එක පහනක්වත් දල්වමු

836

තවදුරටත් භාණ්ඩ මිල ඉහළ යෑමක් ගැන හා සලාක ක‍්‍රමයට භාණ්ඩ බෙදාහැරීමක් පිළිබඳව අනතුරු හැඟවී ඇත. ඩොලර් හිඟය හේතුවෙන් භාණ්ඩ ආනයනයට සීමා පැමිණවීම නිසා මේ තත්ත්වය උදාවනු ඇති අතර, තවත් සති කිහිපයක් තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මෙසේ ඉහළ යනු ඇති බව හා හිඟයක් මතු කෙරෙනු ඇති බව කියනු ලැබේ.

 එසේ හෙයින් සහල්, පරිප්පු, ලොකු ලූනු, සුදු ලූනු යනාදී වශයෙන් අත්‍යවශ්‍ය (ආහාර) ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් ආහාර සම්බන්ධයෙන් බරපතළ සමාජ අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ තිබේ. එම තත්ත්වයෙන් රට ඉක්මනින් ගලවා ගත නොහැකි බවත්, මේ ආර්ථික අර්බුදය තරමක කාලයක් ඇදි ඇදී පවතින බවටත් අනාවැකි පළවී ඇත. මේ අප මුහුණ දෙමින් සිටින්නේ ඒ අර්බුදයේ ප‍්‍රාථමික අවධියට ය.

 මේ ප‍්‍රාථමික අවධිය වුව ජන සමාජයට දරාගන්නට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන්නේ ගෑස්, ඉන්ධන යනාදී අනෙකුත් යටිතල පහසුකම් ද විශාල ලෙස මේ දිනවල අර්බුදයට ලක්ව ඇති නිසාය. ඉන්ධන මිල ඉහළ යෑම නිසා හෙට අනිද්දා වන විට තවදුරටත් අත්‍යවශ්‍ය දෑ වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. දැනටමත් පාන් ගෙඩියක් රුපියල් 90 පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර, බස් රථ ගාස්තු, ත‍්‍රී රෝද ගාස්තු ඉහළ නංවා ඇත. බේකරි කෑම, මිල පාලනයෙන් ඉවත් කරන ලෙස බේකරි හිමියන් ඉල්ලා ඇත. ඒ අතර කැපී පෙනෙන දේ වන්නේ එළවළු මිල අහස උසට නැගීමය.

 මේ වන විට වට්ටක්කා හැරෙන්නට අනෙකුත් සෑම සියලූ එළවළුවක්ම පාහේ කිලෝවක් රුපියල් 500 න් එහා ගොස් ඇති අතර, ජනවාරි මාසයේදී උඩරට එළවළු සැපයුම කඩා වැටීමට ලක්වනු ඇති බවට ද ගොවීහු අනතුරු හඟවති. ඊට හේතුව ලෙස අපි දකින්නේ රසායනික පොහොර ආනයනයට රජය මගින් වාරණ පැනවීම නිසා ගොවීන් බොහොමයක් වගාවෙන් ඉවත්වීමය. එසේම ඉතා ඉහළ මිල ගණන්වලට රසායනික පොහොර ලබාගත හොත් එළවළු වගාවෙන් පාඩුවක් මිස ලාභයක් ලබාගැනීමට නොහැකි බව ගොවීහු පවසති. ඒ නැතිව මේ දක්වා ඉතා හොඳ වර්ෂාපතනයක් උඩරට හා වියළි කලාපයේ එළවළු වවන ප‍්‍රදේශවලට ලැබෙන නමුත් ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම මේ එළවළු මිල ඉහළ යාමට බලපා ඇති බව පෙනේ. එසේ හෙයින් පෙබරවාරි- මාර්තු වනවිට නම් සැබෑ එළවළු අර්බුදයක් රටේ ඇතිවන බව පැහැදිලිය. ඉන්ධන මිල ඉහළ යෑම නිසා එළවළු මිලේ තවදුරටත් පහළ වැටීමක් මේ දිනවල බලාපොරොත්තු විය ද නොහැක.

 අමු මිරිස් කිලෝවක් රුපියල් 1000 ක් දක්වාත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 280-300 දක්වාත්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 750 ක් දක්වාත්, කහ කුඩු මිල රුපියල් 5500-6000 දක්වාත් වශයෙන් මේ වන විට මිල ඉහළ යෑම නිසා ජනතාව අවුලෙන් අවුලට පත්ව සිටී. කොටින්ම එළවළු මිල පමණක් නොව, රසායනික, කාබනික වගා ප‍්‍රශ්නයට නිසි උත්තරයක් නැති නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය ද අවුලෙන් අවුලට පත්ව ඇති බව ලේකම්වරු මාරු කරන මාරුකිරිල්ලෙන් පැහැදිලි වේ. ඊයේ (22 දා) වන විට එම අමාත්‍යාංශයට මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා යටතේ පත් කෙරුණේ හතර වැනි අමාත්‍යාංශ ලේකම්වරයා ය. රටේ කෘෂිකර්ම අර්බුදයේ තරම එයින් තේරුම් ගත හැකිය. මේ ලේකම්වරයාටවත් අමාත්‍යවරයා සමග එක්වී රටේ කෘෂිකර්මාන්තය ගොඩ දමන්නට හැකියාව ලැබේවායි අපි ප‍්‍රාර්ථනය කරන්නෙමු.

 කෙසේ නමුත්, ඉහළ යන එළවළු හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හමුවේ ජනතාව වශයෙන් අපද මේ මොහොතේ කළ හැකිව ඇති දේ කළ යුතුම බව අපගේ අදහසයි. එනම්, අඳුරට ශාප නොකර එක පහනක් හෝ දැල්වීමේ ක‍්‍රියාදාමයයි. දැන් ඉතින් එළැඹ ඇත්තේ මල් පෝච්චිවලින් විසිතුරු පැළ උදුරා දමා කහ පැළයක්, ඉඟුරු පැළයක්, අමු මිරිස් පැළයක් හෝ පලක් ඇති දෙයක් වගා කර ගැනීමය. ගෙවත්තේ පුළුවන් පුළුවන් විදිහට මඤ්ඤොක්කා, බතල දණ්ඩක් යටකර ගැනීම, එළවළුවක්, පලා කොළ ටිකක් වගාකර ගැනීම කිසිම ලෙසකින් හෝ අයහපතක් නොවේ. මීට පෙර විවිධ රජයන් මගින් කතා කරපු වගා සංග‍්‍රාමවලට වඩා අද රට තුළ වවාගෙන කන ආහාර සංස්කෘතියකට අප පෙළ ගැසීමේ අවශ්‍යතාව දැන් මතුව ඇත. ඒ නිසා දරු මල්ලන්ද රැුගෙන වහා කුඹුරට, හේනට, කොරටුවට, ගෙවත්තට නොබැස්සොත් අපි අමාරුවේ වැටෙන බව මතක තබාගත යුතුය. එසේ නැතිව අඳුරට ශාප කර කර සිටීමෙන් පාඩුව සිදුවන්නේ අපටම ය. ළමා ළපටින් කෑම ඉල්ලා මොර දෙන විට කන්නට දෙයක් අප සතුව නැතිනම් එය මහා ඛේදවාචකයක් වනු ඇත. එසේ හෙයින් මේ අර්බුදයට මුහුණ දීමට අප සතු සියලූ වගකීම මේ මොහොතේ ප‍්‍රයෝජනයට ගත යුතුමය.

 එසේම, රජයට ද මේ මොහොතේ කළ හැකි බොහෝ දෑ ඇති බවද ජනතාව ජීවත් කරවීමේ වගකීම ඇති බවද අවධාරණය කරමු. මේ මොහොතේ අඩුම තරමින් හමුදාව හෝ යොදවා අතරමැදි ගසා කෑම් නවතා ආර්ථික මධ්‍යස්ථානවලට ගෙන එන එළවළු හා අත්‍යවශ්‍ය දෑ නගර වෙත ප‍්‍රවාහනය කර දීමේ කටයුත්තක් රජය මගින් ඉටුකරනු ලැබිය යුතු බව අපගේ කල්පනාවයි. ඒ සඳහා අවශ්‍ය නම් පෑලියගොඩ මැනිං එළවළු හා මාළු වෙළෙඳ සංකීර්ණය වෙත දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට වුව රජයට හැකියාව තිබේ. ඒ මගින් තඹුත්තේගම, යාපනය වැනි ප‍්‍රදේශවල සිට වුවද රජයේ මැදිහත්වීමෙන් හා දුම්රිය භාවිතයට ගෙන එළවළු ප‍්‍රවාහනයට හැකියාව ඇත. නමුත් රජය අඳුරේ අතපත ගාමින් සිටින බව පෙනේ. ඒ අඳුරට ශාප නොකර ජනතාව ලෙස අපි අපේ පහන දල්වමු.

advertistmentadvertistment
advertistmentadvertistment