එක පාරට දඩාස් කියලා සද්දයක් ඇහුනා නින්දෙන් ඇහැරී බලන විට වෑන් රථය බස් රථයක ගැටී තිබුණා – සාක්කිකාරිය කියයි

765

බිබිලේ ඛේදවාචකය

බිබිලේදී රියඅනතුරකින් මියගිය එකම පවුලේ තිදෙනාගේ මරණ පරීක්ෂණය

බිබිල, මහියංගණය පාර 02 කණුව අසලදී ඉකුත් දොළොස්වැනිදා නතරකර තිබූ බස් රථයක වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් මියගිය එකම පවුලේ තිදෙනාගේ මරණ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඉකුත් 13දා බිබිල රෝහලේදී බිබිල වැඩබලන මහේස්ත්‍රාත් තක්ෂිලා සූරියආරච්චි මහත්මිය විසින් පවත්වනු ලැබුවාය. බිබිල, මහියංගණය පාර අරුණ පැළ තවාන පදිංචි රාජේන්ද්‍ර රාජකරුණා (72), ඔහුගේ බිරිඳ වන උඩුවකවඩුගේ කල්‍යාණි (71), බිරිඳගේ සහෝදරියක වන උඩුවකවඩුගේ කුසුම් ලලිතා (73) යන අයගේ මරණ පිළිබඳව පරීක්ෂණ මෙසේ පැවැත්විණි.

මෙම අනතුරෙන් වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ මියගිය යුවළගේ එකම පුතා වන අරුණ චමින්ද රාජකරුණා (35), දියණියන් වන රාජේන්ද්‍රගේ අනූෂා උදේනී රාජකරුණා (45) සහ රාජෙන්ද්‍රගේ නිලූෂා ප්‍රියදර්ශනී රාජකරුණා (48) යන තිදෙනා බිබිල මූලික රෝහලේ සහ පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබති.

මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් අනූෂා උදේනී රාජකරුණා (45) මෙසේ පැවසුවාය.

මට සහෝදරයෙක් සහ සහෝදරියන් තිදෙනෙක් සිටිනවා.එක් සහෝදරියක් ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. මගේ පියා විශ්‍රාමික බැංකු සේවකයෙක් වන රාජේන්ද්‍ර රාජකරුණා. මගේ මව වන උඩුවකවඩුගේ කල්‍යාණි කාලයක සිට ආතරයිටිස් රෝගයෙන් අසනීපව සිටිනවා. ඇවිද ගියේ අපහසුවෙන්. මගේ පියා සහ පවුලේ අය නිවස පිහිටි ඉඩමේ පැළතවානක් කරගෙන යනවා. ජුනි මස 12 වැනිදා උදේ අම්මාට බෙහෙත් ගැනීම සඳහා අපේ වෑන් රථයෙන් මහනුවර ගියා. එහිදී බෙහෙත් අරගෙන ආපසු වෑන් රථයෙන් නිවසට ඒමට පිටත් වුණා. වෑන් රථයේ රියැදුරු ලෙස මල්ලී කටයුතු කළා. ඉදිරිපස අසුනේ මල්ලි සමඟ එක් සහෝදරියකුත්, පිටුපස මමයි, තාත්තයි ඒ අතර අම්මයි, ලොකු අම්මයි සිටියා.

එසේ එන අතරමගදී මට නින්ද ගියා. එකවරම එසේ එන අතරමගදී “දඩාස්” ගාල සද්දයක් ඇසී මට ඇහැරුණා. බලන විට අපේ වෑන් රථය බස් රථයක හැපිලා තිබුණා.ඊට පසු මට සිහිනැති වුණා.අපි සියලුමදෙනා බිබිල රෝහලට ඇතුළත්කර තිබුණා. පසුව දැනගත්තා අම්මයි තාත්තයි ලොකු අම්මයි මියගිය බව.

බස්රථයේ සිටි චරිතා සජීවනී ලියනගේ (35) මහත්මිය මෙසේ පැවසුවාය.

12 වැනිදා සවස 2.25ට පමණ බිබිල බස් නවතුම්පළෙන් මම කොටගම දක්වා ධාවනය වන පුද්ගලික බස් රථයකට ගොඩවුණා. කිලෝමීටරයක් දෙකක් යනවිට බස් රථයේ තිරිංගවල දෝෂයක් නිසා වෑගම පන්සල අසල ආසන්නයේ විපුල කියන ගරාජය අසල බස් රථය නතර කළා.

එක පාරට දඩාස් කියලා සද්දයක් ඇහුනා නින්දෙන් ඇහැරී බලන විට වෑන් රථය බස් රථයක ගැටී තිබුණා - සාක්කිකාරිය කියයි
තුවාල ලැබු අය

ගරාජයේ කාර්මිකයකු බස්රථයේ යටට ගොස් අලුත්වැඩියා කරමින් සිටියා. තවත් මගීන් කිහිපදෙනකු බස් රථයේ සිටියා. එකවරම “දඩාස්” ගාන ශබ්දයක් ඇසුණා. ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් අපේ බස් රථයේ ගැටුණා. බස් රථය නතරකර තිබුණේ වැරදි පැත්තේ. වෑන් රථයේ සිටි සියලුමදෙනා තුවාල ලැබුවා. අසල්වාසීන් එකතුවී තුවාලකරුවන් බිබිල රෝහලට

රැගෙන ගියා. පසුව ආරංචි වුණා වෑන් රථයේ සිටි තිදෙනකු තුවාල සිදුවීමෙන් මියගිය බව.

මියගිය යුවළගේ බෑනාවරුන් වන ලියන පතිරණගේ සංජීව,සුදර්ශන උදයකුමාර,සහෝදරයන් වන උඩුවකවඩුගේ නිමල් යන අය ද සාක්ෂි දුන්හ.

මියගිය අයගේ මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ බිබිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.ජී.එන්. සේනාධීර මහත්මිය විසින් පවත්වනු ලැබුවාය.

හිසට උදරයට සහ පපුවට බරපතළ තුවාල සිදුවීමෙන් මියගිය අයගේ මරණ සිදුවී ඇති බවට ඇයගේ නිගමනය වූවාය.

බිබිල පොලිසිය මගින් බස් රථයේ රියැදුරු සහ ගරාජයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ. සෙනරත් මහතාගේ උපදෙස් පිට උ.පො.ප. ගාමිණී හේරත්,පොලිස් සැරයන් (10776) සුගත් යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වන ලදි.

මියගිය අයගේ අවසන් කටයුතු ඉකුත් 15දා ප්‍රදේශවාසීන් ඇතුළු ඥාතීන් රැසකගේ සහභාගිත්වයෙන් වෑගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment