එදා 1980 මැතිනිය හා මෛත්‍රී මෙදා 2024 චන්ද්‍රිකා – මෛත්‍රී

1619

ශ්‍රී.ල.නි.ප. අර්බුදය

මීළඟ ජනාධිපතිවරණය ආසන්නව තිබියදී වසර ගණනාවක් මෙරට පාලන බලය හෙබවූ කීර්තිමත් දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී තිබේ. අතීතයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා සී.පී.ද සිල්වා මහතා අතර ද අර්බුදයක් මතුව තිබූ නමුත් 1980-82 කාලයේ දැක ගන්නට ලැබුණු අර්බුදය වඩාත් කැපී පෙනෙයි. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා මෛත්‍රිපාල සේනානායක මහතා අතර අර්බුදයක් මතුවූ අයුරෙන් මෙවර අර්බුදය මතු වී ඇත්තේ මැතිනියගේ දියණිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා තවත් මෛත්‍රිපාල කෙනකු අතර වීම විශේෂය. ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය.

1980 දශකයේ අර්බුදය ගැන විමසන විට 1980 වසරේ එවකට පක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය එවකට පැවති ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ එ.ජා.ප. රජය විසින් අහිමි කිරීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවර අර්බුදය නිර්මාණය විය. මෙහි ආරම්භය මුලින්ම මැතිනියගෙන් හිස්වූ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීමේදී දැක ගැනීමට ලැබුණු අතර ඒ සඳහා එවකට නුවරඑළිය – මස්කෙළිය දෙවන මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක මහතා හා දියණිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර පැවති ගැටුම හේතුවෙන් අවසානයේදී ලක්ෂ්මන් ජයකොඩි මහාතා එම මන්ත්‍රී ධුරයට පත්කිරීමට සිදුවිය.

කෙසේ නමුත් ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවමින් පැවති පක්ෂය තුළ වූ අර්බුදය වඩාත් උග්‍ර තත්ත්වයකට පත්වූයේ 1981 අගෝස්තු මස 02 වන දින මැතිනිය විසින් නිට්ටඹුව පැරණි සංඝබෝධි විදුහලේ කැඳවන ලද පක්ෂ සංවිධාන නිලධාරීන්ගේ රැස්වීමත් සමගය. පක්ෂයේ මධ්‍යම කාරක සභා නිලධාරීන්ට නොදන්වා පවත්වන්නට යෙදුණු මෙම රැස්වීම පක්ෂ ව්‍යවස්ථා විරෝධී බව දන්වමින් එවකට පක්ෂයේ නියෝජ්‍ය සභාපති ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සේනානායක, උප සභාපතිවරුන් වූ හලීම් ඉෂාක් (පාර්ලිමේන්තු මන්ත්‍රී), පී.බී.ජී. කලුගල්ල, ස්ටැන්ලි තිලකරත්න, පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජික මෙන්ම පක්ෂයේ තරුණ සංගමයේ උපසභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර බණ්ඩාරනායක, මධම කාරක සභා සාමාජියන් වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මංගල මුණසිංහ (පක්ෂයේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති), ඩික්සන් සිල්වා, අලෙවි මවුලානා (පක්ෂයේ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම්), ආර්.පී. විජේසිරි (පාර්ලිමේන්තු මන්ත්‍රී), සුමතිපාල ජයවර්ධන (භාණ්ඩාගාරික), කුමාරි බාලසූරිය (පක්ෂයේ කාන්තා සම්මේලනයේ ප්‍රධාන ලේඛිකා), බැසිල් රාජපක්ෂ (උප ලේකම්) යන මධ්‍යම කාරක සභා සාමාජිකයන් 13 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් පක්ෂ නායිකාවට යොමු කර තිබිණි.

ඒ වනවිට පක්ෂයේ ප්‍රබලයින්ව සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක, ටී. බී. ඉලංගරත්න යන හිටපු ඇමැතිවරුන් මෙන්ම ගම්පොළ හිටපු මන්ත්‍රී එමෙන්ම පක්ෂයේ උප ලේකම්වරයෙකු ද වූ දි.මු. ජයරත්න මහතා ද 1981 අගෝස්තු මස 02 වන දින මැතිනිය විසින් කැඳවන ලද ඉහත රැස්වීමට සහභාගී වූ අය අතර වූහ. පක්ෂ මූලස්ථානය යම්කිසි පිරිසක් විසින් අල්ලා ගැනීමට දරන වෑයමක් ගැන ආරංචි ලැබී ඇති බැවින් ලේකම් රත්නසිරි වික්‍රමනායක මහතාට මෙම රැස්වීමට සහභාගී නොවී මූලස්ථානයේ රැඳී සිටින ලෙස තමා දැනුම් දුන් බව සභාපතිනිය පැවසූ බව 1981 අගෝස්තු මස 04 දින ඇත්ත පුවත්පත වාර්තා කර තිබිණි. මෙම රැස්වීමේදී සභාපතිනිය විසින් පක්ෂයේ බලතල තමා අතට ගත් බවට චෝදනා එල්ල වීම කැපී පෙනුණු කරුණකි.

මෙම රැස්වීමෙන් පසු මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් 13 දෙනාගේ කණ්ඩායම මැතිනිය වෙත යළිත් ලිපියක් යවමින් වහාම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා සිටි අතර මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අනුර බණ්ඩාරනායක මහතා සඳහන් කර සිටියේ මැතිනියගේ නිවසේ අල්ලපු ගෙදර සිටින තමාහටවත් නිට්ටඹුව රැස්වීම ගැන ඇය නොදැන්වූ බවය. පක්ෂ ලේකම් රත්නසිරි වික්‍රමනායක මහතා පවසා තිබුණේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමේ බලය ඇත්තේ පක්ෂ සභාපතිනියට බව ද මේ වනවිට ඇය කොළඹින් බැහැරව සිටීම මත තමාහට ඒ සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ කළ නොහැකි බවකි.

එම දිනවල තිරගත වූ ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “සාගරයක් මැද” හා විල්ෆ්‍රඩ් සිල්වා අධ්‍යක්ෂණය කළ “අම්මේ මට සමාවෙන්න”යන චිත්‍රපට දෙකට ද මෙම අර්බුදය ගෙන දුන්නේ අමතර ප්‍රසිද්ධියකි.”සිරිමා දැන් සිටින්නේ ඒකාධිපති සාගරයක් මැද” යනුවෙන් මෙහිදී මෛත්‍රිපාල සේනානායක පවසා තිබූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පවසා තිබුණේ සමහරුන්ට “අම්මේ මට සමාවෙන්න” කියා පැවසීමට දිනයක් උදාවන බවය. ඒ අනෙක් පිලේ සිටින තම පුත් අනුර බණ්ඩාරනායක මහතා ඉලක්ක කර ගෙනය.

විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවන ලෙස 13 දෙනාගේ කණ්ඩායම විසින් කරන ලද ඉල්ලීම රීති විරෝධී බවට මැතිනිය ඔවුන් වෙත යොමු කරන ලද පිළිතුරු ලිපිය ප්‍රශ්නය තව තවත් ව්‍යාකූල කරවන්නක් විය.

මෙවන් වාතාවරණයක් මධ්‍යයේ මෛත්‍රිපාල, අනුර කණ්ඩායම පක්ෂ මූලස්ථානය තම භාරයට ගන්නට සමත් වන නමුත් ඔවුනට එහි බලය රැක ගැනීමට නොහැකි වන්නේ එදිනම සවස්වරුවේ ප්‍රතිවාදී කණ්ඩායම යළි බලය අල්ලා ගැනීම හේතුවෙනි. 1981 ඔක්තෝබර් 4දා එළිදැක්වුණු දිවයින ඉරිදා සංග්‍රහයේ මංගල කලාපයේ ප්‍රධාන සිරස්තලය වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දසේන සූරිආරච්චි ලියූ ‘කවුරුන් ආපසු ගත්තත් මෛත්‍රීට ඉඩක් නැහැ’ (මැතිනිය පක්ෂයේ ප්‍රතිපත්තිය හෙළිකරයි) යන්නයි. 1981 අගෝස්තු 20 දින ඇත්ත පත්‍රය එය වාර්තා කළේ මෙසේය.“පැන්නා ඇල්ලුවා ගැහුවා ගත්තා”යන ශීර්ෂයෙන් “පක්ෂ මූලස්ථානය ගන්න ශ්‍රී.ල.නි.ප. දෙපිල යුද වදී” යන උප ශීර්ෂයෙන් යුක්තව “ශ්‍රීලනිපයේ මෛත්‍රිපාල සේනානායක, අනුර බණ්ඩාරනායක කණ්ඩායම ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය තමන් අතට ගන්නට ඊයේ උදේ වරුවේ සමත් වූ නමුදු තියුණු ප්‍රතිප්‍රහාරයකින් පසුව සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ කොමාන්ඩෝ භටයෝ මෛත්‍රි – අනුර කණ්ඩායමේ රැකවලුන් හට පහර දී ඔවුන් පන්නා දමා සවස් වනවිට බලකොටුව ආපසු අල්ලා ගත්හ. උදේ වරුවේ ජවනිකාව මෙන් නොව සවස් වරුවේ ජවනිකාව ෆයිට් චිත්‍රපට කතන්දරයක දක්නා ලැබෙන නියම ත්‍රාස රසයෙන් යුක්ත එකක් විය. ඇත්තම නළුවෙකු පෙනී සිටීමෙන් එයට අවශ්‍ය අනුපානු ද එක්වී තිබිණි.” යනුවෙන් වාර්තා කර තිබූ එහි විජය කුමාරතුංග මහතා ගැන මෙසේ සඳහන් කර තිබිණි.“විජය කුමාරතුංග මහතා සරම කැසපට ගන්වා ගෙන බජාර් එකේ කකුල් පෙරටුව ගමන් කළේ චිත්‍රපටයේ කොල්ලා එගේන්ස්කාරයා හොයන විලාශයෙනි”.

එදා 1980 මැතිනිය හා මෛත්‍රී මෙදා 2024 චන්ද්‍රිකා - මෛත්‍රී

මෙසේ දෙපිලේ ගැටුම මත අවසානයේ දී පක්ෂ මූලස්ථානයට සීල් තැබීමට රජය පියවර ගත් අතර කණ්ඩායම් දෙකම මෙයට විකල්පයක් වශයෙන් වෙනත් ස්ථානවල තාවකාලික කාර්යාල පිහිටුවීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි. නමුත් අර්බුදය මෙතනින් නැවතුණේ නැත. පක්ෂ නායිකාව වශයෙන් මැතිනිය කැරලිකරුවන් 13 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළාය. මෙම තීරණයට විරුද්ධව ඔවුන් කොළඹ දිසා අධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කිරීම මෙහිදී දැක ගැනීමට ලැබිණි. ක්‍රම ක්‍රමයෙන් මෙම මෙම ප්‍රශ්නය 1982 වසර වෙත ද ඇදී ආ අතර ඇතිවී ඇති වාසිදායක තත්ත්වය යටතේ 1984 වසරට නියමිතව තිබූ මීළඟ ජනාධිපතිවරණය 1982 වසරේ පැවැත්වීමේ සූදානමක ආණ්ඩුව පසුවන බව දැක ගැනීමට ලැබුණේ වසර හයකට පත්වන ජනාධිපතිවරයෙකුහට තම ධුරයේ වසර හතරක් කටයුතු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණයකට මුහුණ දීමට හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුන්වන සංශෝධනය ගෙන ඒම හේතුවෙනි. යම් හෙයකින් එම අවස්ථාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෛත්‍රිපාල සේනානායක මහතා ඒ සඳහා ඉදිරිපත් වනු ඇති බවට කතා මතුවී තිබූ අතර අනිවාර්යයෙන්ම මැතිනියගේ කණ්ඩායම විසින් ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව මැනවින් දැක ගැනීමට තිබිණි. මෙහිදී විජය කුමාරතුංග මහතා තම පිලට අත ලකුණ නොලැබුණහොත් කකුල ලකුණෙන් හෝ වෙනත් ලකුණකින් තරග කරන බව ප්‍රකාශ කර තිබූ අතර අනුර බණ්ඩාරනායක මහතා තීරණාත්මක ප්‍රකාශයක් කර තිබුණේ වැලිගම පැවති රැස්වීමක් අමතමිනි. ඇතැමුන් කකුල හෝ වෙනත් ලකුණකින් හෝ මැතිවරණ සටනට එන බව කීවත් තම කණ්ඩායම තරගයට එන්නේ අත ලකුණෙන් පමණක් බව සඳහන් කළ ඔහු තම පිලට අත ලකුණ නොලැබී එය මැතිනියට හිමි වුවහොත් එම කණ්ඩායමට සහාය දීමට සූදානම් බවද පවසා තිබිණි.

