එන්නත්කරණ වැඩපිළිවෙළට ජපානයෙන් දුන් උපකරණ වැදගත්

94

ජපන් අරමුදල්වලින්  යුනිසෙෆ් දෙන දෙවැනි ශීත දාම  උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට

 ‘කෝවිඞ් -19’ට එරෙහිව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ සේවාවන් ලබා දීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජයේ අරමුදල්වලින් යුනිසෙෆ් ආයතනය විසින් මිලදී ගනු ලැබූ දෙවැනි ශීත දාම උපකරණ තොගය සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී තිබේ.

 එම භාණ්ඩ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා, යුනිසෙෆ් ආයතනයේ ශ‍්‍රී ලංකා නියෝජිත, ක‍්‍රිස්ටියන් ස්කූග් යන මහත්වරුන් විසින් භාර දෙන ලදී.

 එන්නත් බහාලූම් 500ක් සහිත ප‍්‍රථම තොගය 2021 අපේ‍්‍රල් මාසයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යුනිසෙෆ් ආයතනය විසින් භාරදී තිබේ.

 එන්නත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් දෙවැනි තොගයට එන්නත් බහාලූම් 750ක්, ශීත පෙට්ටි 300ක්, ශීතකරණ 100 ක් (Ice – Lined Refrigerators (ILRs), ශීතකරණ උෂ්ණත්ව පාලන මොනිටර් 145 ක් සහ ඇන්ඩ්‍රොයිඞ් ටැබ්ද ඇතුළත් වෙයි. එන්නත්වල ගුණාත්මකභාවය හා ඵලදායීතාවය පවත්වා ගැනීම සඳහා උෂ්ණත්වය ද ඇතුළුව එන්නත් අවශ්‍ය ගබඩා තත්ත්වයන්හි පවත්වා ගැනීම සඳහා මෙම ශීත දාම උපකරණ අත්‍යවශ්‍ය වේ.

 අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා භාරදීමේ උත්සවයේදී අදහස් දක්වමින් මෙසේ කීවේය. එන්නත් ලබා දීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජයෙන් ලද මෙම උපකරණ තොගය ඉතා වැදගත්. ජපාන රජය ශ‍්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ දිගු කාලීන හවුල්කරුවකු වන අතර වසර

 ගණනාවක සිට ලබා දෙනු ලබන සහයෝගය හා අනුග‍්‍රහය වෙනුවෙන් ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. එසේම යුනිසෙෆ් ආයතනය විසින් එවැනි අතිශය තීරණාත්මක සැපයුම් මිලදී ගැනීම ඇතුළුව ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සිදුකරනු ලබන වැදගත් කාර්යභාරය ද අගය කරනවා යැයි කියා සිටියේය.

 මෙහිදී අදහස් දැක්වූ තානාපති සුගියාමා මහතා මෙසේ සඳහන් කළේය. අප ලබා දෙනු ලැබූ, ප‍්‍රමාණවත් ගබඩා පහසුකම් සහිත ශීත දාම උපකරණ ශ‍්‍රී ලාංකික ජනතාව වෙත ක්ෂණිකව හා සුරක්ෂිත ලෙස බෙදා හැරීම සඳහා උපකාර වනු ඇතැයි ජපාන රජය විශ්වාස කරනවා. මීට අමතරව යුනිසෙෆ් ආයතනයේ සහාය ඇතිව කොවැක්ස් පහසුකම මගින් ශ‍්‍රී ලංකාව සඳහා ජපානයේ නිෂ්පාදනය කරන ලද ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් ආසන්න වශයෙන් මාත‍්‍රා මිලියන 1.45ක් ජපාන රජය විසින් ලබාදී තිබෙනවා. එන්නත් සහ ශීත දාම උපකරණ ලබා දීමෙන්

 ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් කඩිනම් කිරීමට හා ‘කෝවිඞ් – 19’ පැතිරීම වළක්වා ගැනීම සඳහා දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා.

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික එන්නත්කරණ සැලැස්මට සමගාමීව

 ශ‍්‍රී ලංකාව මේ වන විට ප‍්‍රමුඛතා ජනගහනය සඳහා ‘කෝවිඞ් -19’ට එරෙහිව එන්නත්කරණ වැඩසටහන සිදු කරයි.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment