එන්.එම්.ගේ රෑ ඉස්කෝලෙට ගිහින් පාස් වෙච්ච අය තවමත් කිතුලේ

420

● කොමිස් එකට රා මදින්න හලාවතින් ජයාගලට ඇවිත්

● රා මදින්නකුගේ ආදායම මාසිකව ලක්‍ෂ එකහමාරට වැඩියි

● කිතුලේ කතාව හිතන තරම්ම සුන්දර නැත

ලංකා ඉතිහාසයේ ඉහළම අරක්කු මිල ඉහළ නංවා දැන් ඉතිහාසගතව ඇත්තේ ‘ගෝඨා’ ආණ්ඩුවයි. අරක්කු රසිකයින් අතර කුප්‍රසිද්ධ ‘ගල් කාල’ ක මිල රු. 680 කි. එයින්ම එහි බෝතලයක මිල රු. 3000/= ආසන්න බව ඔබට වැටහෙනු ඇත. ලංකාව පාලනය කළ විධායක ජනාධිපතිවරුන් කවුරුත් අරක්කු, රා, කසිප්පු බිව්වත් නැතත් අරක්කු මිල දරාගත නොහැකි ලෙස වැඩි කරන්නට නොගියේ එයින් පහර වදින්නේ පවුල් කුටුම්භයට නිසාය. ඒත් කෝප් කමිටු වාර්තාව කියන්නේ අරක්කු කොම්පැණි සුරා බද්දට 2020.07.20 දිනට තබා ඇති පොල්ල කෝටි 205 කි.

අරක්කු, රා, කසිප්පු මිලත් ගෙදර කුස්සියත් අතර ඇති සහසම්බන්ධය කුමක්ද? අරක්කු කාල රුපියල් දාහට ගියත් ‘මත්පැන්’ බොන බැතිමතා එය නවත්වන්නේ නැත. වැඩිවුණ මත්පැන් මිල වැඩිවූ මුදල මත්පැන් බැතිමයා ගන්නේ ගෙදර කුස්සියට ගෙන යන අල, ලූනු, මස්, මාළුවලට යන මුදල් කපා හැර අඩුවෙන් ගෙන යෑමෙනි.

අරක්කු මිල වැඩිවීමත් සමග රාවලට ඇතිවන්නේ අසීමිත ඉල්ලුමකි. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ‘පෝය දවසක’ වුණත් ‘ගමේ ගහේ බඩු ටිකක්’ කාටත් හොරෙන් බාගත හැකි නිසාය. ලංකාවේ ඉහළම දේශපාලන බලපෑමක් නැතිව යාහැකි රැකියාව පොල් ගස් නැගීම වුවත් පොල්ගස් නගින හැම ගොයියාටම ගස් මදින්නට පුහුණුවක් නැත. පැන්සල් උල්කරන්නාක් මෙන් පොල් මලක් උල්කර ‘රා පැන් පොදක්’ ලබාගත නොහැක්කේ එය ගුරුමුෂ්ටිය තබාගත් ශිල්පයක් නිසාය.

එන්.එම්.ගේ රෑ ඉස්කෝලෙට ගිහින් පාස් වෙච්ච අය තවමත් කිතුලේ

විශ්‍රාම වැටුපක් නොලැබුණත් අද රා මදින්නකුට ලැබිය හැකි මාසික ආදායම ලක්‍ෂ එකහමාරකට වැඩි බව පුවත්පත් දැන්වීම්වලින් තහවුරු වේ. අප මේ දැන්වීමකට කතා කළ විට රා මදින්නන් ඉල්ලූ පුද්ගලයා අපට කිව්වේ ‘ටාගට්’ එකට රා මැද්දොත් ඊට පසු ලක්‍ෂ එකහාමරටත් වැඩි මුදලක් කොමිස් එකත් සමග ලබා ගත හැකි බවය.

ගහේ බඩු නොහොත් රා මදින්නට යොදා ගන්නේ පොල්, කිතුල් හෝ තල් ගස්ය. උතුරේ යුද්ධය නිමවූ පසු කොළඹට තල් රා හා තල් අරක්කු සංක්‍රමණය වුවත් දැන්නම් ඒවා දැකගත හැක්කේ කලාතුරකිනි. මේ ගැන යාපනයෙන් ගෙනා තල් රා හා තල් අරක්කු විකුණු බාර් එකකින් ඒවා නැත්තේ ඇයිදැයි අසා සිටි විට ලැබුණේ අමුතු පිළිතුරකි.

දැන් යාපනේ අයත් තල් අරක්කු තල් රා වලට පුදුම කෑදරකමක් තියෙන්නේ ඒ හින්දා. කොළඹට එවන්න ප්‍රඩක්ෂන් මදි.

ලංකාවේ රා මැදීම ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ අලුත්ගම, මග්ගොන, බේරුවල, පයාගල ආශ්‍රිත ප්‍රදේශවලය. ඒත් නැත්නම් මාරවිල හා හලාවත ප්‍රදේශ ආශ්‍රිතවය. කළුතර පසුකර රා මදින්නන් හමුවූ විට ඔවුන් ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට චෝදනා කරන ලද්දේ ‘කංතිමාර’ නිෂ්පාදනයට එරෙහිව ආණ්ඩුව නිසි පියවර නොගැනීම ගැනය. ඔවුන් පවසන්නේ 2021 දී බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා එවකට මුදල් ඇමැතිතුමාට දන්වා ඇත්තේ මේ කෘත්‍රිම රා වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර නොගැනීම නිසා රජයට වසරකට අහිමිවන බදු ආදායම කෝටි 5000 කට අධික වන බවය.

ස්වාභාවික රා නිපදවන්නන් කියන්නේ කෘත්‍රිම රා වලට යොදා ගන්නේ යූරියා, ඇමෝනියා, සීනි, යීස්ට්වලට පරණ බැටරි හා කටුකම්බි භාවිතයෙන් බවය. මීට පෙර සුරාබදු කොමසාරිස්වරියක් රා ප්‍රතිශතය ඇල්කොහොල් අන්තර්ගතය ප්‍රතිශතයක් ලෙස 7.5% නිර්දේශ කර ඇත. ඒ සඳහා භාවිතා කළේ ඉබාලියෝමීටර (Ebulliometer) ක්‍රමවේදයයි. අවසානයට එයට විරුද්ධව ගම්පහ-පුත්තලම ඉසව්වේ රා මදින්නන් ස්ට්‍රයික් එකක්ද කොට ඇත.

රා මදින්නන් පවසන්නේ කෘත්‍රිම රා වලින් හදන අරක්කු හා විනාකිරි සියල්ල ශරීරයට අහිතකර ඇමෝනියා සහිත බවය. පොල් ගස් 100 ක් සඳහා රා මැදීමට ලක්‍ෂ 5 ක් පමණ වියදමක් ආයෝජනය කළත් මේ කෘත්‍රිම රා ජාවාරම්කරුවන්ට එවැනි ආයෝජනයක් අවශ්‍ය නොවේ.

පයාගල ප්‍රදේශයේදී රා මැද පොල් ගහෙන් බහින රා මදින්නාගෙන් රා එකතු කර ඉස්කාගාරයට යන පාර ඇසුවත් ඔහු දැන සිටියේ නැත.

‘මම මෙහෙ නෙවෙයි, ගම හලාවත. කොමිෂන් එකට රා මදින්නේ. දැන් මේ පැත්තේ කොල්ලෝ රා මදින්න එන්නැති නිසා අපි පිටින් ඇවිල්ලා රා මදිනවා. ඔය රා මදින ගොඩක් අය ‘රා බොන්නේ’ නෑ. බිව්වොත් එහෙම ගහ මුදුනේ ඉඳලා බිමට පරු ගහල මැරෙන්නයි වෙන්නේ.

දැන් ලංකාවේ ‘වැඩ බැරි ටාසන්ලා’ රා මදින්නට පොල්ගස් නගින්නේ නැහැ. වැඩ බැරි ටාසන්ලා වෙනුවට දැන් ඉන්නේ වැඩ බැරි ජනාධිපතිලාය. ලංකාවේ මිල පාලනය පැවති අන්තිම නිෂ්පාදනය වතුර මිලේ මිල ඉවත් කළේ මේ වැඩි බැරි ජනාධිපතිය. වතුරට නියමිත උපරිම මිලක් නැතත් රා වලට එහෙම නැත. රා මිල ගත්තත් ඉස්කාගාරය තමන්ගේ අවම මිලට වැඩි නිසා මෙවන් ආණ්ඩුවකට රා මිල වැඩිකරන ලෙස ඉල්ලා ඵලක් නැත.

එන්.එම්.ගේ රෑ ඉස්කෝලෙට ගිහින් පාස් වෙච්ච අය තවමත් කිතුලේ

චීනයෙන් කොතරම් පිහි, මන්න ආවත් රා මදින්නට ඒ එකක්වත් එවන්නේ නැත. රා මදින්නාගේ ඉනේ ඇත්තේ ලී පෙට්ටියකි. සාමාන්‍ය මන්නයකට වෙනස් මන්නයක් යොදා ගන්නේ පොල්මල කැපීමටය. එය ‘මල් මන්නයයි’ ඊට කුඩා පොඩි මන්නයක්ද ලී පෙට්ටියේ ඇත්තේ රාජකාරියට අවහිර පොල් අතු කැපීමට හෝ ගහ උඩදී දිව ගිලෙන පිපාසයක් ආවොත් කුරුම්බා ගෙඩියක් ඇස්ස කපා උගුරු දෙක තුනක් ඇදීමටය. ඒත් පොල් මල තලන්නේ ඔය මන්නවලින් නොවේ. එයට කියන්නේ ‘මල් තැලුම’ වුණත් හදන්නේ මල් තලා නොව සියඹලා ගහේ හොඳට මෝරාපු කඳ කෑල්ලකිනි. සියඹලා ගසක් කපන්නට ආයුධ ‘මොට්ට’ වන ප්‍රමාණය අනුව මේ ‘මල් තැලුම’ උපකරණයක් නිපදවන්නට යන වියදම සිතාගත හැකි වනු ඇත.

හොඳ දක්‍ෂ රා මදින්නකුට දවසකට ගස් හැත්තෑවකට වැඩිය මැදිය හැකි අතර සමහර මුට්ටිවල රා බෝතල් හතරක පමණ රා රූටා එන බවය.

රා බොන්න හොරෙන් නම් දරාපු ගොබිලා උගුඩුවාය. ‘උගුඩුවා වගේ රා බොන්නේ රාළහාමිලා’ යනුවෙන් ගීත ලියවෙන්නේත් ඒ හේතුවෙනි. දැන් ප්‍රධාන ගාලු පාර දෙපස රා මුට්ටු බේරාගත යුතුව ඇත්තේ පාරේ රාත්‍රියේ ගමන් කරන මදාවියන්ගෙනි. මහ රෑ පොළවට බාගත් රා මුට්ටිය කට තබා බොන හත් අට දෙනා රා නැති මුට්ටිය පොළවේ ගහන්නේ ‘වත්මන් අගමැති රනිල් වරක් විපක්‍ෂයේ ඉන්නා විට හන්දි ගානේ ගෙවල්වල හට්ටි මුට්ටි පොළවේ ගහපු මුස්පේන්තු යුගය සිහි ගන්වමිනි. ගෙදර උයන්කන මුට්ටිය පොළවේ ගහන්නට කියූ රනිලුත් හොරෙන් ඇද බෑ රා මුට්ටිය පොළවේ ගහන තක්කඩියාත් එකම වල්ලේය. රා හොරුන් රා මදි වුණොත් සුරාබදු එකෙන් TCR බද්දක් ගහන බව දැන සිටියානම් වඩාත් හොඳය.

බණ්ඩාරනායක ඝාතනයෙන් පසු දහනායක ඇමැති වූ යුගයේ ඇන්. ඇම්. පෙරේරා උප නායකත්වය යටතේ රා මදින්නාට සහතිකපත්‍ර නිකුත් කෙරුණේ පුහුණුවෙන් පසුවය. සහතික ලත් රාමදින්නකුට රා ගැලුමකට රුපියල් 2 බැගින් ගෙවන ලෙස දහනායක හා ඇන්. ඇම්. නියම කරන ලදී. මේ දැක්වූවේ ‘රා සහතිකය’ දිනාගත් ‘එදා තරුණයන්’ අදත් ජීවතුන් අතර සිටී. දැන් ඉතිරිව ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ පොල්ගහට ‘පාර බැඳ’ උඩට නගින්නට සාදාගත් මාර්ගයත් අමුඩ කෙටියත් පමණි.

ප්‍රවීන් දේවින්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment