එරාවුර් පුදබිම ගැන ඔබ නොදත් කතාව

234

රුහුණු, මායා, පිහිටි තුන්සිංහලේ රුහුණු රටට අයත් වත්මන් නැගෙනහිර පළාත අතීතයේදී රෝහණයේ විවිධ රජවරුන් යටතේ පාලනය විය. අනුරාධපුරය ද්‍රවිඩ ආක්‍රමණ වලින් පීඩිත වන කල්හි සිංහල ජනතාවට එකම පිහිට සැලසූවේ රෝහණ රාජාවලියයි. විශේෂයෙන්ම කාවන්තිස්ස රජුගේ දූර දර්ශී ක්‍රියාකලාපය නිසා මේ ද්‍රවිඩ ආක්‍රමණයන්ට විරුද්ධව නැගී සිටින්නට තරම් සේනා බලයක් රෝහණයේ වර්ධනය විය. පසු කාලීනව ගැමුණු කුමරු විසින් රට එක්සේසත් කරන්නට මුල් වූයේ කාවන්තිස්ස රජුගේ කල්පනාකාරී සේනා සංවිධානය හේතුවෙනි. අනුරාධපුරයේ ස්වර්ණමය යුගය ගෙවී යළි අඳුරු කාලපරිඡේදයක් ආරම්භ විය. චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජාවලිය ඉතා දරුණු ලෙසට දුබල විය. මහා විජයබාහු රජු නොහොත් කිත්ති කුමරු දීර්ඝකාලීන සටන් පෙරමුණේ සිට මේ ද්‍රවිඩ බලය යළිත් දුර්වල කොට පොළොන්නරුව කේන්ද්‍ර කොට සිය රාජධානිය ඇති කළේය. පොළොන්නරු අවදියේදී රෝහණය යළි අවදිවන්නට විය. කොටසර නොහොත් වත්මන් ත්‍රිකුණාමලය පුලියන්දූව නැතහොත් වත්මන් මඩකලපුව එරාහුළුව නොහොත් වත්මන් එරාවුර් ආදී තැන්වල තිබූ අන්යණ ජාතික බලය ක්‍රමයෙන් බිඳ වැටිණ. එම පෙදෙස්වල යළි බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. සංඝාරාම ඉදි වන්ට විය.

මෙම ලිපියට පාදක වනුයේ ඒරාහුළු ජනපදයේ බෞද්ධ ප්‍රබෝධයයි. මහා පරාක්‍රමබාහු රජු පොලොන්නරුවේ අභිෂේක ලබන්නට පෙර මෙම පෙදෙස මානාභරණ කුමරු යටතේ පාලනය විය. දළදා හා පාත්‍රා ධාතූන් වහන්සේලාද ඔහු සන්තක විය. සද්ධාතිස්ස රජු විසින් සශ්‍රීක කළ දිගාමඩුල්ල මේ රාජධානියේ ශක්තිමත්ම ආර්ථික කලාපය විය. තෙවනි සියවසේ රජ කළ මහසෙන් රජු විසින් මේ පෙදෙසේ තිබූ අන්‍යාගමික සිද්ධස්ථාන විනාශ කර දැමූ ආකාරය වංශ කතාවල දැක්වෙයි. ගෝකණ්නය නොහොත් වත්මන් ත්‍රිකුණාමලය කලන්ද සහ එරකාවිල්ල යන තන්හි පිහිටි බ්‍රාහ්මණ කෝවිල් ඔහු විනාශ කර දැමූ බව මේ ඉතිහාස පුවතයි. ඒ සෑම තැනකම ඔහු විහාර තැනීය. මඩකලපුව අසල ඒරුවිලද තවත් ස්ථානයකි. ඒරාහුළුව නැතහොත් ඒරාවුර් අසලින් ඇතුළු වූ ලංකාධිකාරී කිත්තිගේ මෙහෙයවීමෙන් යුතු මහා පරාක්‍රමබාහුගේ සේනා ගිවුලබ යන ස්ථානයේ එනම් දීඝවාපිය අසල කඳුවරු බැඳ මානාභරණ කුමරු පරාජයට පත් කරලීය. ඒරාහුළු දිශාභාගය රුහුණට අයත් වැදගත් ස්ථානයකි. එයට හේතුව එහි පිහිටි ස්වාභාවික වරායයි. ලංකාවේ එවැනි වරායන් රැසක් පිහිටා තිබුණි. නාවික යාත්‍රා මෙන්ම ධීවර යාත්‍රා ද එහි නැංගුරම් ලමින් වාණිජ කටයුතුවල යෙදිණ. එරාවුර් ආසන්නයේ දැනට විල්ලුතෝට්ටම යනුවෙන් හඳුන්වන බිම් කඩ එරාවුර් තොටුපළට සෘජුව සම්බන්ධය. නාවිකයන් වරායේ සිට මේ විල්ලුවට කුඩා යාත්‍රා වලින් පැමිණියහ. එහි ජලයට යට නොවුණු උස් ගොඩැල්ලක ස්ථූපයක් දර්ශනය වෙයි. සුදෝ සුදුවන්ව බබළන මේ චෛත්‍යයට පුද පූජා කිරීම ඔවුන්ගේ සිරිත විය. ඈත නවතා තිබෙන නාවිකා යාත්‍රාවලට මේ ස්ථූපය මග පෙන්වන සංකේතයක් විය. චෝල ආක්‍රමණ සහ පසුකාලීනව ඇති වූ යුරෝපා ආක්‍රමණ නිසා මේ සිංහල ජනාවාස නැත්තටම නැතිව ගියේය. ලන්දේසි පාලන සමයේ අවසාන භාගය වන විට මේ පෙදෙස මහමදික ජනතාවගෙන් පිරී යන්නට විය. යටකී ස්ථූපය එහි අවට පිහිටා තිබෙන සංඝාරාමයේ විනාශය ආරම්භ වන්නේ ඒ යුගයේ දීය. අද වන විට මේ ස්ථූපයත් සංඝාරාමයත් නටබුන් ගොඩකි. පසුගිය කාලයේ මේ විහාරය පිහිටි සාරවත් විල්ලුව එරාවුර් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කොටස් කර ද්‍රවිඩ ජනයාට බෙදා දෙනු ලැබිණ. ඔවුහු එහි විවිධ වගාවන් කළහ. ස්ථූපය ඩෝසර කොට මිරිස් වවන්ට උත්සාහ කළහ. මෙම විනාශකාරී සිදුවීම වළක්වාගත හැකි වූයේ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධයන්ට මග පෙන්වන පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන්ගේ කැපවීම නිසාවෙනි. කෙසේ වෙතත් මේ වන විට උන්වහන්සේගේ මග පෙන්වීම යටතේ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථූපය සංරක්ෂණයට මුල් වී සිටී. ඊට අමතරව 1987 වර්ෂයේ දී විනාශ කරන ලද එරාවුර් අසල පිහිටි පුන්නකුඩා සිංහල ගම්මානය ද පිහිටුවා ඒ සිංහල බෞද්ධ ජනතාවගේ ළමුන්ට අධ්‍යාපනය ලැබ ගැනීමට එරාවුර් සිංහල විද්‍යාලයද නැවත ගොඩනංවා තිබේ.

එරාවුර් පුදබිම ගැන ඔබ නොදත් කතාව

විහාරතෝට්ටම යනුවෙන් සිතියම්වල දක්වා තිබෙන මේ ස්ථූපය ඇතුළත් සංඝාරාම ප්‍රදේශය පිළිබඳ දැන් අප විමසා බලමු. කලින්ද දක්වන ලද පරිදි ජලයෙන් යටවූ විල්ලු පෙදෙසක පිහිටි මේ සංඝාරාමයේ ප්‍රධානතම ස්මාරකය චෛත්‍ය බවට පත් වෙයි. විෂ්කම්භය අඩි තිහක් පමණ වන මේ චෛත්‍ය නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව විනාශයට පත්ව තිබේ.

නැගෙනිහිර පළාත යළි ජනාවාස වන්නේ 1948 වසරෙන් පසුවයි. දකුණේ සිට නාවික යාත්‍රා වලින් පැමිණි සිංහල වෙළෙන්දන් එරාවුර්හි පදිංචි වී ඒවායේ පුරාණ ස්ථූපයන් ආසන්නයේ විහාරස්ථාන යළි ඉදි කළහ. සේරුවිල එවැනි තැනකි. එරහුළු වේ මේ චෛත්‍ය මළුවේ අනුරාධපුර යුගයට අයත් ගඩොලු විසිරී තිබේ. තද රතු පැහැති මැට්ටෙන් ශක්තිමත්ව තනන ලද ගඩොලු ගෙන ඒමට රාජකීය මැදිහත් වීමක් සිදුවූ බව ඒකාන්තය. ඒ අතරම කළු රක්ත මැටි බඳුන් දක්නට ලැබීමද විශේෂිතය. සඳකඩ පහන් ගල් කණු ගොඩනැගිලි අත්තිවාරම් සහ පාදම් ගල් වලින් සමන්විත සමස්ත ප්‍රදේශයම අද වැලි වලින් වැසී තිබේ. මෙම ස්ථානය යළි ගවේෂණයට ලක් වූයේ 2017 වසරේ දීය. ඉන්පසු අම්පාර පුරාවිදු කාර්යාලය මගින් සීමා කණු පිහිටුවන්නට යෙදුණේ ඉතා මෑත කාලයේ දීය. එයට හේතු වූයේ ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ස්ථානය කොටස් කර ජනතාවට දීම නිසා ඇති වූ හානිය වළක්වාලීමටයි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පිහිටුවා තිබෙන පුරාවිද්‍යා සංරක්ෂණ කමිටුවේ නියෝජිත පිරිසක් පසුගියදා මඩකලපුවේ එරාවුර් පෙදෙසට පැමිණියේ මෙම සද් කටයුත්තට අත දීමටයි. මෙම ගමනට පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමි, වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා, මහාචාර්ය නිමල්ද සිල්වා මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසන්න රත්නායක මහතා , සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාගිෂ්ට මහතා ඇතුළු පිරිසක් සාභාගි වූහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සම්බන්ධීකරණය යටතේ සිදු වන මෙම සංරක්ෂණය නුදුරු දිනකදී ආරම්භ කර ගැනීම අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා ගැනීම මෙම ගමනේ බලාපොරොත්තුව විය. පුන්නකුඩා සිංහල ගම්මානයට ගොඩ වැදී එහි ජීවත්වන සිංහල බෞද්ධ ජනතාවගේ සුව දුක් විමසා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සොයා බැලීමද ඒරාවුර් සිංහල විද්‍යාලය සහ දේවාලංකාර පිරිවෙන ද දැක බලා ගැනීමට බෞද්ධ සම්මේලනයේ නියෝජිත පිරිස සමත් විය. 1987 වර්ෂයට පෙර එරාවුර් නගර මධ්‍යයේ පැවති කඩ පනස් දෙකක සිංහල වෙළඳ පළට ගොඩ වැදී එහි දැනට වෙළෙඳාමේ යෙදී සිටින එකම සිංහල ව්‍යාපාරික පවුල මුණ ගැසී ඔවුන්ගේ නීතිමය ප්‍රශ්න සාකච්ඡා කිරීමද මෙහිදී සිදු විය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment