එමිල් ගස් ගිය නඩු තීන්දුවෙන් නිදහස් වුණු කවුද මේ රංගජීව…

811

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේන් දිගින් දිගටම මරණ තර්ජන

යුධ මෙහෙයුම් වල ඉදිරිපෙල නිලධාරියෙක්

වැලිකඩ බන්ධනාගාරය තුළ ඉකුත් 2012 වසරේදී ඇතිවූ සිරකරු කැරැල්ලේදී සිරකරුන් පිරිසක් මරණයට පත්වීමේ සිද්ධිය රටම දන්නා කරුණකි.

පොලිස් විශේෂ කාර්ය බළකාය එදා තහනම් ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවට පිවිසීමත් සමඟ එයට උරණ වූ සිරකරුවෝ කැරැලි ගසන්නට වූහ.

අවසානයේ තත්ත්වය පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් යුද හමුදාව බන්ධනාගාරය වෙත කැඳවීමට කටයුතු කෙරිණි. ඒ අනුව එම දිනය නිමා වී පසු දිනට පහන් වෙද්දී දැක ගැනීමට ලැබුණේ වෙඩි වැදී තැන තැන මැරී වැටී සිටි සිරකරුවන් පිරිසකගේ සිරුරය.

එලෙස මියගිය සිරකරුවන් අතරින් අට දෙනකු හිතාමතාම ඝාතනය කළ බවට පසුව කියැවෙන්නට විය. එකී කතාව මුලින්ම කියනු ලැබුවේ සිරකරුවන් සුරැකීමේ සංවිධානය නමැති එන්ජී ඕවක් විසිනි.

එසේ මතුවී ආ ඒ කතාව 2015 වසරේ ජනවාරි අට වැනිදා සිදුවූ සමනළ විප්ලවයත් සමඟ එතෙක් පැවති මහින්ද රාජපක්‍ෂ රජය පෙරළී යෑමෙන් පසු ඉකුත් 2019 වසරේ නඩු නිමිත්තක් ලෙස අධිකරණය දක්වාම ගියේය.

එහිදී චෝදනා එල්ල වූයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු වැටලීම් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව, බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර සහකාර අධිකාරිවරයකු වූ ඉන්දික යන අයවලූන්ටය.

එම චෝදනා අනුව අත්අඩංගුවට ගැනුණු රංගජීවට සහ එමිල් රංජන්ට දීර්ඝ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින්නටද සිදුවූ අතර ඒ වන විට සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික විදේශගතව සිටියේය.

කෙසේ වෙතත් මෙම නඩුව කොළඹ මහාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙමින් තිබියදී එක් අවස්ථාවක චෝදනා ගොනුකිරීමට කරුණු නොමැතිවීම හේතුවෙන් සහකාර අධිකාරී ඉන්දික මහතා නිදොස් කොට නිදහස් කරනු ලැබීය. නියොමාල් රංගජීව මහතාට සහ එමිල් රංජන් මහතාට එරෙහි නඩු විභාගය දිගටම කි‍්‍රයාත්මක විය. එම නඩු විභාගය අවසානයේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම ඉකුත් බදාදා (ජනවාරි 12 වැනිදා) සිදුකෙරිණි.

එමිල් ගස් ගිය නඩු තීන්දුවෙන් නිදහස් වුණු කවුද මේ රංගජීව…

එහිදී ගරු මහාධිකරණ විනිසුරුතුමන්ලා විසින් ඒකමතික තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධි චෝදනා තිස්තුනක් අතරින් තිස්තුන්වැනි චෝදනාවට එමිල් රංජන් මහතා වැරදිකරු කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

ඒ වන විට ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ධුරයට උසස් කර සිටි නියොමාල් රංගජීව මහතාට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි ප‍්‍රකාශයට පත් කළ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. මෙසේ සමූහ ඝාතනයක චෝදනා එල්ල වී අවසානයේ ගරු අධිකරණයේ තීරණයට අනුව නිදහස උරුම වූ නියොමාල් රංගජීව යනු කවරෙක්ද?

කෙටියෙන් හැඳින්වුවහොත් මේ රට වෙලා ගත් හෙරොයින් හෙවත් මාරක මත්කුඩු ජාවාරමට එරෙහිව අභීතව කටයුතු කළ ශී‍්‍ර ලංකා පොලිසියේ සිටි ‘යකඩ මිනිසා’ ලෙසින් මුලින් ඔහුව හඳුන්වා දුනහොත් එය ඉතා නිවැරදිය.

මත් කුඩුවලට එරෙහි වැටලීම් සිදු කරමින් මහාධිකරණ හමුවේ ජාවාරම්කරුවන් දෙසීය පනහකට ආසන්න පිරිසකට නඩු පැවරූ හේ ඉන් ජාවාරම්කරුවන් 49 දෙනකුට මරණීය හෝ ජීවිතාන්ත සිර දඬුවම් උරුම කරවීමට සමත්විය. එසේම අදටත් විභාග වන තවත් සුවිශේෂී නඩු පනහක පමණ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස පෙනී සිටින්නේද රංගජීවය. ඔහු විසින් අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තවමත් නඩු පැවරී නොමැති වැටලීම් ගණන සියයකට අධිකය.

ඉතින් ඔහු රට වෙනුවෙන් කර ඇති මෙහෙය පෙන්වා දෙන්නට තවත් සාධක අවශ්‍ය වන්නේද?

කොළඹ ගෙන්දගම් පොළොවේ උපත ලැබූ නියොමාල් රංගජීව සිය ජීවිතය ජය ගැනීමට අඩිතාලම දමමින් අකුරු කරනු ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙනි. ඒ පාසල් කාලයේදී පිටියේ තරගවලදී පාසලේ සිටි මීටර් 5000 දිවීමේ ශූරයා වූයේද රංගජීවය.

පාසලේ කැඩෙට් කණ්ඩායමේ කැපී පෙනෙන සාමාජිකයකුද වූ හේ බාලදක්‍ෂ කණ්ඩායමේද එකල සිටි තරුවක් විය. පාසල් සමයේ දක්‍ෂ වූෂු කී‍්‍රඩකයකුද වූ ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙන් උසස් පෙළ සමත්ව උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සිය මෙහෙවර අරඹමින් ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක් වන්නේ 1995 වසරේ දෙසැම්බර් මස 22 වැනිදාය.

එය එල්ටීටීඊ ත‍්‍රස්තවාදය දරුණුවටම පැවති සමය විය. ඒ අනුව පොලිසියට එක්වීමේදී යුද පුහුණුව ලබන ඔහු පුහුණුව අවසානයේ අනුඛණ්ඩයක් භාර නිලධාරියකු ලෙස තම සගයන්ද සමඟින් මුලින්ම රට වෙනුවෙන් සේවය කරන්නට එක්වන්නේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ මහා වනාන්තරය මැද පිහිටි පොලිස් මුරපළක් වෙතය.

එය මැදිරිගිරිය පොලිස් වසමේ සිට කිලෝමීටර් 17 ක් පමණ වන මැද පිහිටි ගොඩපොත්ත පොලිස් මුරපළ විය. එසේ ගොඩපොත්ත පොලිස් මුරපොළේ රාජකාරි කිරීමට රංගජීවලාට අවස්ථාව ලැබෙන්නේ මාස දෙකකටත් අඩු කාලයකි. එසේ සිටියදී ගොඩපොත්ත පොලිස් මුර පළට එදා එල්ල වූ අතිශය බිහිසුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් හේතුවෙන් පසුව බලධාරීන් රංගජීව ඇතුළු කණ්ඩායම පොළොන්නරුව වැලිකන්දේ පිහිටි බෝඅත්ත ගම්මානයේ මිනිසුන් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් රැකගනු පිණිස එහි යැවීය. ඒ වන විටත් බෝඅත්ත ගම්මානයේ ජීවත් වූ මිනිසුන් 48 දෙනකු අමු අමුවේම කපා කොටා ඝාතනය කර මහා මිනිස් සංහාරයක් කරන්නට කොටි ත‍්‍රස්තවාදීන් කි‍්‍රයා කර තිබිණි. එහෙත් රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කරනු පිණිස රංගජීව ඇතුළු කණ්ඩායම එසේ බෝඅත්ත ගම්මානයට යෑමෙන් පසු එහි මිනිසුන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීමට ඔවුහු සමත් වූහ. එතැන් සිට වසර එකහාමාරක් යන තුරුම බෝඅත්ත ගමේ ජනතාව රැක ගනිමින් කිසිදු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල කිරීමට නොහැකි වන පරිදි සැලසුම් සහගතව කි‍්‍රයාත්මක වන්නට රංගජීව ඇතුළු කණ්ඩායම සමත් වූහ.

මේ අන්දමට කොළඹ ඉපදී පොලිසියට එක්වූ රංගජීව වසර ගණනාවක් යුද බිමේ සේවය කිරීමෙන් පසු යළි කොළඹට එන්නේ පොලිස් මූලස්ථානයෙන් ලද නියෝගයකට අනුව විය. එසේ පැමිණි ඔහුට භාර කෙරෙන්නේ පොලිස් සැපයුම් අංශයේ කටයුත්තකි.

එහෙත් යුද බිමේදී හතර කොන පැන කොටි ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කළ ඔහුට පොලිසියේ සැපයුම් අංශයේ රැකියාව එතරම් හිතට ඇල්ලූ එකක් නොවීය. එහෙයින් ස්වකැමැත්තෙන් ඉල්ලීමක් කළ ඔහු ඒ මහා මෙහෙවර කරනු පිණිස ඉකුත් 2001 වසරේ ජුනි මස 29 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට එක් විය.

එසේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට එක්වූ උප පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මත් රකුසාගෙන් රටත් තරුණ පරපුරත් ගලවා ගැනීම පිණිස ඒ ස්වර්ණමය ගමන අරඹා ඇත්තේ හරි අපූරු අයුරිනි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට එක්වීමෙන් පසු කොළඹ පාතාලය සහ කුඩු පාතාලය සොයා යන ඔහු මුලින්ම ළඟා වන්නේ කොළඹ නගරයේ තැඹිලි කපා විකුණා ජීවත්වන පුද්ගලයන් ස්වීප් විකුණන්නන් සහ නාටාමිවරුන්  වෙතටය. එසේ ගිය හේ ඉතා කෙටි කලක් තුළ ඒ ඔස්සේ අති සූක්‍ෂම ඔත්තු ජාලයක් සකස් කර ගැනීමට කටයුතු කරනුයේ පොලිස් නිලධාරියකු සතුවිය යුතු නියම ඉව තමන්ට ඇති බව පසක් කරමිනි.

පසුව එසේ ගොඩනඟා ගත් තොරතුරු ජාලය ඔස්සේ වැඩ අරඹන රංගජීව ඒ දිනවල කොළඹ කුඩු පාතාලයේ එක් රාජධානියක් සේ පැවති කිඹුලා ඇළේ ගුණාගේ රාජ්‍යයට ඇතුළු වන්නේ කාලාන්තරයක සිට ගුණාගේ හිස මත තිබූ කිඹුලාඇළේ ඔටුන්න ඔහුට අහිමි කරවමිනි.

එහිදී සිය සහෝදරයන් ඇතුළු කණ්ඩායමේ බොහෝ අය රංගජීවගේ දැලට කොටු වෙද්දී ගුණා කරන්නේ උන්හිටි තැන් හැරදා රටින් පැන යෑමය.

මෙසේ කිඹුලාඇළ කුඩු රාජධානිය සුණු විසුණු කරන රංගජීව ඒ දිනවල කොළඹ කුඩු පාතාලයේ මහා කෙරුමන් ලෙස වැජඹුණු තොටළඟ නවුෂාඞ්, මැගසින් පාරේ මාළු සමන්ත, දෙහිවල ගෝරිල්ලා සමන්ත වැන්නන්ද කොටුකර ගනු ලබන්නේ නාකොටික් එක්ට පැමිණි මේ අලූත්ම පොලිස් වැඞ්ඩා පිළිබඳ පාතාල කෙරුමන්ද හොල්මන් වන පරිදිය.

මෙසේ සිටියදී 2006 වසරේදී ටිමෝරයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා එක්වීමට ටිමෝරය බලා යෑමට ඔහුට සිදුවන්නේ කොළඹ කුඩු පාතාලයට කෙටිකාලීන සහනයක් උදා කෙරෙමිනි.

එසේ ටිමෝරය බලා ගිය ඔහු 2008 වසරේදී යළි පැමිණෙන අතර එතැන් සිට යළිත් නාකොටික් රංගජීව වැඩ අරඹන්නේ කොළඹ කුඩු පාතාලයට කරකියා ගතහැකි කිසිවක්ම නොමැති වන පරිදිය.

එල්ටිටීඊය සමඟ සබඳතා පවත්මින් මහා පරිමාණ කුඩු ජාවාරමක් මෙහෙයවූ කොළඹ ආදුරුප්පුවීදිය ප‍්‍රදේශයේ රජ කළ ඇලෙක්ස් නමැත්තා රංගජීවගේ දැලට හසුවීම මේ කාලයේදී සිදුවු එක්තරා සුවිශේෂී සිදුවීමක් විය. එසේ රංගජීව ඇලෙක්ස් අත්අඩංගුවට ගැනීමත් සමඟ දරුණු ලෙස සසල වූයේ බලයේ සිටි ප‍්‍රබල දේශපාලනඥයෙකි. වහා කි‍්‍රයාත්මක වූ හේ සිය බලය යොදා පොලිස්පතිවරයා මාර්ගයෙන් නියොමාල් රංගජීව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ස්ථාන මාරු කරනු ලැබීය.

එහිදී මුලින්ම කළුතර පිහිටි පොලිස් පුහුණු පාසලට මාරු කළ රංගජීවව පසුව මෝදර පොලිසියට යවනු ලැබීය. එසේ මෝදර පොලිසියට ඒමෙන් පසු කිඹුලාඇළේ කුඩු පාතාලයට පහර දීම හමුවේ එල්ල වී තිබූ තර්ජන සමඟ කලක් මරණය අතේ තබාගෙන රාජකාරියට යෑමට රංගජීවට සිදුවිය. එසේ දුෂ්කර කි‍්‍රයා සිදුකරන අතරේ එම ස්ථාන මාරුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරමින් ඔහු නැවතත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැමිණියේ එවකට සිටි පොලිස්පතිවරයාට විශ‍්‍රාම ගෙන ගෙදර යෑමේ මාවතද විවර කර දෙමිනි. ඒ කාලය වන විට ශී‍්‍ර ලංකාවේ මත්කුඩු ජාවාරමුන් ජාත්‍යන්තරයට සම්බන්ධ බවට අනාවරණය වීමක් සිදුව නොතිබිණි. ඒ බව මුල්වරට හෙළිකර ගනු ලැබුවේද නාකොටික් රංගජීවය.

ඉකුත් 2010 වසරේදී කොළඹ වරාය ඔස්සේ මෙරටට පැමිණි අල කන්ටේනරයක අල අතර තිබූ මත්කුඩු සහිත ව්‍යාජ අල තොගයක් සමඟ කුඩු කිලෝ 40ක් සොයා ගනිමින් ඔහු ඒ විශ්මිත මෙහෙයුම කරනු ලැබීය.

මේ අන්දමට නාකොටික් එකේ සිටිමින් කුඩු ජාවාරමට එරෙහිව කොළඹ පමණක් නොව රට වටාම සිය දැල එලන්නට සමත් වූ නියොමාල් රංගජීව ඒ වන විටත් මෙරට මහා පරිමාණ කුඩු ජාවාරමුන් රැසක්ම වැලිකඩ බෝඩිම වෙත යවන්නටද සමත්ව සිටියේය.

මෙසේ කුඩු වසංගතයෙන් රට ගලවා ගැනීම සඳහා මහා මෙහෙවරක යෙදුණු හේ වරක් මෙරට සිට බටහිර රටවලට කුඩු පොම්ප කරනු ලබන ජාවාරමක්ද කොටු කර ගනු ලැබූ අතර එහිදී රුපියල් කෝටි දහසක පමණ දේපළ තහනම් කරමින් එම ජාවාරමේ මහමොළකරුවන් කොටුකර ගැනීමටද සමත් විය.

එසේ කුඩු ජාවාරමුන් සමඟ සටන් කළ රංගජීව ඉකුත් 2016 වසරේ අපේ‍්‍රල් මස 30 වැනිදා ගාල්ලේ සිට ජත්‍යන්තර මුහුද දක්වා යමින් දකුණු ආසියානු කලාපයට කුඩු බෙදන අල්කයිඩා සංවිධානයට අයත් ඉරාන නෞකාවක් විදෙස් ජාතිකයන් එකොළොස් දෙනකු ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් දෙපාර්තමේන්තුවට විශාල කීර්තියක් අත්කර දෙමිනි.

එහිදී ධීවරයන් සේ වෙස් වලාගෙන බෝටුවකට වී ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් රැ`දී සිටින්නටද රංගජීව ඇතුළු පිරිසට සිදුවූහ. එය මත් කුඩු නැවක් මුහුදෙන් ඇල්ලූ ප‍්‍රථම මෙහෙයුම ලෙසද පෙන්වා දිය හැකිය.

මෙසේ සිදු කළ විශ්මිත මෙහෙයුම්වලදී වරින් වර නියොමාල් රංගජීවට පොලිසියේ උසස්වීම් ලබාදීමට කිහිප අවස්ථාවකදීම යෝජනා කෙරුණද ඒවා බොරු ප‍්‍රලාප පමණක්ම වී තිබිණි. කොතෙක් රට වෙනුවෙන් සේවය කළද ඔහුව අගයන්නට කිසිවකුත් නොවීය.

නාකොටික් රංගජීව ඉකුත් 2017 වසරේ මැයි මස 09 වැනිදා පිළියන්දලදී මාකඳුරේ මධුෂ් විසින් ඩුබායි සිට මෙහෙයවූ පාතාල වෙඩි ප‍්‍රහාරයට ගොදුරු වූයේ මේ අන්දමට කුඩු පාතාලයට එරෙහිව සටන් කරමින් රට වෙනුවෙන් උපරිමය කරමින් සිටියදීය.

එහිදී බරපතළ තුවාල ලබා මාස ගණනාවක් ජීවිතයත් මරණයක් අතර සටනක යෙදී ඉන් ජයගත් හේ අද ජීවත් වන්නේ කුඩු ජාවාරමුන් සමඟ සටන් කිරීමේදී පිළියන්දල ප‍්‍රහාරයෙන් සිය පෙනහැල්ලට කාවැදුණු වෙඩි උණ්ඩ තුනක්ද සමඟිනි.

එසේ වෙඩි වැදීමෙන් අනතුරුව තමන්ට ලබාදීමට යෝජනා වූ උසස්වීම් දෙන ලෙස රංගජීව එදා පොලිස්පතිවරයාගෙන් සහ පොලිස් කොමිසමෙන් පවා ඉල්ලීම් කළද එය ලබා දෙන්නට තරම් කෘතවේදීත්වයක් කිසිවකුත් තුළ තිබුණේ නැත.

එකී උසස්වීම් ලැබීම වෙනුවට වෙඩි වැදී සිටියදී ඔහුට සිදුවූයේ වැලිකඩ සිද්ධියේ සැකකරුවකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්ව පාතාල ප‍්‍රහාරයෙන් ලද තුවාල සුව වීමටත් පෙර බන්ධනාගාරගත වන්නටය.

එකී පාතාල ප‍්‍රහාරය හමුවේ නියොමාල් රංගජීවට පොලිසියෙන් රුපියල් ලක්‍ෂ දහතුනක පමණ වන්දි මුදලක් හිමි වුවද එලෙස බන්ධනාගාරගත වීමෙන් පසු ඔහු ඒ මුදලද වැයකරනු ලැබුවේ අධිකරණ කි‍්‍රයාදාමය වෙනුවෙන්ය. අවසානයේ ඔහු තමන්ට වූ අසාධාරණකම් කියමින් පසුගිය කාලයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට පවා ගියද මේ දක්වා රංගජීවට සිදුවූ සාධාරණයක් නම් නැත.

ඉකුත් බදාදා (12 වැනිදා) කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් අටදෙනකු ඝාතනය කළේ යැයි කී නඩුවෙන් නිදොස්කොට නිදහස් කරනු ලැබුවේ මෙන්න මේ නියොමාල් රංගජීවය. සුවිශාල ඔත්තු ජාලයක් සමඟ මේ රටේ කුඩු ජාවාරමට එරෙහිව මහා මෙහෙයුම් කළ රංගජීව සතුව තිබෙන ජාත්‍යන්තරය දක්වාම විහිදුණු කුඩු ජාවාරම පිළිබඳ දැනුම් සම්භාරය විශ්මිතය. එදා මාකඳුරේ මධුෂ් ඇතුළු කුඩු ජාවාරමුන් සිය ගැලවීම උදෙසා රංගජීවගේ හිසට ලංසු තබමින් පාතාල ප‍්‍රහාරයකින් ඔහු සදාකාලිකව ඉවත් කිරීමට උත්සාහ දැරුවේද එනිසාය.

එහෙත් ඔහුගේ එකී වටිනාකම මේ රටේ බලධාරීන් වටහා ගන්නේ කවදාද? නියොමාල් රංගජීවට හිමි නිසි තැනට ඔහු ඔසවා ඒ අගැයීම කෙරෙන්නේ කෙදිනකද?

අප දැන් බලා සිටින්නේ අධිකරණයෙන් නිදහස ලැබූ නාකොටික් රංගජීවට ආයාසයකින් තොරව ලබාදිය යුතු එකී අගැයීම ඔහුට ලබාදෙන තුරුය. මන්ද මේ රටේත් ජාතියේත් නාමයෙන් නියොමාල් රංගජීවට සිදුවූ සියලූ වැරදි දැන්වත් නිවැරදි විය යුතුමය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment