එම් සී සී, ඇක්සා සහ සෝෆා අත්සන් නොකළ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව ශ්‍රී ලංකාවට තහනම්

884

පකිස්තාන් ස්විස් සහ නවසීලන්ත ත‍්‍රස්ත මර්දන පනත් නිවැරදීයි
ශ‍්‍රී ලංකාවේ පනත වැරදියි – ඇමෙරිකාව සහ යුරෝපා සංගමය

ත‍්‍රස්ත මර්දන ඒකකයේ සේවය කළ නිලධාරීන් 17කට ජිනීවා චෝදනා…. අලූත්ම වාර්තාවකින් හෙළි වේ

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා එරටදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව පවත්වනු ලැබීය. ඊට ශ‍්‍රී ලංකාව සහ ශ‍්‍රී ලංකාවේ මිතුරන්වූ චීනය, රුසියාව සහ බංගලදේශයට ඇරයුම්කර නොතිබුණි. ජනපති ජෝබයිඩන් මේ සමුළුවට ශ‍්‍රී ලංකාව තෝරා නොගත්තේ රාජ්‍ය නොවන සංවිධාන විසින් ශ‍්‍රී ලංකාවේ ඒකාධිපති සහ මිලිටරීකරණයට ලක්වූ රජයක් කි‍්‍රයාත්මකවන බවත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නරක අතට හැරී ඇති බවත් ප‍්‍රචාරය කිරීම නිසාය.

එහෙත් යුද අපරාධ චෝදනා එල්ල වූ ඊශ‍්‍රායලයට පමණක් නොව, බි‍්‍රතාන්‍ය – ඔස්ටේ‍්‍රලියාව මැසිඩෝනියාව ඇතුළු රටවල් 110කට බයිඩන් ඇරයුම්කර තිබුණි.

ජෝබයිඩන් පැවසුවේ රටවල් 77 ක් පමණක් මුළුමනින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මකවන අතර රටවල් 31 ක අර්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති බවයි. මෙහිදී ශ‍්‍රී ලංකාවට ඇරයුම් කිරීමට බයිඩන් කි‍්‍රයානොකළේ තවත් හේතුවක් නිසාය. ඒ ඉන්දු ශාන්තිකර උපාය මාර්ගික සැලස්මට ශ‍්‍රී ලංකාව එකඟ නොවීමයි. එසේම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ දැඩි සබඳකම් පවත්වන කොළඹ හතේ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකු ද මෙම තහනම පසුබිමේ සිටී. ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සපයා ඇති වාර්තාවේ දක්වා ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ රජය රට මුළුමනින්ම මිලිටරීකරණය කර ඇති බවයි. රටේ සෑම ක්‍ෂේත‍්‍රයටම පත්කර ඇත්තේ හිටපු හමුදා නිලධාරීන් බව එම වාර්තාවේ තවදුරටත් දක්වා තිබේ. මෙයට ප‍්‍රතිචාර ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එරටට ඒම වළක්වමින් සම්බාධක පනවනු ලැබීය. ඇමෙරිකාවේ පළිගැනීමේ කි‍්‍රයාදාමයේ 2 වැනි අදියර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව ශ‍්‍රී ලංකාවට තහනම් කිරීමයි.

එම් සී සී, ඇක්සා සහ සෝෆා අත්සන් නොකළ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව ශ්‍රී ලංකාවට තහනම්

එසේම ඇමෙරිකානු රජය රුසියාවට සම්බාධක පනවා තිබියදී හමුදාපතිවරයා රුසියාවේ සංචාරයක යෙදුණි. ඉන්පසු රුසියානු එෆ් එස් බී බුද්ධි ප‍්‍රධානීන්ට මෙරටට ඒමට දොර විවෘත කළ අතර එම බුද්ධි සේවාව සමඟ එක්ව කි‍්‍රයාකිරීමට ද එකඟ විය. මේ හැර ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා රජය එකඟ වූයේ නැත. යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ද මෙරටට පැමිණ ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන්නැයි ඉල්ලා සිටියත් රජය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළේය.

බයිඩන්ගේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුවට අනුග‍්‍රහය දක්වන්නේ එරට කුප‍්‍රකට කාර්තේජ් සංවිධානයයි. ඉන්දියාවට සහ පාකිස්තානයට ද මේ සමුළුවට ඇරයුම් කර ඇත. මේ සංවිධානය රට රටවල ආණ්ඩු පෙරළීමේ රහසිගත මෙහෙයුම් දියත් කිරීම
ගැන ප‍්‍රසිද්ධියක් උසුලයි.

මෙවන් පසුබිමක් මැද ඇමෙරිකානු රජය ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවමින් 2022 මාර්තු මස ඇමෙරිකාව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඇතුළුවන බවද ප‍්‍රකාශ කර ඇත. එහෙත් බයිඩන් ඇමෙරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව ශ‍්‍රී ලංකාවට තමනම් කළේ තවත් කරුණු කීපයක් මතය. ඒ එම් සී සී ගිවිසුම සෝෆා සහ ඇක්සා ගිවිසුම්වල ශ‍්‍රී ලංකාව එකඟ නොවීම හේතුවෙනි. එසේම 2018 ජනවාරි මස එවකට පැවැති යහපාලන රජය ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන බවට ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රජාවට ප‍්‍රතිඥා දී තිබුණ මේ බව ඇමෙරිකානු හියුමන් රයිට්ස් සංවිධානය හෙළිකර ඇත. 2015 වසරේ බලයට පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන ද මේ පනත අහෝසි කරන බව ප‍්‍රතිඥාදී තිබුණි. එසේ වුවත් හියුමන් රයිට්ස් වොච් ආසියානු කලාප අධ්‍යක්‍ෂ බ‍්‍රැඞ් අඩම්ස් පැවසුවේ ශ‍්‍රී ලංකා රජය කතාවට පමණක් සීමාවී ඇති බවත් මෙතෙක් එය අහෝසිකර නැති බවකි.මෙම ත‍්‍රස්ත මර්දන පනත දරුණු නීතියක් බවත් ඔහු පවසා තිබේ.

මෙකී හියුමන් රයිට්ස් වොච් පිටු 46ක වාර්තාවක් ඇමෙරිකානු රජයට ද ඉදිරිපත් කරනු ලැබීය. එහි දක්වා ඇත්තේ ත‍්‍රස්ත මර්දන පනතට මුවාවී වධහිංසා සිදුකිරීම ලිංගික හිංසන කි‍්‍රයා, බලහත්කාරයෙන් කට උත්තර ගැනීම් සිදුවන බවයි.

එම් සී සී, ඇක්සා සහ සෝෆා අත්සන් නොකළ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව ශ්‍රී ලංකාවට තහනම්

එදා 2018 දී මෙම පනත අහෝසි කළේ නම් ශ‍්‍රී ලංකා රජය බරපතළ තත්ත්වයකට පත්වනු නියතය. ඒ 2019 පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ඉස්ලාමීය ත‍්‍රස්තයන් රඳවා ගැනීමට නොහැකි වීමයි. කෙසේ වෙතත් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ යටතේ යහපාලන රජයේ ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමේ ප‍්‍රතිඥාව ඉවත දමනු ලැබීය. මෙය ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තරර ප‍්‍රජාවට එල්ලවූ කනේ පහරකි. එහෙත් ස්විට්සර්ලන්තය 2021 දී පුළුල් පොලිස් බලතල සහිතව ත‍්‍රස්ත මර්දන පනතක් ජනමත විචාරණයකින් සම්මත කරනු ලැබීය. මෙයට සමානව නවසීලන්ත රජය ද ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කළ අතර පිටු 792 කින් යුත් එය කෙටුම්පත් කිරීමට මාස 18 ක් ගතවිය. මේ ත‍්‍රස්ත මර්දන පනත්වලට ඇමෙරිකාව හෝ යුරෝපා සංගමය විරෝධය පා එකී පනත් අහෝසි කරන ලෙස පැවසුවේ නැත. මෙම පසුබිම මැද 2020 පෙබරවාරි 20 හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මානව හිමිකම් කඩකළ බව නම්කළ ඇමෙරිකාව තහනමක් පනවනු ලැබීය.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්වූ ශ‍්‍රී ලංකාවට ඇමෙරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව තහනම් වීම ගැන බයිඩන් පාලනය කිසිදු ප‍්‍රකාශයක් කර නැත. එහෙත් ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරන ප‍්‍රධාන රට ඇමෙරිකාව බව තහවුරුවී ඇත. ඇමෙරිකාවේ ජනපති ට‍්‍රම්ප් පරාජය වී ජෝබයිඩන් බලයට පත්වූවත් රාජ්‍ය දෙපාර්තමේන්තු ශ‍්‍රී ලංකාව සම්බන්ධ අනුගමනය කරන පිළිවෙත වෙනස් වී නැත. මේ පසුබිම මැද රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීහු 13 ක් පසුගිය දිනෙක විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස් හමුවී ත‍්‍රස්ත පනත අහෝසි කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. රටේ ජාතික ආරක්‍ෂාවට සෘජු ලෙස බලපාන ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළහොත් සිදුවන්නේ ත‍්‍රස්තවාදයට හිස නැමීමයි.

ශ‍්‍රී ලන්කන් කලෙක්ටිව් පෝ කන්සේසුස් නමින් හඳුන්වාගත් මෙම රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායම කවුරුන්ද?

මෙහි දැක්වෙන්නේ එම පිරිසයි. කළුපහන පියරත්න භික්‍ෂුව, මහාචාර්ය ජයසිංහ, විශ‍්‍රාමික දේවගැති ආසිරි පෙරේරා, මහාචාර්ය ටියුඩර් සිල්වා, දේවගැති සී. ජී. ජෙයකුමාර්, හිල්මි අහමද්, රෝහණ හෙට්ටිආරච්චි, ටී. කමලදාස්, ජෝ විලියම්, එස්. විමල ගුණරත්න, දයානි පනාගොඩ, විශාකා ධර්මදාස, ජෙහාන් පෙරේරා, ජාවඞ් යූසුප්, සාරා ඇරමුගම්ය. මෙම රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීහු ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය කරන ඇමැති අනු කමිටුව හමුවී යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. මොවුන් රජයට ඉදිරිපත් කර ඇති යෝජනා ජනතාවගේ අවධානය උදෙසා අප හෙළි කරන්නෙමු. නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් අවසන් කළ යුතුය. සිය මියගිය ඥාතීන් සැමරීම ගැන දරු දෙදෙනකුගේ මවක් ඇතුළු සිවිල් වැසියන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇත. රැඳවුම් භාරයේ සිටින අය ගැන කටයුතු කළයුත්තේ අධිකරණ නීතිරීති අනුව මිස විධායක කි‍්‍රයාමාර්ග අනුව නොවේ. එසේම රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරි කණ්ඩායම තවදුරටත් දක්වා ඇත්තේ මියගිය කොටි සැමරීම සඳහා පවුලේ අය උත්සාහ කළත් ආරක්‍ෂක හමදුව එය වළක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම් ද සිදුවී ඇති බවයි. ඒනිසා ජාතික සංහිඳියාව යටතේ මානව හිමිකම්වලට ගෞරවය දැක්වීමේ කි‍්‍රයාමාර්ගයක් අවශ්‍ය බවයි. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් 13 ක කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටුණි. අප ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය නොකරන්නෙමු යැයි විදේශ කටයුතු ඇමැතිවරයා පළකළේය. මොවුන් මේ බලාපොරොත්තුව වූයේ මියගිය කොටි මිනීමරුවන් සැමරීම සඳහා රජයේ අවසරය ලබාගැනීමයි. පසුගිය ජුනි 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව ද ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බව දක්වමින් යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මේ අතර ත‍්‍රස්ත මර්දන පනත වෙනත් සිදුවීම් සඳහා භාවිත නොකරන මෙන් රජය සියලූම පොලිස් ස්ථානවලට දක්වා ඇත. මෙයට හේතුවූයේ ඇතැම් සිදුවීම් සඳහා පොලිසිය ත‍්‍රස්ත මර්දන පනත නීතිවිරෝධීව යොදා ගැනීමයි. මේ හැර සැකකරුවන් රඳවාගෙන ඇති පොලිස් ස්ථානවලට මහෙස්ත‍්‍රාත්වරුන් පැමිණ සැකකරුවන් පිළිබඳ නිරීක්‍ෂණය කිරීම, සැකකරුවකු රඳවා ගැනීම ගැන මානව හිමිකම් කොමිසමට දැනුම්දීම, සැකකරුවන්ට වධහිංසා පමුණුවා ඇත්නම් ඒගැන පරීක්‍ෂණ කිරීම, සැකකරුවන්ට නීතිඥ සහාය ලබාගැනීමට සහ පවුලේ අයට ඔහුව හමුවීමට අවසරදීම යන යෝජනා රජය වෙත ඉදිරිපත් වී ඇත. එසේම සැකකරුවකු රඳවා ගැනීම සඳහා මෙතෙක් හිමිවී තිබූ කාලසීමාව මාස 18 සිට මාස 12 තෙක් අඩුකිරීමට ද රජයේ අවධානය යොමුවී තිබේ. මෙලෙස ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමේ උත්සාහය ව්‍යාර්ථවන අවස්ථාවේ ත‍්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් රැසකට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල වී ඇත.

ඊට අදාළ අලූත්ම වාර්තාවක් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ එම් ඒ ආබ්දින්, විජිත බණ්ඩාර, ප‍්‍රසන්න අල්විස්, ගංගානාත්, හේමචන්ද්‍ර, එම්. ජනකාන්ත අසංග කරවිට, කේ. සමන් කරුණාරත්න, ලාල් ගමගේ, නන්දන මුණසිංහ, මුතුබණ්ඩා, ඞී. ඞී. නන්දසිරි, නසිර්, නිශාන්ත. එන් යූ ජයලාල්, රසික මොහොමඞ්, ඉන්දික සමරකෝන් යන නිලධාරීන්ගේ නම් සඳහන්කර ඇත. මෙම වාර්තාවෙන් හෙළිකර ඇති ත‍්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් පරීක්‍ෂකවරයකු අද ස්විට්සර්ලන්තයේ සර්වත් ප‍්‍රදේශයේ වාසය කරයි. ඔහුගේ බිරිය විදේශ තානාපති කාර්යාලයක සේවය කරයි. එහෙත් මේ නිලධාරියා ස්විට්සර්ලන්තයේ සිටින බව ශ‍්‍රී ලංකා පොලිසිය නොදනී. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අපට ඔහු හමු විය. ඔහුගේ ආරක්‍ෂාව උදෙසා ඔහු කවුදැයි අපි හෙළිදරව් නොකරන්නෙමු.

එම් සී සී, ඇක්සා සහ සෝෆා අත්සන් නොකළ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව ශ්‍රී ලංකාවට තහනම්

එහෙත් මේ ත‍්‍රස්තමර්දන නිලධාරියාට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබීමට ඉඩලැබුණේ කෙසේද?

මානව හිමික්ම උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල වී ඇති ත‍්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් රැසක් මේ වනවිට විශ‍්‍ර‍්‍රාම ගොස් ඇතත් ඔවුන්ට එරෙහි සර්වලෝක අධිකරණ පද්ධතිය තවදුරටත් කි‍්‍රයාත්මක වේ. මෙයට අමතරව ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානියකුට ද මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සහ වධහිංසා සිදුකිරීමේ චෝදනා එල්ල වී ඇත. ජිනීවා ආරංචි මාර්ග දැක්වූයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් මෙරටින් පැනගොස් ස්විට්සර්ලන්තයේ සිටින බවයි. යාපනයේ විද්‍යා තරුණිය ඝාතනයට සම්බන්ධ යාපනය පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ශ‍්‍රී ගජන්ද වෙනත් නමකින් ස්විට්සර්ලන්තයේ සිටින බව හෙළිවී ඇති අතර ස්විස් නීතිය යටතේ ඔහුව මෙරටට ලබාගැනීමට නොහැකිවී තිබේ. 2019 නොවැම්බර් 24 රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා කටුනායක සිට සූරිච් නුවරට පැනගිය අතර ශ‍්‍රී ලංකා රජය ඔහුව මෙරටට භාරදෙන ලෙස කළ ඉල්ලීම ස්විස් රජය ප‍්‍රතිික්‍ෂේප කළේය. මේ වනවිට ඔහු ශ‍්‍රී ලංකාවෙන් පැනගොස් වසර 2 ක් ගතවේ. එසේම කොරෝනා වසංගතය සමයේ ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයන් 337 ක් ස්විට්සර්ලන්තයට පැමිණි අතර ඉන් 327කට එරට රැඳීසිටීමේ අවසරය හිමිවිය. ස්විස් රජය එම පිරිස කවුදැයි මෙතෙක් හෙළිකර නැත. මේ අතර දිගු කලක් තිස්සේ බි‍්‍රතාන්‍යයේ කොටි ඩයස්පෝරාවට එරෙහිව සටන් කළ දේශපේ‍්‍රමියකු වූ ඩග්ලස් වික‍්‍රමරත්න පසුගිය සිකුරාදා අභාවප‍්‍රාප්ත විය. ලන්ඩන් නුවර බී බී සී සේවයට පැමිණ කොටි කි‍්‍රයාකාරීන් ශ‍්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප‍්‍රකාශ කරද්දී එම ප‍්‍රකාශවලට අභියෝග කිරීමට හෙතෙම කි‍්‍රයාකළේය. බි‍්‍රතාන්‍යයේ සිටින කොටි හිතවාදීන් බොරු ප‍්‍රකාශවලින් බි‍්‍රතාන්‍ය ජනතාව රැවටීමට උත්සාහ කරන බව වික‍්‍රමරත්න මහතා එරට දේශපාලනඥයන් හමුවේ පෙන්නුම් කළේය. ශ‍්‍රී ලංකාවේ හමුදාවට චෝදනා එල්ල කරන ලන්ඩන් කොටි කිළිනොච්චිය යාපනය ඇත්තේ කොතනකදැයි නොදන්නා බවද පැවසූ හෙතෙම බී බී සී සේවයේ ප‍්‍රශ්න විචාරකයන්ට අභියෝග කරමින් වන්නිය පිහිටා ඇති ස්ථානය හෙළිකරන ලෙස කියා සිටියේය.

එහෙත් බි‍්‍රතාන්‍යයේ දිගු කලක් ජීවත් වූ ඩග්ලස් වික‍්‍රමරත්න කෙරේ පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සහ වත්මන් රජයද තැකීමක් කළේ නැත.

සිය ධනය වැයකරමින් කොටි ප‍්‍රලාපවලට එරෙහිවූ ඔහුගේ දේශපේ‍්‍රමි කටයුතු කෙරේ රජය අවධානය යොමුකළේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව ප‍්‍රබල වීමයි. මිය යනතුරුම කොටි සටන අත්නොහැරි වික‍්‍රමරත්න මහතා මෙරට පැමිණ නතර වී සිටියේ කොළඹ වැල්ලවත්තේ කුඩා හෝටලයකය. ඔහුගේ දේශපේ‍්‍රමි සේවාව ඇගයීමක්ද සිදුවූයේ නැත. එහෙත් යහපාලන රජය රට පාවාදුන් රාජ්‍ය නිලධාරියකුගේ බෑණා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ ධුරයකට පත්කරනු ලැබීය. ඔහු බි‍්‍රතාන්‍ය පුරවැසියෙකි. මේ දේශපාලන නිලධාරියා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කිසිදු සේවාවක් කළ අයෙක් නොවේ. මේ පසුබිම මැද බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් සහ ලේබර් පක්‍ෂ දේශපාලනඥයන් හමුවී වන්නි මෙහෙයුම දියත් කිරීමට මුල්වූ හේතූන් හෙළිකළ ඩග්ලස් වික‍්‍රමරත්න මහතාගේ අභාවය වෙනුවෙන් රජයේ බලධාරීන් ශෝකය පළකිරීමට ඉදිරිපත් වූයේද?

මේ අතර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වූ බොබ් බ්ලැක්මර්ස් සහ තෙරේසා විලර්ස් එරට විදේශ කටයුතු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන ලෙස ඉල්ලා ඇත. ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ක‍්‍රමය අනුගමනය කරමින් බි‍්‍රතාන්‍යය ද ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව කි‍්‍රයාකළයුතු යැයි ඔවුහු දක්වා තිබේ. මේ අතර වසර කිපයකට පසු පුදුකුඩිඉරිප්පුහි රන් නිධානය සම්බන්ධ සිද්ධියක් අනාවරණය විය. මෙම රන් නිධානය ගැන මුලින්ම දිවයින ආරක්‍ෂක විශේෂාංගය තුළින් හෙළිකරනු ලැබීය. නෝර්වේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළ පිරිසක් එකතුවී මෙම රන් නිධානය හෙවත් ඊළම් බැංකුවේ තිබූ රන් තොගයක් ගොඩගැනීමට සැලසුම් කරන බව හෙළිකළත් එය යටපත් විය. ඉන්පසු මෑතකදී යළිත් රන් සිද්ධිය ගැන හෙළිවූයේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනෙක් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති හමුවී වළදමා ඇති රන් තොගය
ගොඩගැනීමට සහය ඉල්ලා සිටීමයි. වන්නි මෙහෙයුමේදී ආරක්‍ෂක හමුදාවට ඊළම් බැංකුවේ හිස් සේප්පුව හමුවූ අතර එහි තිබූ රන් තොගය අතුරුදන්වී තිබුණි. මෙම රන් තොගය වළදමා ඇති ස්ථානය නෝර්විජියානු රාජ්‍ය නොවන සංවිධානයේ සේවය කළ කොටි කි‍්‍රයාකාරියකු දැනසිටි බව හෙළිවිය. එහෙත් බුද්ධි අංශ විසින් නෝර්විජියානු ඒඞ් සංවිධානය ගැන විමර්ශනය කිරීම නිසා වළදමා ඇති රන් ගොඩගැනීම වසන් විය.

එම් සී සී, ඇක්සා සහ සෝෆා අත්සන් නොකළ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව ශ්‍රී ලංකාවට තහනම්

මේ අතර පාකිස්තානයේදී ශ‍්‍රී ලාංකිකයකුවූ පි‍්‍රයන්ත කුමාර ඝාතනය කළ අපරාධකරුවන්ට එරෙහිව ත‍්‍රස්ත මර්දන පනත යටතේ නඩු ගොනුකර ත‍්‍රස්ත මර්දන අධිකරණය ඉදිරියේ නඩු විභාග කිරීමට තීරණය වී ඇත. එහෙත් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදීන්ට නඩු පැවරීමට ශ‍්‍රී ලංකාව කටයුතු කළ අවස්ථාවේ ජිනීවා මානව හිමිකම් කි‍්‍රයාකාරීන් එරෙහි විය. මේ අතර රාජ්‍ය නොවන සහ සිවිල් ක‍්‍රියාකාරීන් යැයි හඳුනාගත් තවත් 52ක කණ්ඩායමක් මෙරට ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිවී තිබේ. මොවුන් රජය වෙත නිවේදනයක් ද නිකුත් කර ඇත. මේ නිවේදනයට අත්සන් කළ පිරිස අතර ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සේවය කරන කොටි හිතනාදී කාන්තාවක් ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment