එක් තීරයක් එක් මාවතක් සමග චින සිනොපෙක් පිරිපහදුව

996

2019 ජූලි මාසයේදී, සිනොපෙක් සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමග බංකර සේවා සහ ඔවුන්ගේ තෙල් ටැංකි පර්යන්තය ක්‍රියාත්මක කිරීම සහ ඒ ආශ්‍රිත පහසුකම් සමඟ නඩත්තු කිරීම සඳහා ගිවිසුම්ගත විය. ඒ හරහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට දිනපතා ගමන් කරන සියලුම යාත්‍රා සඳහා සේවා සැපයීමට හැකිවිය. හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම හරහා අනාගතයේදී ශ්‍රී ලංකාවට බලශක්ති සුරක්ෂිතභාවය සහ සැපයුම් ස්ථාවරත්වය සැපයීම වෙනුවෙන් වඩා යහපත් තත්ත්වයක් ඇතිවේ.

සිංගප්පූරුවේ පිහිටි සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් නම් ඉන්දියානු පවුලකට අයත් සමාගමක් හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීම සඳහා සූදානම් වූයේ 2019 වසරේදීය. ඩොලර් බිලියන 3.85 ක ආයෝජනයක් වූ එම ව්‍යාපෘතිය මීට වසර හතරකට පෙර ලංකා රජය විසින් අනුමත කර තිබුණද එහි ඉදිකිරීම් ආරම්භ වූයේ නැත. පිරිපහදුව මාස 44 කින් ඉදිකර අවසන් කිරීමට නියමිත වුවත් එය යථාර්ථයක් වූයේ නැත. එවක ආණ්ඩුව පැවසුවේ මෙය ලංකාවේ ලොකුම ආයෝජනය වන බවයි. 2019 මාර්තු මාසයේ මිරිජ්ජවිලදී මේ පිරිපහදුව ඉදිකිරීම වෙනුවෙන් උත්සවයක් ද පැවැත්විණි. පසුව මේ ආයෝජනය ගැන නොයකුත් ආන්දෝලනාත්මක පුවත්ද පලවිය. එහෙත් මුල්ගල් තැබීමේ උත්සවයට පමණක් සීමා විය. කොළඹ වරාය නගරයෙහි ඉදිකිරීම් කටයුතු 2014 වසරේ දී ආරම්භ කෙරුණු අවස්ථාවේ ප්‍රකාශ කෙරුණේ එය ලංකාවේ ලොකුම ආයෝජනය ලෙසයි. එහි මූලික ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් විය. නමුත් එය ඇත්තෙන්ම සමස්ත ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක් වන නවතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි.

එක් තීරයක් එක් මාවතක් සමග චින සිනොපෙක් පිරිපහදුව

චීනයේ රජය සතු තෙල් හා ගෑස් දැවැන්තයා වන චයිනා පෙට්‍රොකෙමිකල් කෝපරේෂන් හෙවත් සිනොපෙක්, හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 4 වැයකර සිදු කරන ආයෝජනයට පසුගිය නොවැම්බර් 27 වැනිදා කැබිනට් අනුමැතිය ප්‍රදානය කරනු ලැබිණි. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජනය සනිටුහන් කරයි. සිනොපෙක් යනු ලොව පුරා ව්‍යාපාරික කටයුතුවල යෙදෙන යුවාන් බිලියන 326.5 ක ප්‍රාග්ධනයක් ඇති ඛනිජ තෙල් සමාගමකි. ප්‍රධාන වශයෙන් තෙල් සහ ගෑස් ගවේෂණය සහ නිෂ්පාදනය, තෙල් පිරිපහදු කිරීම, තෙල් අලෙවිය සහ රසායනික ද්‍රව්‍ය අලෙවි කරන සිනොපෙක් යනු චීනයේ දෙවන විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයායි. එසේම ලොව තුන්වන විශාලතම රසායනික සමාගම වේ. ඔවුන් සතු මුළු ඉන්ධන පිරවුම්හල් ගණන ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇත. සිනොපෙක් පසුගිය වසරේ Fortune හි Global 500 ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්විය. 2022 අවසානය වන විට, සිනොපෙක් රටවල් 23 ක තෙල් හා ගෑස් ගවේෂණ හා සංවර්ධන ව්‍යාපෘති 44 ක් සඳහා ආයෝජනය කර ඇති අතර රටවල් පහක පිරිපහදු සහ ගබඩා ව්‍යාපෘති අටක ආයෝජනය කර ඇති අතර එහි මුළු ආයෝජනය දළ වශයෙන් ඩොලර් බිලියන 12 කි.

ඇත්තෙන්ම ඉරානය විසින් ශ්‍රී ලංකාවේ දැනට ඇති එකම පිරිපහදුව 1969 දී සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකර ඇති අතර එමඟින් දිනකට තෙල් බැරල් 38,000ක් පිරිපහදු කළ හැකිය. මෙරටට තවත් පිරිපහදුවක අවශ්‍යතාවය දැනී තිබුණේ දශක ගණනාවක සිට බව රහසක් නොවේ. මේ චීන ආයෝජනය ඉන්දියාව කලබලයට පත්කරන නමුත් මේ අර්බුද හමුවේ සිනොපෙක් පිරිපහදුව රටට වඩාත් අත්‍යවශ්‍ය ආයෝජනයක් බව සටහන් කළ යුතුය. දේශීය වශයෙන් තෙල් නිෂ්පාදනය නොකරන ශ්‍රී ලංකාව ඛනිජ අවශ්‍යතා සම්පූර්ණයෙන් ආනයනය කරන නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ පහළ යෑමේ අරබුදයට ගොදුරුවේ. අඩුවන විට යහපත් වුවත් ඉහළ යනවිට අර්බුදයට පත්වන්නේ රට කරවන ආණ්ඩුවයි. පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදය නිසා ඇතිවූ විදේශ විනිමය සංචිත හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය වසරේ ඉන්ධන ආනයනයට ඩොලර් නැති විය. ඒ හරහා සමාජ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. ශ්‍රී ලංකාවට දිනකට තෙල් නිෂ්පාදන බැරල් 110,000 ක් අවශ්‍ය වන නමුත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දිනකට නිෂ්පාදනය කරන්නේ බැරල් 38,000 ක් පමණ වේ. ඉතිරි අවශ්‍යතාවය පිරිපහදු කළ නිෂ්පාදන ලෙස සෘජුවම ආනයනය කෙරේ. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බොරතෙල් ආනයනය මත යැපෙන අතර එය මෙරට විදේශ විනිමය සංචිත මත තවදුරටත් පීඩනයක් ඇති කරයි.

2019 ජූලි මාසයේදී, සිනොපෙක් සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමග බංකර සේවා සහ ඔවුන්ගේ තෙල් ටැංකි පර්යන්තය ක්‍රියාත්මක කිරීම සහ ඒ ආශ්‍රිත පහසුකම් සමඟ නඩත්තු කිරීම සඳහා ගිවිසුම්ගත විය. ඒ හරහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට දිනපතා ගමන් කරන සියලුම යාත්‍රා සඳහා සේවා සැපයීමට හැකිවිය. කවරක් නමුත් හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම හරහා අනාගතයේදී ශ්‍රී ලංකාවට බලශක්ති සුරක්ෂිතභාවය සහ සැපයුම් ස්ථාවරත්වය සැපයීම වෙනුවෙන් වඩා යහපත් තත්ත්වයක් ඇතිවේ. හම්බන්තොට වරාය ප්‍රධාන ජාත්‍යන්තර නැගෙනහිර – බටහිර නැව් මාර්ගයට නාවික සැතපුම් 10 ක් දුරින් සහ සූවස් ඇළ සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර පිහිටා ඇත. හම්බන්තොට වරාය ද දකුණු ආසියාවේ සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර දොරටුවේ උපායමාර්ගික ස්ථානයක හොඳින් ස්ථානගත වී ඇත. සාමාන්‍යයෙන්, දිනකට නැව් 300ක් පමණ මෙම මාර්ගය හරහා ගමන් කරන අතර ඉන්ධන පිරවීම, කාර්ය මණ්ඩලය වෙනස් කිරීම, නඩත්තු කිරීම, සැපයුම් සහ ප්‍රතිපාදන සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා හොඳ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරයි. ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම සමුද්‍ර සේද මාවතේ වැදගත් නැවතුමකි. ඉන්දියන් සාගරයේ භූගෝලීය වශයෙන් අද්විතීය පිහිටීමත් සමඟ ශ්‍රී ලංකාව, චීනයේ ‘එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ ප්‍රධාන කොටසක් ඉටු කරයි. හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ යටතේ දෙරටේ සහයෝගිතාවයේ ප්‍රමුඛතම ව්‍යාපෘති දෙකක් බව අමුතුවෙන් කිවයුතු නැත.

චීනය ලොව සෙසු රටවල් සමග සම්බන්ධ කරමින් නව වෙළෙඳ මාර්ග දෙකක් ස්ථාපනය කිරීමේ අරමුණ පෙරදැරිකර ගත් සැලැස්මක් වන ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ’ දසවන සංවත්සරය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සමරනු ලැබූ අතර ඒ වෙනුවෙන් ලෝක නායකයන් සහ රටවල් 130ක නියෝජිතයෝ එරට වෙත පැමිණ තිබිණි. පසුගිය දශකය තුළ, ලෝක ජනගහණයෙන් හතරෙන් තුනක් ආවරණය වන පරිදි රටවල් 150ක් මෙම ක්‍රියාන්විතයට සම්බන්ධ විය. එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලෝරන්ස් සී රියර්ඩන් පවසන්නේ, 1980 ගණන්වල සිට චීනය ජාත්‍යන්තර ආර්ථික කටයුතු වඩාත් කේන්ද්‍රකර ගත් සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් රැස්කර ගත් ඩොලර් ටි්‍රලියන තුනක විදේශ විනිමය සංචිත මඟින් මෙම ක්‍රියාන්විතය සඳහා අරමුදල් සපයනු ලබන බවය. 2012 වසරේ දී බලයට පත් වූ දා සිට, ජනාධිපති ෂී ජින්පින්ග් චීන නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම සහ රටට ගෝලීය වශයෙන් ඇති බලය ඉහළ නැංවීම සඳහා ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය’ ප්‍රවර්ධනය කර තිබේ. එහෙත් මේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට ඇමෙරිකාව හා ඉන්දියාව කොහෙත්ම අකමැතිය. දිල්ලි ආණ්ඩුව චීන සමාගම් විසින් ලංකාවේ කෙරෙන ආයෝජන ගැන වඩා උන්නදුවෙන් සිටින්නේ මේ නිසාය. ඇත්තෙන්ම ඉන්දීය ආණ්ඩුව වරාය නගර ව්‍යාපෘතියට පවා අකමැතිය. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු වරාය නගරයේ ඉදිකිරීම් මාස කිහිපයක් නතර වූයේද ඉන්දීය බලපෑම නිසාය. එසේම සිනොපෙක් ආයෝජනය පිළිබඳවද අසල්වැසි භාරත මාතාව වඩා උනන්දුවෙන් පසුවේ. උතුරේ චීන ආයෝජනවලට ඉන්දියාව විරෝධය පල කිරීම නිසා චීන සමාගම් එම ව්‍යාපෘති අත්හැර දැමූ අතර එයින් පසු ඒවා අදානි සමාගම වෙත පැවරිණි.

මීට වසර කිහිපයකට පෙර හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චීනයට පැවරීම ගැන ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවද කොහෙත්ම සතුටු වූයේ නැත. දැන් කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා අදානි සමාගම සමග එක්ව ඇමෙරිකාව ආයෝජනය කරන්නේ චීන බලපෑම අඩු කිරීම සඳහාය. කවුරු හෝ පැමිණ මෙරට ආයෝජනය කිරීම ලංකා ආණ්ඩුවට ප්‍රශ්නයක් නම් නොවේ. ගැටුම් අපට සමනය කරන්නට අපට බැරිය. 2018 ජුනි 26 වෙනි දින නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ විශේෂ ගවේෂණ වාර්තාවක 2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට චීනය මූල්‍යාධාර ලබාදුන් බවට චෝදනා කර තිබිණ. එසේම එම ලිපියේ සඳහන්වූ බරපතළම චෝදනාවක් වූයේ චීනය ශ්‍රී ලංකාව ණය උගුලක හිරකරගෙන හම්බන්තොට වරාය අත්පත් කරගත් බවය. මේ චෝදනා එල්ල කෙරුනේද චීන විරෝධය නිසාමය. එහෙත් එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය ගැන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් චීනය කිසි ලෙසකින් ශ්‍රී ලංකා රජයට “පීඩාවක්” එල්ල නොකළ බවයි. දැන් සිනොපෙක් ආයෝජන ගැනද ඇමෙරිකාව වඩා උන්නදුවෙන් බලා සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් කවර හෝ ආයෝජනයක් හේතුවෙන් ලංකාවට යහපතක් වන්නේ නම් ඩොලර් හිඟයට පිළියම් සැපයෙන්නේ නම් අප එයට සතුටුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment