එන්න යන්න යාපනේ දූපත්වල ඇවිද බලන්න…

234

ශ‍්‍රී ලංකාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා සාගරයෙන් වට වූ පුංචි දූපතකි. එහෙත් ඒ දූපත ඇතුළේ ද තවත් දූපත් සිය
ගණනාවකි… ස්වල්පයක් දූපත් රට අභ්‍යන්තරයේ පිහිටි ජලාශ හා වගුරුබිම්වලය. බහුතරයක් දූපත් ඇත්තේ රටට ආසන්න මහා සාගරයේ ය. මෙවන් දූපත් වැඩිපුරම ඇත්තේ යාපනය අර්ධද්වීපයයි, අර්ධද්වීපය අවටයි.

පසුගිය දිනක මා යාපනය ප‍්‍රදේශයේ කරන ලද සංචාරයේ එක් අරමුණක් වූයේ යාපනය අර්ධද්වීපය වටා පිහිටි ලොකු කුඩා දූපත්වල සංචාරය කිරීමයි. දිවයින පුවත්පතේ යුද වාර්තාකරුවකු ලෙස සේවය කළ සමයේ මා යාපනයට කොතෙකුත් පැමිණ තිබුණත් දූපතකට ගොඩ වන්නට අවස්ථාව ලැබුණේ එහෙමත් කලාතුරකිනි. එවකට ඒ සඳහා අපට නිසි ආරක්ෂාවක් නොවීය.

අපේ වීරෝදාර රණවිරුවන්ට පින්සිදුවන්නට මට පමණක් නොව, ලංකාවේ ඕනෑම පුරවැසියකුට යාපනයට ගොස් දූපත් පුරා ඇවිද ගොස් රිසි පරිදි සංචාරය කරන්නට දැන් කිසිදු තහනමක් නැති තරම්ය. ශ‍්‍රී ලංකාව අප කාගේත් රට බව අපේ රටේ පුරවැසියාට හරියටම දැනෙන්නේ දැන්ය.

යාපනය අර්ධද්වීපයේ ගොඩබිම ආරක්ෂාව යුද හමුදාව සතුව පවතින නිසා ආරක්ෂාව පිළිබඳ සැක සංකාවක් චකිතයක් සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවකුටත් යාපනයේ නැති තරම්ය. යාපනය අර්ධද්වීපය වටා දූපත්වල ආරක්ෂාව හා පරිපාලන කටයුතු නාවික හමුදාව භාරයේ පැවැතිණි. දූපත්වල සංචාරය කිරීමට මට ඇති අවශ්‍යතාවය දැන්වූ වහාම උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරාගේ පූර්ණ සහයෝගය ඒ සඳහා මට ලැබුණි. දූපත් භාර අණදෙන නිලධාරී හා මණ්ඩතිව් වේළුසුමන නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කොමදෝරු හෙන්ස්ලි පීරිස් සහ කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතන් අරුණ වීරසිංහ යන නිලධාරීන්ගේ සහයෝගය ද නොඅඩුව මට ලැබිණි. යාපනයේ දූපත්වල සංචාරය මා ඇරඹුවේ ඒ අනුවය.

නාවික හමුදා සහෝදර නිලධාරීන් සමග මම මුලින්ම ගිය දූපත වන්නේ මණ්ඩතිව් ය. මණ්ඩතිව් යාපනය නගරයට ආසන්නයෙන් ම තිබෙන දූපතක්වන අතර යාපනයේ කිලාලි කලපුව මැදින් මේ දූපතට ළඟා වීමට ගොඩබිම් මාර්ගයක් ද තිබේ.

