එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට එම ඉනිම පිළිබඳව ජගත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මෙන්ම වත්මන් ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් සුභපැතුම් එක්කර සිටියහ.
එම සුබපැතුම් එක්කළ ක්‍රීඩකයන් අතර පැතුම්ට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු ලබා ගෙන සිටි වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සහ උසස් කාර්ය මධ්‍යස්ථානයේ ප්‍රධානි සනත් ජයසූරිය ද වෙයි.
එම තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට නරඹමින් පැතුම් වෙනුවෙන් එදින ප්‍රේක්ෂකාගාරයේ සිට අත්පොළසන් නැඟූ සනත් ජයසූරිය සිය සුභපැතුම් පණිවිඩයේ දක්වා ඇත්තේ එම ඉනිම සජීවීව නැරඹීමට හැකි වීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් පැතුම්ට තම හදවතින්ම සුබපතන බවත් සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාරද පැතුම් වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ශිකර් ධවාන් ද පැතුම්ට සුබපැතුම් එක් කළ විදෙස් ක්‍රීඩකයෝ අතර වෙති.
හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ ක්‍රීඩා විස්තර විචාරක රසල් ආනල්ඩ් ද එසේ සුබපැතුම් එක්කර තිබේ.
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගයේ දී ලකුණු 210 ක් වාර්තා කළ පැතුම් ගේ එම ඉනිම එක්දින තරගයකදී පිතිකරුවකු වාර්තා කළ 5 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් විය.
ඔහුට වඩා එක්දින තරගයකදී ලකුණු වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ රෝහිත් ෂර්මා, නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල්, ඉන්දියාවේ විරේන්ද්‍ර ෂෙවාග් හා කොදෙව් දූපත්හි ක්‍රිස් ගේල් යන ක්‍රීඩකයෝ වෙති.
එමෙන්ම පකිස්ථානයේ ෆකාර් සමාන් හා ඉන්දියාවේ ඉෂාන් කිෂන් ද මීට පෙර ලකුණු 210 බැගින් ලබා තිබුණි.
එසේම පන්දු 136 කදී වාර්තා වූ එම ද්විත්ව ශතකය එක්දින තරගයකදී පිතිකරුවකු වාර්තා කළ තෙවැනි වේගවත්ම ද්විත්ව ශතකය ලෙසද වාර්තා අතරට එක් වූයේය.
කුෂාන් සුබසිංහ