”එක රටක් එක නීතියක්” (එහෙම නැති එක හරිම වාතයක්)

1389

එක රටක් එක නීතියක් නමැති සංකල්පය ක‍්‍රියාවට නැඟීම සඳහා පූජ්‍ය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේගේ ප‍්‍රමුඛත්වයෙන් යුතුව කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පියවර ගනු ලැබ තිබේ. මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡුා කිරීමට කලින් ඉන්දියාවේ හින්දු පුවත්පතේ මේ පුවත වාර්තා කර තිබූ ආකාරය පිළිබඳ අපගේ පිළිකුල මෙහි සටහන් කළ යුතුය. හින්දු පුවත්පතේ මෙරට වාර්තාකාරිය මීරා සිරිනිවාසන් ය. ඇය ලියූ එම පුවතේ ශීර්ෂ පාඨය ලෙස යොදා ඇත්තේ ”ශ‍්‍රී ලංකාවේ නීති ප‍්‍රතිසංස්කරණ මණ්ඩලයක නායකත්වයට අන්තවාදී භික්ෂුවක් පත්කර ඇති” බවය. මීරා සිරිනිවාසන් සිය ප‍්‍රවෘත්තිය අරඹන්නේ මෙසේය.

”මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන වෛරී ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බෞද්ධ භික්ෂුවක් නීති ප‍්‍රතිසංස්කරණ මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කිරීමට පියවර ගෙන තිබේ.” මෙතැන් සිට මීරා සිරිනිවාසන් සඳහන් කරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව තිබූ චෝදනා සහ උන්වහන්සේ හිරේ ගිය ආකාරය ය. අනතුරුව මෙම පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ අම්බිකා සත්කුණනාදන් නමැති සමාජ ක‍්‍රියාකාරිනියගේ සහ ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත‍්‍රී එස්. රාසමානික්කම් යන දෙදෙනාගේ අදහස් ද ඇය මෙම ප‍්‍රවෘත්තියට එකතු කර තිබේ. ඒ ගැන මෙතැනින් එහා කතා කිරීමට අපට අවශ්‍ය නැත.

එක රටක් එක නීතියක් යන සංකල්පය සෑම කල්හිම වැදගත්ය. එක රටක ජාතීන් කිහිපයක් සිටින විටත් ඒ ඒ ජාතීන්ට විශේෂ වූ වෙන් වෙන් නීතීන් රටක් තුළ ක‍්‍රියාත්මක වන විටත් විවිධ අර්බුදවලට මුහුණ දීමට සිදුවේ. රටක් කැබලිවලට කැඞී යෑමට පවා මේ අර්බුද හේතුවිය හැකිය. ශ‍්‍රී ලංකාව තුළ මේ මොහොතේදී පවතින ප‍්‍රධාන නීතිය රෝමානු ලන්දේසි නීතියයි. මේ නීතිය මේ වනවිටත් දකුණු අප‍්‍රිකාව, නැමීබියාව, ලෙසෝතෝ, ස්වාසිලන්තය, බොට්ස්වානා, සිම්බාබ්වේ යන රටවල විවිධ මාත‍්‍රාවලින් ක‍්‍රියාත්මක වේ. මේ නීතිය මේ රට තුළ පතුරවන ලද්දේ අධිරාජ්‍යවාදී යුරෝපීය ආක‍්‍රමණිකයන් විසිනි. රෝමානු ලන්දේසි නීතිය මේ රට මත බලයෙන් පැනවීමට පෙර මෙහි තිබුණේ උඩරට නීතියයි. මෙය සිංහල බෞද්ධ රජවරුන් විසින් කාලයෙන් කාලයට පනවන ලදුව සමාජගත කෙරුණු නීති සමූහයක එකතුවකි. මෙය බලයෙන් පනවන නීතියකට වඩා චාරිත‍්‍රානුකූල නීතියක් ලෙස පෙන්වාදිය හැකිය. චාරිත‍්‍රානුකූල නීතියකදී සිදුවන්නේ රජු විසින් පනවන ලද දණ්ඩ නීති සංග‍්‍රහයට අමතරව සමාජ මට්ටමෙන් තවත් නීති සමූහයක් බිහිවීමය. මිනී මැරුමට සහ රාජ්‍ය ද්‍රෝහීත්වයට රජු පනවන දඬුවම මරණයයි. කඩුවෙන් හිස ගසාදැමීම හෝ දෙතිස් වධ දී මැරීම යනාදිය එම ඉපැරණි දණ්ඩ නීතියට අයත්ය. එහෙත් ජනයා කරන සාමාන්‍ය වැරදි සම්බන්ධයෙන් තීන්දු ගැනීම සඳහාත් දඬුවම් කිරීම සඳහාත් චාරිත‍්‍රානුකූල නීතියක් සිංහල සමාජය තුළ තිබිණ. මෙය කුල පදනමට ප‍්‍රමුඛත්වය දුන් නීතියකි. එසේම සුළු සොරකම්, සුළු වැරදි සම්බන්ධයෙන් රජු දක්වා නොයන, සමාජය විසින් සම්මත කරගත් දඬුවම් ක‍්‍රම මේ නීතියට අයත්ය. රජවරුන් විසින් මේ රට පාලනය කළ සමයේදී රාජ සභාවට එන පැමිණිලි සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නඩු විභාග කරන ලද්දේ පෞද්ගලිකවම රජු විසිනි. ප‍්‍රධාන වැරදිවලට අමතරව සුළු වැරදි සහිත විත්තිකරුවන්ද රජුට පැමිණවීම එකල සිදුවී නම් රජුට මුළු රාජ්‍ය පාලන කාලය පුරාම නඩු අසනවා හැර අන්තඃපුරය පැත්තේ විසිට් එකක් දැමීමටවත් අවස්ථාව ලැබෙන්නේ නැත. අප ඒ ටික කිව්වේ වනචරකමට හෝ රජුට අපහාස කිරීම සඳහා නොව සත්‍ය තත්ත්වය සරල සිංහලෙන් පැහැදිලි කරදීම පිණිසය. ඉපැරණි ලංකාවේ සමාජ නීතිය ක‍්‍රියාත්මක කළෝ ජන ප‍්‍රධානීන් සහ ගම්මුලාදෑනීහුය. මේ වර්ගයේ සමාජ නීති පද්ධතියක් ඉන්දියාවේ ද තිබේ. එය පංචායත් සභා ලෙස හඳුන්වයි. මරණ දණ්ඩනයෙන් සහ සිරගත කිරීමෙන් මෙහා දඬුවම් සියල්ලම දීමට පංචායත් සභාවට අදටත් බලය තිබේ. මෙහි නිර්මිතය ගමේ ප‍්‍රභූවරුය. එබැවින් උඩරට නීතියේ තිබෙන්නාක් මෙන් කුලවාදී ගැටලූ මේ නීතියේ ද ඇත. කෙසේ වුවද උඩරට නීතිය මේ මොහොතේදී ශ‍්‍රී ලංකාවේ පිළිගත් නීතිය නොවේ.

මේ රටේ තිබෙන ඊළඟ ප‍්‍රාදේශීය නීතිය වන්නේ යාපනයේ බලපැවැත්වෙන තේසවලාමයි නීතියයි. යාපනයේ අර්ධද්වීපයේ පදිංචි වූ ඉන්දියානු මලබාර් ජාතිකයන්ගේ චාරිත‍්‍රවල එකතුවක් ලෙස මේ නීතිය හැඳින්විය හැකිය. 1707 දී මෙරටට පැමිණි ඕලන්ද යටත්විජිතවාදීහු 1806 සිට තේසවලාමයි නීතිය යාපනය අර්ධද්වීපයේ පිළිගත් නීතිය බවට පත්කිරීමට බලය දුන්හ. මේ නීතිය මගින් දෙමළ සමාජයේ දේපළ අයිතිය සහ විවාහ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය පාලනය කරන ලදී. යාපනයේ ඉඩම් එම අර්ධද්වීපයෙන් එහා සිංහල හෝ යාපනේ නොවන දෙමළ අයටත් මුස්ලිම් ප‍්‍රදේශවල වෙසෙන අයටත් විකිණීම තේසවලාමයි නීතිය යටතේ තහනම්ය. ඒ අතරම දෙමළ විවාහවලදී දේපළ අයිතිය හුවමාරු වන ආකාරය ද මෙම නීතිය මගින් පැහැදිලි කර ඇත. කෙසේ හෝ වේවා කොළඹ වෙසෙන ඉඩම් වෙන්දේසිකාර මහතකු යුද්ධය නිමවීමෙන් පසු යාපනයට ගොස් විශාල ඉඩමක් කැබලි කර එය කොළඹ සිටින ධනවත් දෙමළ ජනයාට මෙන්ම සිංහල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ද විකුණුවේය. එතැනින් තේසවලාමයි නීතිය කැඩිණ. එහෙත් මේ වන විට මේ නීතිය නැවතත් යාපනය අර්ධද්වීපය තුළ බලගතු වෙමින් පවතී.

රටේ බලපැවැත්වෙන තුන්වන සමාජ නීතිය මුස්ලිම් නීතිය ලෙස හැඳින්විය හැකිය. ඉස්ලාම් සමාජයේ විවාහ, දික්කසාද නඩත්තු කටයුතුවලදීත් බාල වයස්කාරයන්ගේ භාරකාරත්වය පිළිබඳ කටයුතුත් කළ යුතු ආකාරය ඉස්ලාම් නීතිය මගින් නිර්දේශ කරනු ලැබේ. ඉස්ලාම් සමාජයේ දැනට තිබෙන ෂරියා නීතිය තරම් බලයක් හෝ  විවිධාංගීකරණයක් ලංකාවේ ඉස්ලාම් නීතිය තුළ නැත. ඉස්ලාමීය පිරිමියකුට විවාහ හතරක් සිදුකරගෙන පවුල් හතරක් පවත්වාගෙන යා හැකි බව මෙරට ඉස්ලාම් නීතිය මගින් අනුමත කරනු ලැබේ. මේ කාරණය සහ බාල වයස්කාර දැරියන් විවාහ කරදීමට මේ නීතිය සතු බලය නිසා සමාජ ක‍්‍රියාකාරිකයෝ මේ නීතියට පහර දෙති. එකවර පවුල් කිහිපයක් පවත්වාගෙනයෑම රෝමානු ලන්දේසි නීතියට අනුව අර්ථකථනය වන්නේ බහු භාර්යා සේවනය ලෙසය. එය හිරේ යන වැඩකි. මේ ආකාරයෙන් එක රටක් තුළ නීති හතරක් තිබීමෙන් රට වැසියන්ට ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවේ. පළමුවැනි ප‍්‍රශ්නය වන්නේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයයි. තේසවලාමයි නීතිය මගින් රටේ සැමටම එක සමාන ලෙස ඉඩම් මිලදී ගැනීමට හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලික මිනිස් අයිතිය නිෂ්ප‍්‍රභ වේ. ඉස්ලාම් නීතියේ බාල වයස්කාර විවාහ අනුමැතිය මගින් ළමයා යන වචනයට අදාළ අර්ථ නිරූපණයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වේ. කිසියම් රටකට එක නීතියක් අවශ්‍ය වන්නේ පෙර කී එකිනෙකට නොගැලපෙන දේවල් සිදුනොවීම පිණිසය. ජනාධිපතිතුමාගේ අලූත් කාර්යසාධක බලකායට සාමාජිකයන් දහතුන් දෙනෙක් සිටිති. එම සාමාජිකයන් අතර අපගේ ඉස්ලාමීය සහෝදරවරු සිව් දෙනෙක් ද වෙත්. මේ කාර්ය සාධක බලකායට දෙමළ නියෝජනයක් ද තිබුණේ නම් වඩා යහපත් බව අපේ මතයයි. එහෙම නැතත් එක රටක් එක නීතියක් සංකල්පය ප‍්‍රවර්ධනය කළ යුතුම අතර ඊට බාධාවක්ද නැත.

advertistmentadvertistment