එන්න යන්න යාපනේ දූපත්වල ඇවිද බලන්න…

මණ්ඩතිව් දූපතේ ජනගහනය 2,500ක් පමණ වේ. ඔවුන් වැඩිදෙනා හින්දුය. අනිත් පිරිස කතෝලික ආගම අදහති. මේ දූපත්වාසීන් සියලූමදෙනා දෙමළ ජාතිකයෝය. එහෙත් ඒ කිසිවකුටත් ජාතියක් පිළිබඳ ප‍්‍රශ්නයක් නැත. ඇති එකම ප‍්‍රශ්නය ජීවත්වීම පිණිස ඇති අරගලය ම පමණි.

බහුතරයකගේ ප‍්‍රධාන වෘත්තීය ධීවර කර්මාන්තය යි. මණ්ඩතිව් කෘෂිකර්මාන්තයට හිතකර පසක් හා දේශගුණයක් සහිත දීපිකාවකි. යාපනයට වඩාත් සමීපව පිහිටි දූපතක් බැවින් ඔවුන්ගේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීමේ විශාල ප‍්‍රශ්නයක් නැති තරම්ය.

ගොඩබිම් මාර්ග තිබෙන තවත් දූපත් තුනක් යාපනයේ පිහිටා ඇත. ඒවා කයිට්ස්, පුන්ගුඩුතිව් හා කරෙයි නගරය.

යාපනය අර්ධද්වීපය අවට ඇති ලොකු කුඩා දූපත් අතරින් විශාලම දූපත වන්නේ කයිට්ස් දූපතයි. යාපනයේ සිට කිලෝ මීටර් 7ක් දුරින් වර්ග කිලෝමීටර් 64ක වපසරියක පිහිටි මේ කයිට්ස් නම් දූපතේ 16,880ක් පමණ වූ ජනතාවක් අහිංසකව තමන්ගේ පාඩුවේ දිවි ගෙවනු ලබයි. කයිට්ස් හි ද ප‍්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තයයි. කෘෂිකාර්මික භවභෝගවලට අමතරව ඔවුහු වැඩි වැඩියෙන් දුම්කොළ වගාවට හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදනවලට හුරු පුරුදුව සිටිති.

මෙම දූපත්වාසීන්ගේ ජීවිතය ගෙවී යන්නේ දෛනික කාලසටහනකට අනුවය. මූද මධ්‍යයේ ඇති කුඩා බිම් ප‍්‍රමාණය නිසා අපි කාටත් පෙර ඉර එළියේ ආලෝකය ලබන මොවුන් තම තමන්ගේ රැකියා සඳහා උදෑසනම පිටත්ව යති. පහසු ආහාර රට ඔවුන්ට නැත. කුස්සියේ ලිප මත ඉදෙන බතක් රොටියක් කුමක් හෝ දෙයක් ගිලදමන ඔවුන් උදෑසන සිට සන්ධ්‍යාව තෙක් වෙහෙස වී වැඩකර නැවත නිවසට පැමිණෙන්නේ හිරු මුහුදේ ගිලී යන්නට ඔන්න මෙන්න තිබියදී ය. ඔවුන් ගේ ජීවිතය කේන්ද්‍රගතව ඇත්තේ ඒ දූපත තුළය. උපයන මුදල් දූපත තුළ සංසරණයවන අතර අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා මේ දූපත් වාසීන් යාපනේ යන්නේ විදෙස් රටකට යන්නා සේ ය.

කයිට්ස් දූපතේ හින්දු හා කතෝලික ආගම් අදහන දෙමළ ජනතාව අතරේ මුස්ලිම් වැසියෝ ඉතා සුළු පිරිසක් ද සිටිති. ඔවුන්ට මුස්ලිම් පල්ලි 02ක් ද එහි ඇත. රෝහලක්, අධිකරණයක්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 02ක්, පොලිස් ස්ථානයක්, ප‍්‍රාදේශීය සභාවක් කයිට්ස් දූපතේ ඇත.

කයිට්ස් දූපතේ ආරක්ෂාවට නාවික හමුදාව හා යුද හමුදාව සිටින අතර ‘කංචදේව‘ නාවික කඳවුර හා 17වන ගැමුණු හේවා යුද හමුදා කඳවුර එහි ඇත. කමාන්ඩර් ආර්.එම්.ජී රත්නායක ‘එළාර‘ නාවික අණදෙන නිලධාරි ලෙස ද, ලූතිනන් කර්නල් රුවන් එදිරිසිංහ 17 ගැමුණු යුද හමුදා අණදෙන නිලධාරි ලෙස ද කටයුතු කරති. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයා යි.

ලූතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා මේජර් ජෙනරල් විජය විමලරත්න ඇතුළු රණවිරුවන් පිරිස දිවිපිදූ අරාලිතුඩුව ඇත්තේ ද කයිට්ස් දූපතේය. යුද පුවත් වාර්තාකරුවන් ලෙස අප මේ රණවිරුවන්ට කෙතරම් ආදරේ කළේ ද? කෙතරම් ගෞරව කළේ ද? අරාලිතුඩුවේ සිදුවීම, බරපතළ තුවාල සහිතව රණවිරුවන් ගුවන් මගින් කොළඹට ගෙන ඒම, කොළඹදී තීරණාත්මක සැත්කම්කට මුහුණ පාමින් සිටිය දී මියයෑම ආදී සිදුවීම් අතර අලූත්ම තත්ත්වය වාර්තා කරමින් අප පස් වතාවක් දිවයින පුවත්පත නැවත නැවතත් මුද්‍රණය කළ අයුරු මට මතකය.

ඒ උදාර රණවිරුවන්ගේ වියෝව සනිටුහන් කරමින් අරාලිතුඩුවේ ඉදිවී ඇති රණවිරු ස්මාරකය අසල ඇති පාළු හුදෙකලා බව කෙසේ නම් මා වචනයෙන් විස්තර කරන්න ද…

කයිට්ස් දූපතට පසුව ඇත්තේ පුන්ගුඩුතිව් දූපතයි. කයිට්ස් දූපතේ සිට තිබෙන මාර්ගයකින් යාහැකි එම දූපත වර්ග කි.මී 34 ක් විශාල දූපතකි. වෙලනි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එම දූපතේ ජනගහනය 3963 කි. කලකට පෙර 20,000ක පමණ ජනගහනයකින් සමන්විතව තිබූ මෙම දූපතේ සිටි විශාල පිරිසක් පසුගිය කාලයේ ප‍්‍රශ්නවාදී කරදර නිසා රට හැර ගොස්ය. ධීවරයින් විශාල පිරිසක් සිටින මෙම දූපතේ ධනවත් ව්‍යාපාරිකයෝ ද බොහෝ වෙති. හින්දු කෝවිල් 55ක් ඇති අතර කතෝලික පල්ලි 08ක් ඇත.

‘ගෝඨයිම්බර‘ නාවික කඳවුර මගින් දූපතට ආරක්ෂාව සලසයි. කමාන්ඩර් සුරංග පරණවිතාන එහි අණදෙන නිලධාරියා යි.

නාගදීප විහාරය තිබෙන නයිනතිව් දූපතට යන බෝට්ටු ගමන අරඹන ‘‘කුරීකට්ටුවාන් ජැටිය‘‘ ඇත්තේ ද මෙම පුන්ගුඩුතිව් දූපතේය.

යාපන අර්ධය අර්ධද්වීපය තුළ යෑමට ගොඩබිම් මාර්ගයක් නොමැති දූපත් 04ක් තිබේ. නයිනතිව්, අනලතිව්, එළුවතිව් හා ඩෙල්ෆ් එම දූපත් වෙති. ඉන් අනලතිව් හා එළුවතිව් දූපත් 02ට ද යෑමට අවස්ථාව මට ලැබුණි. ඒවා අඩු ජනගහනයකින් යුතු ඉතා කුඩා දූපත් 02කි.

අනලතිව් දූපතේ විශාලත්වය වර්ග කි.මී 06කි. ජනගහනය 1472 කි. එළුවතිව් දූපත කුඩාම දූපතයි. විශාලත්ව වර්ග කි.මී 03කි. ජනගහනය 648 කි.

මෙම දූපත් දෙකේම ධීවරයින් බහුලව වෙසෙන අතර හින්දු ආගමිකයින් අඩුවෙන් සිටිති. බහුතරය කතෝලිකයෝ වෙති. හින්දු කෝවිල්, කතෝලික පල්ලි, පාසල්,පෙරපාසල් දූපත් දෙකේම තිබේ. නාවික හමුදාව විසින් ආරක්ෂාව ලබා දෙයි. එළුවතිව් දූපතේ පොදු ප‍්‍රවාහන සේවයක් නැති අතර අනලතිව් දූපතේ එක් ලංගම බස් රියක් ධාවනය වේ.

එන්න යන්න යාපනේ දූපත්වල ඇවිද බලන්න…

මණ්ඩතිව්, කයිට්ස්, පුන්ගුඩුතිව්, නයිනතිව්, අනලතිව්, එළුවතිව්, කරෙයිනගර්, ඩෙල්ෆ් යන සියලූම දූපත්වලට බලපාන එක් ප‍්‍රබල පොදු ප‍්‍රශ්නයක් ඇත. ඒ පානීය ජල ප‍්‍රශ්නයයි. ඒ සඳහා විසඳුමක් ලබාදී ඇත්තේ ද නාවික හමුදාව විසිනි. සියලූම දූපත්වල මුහුදු ජල ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජලපෙරන යන්ත‍්‍ර සවිකර ඉන් පානීය ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදුකරයි. වැසියෝ ඒ ගැන නාවික හමුදාවට බොහෝ ප‍්‍රශංසා කරති. මෙම දූපත්වල ජන ජීවිතයේ අවශ්‍යතාවලින් වැඩිමනක් අවශ්‍යතා සපිරෙන්නේ නාවික හමුදාවේ හා ආරක්ෂක අංශවල අනුග‍්‍රහයෙන් වුවත් යාපනයේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නා දෙමළ දේශපාලනඥයන්ට නම් ඒ පිළිබඳ වගේ වගක් නැත. ඔවුන් දෙමළ ජනතාව සදාකල්හිම හුරු කරවන්නේ හමුදාවන්ට වෛර කිරීමට ය.

මේ දූපත් අතරින් බොහෝ දූපත්වල ඓතිහාසික නටබුන් තැන තැන විසිර පවතී. බෞද්ධ ආගමික ස්ථානවල නටඹුන්වලට අමතරව පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි සමයන්හිදී තනන ලද ගොඩනැඟිලිවල කොටස් තැන් තැන අදටත් ඉතිරි වී තිබීමෙන් පවසන අයිති හා ඓතිහාසික කතාන්දරය ඉතා වැදගත්ය. එකල මේවායේ තිබුණා යැයි සිතිය හැකි ශ‍්‍රී විභූතිය පිළිබඳ අනගි සාක්ෂි ලෙස අදටත් මේ ගොඩනැඟිලි ශේෂව පවතී. එහිදී ශ‍්‍රී විභූතියේ කිසිදු ආලෝකයක් මේ දූපත්වල වෙසෙන ජනයා තුළ නැත්තේ මන්දැයි කියා වෙනම ක්ෂේත‍්‍ර අධ්‍යයනයක් (case study) කළ යුතුව ඇතැයි මට සිතේ.

ඉතා වැදගත් දූපත් දෙකක්වන නයිනතිව් (නාගදීපය) හා ඩෙල්ෆ් දූපත් පිළිබඳව සහ නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදුකරන ආරක්ෂක මෙහෙයුම් පිළිබඳව ඉදිරි ලිපියෙන් තොරතුරු ගෙන එමි.

(මතු සම්බන්ධයි)

සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනයේ සිට.

advertistmentadvertistment
advertistmentadvertistment