මේ සමගම මෙම ප්‍රශ්නය වෙනත් මුහුණුවරක් ගැනීම ඉන්පසු දැක ගැනීමට ලැබිණි. ඒ අනුර ඇතුළු කිහිපදෙනෙකු යළිත් මැතිනිය සමග එක්වීමේ කතාබහක නිරත වූ බවට ආරංචි පැතිර යෑම නිසාය. මෙයට පිළිතුරු වශයෙන් මෛත්‍රී පිලෙන් කියවුණේ එම සාකච්ඡා දෙදෙනා අතර කෙරෙන ගෙදර කතා මිස නිල සාකච්ඡා නොවන බවයි. මෙයට දැඩි පිළිතුරක් මේ අවස්ථාවේ ලැබුණේ අනුර බණ්ඩාරනායක මහතාගෙනි. මෙය 1982 අප්‍රේල් මස 04 දින දිනමිණ පත්‍රයේ පළවී තිබුණේ “අම්මටයි මටයි මෛත්‍රීගෙන් අවසර ඕනෑ නැහැ” යනුවෙනි. එමෙන්ම 1982 අප්‍රේල් මස 02 දින ලංකාදීප පත්‍රයට අනුව අනුර කණ්ඩායම අලුතෙන් සාමාජිකත්වය නොගෙන පක්ෂය තුළට නැවත පැමිණෙන්නේ නම් මැතිනියගේ පිලේ ප්‍රබලයින් වන හෙක්ටර් කොබ්බෑකඩුව, විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පළ වී තිබුණේ, දැන් ශ්‍රීලනිප අලුත්ම තත්ත්වය, සිරිමා පිල, මෛත්‍රී පිල, කොබ්බෑ පිල, අනුර පිල යනුවෙනි. මේ වනවිට අනුර හා මෛත්‍රී අතර ගැටුම් ඔඩු දුවන මට්ටමකට පැමිණ තිබූ අතර මෙහි ප්‍රතිඵලය වුවේ ශ්‍රී.ල.නි. පක්ෂය සිරිමා පිල, අනුර පිල, මෛත්‍රී පිල ලෙස කොටස් තුනකට බෙදීමෙනි. 1982 අප්‍රේල් 08 දින ලංකාදීප පත්‍රය “මෛත්‍රී අනුර පන්නයි, අනුර මෛත්‍රී පන්නයි. ශ්‍රී.ල.නි.ප. දැන් කෑලි 03 යි” යනුවෙන් වාර්තා කළේය. මේ අනුව මෛත්‍රී පිලේ ලේකම් ලෙස එස්.කේ.කේ. සූරිආරච්චි මහතා ද නියෝජ්‍ය නායක ලෙස පී.බී.ජී. කලුගල්ල මහතා ද අනුර පිලේ ලේකම් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාද පත් වූහ.

කෙසේ නමුත් අවසානයේ දී මැතිනිය හා අනුර කණ්ඩායම එක්වීම සිදුවිය. එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් නීත්‍යානුකූල පක්ෂය ලෙස මැතිනියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පිළිගැනීම මත අත ලකුණ හා පක්ෂ මූලස්ථානය යළිත් මැතිනියට පවරා දෙන්නට සිදුවීම කැපී පෙනිණි.

නමුත් අර්බුදය එතනින් නැවතුණේ නොවේ. 1982 ජනාධිපතිවරණය එළඹිණි. මෙහිදී ප්‍රජා අයිතිය අහිමිවී තිබිම මත මැතිනිය තරග නොකිරීම නිසා පක්ෂයේ අපේක්ෂකයා ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණු අතර ටී.බී.ඉලංගරත්න, විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු කණ්ඩායමක් ඔහු සමග ඉතාමත් උනන්දුවෙන් සටනට අවතීරණ වූහ. ඔවුන්ගේ කණ්ඩායම හා අනුර බණ්ඩාරනායක අතර ඇතිව තිබූ බෙදීම මෙහිදී ද දැක ගත හැකිවිය. ඒ වනවිට බෙදී සිටි මෛත්‍රීපාල සේනානායක මහතා මෙන්ම එම පිලේ කිහිප දෙනකු මෙන්ම 1977 සිට ශ්‍රීලනිප සමග විරුද්ධව සිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ද මෙම මැතිවරණයේ දී කොබ්බෑකඩුවගේ ජන්ද සටනට උරදීම කැපී පෙනෙයි. නමුත් මෛත්‍රී සමග සිටි ආර්.පී. විජේසිරි, පී.බී.ජී. කලුගල්ල වැනි ප්‍රබලයින් රැසක්ම එ.ජා.පයේ ජනාධිපති ජයවර්ධන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු මැතිනිය හා අනුර කණ්ඩායම එක පිලක් ලෙස ද හෙක්ටර් කොබ්බෑකඩුව ටී.බී.ඉලංගරත්න, විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පිරිස වෙනත් කණ්ඩායමක් ලෙස ද පක්ෂයේ බෙදීම සංකේතවත් කළහ. මෙහි ප්‍රතිපලය වූයේ 1984 ටී.බී.ඉලංගරත්න, විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පිරිස එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහිකිරීමය.

1988 විජය කුමාරතුංග මහතාගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකා මහජන පක්ෂය ඔසී අබේගුණසේකර කණ්ඩායම හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ කණ්ඩායම ලෙස ද බෙදී ගිය අතර චන්ද්‍රිකා බහුජන නිදහස් පෙරමුණ බිහි කළාය.

1982 සිට එක්ව කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා අනුර බණ්ඩාරනායක මහතා අතර 1992 – 93 පමණ වනවිට යළිත් බෙදීමක් ඇතිවන ලකුණු පෙනීගිය අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ වනවිට යළි පක්ෂයට පැමිණ සිටියාය. අවසානයේ අනුර බණ්ඩාරනායක මහතා තම හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් රැගෙන ඩී.බී.විජේතුංග ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සිදුවිය. වසර 17ක පරාජිත සමයක් අවසන් කරමින් 1994 ශ්‍රීලනිප නැවත බලයට පත්වීම මෙම යුගයේ දැකගත හැකිවූ ප්‍රබල සිදුවීමකි. මුලින්ම අගමැති ධුරයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුව ජනාධිපති ධුරයට ද පත්වූවාය.

1993 සිට එජාපයේ සිටි අනුර බණ්ඩාරනායක මහතා 2001 මහ මැතිවරණයේ දී තම සොයුරිය වන චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය යටතේ නැවත පක්ෂයට එක්වීම ද මෙහිදී අමතක කළ නොහැකි කරුණකි. කෙසේ වෙතත් ඔහුට අගමැති ධුරයට හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි වීම අවාසනාවකි. 1994 – 2005 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ යුගය මෙන්ම 2005 – 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය ශ්‍රීලනිපයේ ස්වර්ණමය යුග වශයෙන් සඳහන් කළ හැක. 2015 පක්ෂ මහලේකම්වරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ප්‍රමුඛ සන්ධානයකින් තරග වැදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට පත්වීම සිදුවිය. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පක්ෂය බිහිකර 2019 ජනාධිපති ධුරය මෙන්ම 2020 පාර්ලිමේන්තු බලය ද එම පක්ෂයට අත්කර ගත් අතර ශ්‍රීලනිප මේ වනවිට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු අතර අර්බුදයකට මුහුණපා සිටියි. ඒ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු කණ්ඩායම අතරය.

● අනිල් වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment