එක ඉලක්කයෙන් දඩයම් දෙකයි… ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු

987

වල්පැළ මර්ධනයටත් උදව්වක්
මුදාහරින සංයෝග නිසා වල්බීජ පැළවීම අඩාලවෙනවා

ආක‍්‍රමණශීලී ශාක ගණනාවකට අපගේ පරිසරය කලක සිට ගොදුරුවී තිබෙනා බව පරිසරය ගැන තරමක හෝ අවබෝධයකින් ජීවත්වෙන කෙනෙකුට මේ වනවිට රහසක් නොවේ. මෙම ශාක ඇතැම්විට මිනිසා විසින්ම විදෙස් රටවල සිට විවිධ අවශ්‍යතා සඳහා රැගෙනවිත් තිබෙන ඒවාය. නොසැලකිලිමත් ලෙස පරිසරයට මුදාහැරීම හෝ අත්වැරදීමකින් පරිසරයට එකතුවීම වැනි කරුණු ඔස්සේ නිදහස ලැබූ මෙම ශාක, තම වර්ගයාගේ පැවැත්මට ඉතා සුදුසු වටාපිටාවක් හා මුසුවීම හේතුවෙන් ඉතා වේගයෙන් මෙරට භූමිය තුළ පැතිරගොස් තිබේ. ඒවාහි වර්ධන වේගය හා තරග කරන්නට අනෙකුත් පැළෑටි පෙන්වන අසමත්කම නිසාම ඔවුන් පත්වී ඇත්තේ ආක‍්‍රමණශීලී ශාක බවටය. ජලජ පරිසරයන්හි අපට දකින්නට ලැබෙන ජපන් ජබර, සැල්වීනියා ආදියත් භෞමිකව වෙසෙන අත්තන, ගඳපාන, වල්සූරියකාන්ත, වතුපාළු, යෝධ නිදිකුම්බා, පාතීනියම් වැනි ශාක විශේෂත් මෙයට උදාහරණ කීපයක් පමණි.

එක ඉලක්කයෙන් දඩයම් දෙකයි... ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු
වල්පැළෑටි විශේෂඥ ආර්. එම්. යූ. එස්. බණ්ඩාර මහතා

අවට වෙසෙනා වෙනත් පැළෑටිවලට තරගයක් දෙමින් තම ජයග‍්‍රහණයේ ඉලක්කයන් ළඟා කරගන්නට මෙම ශාකයන් සතුව සැඟවුණු අවියක්ද තිබෙන්නේය. ඔවුන් දරනා ‘ඇලිලොරසායන ද්‍රව්‍ය’ (Allelochemicals) යනුවෙන් විද්‍යාවේදී හඳුන්වන සංයෝග පන්තිය මෙම සැඟවුණු යුද ශක්තිය වේ. පිටතට මුදාහරින මෙම සංයෝග මගින් අවට ඇති බීජ ප‍්‍රරෝහණය අඩපණ කරන්නේය. ශාක වර්ධන වේගයට බාධා කරන්නේය. කෙසේ නමුත් ඇලිලොරසායන ද්‍රව්‍යයන් අවට ශාක වර්ධනයට හැම විටෙකදීම එරෙහිවන බව පැවසීමද සාධාරණ නොවේ. ඇතැම්විට ඒ මගින් ශාක වර්ධනය උත්තේජනය කරන අවස්ථාද තිබිය හැකිය. වගා භූමියන්හි වල්පැළ මර්දනය උදෙසා ඇලිලොරසායනයන් කෙසේ යොදා ගතහැකිදැයි සොයාබැලීමට නවීන විද්‍යාව මේ වනවිට පර්යේෂණ ගණනාවක් පවත්වා තිබෙන අතර, රසායනික වල්නාශක වලින් තොරව කෙරෙන කාබනික ගොවිතැන වැනි අංශයන් උදෙසා එම අවබෝධය හරහා ලැබී ඇත්තේ ආකර්ෂණීය දිරිගැන්වීමකි.

එක ඉලක්කයෙන් දඩයම් දෙකයි... ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු

”අප අවට පරිසරයේ ආක‍්‍රමණ ශාක ගණනාවක් තියෙනවා. ඒවා යොදාගෙන කාබනික පොහොර සෑදුවහොත්, එක පැත්තකින් ඒ ශාක මගින් වගා බිම්වලට සිදුවෙන හානිය අවම කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් එම ශාක මගින් පොහොරවලට එකතුකරන ඇලිලොරසායන ද්‍රව්‍ය නිසා භූමියේ වල්පැළ මතුවීම අඩුවෙන්න පුළුවන්. රසායනික වල්නාශක භාවිත නොකෙරෙන පසුබිමකදී මෙම වාසිය ඉතා වටිනවා.”

එක ඉලක්කයෙන් දඩයම් දෙකයි... ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු

එසේ පවසන්නේ බතලගොඩ වී පර්යේෂණායතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, වල්පැළෑටි විශේෂඥ ආර්. එම්. යූ. එස්. බණ්ඩාර මහතායි. මෙවැනි ඇතැම් ශාක අපගේ වගාබිම් පමණක් නොව පැළයක් වැවෙන්නට නිදහසක් තිබෙන නාගරික පරිසරයන් පවා ආක‍්‍රමණය කරනුයේ ඉතාමත් වේගවත්වය. ඒවා වඳ කිරීමට දැරියයුතු ශ‍්‍රමය හා ධනයද සුළුපටු නොවේ. කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ සංරචකයක් වශයෙන් මෙවැනි ශාක යොදාගැනීමේදී ඔවුන් සතු ඉහත කී ඇලිලොරසායන ද්‍රව්‍යයන් කාබනික පොහොර මිශ‍්‍රණය තුළටද කාන්දු වන්නේය. වගාබිමට මේවා මිශ‍්‍ර කළවිට එහි බලපෑම කලින්ම දැනෙන්නේ බෝගය හා තරග කරන්නට ආරම්භයේ සිටම ඉදිරිපත්වෙන වල්පැළ වලටයි. ඇලිලොරසායන ද්‍රව්‍ය නිසා මේවාහි බීජ ප‍්‍රරෝහනය නිසිපරිදි කාර්යක්ෂමව සිදු නොවේ. මේ හේතුවෙන් පෝෂක, ජලය හිරුඑළිය වැනි බාහිර සම්පත් කෙරෙහි ඇතිවන අඩු තරගකාරීත්වයේ වාසිය උකහා ගන්නේ ගොවියාගේ බෝගයයි.

එක ඉලක්කයෙන් දඩයම් දෙකයි... ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු

”මෙතැනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇලිලොරසායන ද්‍රව්‍යවල බලපෑම බෝග ශාකයට දැනෙන්නේ නැත්තේ ඇයි කියලා. මෙම රසායනික සංයෝග ඉතාමත් අස්ථායි ඒවා. වැඩිකලක් පසේ තිබෙන්නේ නෑ. ඉක්මනින් වියෝජනය වෙනවා. ඒ නිසා ආරම්භයේදී වල්පැළ බීජ ප‍්‍රරෝහණය අවහිර කරලා, පසුව ඉවත්වෙලා යනවා. බෝගයේ පසු අවධියට මේ නිසා බලපෑම අවමයි.”

කරුණු අවබෝධ කරගන්නා බුද්ධිමත් ගොවියා වෙතින් ප‍්‍රශ්නය මතුවන්නට පෙර බණ්ඩාර මහතා පිළිතුරු ඉදිරිපත් කෙරුවේ එලෙසින්ය. අප මීට පෙර දිනයකදී ඉදිරිපත් කළ ලිපියකින් පවසා සිටියේ එළවළු වගාවේ අවසන් අස්වැන්න කෙරෙහි වඩාත්ම බලපෑමක් ඇතිකරනු ලබන්නේ පළමු මාසය තුළදී බෝගය සමග තරග කරන වල්පැළ මගින් බව කියවෙන තොරතුරකි. එසේනම් කාබනික පොහොර හා තැවරී වගාබිමට මුසුවෙන ඇලිලොරසායන ද්‍රව්‍යයන්, අවට වල්පැළ මර්දනය කරමින් බෝග ශාකයන්ගේ ආරම්භක හුස්ම පොදට ලබාදෙන ජවය පිළිබඳ තවත් සැකසංකා තබාගතයුතු නොවේ. මෙය එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු හෙලාගන්නා වැනි තත්ත්වයකි. මේ මොහොතේ ජනතාවට වැඩි වැඩියෙන් කාබනික පොහොර වුවමනාය. බෝග අවශේෂයන්, සත්ව බැහැරුම් මේ මෙහෙයුමේ පංගුකාරයන් වනවා සේම සමාජයටම කරදරයක් වී ඇති ආක‍්‍රමණශීලී වෘක්ෂලතාදියද මේ සඳහා හවුල් කරගත හැකිය. ඒ හරහා ආක‍්‍රමණශීලීන්ද යම් පාලනයකට නතුවීම අනිවාර්යෙන්ම සිදුවේ. පිරිසිදු වන්නේ අපගේ පරිසරයයි. ඔවුන් හරහා නිපදවී කාබනික පොහොර තුළට එකතුවෙන ඇලිලොරසායන සංයෝගයන් හරහා මර්දනය වන්නේ වගාබිමෙහි උපදින්නට සැරසෙන වල්ගහනයයි.

එක ඉලක්කයෙන් දඩයම් දෙකයි... ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු

කෙසේ වෙතත් ජපන්ජබර වැනි ආක‍්‍රමණශීලී වල්පැළ සම්බන්ධයෙන්ද යමක් පැවසිය යුතුවේ. අපිරිසිදු ජල නිකේතනයන්හි වැවෙන ජපන්ජබර ශාක මගින් පරිසරයේ තිබෙන බැරලෝහ ඉතා සරුලෙස අවශෝෂණය කරගෙන තම දේහය තුළ ගබඩා කරගන්නේය. බැරලෝහ උරාගන්නා ශාක ලැයිස්තුවේ ජපන්ජබර වලට තිබෙන්නේ ඉහළම තැනක් බව අප අමතක කළයුතු නොවේ. එසේනම් ඇලිලොරසායන සංයෝග කෙසේ වෙතත් ජපන්ජබර යොදා කාබනික පොහොර සාදනවිට අප නොදැනුවත්වම බැරලෝහ මගින්ද අදාළ පොහොර තොගය සරු වන්නේය. එය අවසානයේ නවතිනු ඇත්තේ ගොවියාගේ වගාබිම කෙලෙසා දමමිනි. සමාජයේ යම්කිසි කතිකාවක් රසායනික පොහොර වලට එරෙහිව ගොඩනැගීමට හේතුවූයේද මෙම බැරලෝහයන්ගේ ආගමනයයි. මේ නිසා අප සැලකිලිමත්විය යුතුවේ. එහි පළමු පියවර විය යුත්තේ අපවිත‍්‍ර ජලාශයන්හි වැවෙන ජලශාක කාබනික පොහොර නිෂ්පාදනය සඳහා භාවිත නොකර සිටීමය. දෙවන පියවර විය යුත්තේ කාබනික පොහොර නිෂ්පාදනය මුළුමනින්ම ජලශාක පාදකව සිදු නොකිරීමට වගබලා ගැනීමය. ලාංකික විද්වතුන් විසින් සිදුකර ඇති පර්යේෂණ මගින් පවා පෙන්වාදී ඇත්තේ කාබනික පොහොර වයනය හා සංයුතිය ඉහළ තත්ත්වයකට පවත්වා ගැනීමට නම්, අමුද්‍රව්‍ය වර්ග කීපයක මිශ‍්‍රණයක් භාවිත කරමින් මෙය නිපදවිය යුතු බවයි.

එක ඉලක්කයෙන් දඩයම් දෙකයි... ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු

”මෙම ජලජ ශාක පොහොරක් හැටියට වී වගාවට යොදනවානම් කොළ පොහොරකට වඩා, කොම්පෝස්ට් ආකාරයෙන් යොදනවානම් තමයි මම කැමති. මොකද කියනවානම්, කොළ පොහොර ලෙස දමනවිට ඒවායේ ප‍්‍රරෝහ ඉතුරුවෙලා කුඹුර තුළ බෝවෙලා නැති කරදරයක් වුණත් මතුවෙන්න පුළුවන්. කොම්පෝස්ට් කරන්න බැරිනම් අඩු තරමින් ජලාශවලින් මෙම ශාක මල් පිපෙන්න කලින් එකතු කරගෙන, මූලික බිම් සැකසීම තුළදීම කුඹුරට දාලා පස තුළ ගිල්වා දිරායෑමට සැලැස්විය යුතු වෙනවා.”

එක ඉලක්කයෙන් දඩයම් දෙකයි... ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු
එක ඉලක්කයෙන් දඩයම් දෙකයි... ආක‍්‍රමණශීලී ශාකවලින් කාබනික පොහොර හදමු

ආර්. එම්. යූ. එස්. බණ්ඩාර මහතා තම විස්තරය එලෙස අවසන් කරනු ලැබුවේ වී ගොවියා විසින් සිහි තබාගත යුතු තවත් වැදගත් කරුණක් වෙත අවධානය යොමු කරමින්ය.

සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment