එන වසරේ කැලැන්ඩරේ එතෙර මෙතෙර ක්‍රිකට් පිරේ

436

එළඹෙන වසරේ (2024) දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 10ක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් සඳහා තරග වැදීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (29 වැනිදා) ප්‍රකාශයට පත් කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ද සහභාගි වන අතර එම තරගාවලිය ජුනි-ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිතය.

ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරවල නිරත වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත, දකුණු අප්‍රිකා හා නවසීලන්ත තරග සංචාර සඳහා සහභාගි වනු ඇත.

ඇෆ්ගනිස්තානයට එරෙහිව එක් ටෙස්ට් තරගයක්, එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 3 ක්, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග 2ක්, දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 2ක් සහ බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 2 ක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 10 කට සහභාගී වේ.

නව වසරේ තරග කාලසටහනේ පළමු තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙරට සත්කාරකත්වය යටතේ ලබන ජනවාරියේ දී ආරම්භ වීමට නියමිත වේ. ඊට තරග 3 බැගින් වූ එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම 2024 වසරේ සහභාගී වන අවසන් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිව එරටදී පැවැත්වෙන අතර එම තරගාවලිය ද තරග 3 බැගින් වූ එක්දින හා 20යි 20 තරගාවලි දෙකකින් යුක්ත වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment