එල්පීඑල් වෙන්දේසියට ක්‍රීඩකයන් 420ක් – තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල

121

විදෙස් ක්‍රීඩකයන් 266 ක්

දේශීය ක්‍රීඩකයන් 154 ක්

වෙන්දේසිය ලබන 21 වැනිදා

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 420 දෙනකු ඉදිරිපත් කිරීමට නියමිත බව තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා කොළඹ දී ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඉන් ක්‍රීඩකයන් 154 දෙනකු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අතර, සෙසු ක්‍රීඩකයන් 266 දෙනා විදෙස් ක්‍රීඩකයන් වන බවද ඒ මහතා පැවසීය.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 600 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබූ නමුත්, ඉන් ක්‍රීඩකයන් 266 දෙනකු පමණක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට තෝරාගත් බවත් දොඩංවෙල මහතා පැවසීය.

ඊට අමතරව දේශීය ක්‍රීඩකයන් 140 දෙනකුගේ පමණ නම් ලැයිස්තුවක් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ලබා දී තිබූ බවත්, සෑම ප්‍රධාන ක්‍රීඩා සමාජයකටම ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

ලබන 21 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන අතර, වෙන්දේසිය දහවල් 12.00 ට ආරම්භ වීමට නියමිත වේ.

ක්‍රීඩක වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක (රුපියල් කෝටි 15ක් පමණ) මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයන් මිලදීගත හැකි අතර, වෙන්දේසියට පෙර ක්‍රීඩකයන් සමග සෘජුව ගිවිසුම්ගත වීම සඳහා ද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් භාවිතා කළ හැක.

මේ අතර, ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් මාර්ගෝපදේශ පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් කණ්ඩායම් දෙකක හිමිකරුවන් ඉවත් කිරීමට සිදු වූ බව ද දොඩංවෙල මහතා එහිදී පැවසීය.

ඒ අනුව ගාල්ල හා දඹුල්ල කණ්ඩායම් මේ වන විට නව හිමිකරුවන් දෙදෙනකු යටතට පත්ව ඇති බවත්, මහනුවර කණ්ඩායමේ හිමිකාරීත්වයේ ද වෙනසක් සිදු වීමට නියමිතව ඇති බවත් ඔහු සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment