එක තැන පල්වෙන සෞඛ්‍ය සේවාවට තාක්‍ෂණය මුසුකර නව මඟකට යොමුකළ යුතුයි – විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

42

වසර තිහක් එක තැන පල්වෙමින් පවතින මෙරට සෞඛ්‍ය පද්ධතිය නූතන තාක්‍ෂණය සමග අනුගතකර, සෞඛ්‍ය රක්‍ෂණ හා සංචාරක වෛද්‍ය කර්මාන්තය ආදී නවාංග ද එකතු කර, නව මඟකට යොමු කළයුතු බව විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කළේය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ ‘හෙල්ත් 2030’ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්මන්ත්‍රණය පෙරේදා (04දා) අමතමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය. විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ සංකල්පයක් අනුව පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සඳහා පක්‍ෂ, විපක්‍ෂ දේශපාලකයන් හා සෞඛ්‍ය සේවයේ වෘත්තීයවේදීන් රැසක් එක්ව සිටියහ.

නිදහස් සෞඛ්‍ය ආරක්‍ෂා කර ගනිමින්, සෞඛ්‍ය ජාතික සංවර්ධනයට ආයෝජනයක් ලෙස භාවිත කළ හැකි ආකාරය සහ දළ දේශීය නිෂ්පාදනයට සෞඛ්‍ය පද්ධතිය හරහා ආදායම් ලබාගැනීමට නව උපායන් අනුගමනය කළ හැකි ආකාරයන් පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡාවට ගැනිණ.

මෙහිදී අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය ඇමැති, රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියේ මෙරට සෞඛ්‍ය සඳහා වෙන්කෙරෙන මුදල් දූෂණ, වංචා, අක්‍රමිකතාවලින් තොරව යොදාගත හැකි නම් ඉන් විශාල ප්‍රතිලාභ ජනතාවට ලබාදිය හැකි බවයි.

මෙරට සෞඛ්‍යය මහජන විශ්වාසය ගොඩනැඟෙන ලෙස වෙනස් කිරීම සඳහා නව අදහස් රැසක් අවශ්‍ය බවත්, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළයුතු බවත් මෙම සම්මන්ත්‍රණය අමතමින් විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා ප්‍රකාශ කළේය. ඖෂධ නියාමන අධිකාරියේ පැවැති අඩුපාඩු සම්පූර්ණ කරමින් නව මානයන් රැසක් ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ එම අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය, සවින් සේමගේ මහතා පැවසීය.

රටට ගැළපෙන ආකාරයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ස්ථාපිත කළයුතු බව හා ඒ හරහා විදේශ ආයෝජන ලබාගැනීමට ක්‍රියාකළයුතු බව විශේෂඥ වෛද්‍ය, කිත්සිරි එදිරිසිංහ මහතා මෙම සම්මන්ත්‍රණය අමතමින් ප්‍රකාශ කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment