එක ශ්‍රේණිය පාස් වීමට නම්…

1198

පළමු ශ්‍රේණියේ දුවා දරුවන් වෙනුවෙන් මේ වසරේ නව පාසල් ආරම්භ කෙරෙනා කුළුඳුල් දිනය (22) අදයි. තම ආදර දෙමාපියන්ගේ දෑතේ එල්ලී බුලත් අතක්දී ගුරුතුමියට වැඳ දහසකුත් බලාපොරොත්තු මැද අදින් විධිමත් අධ්‍යාපනය අරඹන දැයේ සුවහසක් දූ දැරියන් සියලු දෙනාටම අනාගතයේ මතු යම් දිනක ජයග්‍රාහී කිරුළු පළඳින්නට හැකිවේවායි ප්‍රථමයෙන් අපි සුභ පැතුම් පුද කර සිටිමු.

ලෝකයේ පවතින හොඳම දේවල් දරුවන්ට යැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් දිය හැකි මෙලොව පවතින ඉතාම වටිනා දෙය නම්, ඔවුන්ට සාර්ථක අධ්‍යාපන තත්ත්වයක් උරුම කර දීමයි. ඒ සඳහා අපේ රටේ පවතින නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මහෝපකාරී වේ යැයි අපගේ විශ්වාසය ය. එහිදී ගුරු දෙගුරුන් විසින් ඒ සඳහා දක්වන ජාතික මෙහෙය අසීමිතය. එක් කාලයකදී ජාතික ආදායම් වෙන්කිරීම්වලින් සියයට 06ක ප්‍රතිපාදන අධ්‍යාපනයට හිමි විය යුතු යැයි ආචාර්ය මහාචාර්යවරු පාගමන් ගියහ. එය සාධාරණ ඉල්ලීමක් බව අපගේ හැඟීමය. එහෙත් වර්තමානය වන විට එවැනි ප්‍රතිශත කතා අපට අසන්න නොලැබුණත් රජය මීට වඩා අධ්‍යාපනයට සැලකිය යුතු මුදලක් වෙන් කළ යුතු යැයි බොහෝ දෙනා කියති.

මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ වුවද දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන මුදල සහ වෙහෙසෙන වෙහෙසිල්ල මෙපමණකැයි කියා ගණනය කළ නොහැක. අපේ රටේ පෙර පාසල් අධ්‍යාපනය ගතහොත් එහි නිදහස් බවක් ගෑවිලාවත් නැත. දෙමාපියන්ට මුදල් කොපමණ වියදම් කළ හැක්කේද? ඒ මත පෙර පාසල් අධ්‍යාපනය තීරණය වන තත්ත්වයක් අපේ රටේ අද වන විට පවතී. ඒ තරමටම පෙරපාසල් මගින් තරුණ දෙමාපියන් අසහනයට ලක් කර ඇති බව ප්‍රසිද්ධ රහසකි. ඉන් ඔබ්බට ගොස් බැලුවහොත් පාසල් අධ්‍යාපනය දෙස බැලූ කල්හි එහි තරම ද මුදල් මත තීරණය වන සමාජ තත්ත්වයක් සැකසී අවසන් ය. මුදල් ඇති දෙමාපියන් කෙසේ හෝ ප්‍රසිද්ධ සහ හොඳ යැයි කියන රජයේ පාසල්වලට හෝ පුද්ගලික පාසල්වලට දරුවන් දමා ගනිති. ගමේ පාසලට අද කුඩම්මාගේ සැලකිලිය. නගරයේ පාසල්වලට නම් එහෙම නැත. නගරයේ පාසලක් ගතහොත් බොහෝවිට එම පාසලට අයිතිවාසිකම් කියන දේශපාලනඥයෙක් සිටී. ඔහු හොඳින් තබා ගෙන පාසල කරගෙන යෑම විදුහල්පතිවරයාගේ පරම යුතුකම විය යුතුවේ.

මේ අතර පොත්වලට වැට් එපා – පොත් ප්‍රකාශකයෝ ජනපතිගෙන් ඉල්ලති යනුවෙන් ඊයේ (21දා) දිවයින පත්‍රයේ මුල් පිටුවෙහි පුවතක් පළවිණි. ඇත්තටම ගතහොත් අධ්‍යාපනයේ මූලිකම මෙවලම පොතපතය. වර්තමානය වන විට පොත්පත් නැති අධ්‍යාපනයක් ලොව නොමැත්තේය. එහෙත් අපේ රටේ අධ්‍යාපනය, සංස්කෘතිය, බුද්ධිමය ප්‍රගතිය ඇතුළු මානව සංවර්ධනය වෙනුවෙන් මහෝපකාරී වන පොත්පත් සඳහා රජය සියයට 18ක වැට් බද්දක් පනවා තිබීම ඇත්තටම ඛේදවාචකයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොත් කියවීමට රුසියෙකි. කොහේ ගියත් පොතක් පතක් මිලදී ගන්නා ඔහු වැන්නකුගෙන් පොත් ප්‍රකාශකයන්ට මෙවැනි ඉල්ලීමක් කරන්නට සිදුවීම කනගාටුදායකය. පාසල් පෙළපොත් නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවලට ද වැට් බද්ද දැනටමත් පනවා අවසන්ය. පොත්වල අවාසනාවන්ත කතාව එය වුවද පාසල් දරුවන් සිටින දෙමාපියන්ට විඳින්නට සිදුවන තවත් දුක්ඛ දෝමනස්සයන් විශාල ප්‍රමාණයක් පවතී.

එක ශ්‍රේණියට ඇතුළත් වන දරුවකුට අලුතින් කමිසයක්, කලිසමක්, ගවුමක් මසා ගැනීමට අද රුපියල් එක්දහස් පන්සීයක්වත් වැය කළ යුතුවේ. පාසල් බෑගයක් අඩුම වශයෙන් රුපියල් දෙදහසක්වත් වේ. සපත්තු කුට්ටමක් මිලදී ගැනීමට නම් රුපියල් තුන් හාරදහසක්වත් වියදම් කළ යුතුය. මේස් කුට්ටම් දෙක තුනක්, යට ඇඳුම් කිහිපයක්, ලේන්සුවක්, කෑම පෙට්ටියක්, වතුර බෝතලයක් මිලට ගත යුතුම ය. මේ සියල්ල මිලදී ගැනීමට මුදල් හොයා ගැනීමට අද රස්සා දෙක තුනත් කළත් මදිය. එක ශ්‍රේණියට ඇතුළත් කරන දරුවකුට මේ සියල්ලම මිලදී ගැනීමට නම් යන්තමින් ඉතුරු කර ගත් කණකර ද උකස් කිරීමට ආදර දෙමව්පියන්ට සිදුවේ. එතනින් අවසන් වන්නේ ද නැත. ආණ්ඩුව වැට් ආදී බදු අය කරද්දී පාසල්වලින් ද දඩ අය කිරීමක් සිදුවේ. ඒ පාසල අලුත්වැඩියා කිරීමට හෝ විවිධ ව්‍යාපෘතිවලට යැයි කියමින් පාසල් සංවර්ධන කමිටුව විසින් පනවන ගාස්තුය. ඊට ද රුපියල් විසි තිස්දහසක් හෝ ඊට අඩු වැඩි දඩයක් අනිවාර්යයෙන්ම වදී. මෙකී ගාස්තු ගෙවා නිම කළද අනිවාර්යයෙන්ම ස්මාට් වර්ගයේ දුරකථනයක් ද දෙමාපියන් සතු විය යුතුමය. ඒ අන් කිසිවක් නිසා නොව ගුරුතුමිය ගෙදරට පණිවුඩ එවන්නේ වට්ස්ඇප් හරහාය. එම නිසා ස්මාට් දුරකථනයක් නොතිබ්බොත් වැඩේ අවුල්ය. ස්කූල් වෑන් ගාස්තුව ද බරපතලය. මෙකී නොකී ගාස්තු හේතුවෙන් දෙමාපියන් අද ඇත්තේ දැඩි අසහනයෙනි.

එක ශ්‍රේණියට ඇතුළත් කෙරෙන දරුවන්ගේ ප්‍රමාණයෙහි අඩුවක් ඇතැයි අධ්‍යාපන ඇමැතිවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කීය. ඒ සඳහා අප කී ඉහත කාරණා බලපාන්නට ඇති බව පෙනේ. මෙම තත්ත්වය ඉතාම බරපතලය. මානව සම්පතෙහි එලෙස වර්ධනය සීමාවීම රටකට එතරම් හොඳ තත්ත්වයක් නොවේ. ප්‍රශ්නය ඇත්තේ මෙය අනාගතයේදී කොහෙන් කෙළවර වේදැයි කියාය. අපේ රටේ ආර්ථිකය නම් බංකොලොත් කර අවසන්ය. එහෙත් අධ්‍යාපනය එසේ බංකොලොත් කරන්නට දෙන්නට නොහැකිය. දැනට පවතිනවාට වඩා ස්ථිර ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසිය යුතුව ඇත. කෙසේ වෙතත් එතෙක් අප අනාගත පරපුර වෙනුවෙන් සුභ සිහින ප්‍රාර්ථනා කරමු. අදින් ආරම්භ කරන දහතුන් වසක පාසල් අධ්‍යාපනය සාර්ථකව නිම කිරීමට ඒ මල් කැකුළුවලට හැකිවේවායි අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරමු!

advertistmentadvertistment
advertistmentadvertistment