දීර්ඝ කාලයක් තිස්සේ මැති ඇමැතිවරුන්ගේ සේවකයන් ලෙස සිටි ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් 2000කට ආසන්න පිරිසකට පොලිස් රාජකාරි පිළිබඳ නැවත පුහුණුවක් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කරමින් සිටියි.
ඇමැති ආරක්ෂක අංශයේ රාජකාරි කළ බහුතරයක් නිලධාරීන් තම රාජකාරියට අමතරව ඇමැතිවරයාගේ හෝ මන්ත්රීවරයාගේ පෞද්ගලික කටයුතු සිදු කර ඇති බව හෙළි වී තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් රාජකාරි නොකර මේ ආකාරයට මැති ඇමැතිවරුන්ගේ නිවාසවල මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික කටයුතු සඳහා සේවය කරමින් සිටීම නිසා එම නිලධාරියා පොලිස් රාජකාරි පිළිබඳව ඇති දැනීම අල්ප වී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග මත ඇමැති ආරක්ෂක අංශය, ප්රභූ ආරක්ෂක අංශය ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශවල රාජකාරි කළ අතිරික්ත නිලධාරීන් විශාල පිරිසක් පොලිස් ස්ථානවලට මාරු කර යැවීමට කටයුතු කෙරිණි.
එසේ පොලිස් ස්ථානවල රාජකාරි සඳහා පැමිණි නිලධාරීන් පොලිස් රාජකාරි පිළිබඳව ඇති දැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇත.
මේ හේතුව නිසා එසේ පොලිස් ස්ථානවලට අනුයුක්ත කළ නිලධාරීන්ට පොලිස් රාජකාරි පිළිබඳව නැවත පුහුණුවක් ලබාදීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.
මෙම පුහුණුව පොලිස් ස්ථාන මට්ටමෙන් ක්රියාත්මක කෙරෙනු ඇත.
නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු