එන්න එන්නම අපි ණය උගුලක හිරවෙනවා… මේ යන්නෙ වැරදි පාරක… අමාත්‍ය දයාසිරි ජයසේකර

111

ශී‍්‍ර ලනිපයට මේ අර්බුදයෙන් ගොඩ එන්න වැඩපිළිවෙළක් තියෙනවා

රට කෑලිවලට කඩලා විදේශයට දෙන ප‍්‍රතිපත්තිය පරාජය කළ යුතුයි

කාබනික සංකල්පය කේවට්ට උපදෙස් නිසා විනාශ වුණා

නිදහසින් පසු ශ‍්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අර්බුද ගණනාවකට මුහුණ දෙන කාලයකි මේ. ඒ අතර සමස්ත ආර්ථිකයටම මරු පහරක් එල්ල කරමින් එහි ක‍්‍රියාකාරීත්වය අඩපණ කරමින් කොවිඞ් වසංගතය තවදුරටත් මෙරට තුළ හොල්මන් කරමින් ඇත. මේ ගෙවමින් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ භෞතික සම්පත් ඩැහැ ගැනීමට වක‍්‍රාකාරව මාන බලන විදේශීය අතපෙවීම් වලද අඩුවක් නැති යුගයකි. මේ සියලූ අභියෝග හමුවේ මෙරට පැරණිතම පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ස්ථානගතව තිබෙන්නේ කොතනද. ඒ ගැන අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් අසමු.

ප‍්‍රශ්නය – වර්තමාන ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් වැනි කෙටි කාලයකදී ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය ශීඝ‍්‍ර ලෙස බිඳ වැටී තිබෙනවා. අසූව දශකයේ ඇමෙරිකානු ඩොලර් කෝටි 70 වූ අයවැය පරතරය ඉකුත් සතියේ ඉදිරිපත් කළ අයවැයට එද්දී ඩොලර් කෝටි 800 ක් විතර වෙලා. මේතාක් මේ රට පාලනය කළේ ඔබ නියෝජනය කරන ශ‍්‍රී.ල.නි.ප. සහ එ.ජා.ප. ප‍්‍රමුඛ ආණ්ඩු. ඇයි මෙහෙම සිදුවුණේ.

පිළිතුර – මේ අයවැය හිඟය එන්න එන්නම වැඩිවෙලා තියෙන්නෙ එක්දහස් නවසිය පනස් ගණන්වල ඉඳල. පනස් ගණන්වල ඉඳල මේ තත්ත්වය එනකොට සමහර වෙලාවට ලැබුණු ආදායම වියදමට ප‍්‍රමාණවත්ව අවස්ථා තිබ්බා. හැබැයි දැන් අපි ලබන ආදායම තිබෙන ණය සහ පොලී වාරික ගෙවන්නවත් ප‍්‍රමාණවත් නෑ. වෙන මොනවත්ම නිසා නෙවෙයි, මේක ඇතිවෙලා තියෙන්නෙ වසර ගණනාවක් තිස්සෙ මේ රටේ තිබුණ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා. වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති ගණනාවක් ක‍්‍රියාත්මක කිරීම නිසා. මේ යන්නෙ වැරදි පාරක.

ප‍්‍රශ්නය – රටේ පාලන බලය තිබෙන්නෙ ඔබතුමාලා අතේ ඉතින් මේ ආර්ථික අවපාතයෙන් අපේ රට ගොඩගන්න බැරිද?

පිළිතුර – මේ වැටීමෙන් ගොඩ එන්න ස්ථාවර දිගුකාලීන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක මේ එක අයවැයකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් කියල මම හිතන්නෙ නෑ. අය වැය හිඟය සම්පූර්ණයෙන් සීමා කරගෙන අය වැය සමාන තැනකට ගේන්න පුළුවන්නම් ඒක තමයි ප‍්‍රශස්තම දේ. ඊළඟට ආනයනවලට වඩා අපනයනය වැඩි වැඩපිළිවෙලකට අපි යන්න ඕන. හැබැයි ඒකෙන් විතරක් මේ සියල්ල විසඳගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරන්නෙ නෑ. ඒ වගේ කරුණු ගණනාවක් තියෙනවා මේ ආර්ථිකයේ නිවරදි කර ගත යුතු දේවල්.

ප‍්‍රශ්නය – මෙතෙක් වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමයි මේ ආර්ථික අවපාතයට හේතුව බව ඔබතුමාම සඳහන් කළා. දැනටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවෙක්. ඉතින් ශ‍්‍රී.ල.නි.ප. සතුව අපේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලක් තවමත් නැතිද?

පිළිතුර – නෑ.. ඉතින් මූලිකව කළ යුතු කාර්යන් කිහිපයක් තියෙනවා. අපි මේ ඉන්නෙ වෙළෙඳපොළ මූලික කරගත්ත වාණිජ ආර්ථිකයකනෙ. මේ වාණිජ ආර්ථිකයේ ඉඳල නිෂ්පාදන ආර්ථිකයක් දක්වා අපි කොහොමද ගමන් කරන්නෙ කියන එක අපි විසඳගන්න ඕන. දෙවනුව අපේ අපනයනයන් දිරි ගැන්වීම. මේ වෙනකොට සියයට විසිගාණක් තිබුණ අපේ අපනයන සියයට එකොළහකට බැහැල තියෙන්නෙ. වසර ගාණක් තිස්සෙ ඉඳන් අපේ අපනයන වර්ධනයක් සිදුවෙලා නෑ. මේ ඇතිවෙලා තියෙන ඩොලර් අර්බුදයට විසඳුමක් එන්නෙ එතනින්. ඊට අමතරව ආයෝජන අවස්ථා දිරිගැන්විය යුතුයි. සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කිරීම වගේ දේ වලින් රටට හොඳ ඩොලර් සංචිතයක් හැදෙනවා. උදාහරණයක් විදියට 1999 වෙද්දි ඉන්දියාවේ විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන පහයි. ඒත් අද ඉනිදියාවේ විදේශ සංචිත වත්කම ඩොලර් බිලියන හයසීයයකට ආසන්නයි. අවුරුදු විස්සක් වගේ කාලයකදී ඔවුන්ට පුළුවන් වෙලා තිබෙනවා ඩොලර් බිලියන හයසීයකින් වගේ තමන්ගේ විදේශීය සංචිතය වැඩි
කරගන්න. ඉන්දියාවට මේක කරන්න පුළුවන්නම් ලංකාවට මේ තත්ත්වයට එන්න වැඩ කරන්න බැරි කමක් නෑ. මොකද බංගලාදේශය පවා ඩොලර් බිලියන 46 දක්වා තමන්ගේ විදේශ සංචිත වැඩි කරගෙන තියෙනවා.

සිංගප්පූරුවේ විදේශීය සංචිතය ඩොලර් බිලියන තුන්සීයක්. ඉතින් කුඩා රටවලටත් එහෙම තත්ත්වයට යන්න පුළුවන් නම් ලංකාවට නිවැරදි ආර්ථික කළමනාකරණයක් එක්ක එතෙන්ට එන්න පුළුවන්. ඒ වැඩපිළිවෙලටයි අපි යා යුත්තේ.

ප‍්‍රශ්නය – තවමත් අපේ ප‍්‍රධාන අපනයන වෙන්නෙ යටත්විජිත සමයෙන් පසු අපට සුද්දා ඉතිරි කර ගිය දේවල්. ඇඟලූම් කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය තමයි අලූත් දේකට කියල පසුකාලීනව අපි හදාගෙන තියෙන්නෙ. අඩසිය වසකට වඩා වැඩි කාලයක් රට පාලනය කළ පාලකයන් විදේශීය සංචිත හදාගන්න මොනවද කර තිබෙන්නෙ. අපි තවමත් විකුණමින් ඉන්්නෙ මුතුන් මිත්තන්ගෙන් දායාද වූ භෞතික උරුමයයි, සුද්දා වවලා ඉතිරි කර ගිය අපනයන බෝගයි විතරයි නේද?

පිළිතුර – තේ, පොල්, රබර් හැර ඊළඟට අපිට තයෙන්නෙ ඇඟලූම් කර්මාන්තය තමයි. හැබැයි ඇඟලූම් කර්මාන්තයෙත් අපි ඩොලර් බිලියන හතරක වගේ ආදායමක් ලැබුවට එයින් ඩොලර් බිලියන දෙකක් දෙකාහමාරක බඩු ආනයනය කරල ඒකෙන් තමයි මේ සියල්ල කරන්නෙ. ඉතින් ඒකෙන් ලැබෙන්නෙත් බොහොම කුඩා ප‍්‍රමාණයක්. ඒ නිසා අපි මැණික් සහ ස්වාර්ණාභරණ, ධීවර කර්මාන්තයේ අපනයනයන් වගේ අවස්ථා ගණනාවක් අපි ඉදිරියේ තියෙනවා. දැන් ඒ වගේ තිබෙන අලූත් අවස්ථා අපි
හදාගන්න ඕන.

ප‍්‍රශ්නය – ආර්ථික නිර්ණායක අනුව ඒක පුද්ගල ආදායම ගණනය කරත් අපේ රටේ ආදායම් බෙදී යෑමේ විෂමතාවය ඉතා වැඩියි. රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට දුගීභාවය යන කාරණයේදී මෙය බලපානවා. කාලයක සිට පවතින මේ ගැටලූව ගැන මේ රටේ ඉතා පැරණි පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මොකක්ද?

පිළිතුර – මේ රටේ සමස්ත ආදායමෙන් සියයට හැත්තෑ පහක් විතර පාවිච්චි කරන්නෙ ජනතාවගෙන් සියයට විස්සක විතර ප‍්‍රමාණයක් කියල තමයි හඳුනාගෙන තියෙන්නෙ. මේක විශාල අර්බුදයක් විදියට තමයි අපි දකින්නෙ. ආදායම් බේදී යෑමේ විෂමතාවය අවම කරන්න නම් මූලිකව සේවා නියුක්තිය වැඩි කළ යුතුයි. මේ ගැටලූවට තවත් හේතුවක් වෙලා තියෙන්නෙ ලංකාවේ ව්‍යාපාර ක්ෂේත‍්‍රයට එන්න කැමති පිරිස ඉන්නෙ සියයට හතරක් වගේ සුළු ප‍්‍රමාණයක්. ව්‍යාපාර ක්ෂේත‍්‍රයට ඇවිත් අවදානම් අරන් ඉදිරියට යන එක ගැන තියෙන්නෙ පසුගාමී බවක්. ඒවා වෙනස් වෙන්න ඕන. ඒ වගේම බදු ඉපයීම සහ අය කරගැනීම නිවරදිව කරනවනම් මේ කාරණය සමනය කරගන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා.

ප‍්‍රශ්නය – මේ වතාවෙත් අපේ තිබෙන විශාල අයවැය පරතරය පියවා ගැනීමේ මූලික ක‍්‍රමය වන්නෙ විදේශීය ණය ලබා ගැනීම. විශාල ණය බරක් තියෙන අපේ රට ණය උගුලක සිරවෙලා තිබෙන බවට මතයක් තිබියදී අනෙක් පැත්තෙන් අපිව එහෙම ණය උගුලකට සිර නොකර ණය දෙන රටවල් තියෙනවද?

පිළිතුර – ණය ලබා ගැනීමේදී ඉස්සර තිබුණ තත්ත්වය නෙමෙයි දැන් තියෙන්නෙ. වාණිජ ණය ලබා ගැනීමේදී විශාල වශයෙන් අපි හිරවෙනවා. ඉස්සර පොළි අනුපාතිකය සියයට එකට වඩා අඩුවෙන් ලබා දුන්න ණය දැන් ලැබෙන්නෙ කීයටද. සංවර්ධනය සඳහා ණය ලබා ගැනීමේදී මීට වඩා සෑහෙන අඩුවෙන් අපිට ණය ලබා ගන්න තිබුණා. විශේෂයෙන් මේ ලබාගන්න ණය යෙදවුම් තුළ ආදායමක් ඉපයෙන්නෙ නෑ. ඒ නිසා ඔවුන්ට අවිශ්වාසයි මේ මුදල් ඔවුන්ට ආපසු ලැබෙයිද කියල. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නෙ. ඒ වගේ වෙලාවක ලැබෙන ණය වල ප‍්‍රතිශතය විශාල වශයෙන් වැඩි වෙනවා. එතකොට තව තවත් ණය උගුලක හිරවීමක් තමා වෙන්නෙ. උදාහරණයක් විදියට හම්බන්තොට වරායට ණය ලබා ගැනීමේදී සියයට හයක ඉහළ ප‍්‍රතිශතයකට අපි ණය ලබාගෙන තියෙන්නෙ. මේ වගේ දැවැන්ත වාණිජ ණය ගැනීම තුළ තමා විශාල වශයෙන් රට අර්බුදයකට ගිහින් තියෙන්නෙ.

ප‍්‍රශ්නය – පෝට් සිටි ව්‍යාපෘතිය, කොළඹ වරායේ බටහිර ජැටිය විදේශීය සමාගමකට ලබා දීම, ඒ වගේම ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි, යුගදනවි බලාගාරය ඇමෙරිකාවට ලබා දීම, මේවා රටට වාසිදායක ආයෝජනද?

පිළිතුර – ඇත්තම කතාව ගත්තොත් චන්ද්‍රිකා මැතිණිය වරායේ එක ජැටියක් පී. එන්. ඕ. එකට ලාබා දෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිත් මේක චීනයට ලබා දෙනවා. එතනින් තමා මේ අවුල පටන් ගන්නෙ. චීනයට දුන්න ගමන් ඉන්දියාව
නැගෙනහිර ජැටිය ඉල්ලනවා. ඒක දෙන්න බෑ කියල බටහිර ජැටිය ලබා දෙනවා. මේවා කිසිදු වටිනාකමක් නැති තැනකට තමා දැන් පත්වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ ආයෝජන වශයෙන් ආවට මේකෙන් අපේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වරීභාවය හිර වෙන තැනකට තල්ලූවෙලා තියනවා. දැන් අපිට නැගෙනහිර ජැටිය තියෙනවා කියල කිවුවට ඒක හදන්න කවුරුත් මහන්සි ගන්නෙ නෑ. ඩොලර් මිලියන හැත්තෑවක් වියදම් වෙන මේ ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා වරායට කරන්න පුළුවන්. මේකෙ මීටර් 160 ක් විතර තමයි තව හදන්න තියෙන්නෙත්. මේක හදල තව දොඹකර හතරක් විතර දාගත්තා නම් තව ඩොලර් මිලියන සීයක විතර ආදායමක් නැගෙනහිර ජැටියෙන් ගන්න පුළුවන්. හැබැයි දැන් ඒක හදනවා තියා අතවත් තියන්නෙ නෑ. ඒවගේම එහා පැත්තෙ තියෙන ජැටිය 2028 වෙනකොට ජෝන් කීල්ස්ලගෙන් නිදහස් වෙනවා. ඉතින් මේ දෙක එකතු කරානම් යූ හැඩය තියෙන වරායක් අපට ගන්න පුළුවන්. යූ හැඩය තියෙන වරායක් හම්බවෙන්නෙ ඉතාම කලාතුරකින්. හැබැයි ඒ හැකියාවවත් දැන් පාවිච්චි කරන්නෙ නැති නිසා අපි විශාල අර්බුදයකට ඉදිරියේදී තල්ලූවෙනවා. මොකද අපි දැනගන්න ඕන අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තියත් එක්ක ඇතිවෙලා තියෙන ප‍්‍රශ්න නිසා ඇමෙරිකාවටත් චීනයටත් ඉන්දියාවටත් අපි දැන් මැදිවෙලා ඉන්නෙ. චීනය එක කෑල්ලක් ඉල්ලනකොට ඇමෙරිකාව තව කෑල්ලක් ඉල්ලනවා. ඉන්දියාව තව කෑල්ලක් ඉල්ලනවා. ඉතින් මේක කෑලි වලට කඩල දෙන එක තමා අද දේශපාලන නායකයන්ගේ තත්ත්වය බවට පත්වෙලා තියෙන්නෙ. විදේශීය රටවල් එක්ක අපේ ගනුදෙනුව කරන්නෙ කොහොමද කියල මේකට අපි තීරණයක් ගන්න වෙනවා.

ප‍්‍රශ්නය – කාබනික පොහොර ගෙන්වීමේදී රටේ පවතින නීති රාමුව අනුව එය ප‍්‍රතික්ෂේප වූ විට චීනයේ අතපෙවීම සමග බලද්දී මේ කියන්නෙ අපිට ගොඩ එන්න අපහසු උගුලක හිරවෙලා ඉන්නවා කියන එකද?

පිළිතුර – දැන් මේ එකපාරට කාබනික වගාවකට ගිහින් අන්තිමට වුණේ ලෝකයේ කාබනික පොහොර ආනයනය කරන එකම රට බවට ශී‍්‍ර ලංකාව පත්වීම. සාමාන්‍යයෙන් කාබනික පොහොර පිටරටින් ගෙනත් වගාවට දාන්නෑනෙ. මේ කේවට්ටයෝ, මේකෙ ප‍්‍රායෝගිකත්වය දන්නෙ නැති දොස්තරවරු දුන්න උපදෙස් ක‍්‍රියාත්මක කරන්න ගිහින් මේ තීරණවල ප‍්‍රතිඵලය අපි භූක්ති විඳිමින් ඉන්නෙ. අඩුම ගාණෙ මේ ගහපු ගිවිසුමේ දැම්මනම් රටේ ශාක නිරෝධායන පනතට අනුව මේක කරන්නෙ කියල කාටවත් කතා කරන්න දෙයක් නෑ. අන්තීමේදී චීනය වගේ රටක් මේ හරහා කොහොම බලපෑමක් කරනවද කියල දැන් අපිට පේන්න තියෙනවා.

ප‍්‍රශ්නය – ඔබතුමා මතු සඳහන් කළ සියලූ කාරණා එක්ක අපට පේන්නෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ පවතින ප‍්‍රශ්න සම්බන්ධයෙන් දරන බවයි. ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රී.ල.නි.ප. ය වෙනම ගමනකට මේ සූදානම. දැනටමත් ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රී.ල.නි.ප. ය අනුරාධපුරයෙන් වෙනම තරග කිරීමට තීරණය කර තිබෙනවා නේද?

පිළිතුර – අනුරාධපුර තරුණ කාන්තා සහ ගුරු සම්මේලනයේදී එවැනි තීන්දුවක් ඇවිත් තිබ්බා යෝජනවක් විදියට. එවැනි යෝජනා හැම තැනකම සම්මත වෙනවා. පක්ෂයක් විදියට එවැනි යෝජනා ආවම අවසානයේ මාධ්‍යම කාරක සභාව සළකා බලල තමයි අවසන් තීරණයකට එන්නෙ. තාමත් අපි පක්ෂයක් විදියට ඒ තීරණය අරන් නෑ. හැබැයි ඉතින් හැම ප‍්‍රදේශයකම පල්ලෙහා තියෙන ඉල්ලීම මේක තමයි.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment