේගයෙන් ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය පැතිරෙනවා. ඒ වගේම අනෙකුත් වෛරසවලට වෛරසය පැතිරවීමට හේතු වන ස්වසන බිඳිතිවල තියෙන වෛරස් ප‍්‍රමාණය ඩෙල්ටා වෛරසයේ වැඩිපුර තිබෙනවා. වෛරසය වැඩිපුර පැතිරෙද්දී වෛරස රෝගීන් ප‍්‍රමාණයත් වැඩි වෙනවා. එවිට රෝහල්, ඔක්සිජන් වැනි අවශ්‍යතා වැඩි වෙනවා. මේ නිසා සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යෑමක් සිදුවෙනවා. රෝගීන් මියයෑමට එයත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වීමෙන් වෙනත් වෛරස් ප‍්‍රභේදවලට වඩා දරුණු රෝග තත්ත්වවලින් රෝගීන් මිය යා හැකියි.”

ප‍්‍රශ්නය – මෙවැනි රෝගියෙක් හඳුනා ගන්නේ කෙසේද…?

පිළිතුර- ‘‘බොහෝ රෝගීන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. මේ නිසා ඕනෑම කෙනෙක් තමන්ට පළමු ආශ‍්‍රිතයෙක් මුණ ගැහුණොත් අනිවාර්යෙන් දින දාහතරක් තමන් නිරෝධායනය වීම තමයි මේ වෙලාවේ කළයුතු ආරක්ෂිතම ක‍්‍රමවේදය වෙන්නේ. නිවසක නම් අනිත් අයගෙන් ඈත් වෙලා දින දාහතරක් හැකිතාක් දුරස්ථව සිටිය යුතුයි. රටේ විද්‍යාගාර පහසුකම් සහ තවත් ප‍්‍රායෝගික ගැටලූ තියෙනවා. ඒ නිසා පී.සී.ආර්. කරන්න උත්සාහ කරනවාට වඩා සුදුසු ම දේ තමන් දින දාහතරක් නිරෝධායනය වීමයි. රෝග ලක්ෂණ තියෙනවා නම් හැම විටම හිතන්න ඕනේ තමන් කොවිඞ් රෝගියෙක් කියලා. එතකොට තමයි තමන්ගෙන් අනිත් කෙනාට රෝගය බෝවීම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ජූලි මාසේ චක‍්‍රලේඛවලට දැන් වැඩ කරන්න බැහැ. මොකද ඩෙල්ටා ප‍්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙනවා. ඩෙල්ටා රෝගියෙක්ගේ රෝග ලක්ෂණ පෙන්නන්න කලින් එහෙම නැත්නම් රෝග ලක්ෂණ නොපෙන්වාම රෝග වාහකයෙක් බවට පත්වෙනවා. ඒ නිසා සෑමවිට ම රෝග වාහකයෙක් නොවී ඉන්න වගබලාගත යුතුයි.”

ප‍්‍රශ්නය -එන්නත්වල තිබෙන ප‍්‍රතිශක්තිකරණ ගුණය සම්බන්ධයෙන් ඔබ පරීක්‍ෂණ සිදුකර තිබෙනවා නේද….?

පිළිතුර – ඔව්. ප‍්‍රතිශක්තිකරණය ගුණනය වන ආකාරය ගැන අපි පරීක්ෂණ සිදු කළා. මොඩර්නා (Moderna) එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීමෙන් සති දෙකකට පසුව පරීක්‍ෂා කිරීමේදී පැහැදිලිව පෙනුනේ ශරීරයේ ප‍්‍රතිදේහ ගුණය 90% කට වඩා වැඩි බවයි. ඇස්ට‍්‍රාසෙනිකා (Astrazeneca දෙවන මාත‍්‍රාව ලබා සති 16කින් සැලකිය යුතු ප‍්‍රතිදේහ ප‍්‍රමාණයක් තිබුණා. නමුත් කාර්යක්ෂම ප‍්‍රතිදේහවල යම් අඩු වීමක් සිද්ධවී තිබුණා. එසේ වුණත් මතක ෙසෙල එහෙම නැත්නම් ප‍්‍රතිදේහ හදන ෙසෙල සහ වෛරසය මරා දැමිය හැකි ෙසෙල හොඳ තත්ත්වයෙන් තිබුණා. ස්පුට්නික් ෆයිව් (Sputnik-v) එක් මාත‍්‍රාවකින් 90%ක් ප‍්‍රතිදේහ ගුණය වැඩි වෙනවා. නමුත් ඩෙල්ටා ප‍්‍රභේදය ප‍්‍රබල නිසා නියම ආරක්ෂාවක් ලැබෙන්න නම් දෙවන මාත‍්‍රාවත් ගත යුතුයි. ෆයිසර් එන්නත හැර අනෙකුත් එන්නත්වල ප‍්‍රතිදේහ ප‍්‍රතිශක්ති ගුණනය සම්බන්ධයෙන් අපි පරීක්‍ෂණ කළා. සිනොෆාම් (Sinopharm එන්නත මාත‍්‍රා දෙකක් ලබාගෙන සති දෙකක් අවසන් වීමෙන් ප‍්‍රතිශක්තිය ගොඩ නැගෙනවා. දැනට තියෙන මූලික වාර්තා අනුව ශරීරයේ නියම ආරක්ෂාව උදෙසා මේ සෑම එන්නතක්ම මාත‍්‍රා දෙක ම ලබා ගත යුතුයි.”

ප‍්‍රශ්නය – පාසල් විවෘත කිරීම සහ කොවිඞ්-19 රෝගයෙන් දරුවන් රැුකගැනීමේ හැකියාව කෙබඳු ද…?

පිළිතුර – සමහර දරුවන්ට ස්වභාවිකවම වෛරසයෙන් ආරක්ෂා විය හැකි ප‍්‍රතිදේහ ශක්තියක් තිබෙනවා. ඇතැම් දරුවන්ට දැනටමත් රෝගය වැළඳීමෙන් ප‍්‍රතිදේහ ශක්තිය ඇතිවී තිබෙනවා. මේ දෙආකාරයම සම්බන්ධයෙන් අපි පර්යේෂණ කඩිනමින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැඩිහිටියන් නිසි ආකාරයෙන් එන්නත් කර ගත්තාමත් එයින් දරුවන්ට රෝගය බෝ වීම නවතිනවා. ඊට අමතරව ෆයිසර් සහ මොඩර්නා එන්නත් වයස අවුරුදු 18ට අඩු දරුවන්ට සුදුසුයි කියලා කැනඩාවේ අනුමැතිය දීලා තියෙනවා. අපි මේ ගැනත් පරීක්‍ෂණ කරගෙන යනවා”

ප‍්‍රශ්නය – ඔබගේ විද්‍යාගාරයේ මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු මේ දිනවල අඛණ්ඩව සිදු වෙනවා ද….?

පිළිතුර – ලෝකයේ තියෙන ඕනෑම පරීක්ෂණයක් කරගෙන යන්න පුළුවන් වෙන විදියට අපේ විද්‍යාගාරය අති නවීන පහසුකම්වලින් සමන්විතයි. නවීන දැනුම සහිත විද්‍යාඥයන් 40ක් පමණ අපට ඉන්නවා. ඔවුන් වෙනත් රැකියා කරන අයයි. මේ පරීක්‍ෂණ කටයුතුවලට ඒ අය සම්බන්ධ වෙන්නේ ස්වෙච්ඡුාවෙනුයි. පහුගිය දිනවල අපේ විද්‍යාගාරය පැය විසිහතර පුරාම වැඩ කළා. දැනටත් බොහෝ දිනවල රෑ දවල් දෙකේ ම අපි දිගටම වැඩ කරනවා.

මමත්, මහාචාර්ය නීලිකා මලවිගේත් එකතු වෙලා 2012 සිට මේ දක්වා වැඩිදියුණු කර ගනිමින් මේ තත්ත්වයට අපේ පර්යේෂණාගාරය පවත්වාගෙන ආවා. මුලදි අපි දෙන්නා අපට පර්යේෂණ කිරීමට ලබා දෙන මුදල් මේ සඳහා වැය කරමින් ටිකෙන් ටික මෙය ගොඩනගා ගත්තා. අපි දෙන්නා 2020 දී ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව අනුව මේ විද්‍යාගාරය අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යා සහ ෙසෙල ජෛව විද්‍යායතනය ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව වෙනම ස්ථාපිත කළා. ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ප‍්‍රතිශක්ති විද්‍යාව හා අණුක විද්‍යාව සම්බන්ධයෙන් වෙනම අංශයක් තියෙන එකම විශ්වවිද්‍යාලය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යි. වෛද්‍ය ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබාදීම තමයි අපි මේ අධ්‍යයන අංශයෙන් සිදු කරන්නේ. නමුත් මේ වෙලාවේ රටේ අවශ්‍යතාවට ප‍්‍රමුඛතාව ලබා දෙමින් අපි හැමෝම එකතු වෙලා කොවිඞ්-19 සම්බන්ධ පර්යේෂණ කටයුතු සාර්ථකව කරගෙන යනවා.”

ප‍්‍රශ්නය – කොවිඞ් වසංගතයෙන් රටේ ජනතාවත් බේරාගෙන…, ආර්ථිකයත් බේරා ගැනීම සඳහා ඔබ යෝජනා කරන්නේ කුමක්ද….?

පිළිතුර – මේ වන විට ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි 48% කටත්, වයස අවුරුදු 30ට වැඩි 60% කටත් එන්නත් කර තිබෙනවා. මේ වයස් කාණ්ඩවල අයට වගේ ම අවුරුදු 18ට අඩු අයටත් ප‍්‍රතිශක්තිය වර්ධනය වීම ස්වභාවිකව රෝගය වැළඳීමෙනුත් ඇති වෙනවා.

එන්නත්කරණයත්, ස්වභාවිකව ඇතිවන ප‍්‍රතිශක්තියත්, නිසි සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කිරීමත් නිසි ආකාරයෙන් සිදුවීම වගේම දරුණු තත්ත්වයේ වෙනත් නව ප‍්‍රභේද ඇති නොවුණොත් සැප්තැම්බර් අග වන විට සැලකිය යුතු ප‍්‍රමාණයකින් රෝගීන් අඩු විය හැකියි. රෝගීන් අඩු වීමෙන් එතැන් සිට සති දෙකකට පසුව මරණ සංඛ්‍යාව අඩු වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ ම සැප්තැම්බර් 10 වැනිදා වන විට වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 100%කට එන්නත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරගෙන යනවා. ඒ අනුව එම පිරිසටත් සැප්තැම්බර් 10 වැනිදා සිට සති දෙකකින් ඒ කියන්නේ සැප්තැම්බර් 25 වන විට නිවැරදි විදියට ප‍්‍රතිශක්තිය ලැබෙනවා. ඒ අනුව බැලූවාම ඔක්තෝබර් මාසයේ අන්තිම වෙද්දි සැලකිය යුතු හොඳ මට්ටමක් රටේ ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මහජනතාවගේ පැත්තෙනුත් විශාල සහායක්, උනන්දුවක්, ආරක්ෂණයක් තිබිය යුතුයි. හැමෝම තමන්ට ආදරයෙන් රෝගයෙන් ආරක්ෂා වෙලා ඉන්නවා නම් ඉක්මනින් රට විවෘත කරලා, රටේ ආර්ථිකය ගොඩනගා ගත හැකි වෙනවා.”

සාකච්ඡා කළේ
තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment