ඉතිහාසයේ වැඩිම මිල කඩේ පොල් 270- 280යි

මැයි ජුනි මාස වෙද්දී නැවත පොල් ඵලදාව වැඩි වෙනවා…මේක තමයි සාමාන්‍ය තත්ත්වය.එතකොට පොල් ආනයනය කරන්නත් රජයට අවශ්‍ය වන්නේ නැහැ

පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර

මිනිස්සු පොල් බෑය ඉල්ලගෙනත් එනවා

පොල් වෙළෙන්දෙක්

රටින් ගේන්න හැදුවට 2024 මුල් මාස දහය තුළ පොල් ගෙඩි මිලියන 624.2ක් අපනයනය කොට ඩොලර් මිලියන 347.8ක ආදායමක් උපයාගෙන

මහ බැංකු වාර්තාවකින් කියයි

“පොල් පොල්.. පොපොල්… පොල්.. ලංකාවේ වතු වල වැවෙන පොල්” හැත්තෑව දශකයේ ගැයුණු පැරණි ගීතයෙන් අපේ මතකයට නැගෙන්නේ එකල මෙරට පොල් හිඟයක් නොතිබූ බවත් ලංකාවේ හැදෙන්නේ හොඳම ඉස්තරම්ම පොල් බව ද එම පොල් පිටරටට ද පැටවූ බවත්ය. ඒ එදා ය. එහෙත් අද එම ගීතයේ ගැයෙන අරුමය දකින්නට නොමැතිවීම අවාසනාවකි. අද පොල් ගැන කියන්නට ද බොහෝ දෑ ඇත. පිටරට පටවන්න තබා ලංකාවේ මිනිස්සුන්ට කන්නටවත් අද පොල් නැත. තියෙන පොලුත් ගිනි ගණන් ය.

මෙරට දුප්පතාගේ ආහාරය ද පොල් සම්බෝලයක් කොටාගෙන බත් සමඟ කෑමය. නැත්නම් බත් ටිකකට පොල් ටිකක්, ලුණු ටිකක් ඉස ආහාරයට එක්කර ගැනීමය. එසේත් නොමැති නම් තිරිඟු පිටි වලට පොල් මිශ්‍රකර රොටියක් පුළුස්සාගෙන ආහාරයට ගැනීමය. ඒ විතරක්ද නොවේ, පොල් නැතිවම බැරි පොල් සම්බලයද දුගියාගේ පැල්පතේ සිට රජගෙදර දක්වාම ජනප්‍රියම වූ ආහාරයක් ද වන්නේ ය. දුගියාටත් රජගෙදර සිටුවරයාටත් නැතිවම බැරි පොල් අද වෙළෙඳපොළේ ‘එලොව පොල්’ පෙනෙන තරමටම ගණන් ය. ලංකාවේ පොල් ප්‍රශ්නය කොච්චර දුරද යන්න දැන් රටින් පොල් ගේන තරමටම දුර ඇදීගොස් අවසන් ය.

පොල් හිඟයට එන රටින් පොල් ආනයනය

පසුගිය 03දා මාධ්‍ය හමුවක් කැඳවමින් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා කියා සිටින්නේ මෙරට පවතින පොල් හිඟයට පිළියමක් ලෙස පොල් මද, පොල් කිරි, පිටි කළ පොල් සහ දිසිඳි පොල් ආනයනය කිරීමට තීරණය කර ඇති බවය. ඒ සඳහා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව ද ඔහු එහිදී පවසා සිටියේය. ඔහු කියන්නේ පොල් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ශාලාවල ප්‍රයෝජනය සඳහා මෙලෙස ආනයනය කරන බවත් ඒවා පාරිභෝගික ජනතාවට මිලදී ගැනීම සඳහා දේශීය වෙළෙඳපොළට නිකුත් නොකරන බවය. අදාළ ආනයනය සඳහා අවසර ලැබුණු පසු පොල් ආශ්‍රිත නිෂ්පාදනය කරනු ලබන ආයතනවලට සෘජුවම ඒවා ආනයනය කළ හැකි බව ද, මෙම වසරේ මුල් මාස හතර තුළ අඩුවන පොල්ගෙඩි ප්‍රමාණය ආනයනයට කටයුතු කරන බවත් එමගින් පාරිභෝගිකයන් වෙත සාධාරණ මිලකට පොල් ගෙඩියක් ලබාදීම එහි අරමුණ බව ද සභාපතිවරයා කියන්නේ ය.

මුලින් බිත්තර, පස්සේ හාල් දැන් පොල්

අලුත් ආණ්ඩුව ද පත්වුණ හැටියේම මුලින්ම ආවේ බිත්තර ප්‍රශ්නය ය. පසුව පැනනැගුණේ හාල් ප්‍රශ්නය ය. දැන් පොල් ප්‍රශ්නය ය. බිත්තර ප්‍රශ්නය නම් දැන් සමථයකට පත්වී හමාරය. වෙළෙඳපොළේ රුපියල් 25-30ටත් දැන් බිත්තර ඕනෑ තරම්ය. හාල් කතාව ද රටින් සහල් ගෙනඒමත් සමඟ යම් තරමකට සමනය වෙමින් පවතින්නේ ය. ඒත් පොල් ප්‍රශ්නය තවමත් ගෙඩිය පිටින්ම එසේමය. එළොව පොල් පෙනෙන තරමටම දැන් පොල් ප්‍රශ්නය බැරූරුම් ය. පොල් ගිනි ගණන්ය. පොල් ගෙඩියක් රුපියල් 240-270 අතර මිලකට විකිණෙන්නේ ය. ඒ ගාණටවත් පොල් හොයාගන්නට නොහැකි තැන පොල් නැතිවම හොදි කන්නට දැන් පාරිභෝගිකයාට සිදුවී ඇත්තේ ය.

පොල් ප්‍රශ්නය එදා සහ අද

හැම දෙයකටම වගේම ලංකාවේ පොල් ප්‍රශ්නයට අතීතයක් ඇත. ඒ කියන්නේ පොල් හිඟය හා මිල ප්‍රශ්නය එන්නේ මීට දශක හතරකටත් ඉහතදීය. එනම් එකල පැවති මහ මැතිවරණයේ දී එවකට ප්‍රබල දේශපාලනඥයකු පොල් බෑ දෙකක් රැගෙන සෑම වේදිකාවකටම ගොඩවී පොල් බෑ දෙක සිය පාක්ෂිකයන්ට පෙන්වමින් අහන්නේ එක් බෑයක මිල කීයද? අනික් බෑයේ මිල කීයද යන්න ය. ඒ එදා ය. එදා සිට අද වනතුරු තවමත් පොල් ප්‍රශ්නය එදා මෙන්ම දේශපාලන වේදිකාවේ පෙරළිකාර මාතෘකාවක් බවට පත්ව ඇත. පසුගිය දිනක රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු විසින් පොල් සම්බෝල හා කිරිහොදි පිළිබඳ කරනු ලැබූ ප්‍රකාශයක් නිසා ද විපක්ෂයේ දේශපාලනඥයන් පොල් ගැන වැඩියෙන් කතාකරන්නට විය. ඒ කතාවේද ප්‍රායෝගික බවක් නැති බව කුඩා දරුවෙකුට වුව ද වැටහෙන්නේ ය. කෙසේ වුව ද අද වනවිට පොල් මිල රොකට් එකකට වඩා වේගයෙන් ඉහළ යමින් ඇත.

පොල් මිල වැඩි වුණේ මේ නිසාලු

පොල් මිල ඉහළ යෑම පිළිබඳවද පාර්ශ්ව කිහිපයක් විවිධ චෝදනා නගන්නේ ය. පොල් නිෂ්පාදකයන් කියන්නේ කොප්පරා නිෂ්පාදනය වැඩි වැඩියෙන් සිදුකිරීමත්, දිසිඳි පොල් අපනයනයට යොමුවීම හේතුවෙන් මෙරට පොල් හිඟයක් ඇතිවූ බැවින් පොල් මිල ඉහළ ගිය බවය. පොල් වැවිලි කර්මාන්ත ක්‍ෂේත්‍රය නියෝජනය කරන විශේෂඥයන් කියා සිටින්නේ පොල් වගාවට වැලඳී ඇති රතු කුරුමිණි රෝග සහ කොළ මැළවීමේ රෝගය නිසා පොල් අස්වැන්න අඩුවී ඇති බවය. පොල් වතු හිමියන් කියන්නේ රිළවුන්, දඬුලේනුන්ගේ කරදරය ද පොල් මිල ඉහළ යෑමට බලපාන බවය. පොල්වතු හිමියන් වැඩිදුරටත් කියා සිටින්නේ ද අද වනවිට පොල්වතු නඩත්තු කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති හෙයින් අනෙක් පාරිභෝගික භාණ්ඩවලට සාපේක්‍ෂව පොල් මිල ද ඉහළ යෑම සාධාරණ බවය. එහෙත් අද වනවිට පොල් මිල ඉහළ යෑම සම්බන්ධව අලුත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම ද අසාධාරණ ය. එයට හේතුව ආණ්ඩුව පත්වී තවම මාස හතරකි. ඒ කාලය පොල් ගසක් සිටුවා ඵලදාවක් ලැබිය නොහැකිය. පොල් මිල ඉහළ යෑමට බලපෑවේ හිටපු රජයන් විසින් එක රැයකින් රසායනික පොහොර තහනම් කිරීම හා පොල් පොහොරවල මිල ඉහළ යෑම ය. ඊට අමතරව අධික රිලා කරදර, කෘමි හානි, ඉඩම් වෙන්දේසි කිරීමට පොල්ගස් කැපීම ආදී හේතූන් ය. අද වනවිට උදාවී ඇත්තේ ද ඉහත කී කාරණා වල ප්‍රතිවිපාකය.

ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 3000ත් 2800ත් අතර බව සංඛ්‍යා ලේඛන මගින් දක්වා ඇත. ඒ හෙක්ටයාර ලක්‍ෂ දහයකට සාපේක්‍ෂවය. ඉන් සියයට හැත්තෑවක් පමණ ගෘහස්ථ පරිභෝජනය සඳහා යොදාගන්නා අතර ඉතිරි සියයට 30ක ප්‍රමාණය අපනයනය හා පොල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු සඳහා යොදාගනු ලබයි. එහෙත් ගෙවතු තුළ වැවෙන පොල් ගස්වල අස්වැන්න ගණනයට විශේෂ ක්‍රමවේදයක් නොමැති බැවින් සැබවින්ම මේ අගයන් වලින් ඉදිරි සැලසුම් සෑදිය හැක්කේ ද යන්න ප්‍රශ්නයකි. 2024 වර්ෂයේ මුල් මාස දහය තුළ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 2,451.8 දක්වා පහත වැටී තිබුණි. ඒ නිසා අදවන විට වෙළෙඳපොළ තුළ ඇතිවී තිබෙන පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ පොල් ආනයනය කිරීමට කටයුතු කරන ලෙසය.

පොල් වලින් ආදායම

එදත් එහෙමයි අදත් එහෙමයි…අවුරුදු ගණන් පල් කරපු පොල් ප්‍රශ්නය

එහෙත් පොල් කර්මාන්ත මණ්ඩලය එසේ ඉල්ලුව ද ඉකුත් වර්ෂයේ එනම් (2024) මුල් මාස දහය තුළදී (ජනවාරි සිට ඔක්තෝබර්) පොල් ගෙඩි මිලියන 624.2ක් අපනයනය කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 347.8ක ආදායමක් උපයාගෙන ඇති බැව් මහ බැංකුව විසින් පොල් සම්බන්ධයෙන් නිකුත්කොට ඇති දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වී ඇත. ඒ අනුව 2023 වර්ෂයේ දී එම කාලසීමාව තුළ පොල්ගෙඩි මිලියන 518.63ක් අපනයනය කොට තිබිණි. ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස දහයට සාපේක්ෂව 2024 වර්ෂයේ මුල් මාස දහය තුළ පොල්ගෙඩි මිලියන 105.57ක් වැඩිපුර අපනයනය කොට ඇත. ඉකුත් වර්ෂයේ වැඩිම පොල්ගෙඩි මිලියන සංඛ්‍යාවක් අපනයනය කොට ඇත්තේ අගෝස්තු මාසයේදී වන අතර එම සංඛ්‍යාව ගෙඩි මිලියන 74.4කි. එම වර්ෂය තුළ අඩුම පොල් ගෙඩි මිලියන සංඛ්‍යාවක් අපනයනය කොට ඇත්තේ අප්‍රේල් මාසය තුළදී වන අතර එම සංඛ්‍යාව පොල්ගෙඩි මිලියන 49.5කි. ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මාසය තුළදී පොල්ගෙඩි මිලියන 72ක් අපනයනය කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 40.1ක ආදායමක් උපයාගෙන ඇති බව ද එහි සඳහන් ය.

වසර තුනක් තුළ පහළ යන පොල්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මෙරට පොල් නිෂ්පාදනයේ ඉහළම වාර්ෂික නිෂ්පාදනය 2022 වර්ෂයේදීය. ඒ පොල්ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,391ක් ලෙසය. 2022 වර්ෂයේදී පොල් ගෙඩි නිෂ්පාදනය සියයට 8.7ක වර්ධනයක් වාර්තා කරමින් සමස්ත පොල්ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,391ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි පෙන්වාදී ඇත. 2021, 2022 යන වර්ෂවල පැවැති හිතකර කාලගුණික තත්ත්වය, ප්‍රධාන පොල් වගා කරන ප්‍රදේශයන්හි පැවැති හිතකර වායුගෝලීය උෂ්ණත්වය, පොල් නිෂ්පාදනයේ වර්ධනය සඳහා හේතුවී ඇත්තේය. එහෙත් 2023 වර්ෂයේ දී මෙරට පොල්ගෙඩි නිෂ්පාදනය මිලියන 3170 දක්වා පහත වැටී ඇති බව ද වසර දෙකක පමණ කාලයක සිට පොහොර නොලැබීම මත පොල් නිෂ්පාදනය අඩු වූ බව ද මහ බැංකු වාර්තා මගින් ද පෙන්වාදී ඇත්තේ ය.

රටක් වශයෙන් ආහාර අවශ්‍යතාවය සඳහා පොල් බහුලව පරිභෝජනය කරන රටක් වන මෙරට තුළ පොල් ගැන සොයා බැලීමටම වගකිව යුතු ආයතන කිහිපයක් ඇත්තේ ය. එනම් පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් පර්යේෂණ ආයතනයයි. පවතින තත්ත්ව පිළිබඳව විමසීමට අප පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තෙමු. ඔහු පවතින පොල් ප්‍රශ්නය දකින්නේ මෙවන් ආකාරයකට ය.

“මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන තුන්දහසකට වැඩි අගයක් ගන්නවා. නමුත් අවුරුදු පහ හයකට සැරයක් මේ කියන සංඛ්‍යාව වෙනස්වීමකට ලක් වෙනවා. 2017 පොල් නිෂ්පාදනය මිලියන 2440 විතර අගයක් ගත්තා. 2018 වෙනකොට මිලියන 2623ක් විතර වුණා. 2019 වර්ෂය වෙනකොට මිලියන 3083යි. 2020 වනවිට මිලියන 2702යි. 2021සිට 2023 යන වර්ෂ වල මිලියන 30100 වැඩි අගයක් ගත්තා. ඊට පස්සේ 2024 දෙසැම්බර් වනවිට පොල් නිෂ්පාදනය දෙදහස් හයසිය ගණනකට පහත වැටීමක් තිබෙනවා. ඇත්තටම මේ ආකාරයෙන් පහත වැටීමක් සිදුවන විට රටේ පොල් අවශ්‍යතාවය ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා.

අපේ නිෂ්පාදන හැටියට එදා සිටම අපනයනය කළේ පොල් තෙල්, කොප්පරා, පුන්නක්කු සුළු ප්‍රමාණයක්. වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන්නේ දිසිඳි පොල්. හැබැයි 2013-2014 අනෙක් නිෂ්පාදනත් අපනයනයට යොමු වෙනවා. 2023 වර්ෂයේ කොප්පරා මෙ.ටොන් 3800කුත් කොකනට් ඔයිල් 43,000ක්, වර්ජින් කොකනට් ඔයල් 15,000ක් ද දිසිඳි පොල් 31,000, කොකනට් ක්‍රීම් 20,000, කොකනට් මිල්ක් 59,000කුත් මිල්ක් පවුඩර් 10,000ක් පමණ. 2014 වර්ෂයේ අපනයනය කළ ප්‍රමාණයත් එක්ක සසඳල බැලුවහම අපනයනයේ ලොකු වර්ධනයක් තිබෙනවා. 2014-2016 පොල් ඵලදාව අඩුවීම අපට දැනුනෙ නැත්තේ දේශීය පරිභෝජනය 1800ක් වනවිට නිෂ්පාදනය 2500 ක් තිබුණා. ඒත් දැන් වෙලා තියෙන්නේ අපනයන සඳහාම පොල්ගෙඩි මිලියන 700-800ක් අවශ්‍ය වෙනවා. අද වත්තකින් පොල් ගෙඩියක් ගන්නෙ 160ක් වගේ මිලකට. මේ වනවිට පොල් අපනයන සඳහා විශාල සැපයුම් භාර අරගෙන තියෙන්නේ. ඒ සැපයුම පවත්වා ගැනීම පෙළඹීම නිසා ඉහළ මිලට පොල් මිලදී ගන්නවා. එතකොට පොල් මිලෙහි වැඩිවීමක් සිදු වෙනවා. ඒක පාරිභෝගිකයාට දැනෙන එක තමයි ගැටලුව. ඒත් ඇත්තටම අපේ රටේ පොල් අපනයනය හොඳ ප්‍රවණතාවයක පවතිනවා. මැයි ජුනි මාස වෙද්දී නැවත පොල් ඵලදාව වැඩි වෙනවා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. එතකොට අපි අනුමාන කරනවා නැවත පොල් මිල යථා තත්ත්වයට පත්වෙයි කියලා. ඒ වගේම පොල් නිෂ්පාදනය ඉදිරි මාස කිහිපයේදී සාමාන්‍ය තත්ත්වයට ආවම පොල් ආනයනය කරන්නත් රජයට අවශ්‍ය වන්නේ නැහැ.” මහාචාර්යවරයා එසේ කීය.

පොල් ගැන කතාකරන විට පොල් මිලෙන් බැටකන පාරිභෝගිකයා ගැන කතා නොකළහොත් එය ද ලොකු අඩුවකි. වෙළෙඳපොළේ පවතින පොල් හිඟය හා මිල ගැන පාරිභෝගිකයන් කීපදෙනෙකු මෙසේ කීය.

“අහස උසට තියෙන බඩු මිලත් එක්ක අද අපට ජීවත්වෙන්න අමාරුයි.. හැම දෙයක්ම ගණන්. දුප්පත් අපි පොල් සම්බලයක් හරි එක්ක බත් කෑවා. දැන් ඒකත් අපට නෑ. පොල්ගෙඩියක් රුපියල් 240-270යි. අපි කුලී වැඩකරන මිනිස්සු. හැමදාමත් වැඩ නෑ. දවසට හම්බකරන්නේ රුපියල් දාහයි. ඒකෙන් පොල්ගෙඩියයි හාල් කිලෝ එකයි ගත්තම ඉතුරු බඩු ගන්න විදිහක් නෑ.” කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි නිර්මලදාස එසේ කීය.

කොළඹ නගරයේ පොල් වෙළෙදාමේ නියුතු එන්ශක්ති පොල් මිල ගැන මෙසේ කියන්නේ ය.

“අද පොල් ගෙඩියක් 240 වෙනවා. අපි එදා ඉඳන් ජීවත්වන්නේ පොල් විකුණලා. ඒත් අද තියෙන තත්ත්වයත් එක්ක අපේ රස්සා කරගෙන යන්න විදිහක් නෑ. අපිට පොල් තොග ලැබෙන්නෙත් 235ට 240ට විතර. ආණ්ඩුවෙත් කිසිම පාලනයක් නෑ. වෙනදා පොල්ගෙඩි දෙක තුන අරගත්ත මිනිස්සු දැන් ගෙනියන්නේ එක වේලක් කන්න පොල් ගෙඩියක් විතරයි. සමහරු බෑයත් ඉල්ලගෙන යනවා. දැන් වෙලා තියෙන්නේ පොල් නැතිව හොදි කන්න.”

“පොල් ප්‍රශ්නය හැම අවුරුද්දෙම මේ කාලෙට එනවා. හැබැයි මෙච්චර කවදාවත් ගණන් ගියේ නෑ. ආණ්ඩුව දැන් ලෑස්තිවෙලා රටින් පොල් ගෙන්නල පොල් ප්‍රශ්නය විසඳන්න. අපේ රටේ සල්ලි නේද මේ නිකරුණේ පිට රටට යන්නේ. මේක නෙවෙයි ආණ්ඩුව කරන්න තියෙන්නේ. පොල් වලට පොහොර ටික සහන මිලට ලබාදීලා සත්තුන්ගෙන් වෙන උවදුරුවලට පිළියම් ලබාදිය යුතුයි. නැත්නම් රටින් පොල් ගේන එක තාවකාලික විසඳුමක් විතරයි. නැත්නම් අපට වෙන්නේ පොල් ගෙඩියටත් පිටරටට අතපාන්නයි.”තවත් පාරිභෝගිකයකු එසේ කීය.

අද මෙරට උද්ගතවී ඇති පොල් ප්‍රශ්නය එසේය. ඉන් පීඩා විඳින්නන්ද රටේ බොහෝ ය. අප මෙම ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි මීට පෙර අපේ රටේ දේශපාලකයා ජනතාවට පොල් බෑ පෙන්වා දේශපාලනය කළ ද ඔවුන් එදා සිට මේ දක්වාම පොල් ප්‍රශ්නය දැක්කේ තවත් දේශපාලන මාතෘකාවක් විදිහට ය. එහෙත් එහි සැබෑ තත්ත්වය දන්නේ රටේ දුක්විඳින පාරිභෝගික ජනතාව මිස දේශපාලකයන් නොවේ ය.

රමින්ද මාවතගේ


advertistmentadvertistment