එල්ලලාද මැරුවේ – මරලාද එල්ලුවේ(අඩු ගණනේ ඒකවත් අපට කියන්න)

1397

මෙයට අවුරුදු සිය ගණනකට පෙර කෝට්ටේ රාජධානිය පැවති සමයේදී නුගේගොඩට යාබද දෙල්කඳ සහ රත්තනපිටිය වැනි ප්‍රදේශ ඝන වනාන්තර විය. එකල හොරකම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, රාජද්‍රෝහීත්වය හෝ රජුගේ සැකයට භාජන වීම වැනි කරුණු නිසා වදයට පමුණුවන හෝ මරා දමන ලද විත්තිකරුවන්ට එම දඬුවම් දෙන ලද්දේ දෙල්කඳ සහ රත්තනපිටිය අතර පිහිටි ඝන වනාන්තරය තුළය. වධකයා සහ රාජ පුරුෂයන් විසින් විත්තිකරුවා වනාන්තරය මැද්දට ගෙන ගොස් බෙල්ල කපා දැමීම හෝ සොරුන්ගේ අත් දෙක කපා දැමීම සාමාන්‍ය විරිත විය. මෙසේ ටික කලක් ගතවෙද්දී මරණ දණ්ඩනය හෝ අංග ඡේදනය සඳහා විත්තිකරු ඇතුළු පිරිස වනාන්තරයට ගමන් කරන අතරතුර විත්තිකරුගේ පවුලේ අය රාජ පුරුෂයන්ට අල්ලස් දී, වධකයාටද රා බෝතලයක් සහ ජරාවක් මිට මොළවා විත්තිකරු නිදහස් කරගෙන යෑමට පටන් ගත්හ. ඥාතීන් සමග පැනයන විත්තිකරු මුහුදුකරයට ගොස් දීර්ඝ ගමන් මාර්ගයකින් කන්ද උඩරට රාජධානියට සේන්දු විය. ඔහු එතැන් පටන් ජීවත්වුණේ එහිය. මේ අතර කෝට්ටේ රජතුමාට මේ සිද්ධිය ආරංචි විය. වධකයන් හා රාජපුරුෂයන් කැඳවා තරවටු කළ හෙතෙම අලුත් නියෝගයක් කළේය. එනම් ගෙල සිඳුවා මරණ අයගේ හිසද, අත් දෙක කපන ඇයගේ දෑත් ද රජු වෙතට ගෙනගොස් පෙන්විය යුතු බවය. ඉන්පසු එය එසේම සිදුවිය. ලංකාව ම්ලේච්ඡ රාජ්‍යයක්ව පැවති රාජාණ්ඩු යුගයේදී මෙය සාමාන්‍ය දෙයක් වුවද ශිෂ්ටාචාරය විසින් අප දියුණු ජාතියක් බවට පත්කළ කල්හි මිනිහකුගේ අත් දෙක කපාගෙන යෑම හෝ බෙල්ල කපාගෙන හිස පාරේ ගෙනයෑම ඉතා නරක ඇඟ කිළිපොලන දර්ශනයක් බවට පත්විය. එහෙත් අදටත් මිනිසුන්ගේ බෙලි කපාගෙන යන අය ඕනෑ තරම් සිටිති. එමතුද නොව අඟුලාන පැත්තේ පුද්ගලයකු විසින් තවත් කෙනකුගේ අත් දෙක කඩුවකින් කපා රැගෙන යන හැටි පසුගියදා රූපවාහිනියෙන් අප දුටුවෙමු. එය CCTV කැමරාවක දර්ශනයකි. CCTV කැමරා ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමගම මිනීමැරුම් සහ මංකොල්ලකෑම් නැවත නැරඹීමේ හැකියාවක් ජනතාවට ලැබී ඇත. ප්‍රභාකරන් විසින් ජනවාර්ගික යුද්ධය පටන් ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් සාපරාධී රාජ්‍යයක් බවට පත්විය. වෙන මොනවයින් ගොඩ ආවත් අපරාධ වලින් ගොඩ ඒමට හැකියාවක් අපට තිබෙන බවක් නොපෙනේ. මෙහි අලුත්ම ප්‍රවනතාව වන්නේ ඇතැම් අපරාධ පැය 24 ක් තුළ හෙළිකර ගැනීමටත් ඇතැම් අපරාධ අවුරුදු 24 ක් ගියත් හෙළිකර ගැනීමට පොලිසියට බැරි වීමත්ය.

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්තේ සුසාන භූමියේදී පසුගියදා මරණ ලදී. මේ මරණය සිදුවන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 15 දාය. මේ මරණය පිළිබඳව විවිධ කතන්දර ඇත. මේ කතන්දර සියල්ල අතරින් එක කතාවක් නිවැරදි කතාව වීමට ඉඩ ඇත. ඒ නිවැරදි කතාව සොයාගෙන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අදටත් හැකිව නැත. ඔහුගේ මළ සිරුර පසුගියදා ගොඩගන්නා ලදී. එහෙත් තවමත් හරියාකාර විසඳුමක් ලැබී නැත. ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අපට කීමට බැරි කතාවක් හෝ අප දැනගැනීමට නුසුදුසු කතාවක් තිබෙනවා වෙන්නට පුළුවන. අපට ඒ කතාවෙන් කොහොමටත් වැඩක් නැත. අපට අවශ්‍ය වන්නේ සිද්ධියේ වරදකරුවන් දඬුවම් ලබනු දැක්ම පමණි.

ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ වූ ලසන්ත වික්‍රමතුංග අද ජීවතුන් අතර සිටියේ නම් ඔහුගේ වයස අවුරුදු 65 කි. එහෙත් අවුරුදු 51 ලබන විටම ඔහු මරා දමන ලදී. ලසන්තගේ පුවත්පත් කලා භාවිතය ගැන මේ රටේ වැඩි දෙනකුට ප්‍රශ්න තිබේ. එහෙත් ඔහු කිසියම් වරදක් කළ බලවතකු සමග හැප්පෙන්නට පටන්ගත් විට දිගින් දිගටම එම ක්‍රියාවේ නිරත විය. සුරනිමල යන අනවර්ථ නාමය යටතේ ඉංග්‍රීසි දේශපාලන කොලමක් ලියූ ලසන්ත ඉතා භයානක ලෙස බලවතුන් බිය ගැන්වීය. කලක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ නමුදු ඇගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විශාල සතුරුකමක් ඇතිකර ගැනීමට ඔහුට සිදුවිය. 2009 ජනවාරි 8 දා උදේ 10.30 ට කාර්යාලය බලා යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් ඔහුගේ රිය නවත්වා ඔහු මරණ ලදී. ඒ ඝාතනය සිදුකරන ලද්දේ බැටළුවන් මරණ ආයුධයකිනි. මේ ආයුධ පිට රටින් ගෙන්වනු ලැබේ. ඝාතනය නොවූයේ නම් ඔහුගේ ඊළඟ පියවර හැටියට යෙදී තිබුණේ ඉදිරි දින කිහිපය තුළ ගෝඨාභය රාජපක්ෂ සමග පැවති නඩුවක සාක්ෂි දීමටය. ලසන්ත නීතිඥයකු වූ අතර නීත්‍යනුකූලව මිනිසුන්ට පහර ගැසීමට ඉතා හොඳින් දැන සිටියේය. ලසන්ත ඝාතනයෙන් දශක එකහමාරකට කිට්ටු කාලයක් ගතවී ඇති නමුදු ඔහු මැරූ අය සොයාගැනීමට අදටත් හැකිවී නැත. එය පොලිසියේ අදක්ෂකමද නොඑසේ නම් බලවතුන්ගේ බලපෑමදැයි අපි නොදනිමු.

ප්‍රදීප් එක්නැලිගොඩ යනු පුවත්පත් කලාවේදියෙකි. එහෙත් ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත් කලාව නොකළ ඔහු පුංචි පුංචි වෙබ් සයිට් වලට ලියමින් ඒවාට කාටුන්ද අඳිමින් එදා වේල සොයාගෙන ජීවත් විය. 2010 ජනවාරි 24 දා ඔහු අතුරුදන් විය. ඉන්පසු කවදාවත් ඔහු දැකගැනීමට ඔහුගේ ඥාතීන්ට අවස්ථාවක් ලැබුණේ නැත. යුද විරෝධියකු වූ හෙතෙම යුද සමයේදී ලක් රජය විසින් රසායනික අවි භාවිත කරන ලද බවක් හෙළිකරමින් විශාල කලබැගෑනියක් කළේය. එක්නැලිගොඩට කුමක් සිදුවූයේද යන්න සෙවීමට අදටත් හැකිව නැත. සමහරවිට ඔහු ගැනද අපට කිව නොහැකි කතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා වන්නට පුළුවන. හැමෝම ජීවත්වෙන්නේ රස්සාවට බියෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පමණ ඉක්මවා වැඩ කිරීමට ගොස් රස්සාව නැතිකර ගත්විට ඔහුට කන්න දෙන්නේ නැත. මෙයට ඇති හොඳම උදාහරණය ශානි අබේසේකර වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කළ මේ මිනිසා දිගු කාලයක් රිමාන්ඩ් එකේ සිට එළියට පැමිණ විශ්‍රාම ලබා සිටින නමුදු අදටත් ඔහුගේ පෙන්ෂන් පඩිය හැදී නැත. 2012 මැයි 17 දා පිළිස්සී ගිය මෝටර් රථයක් තුළ දැවී ගොස් සිටි වසීම් තාජුඩීන් ගේ මරණය සම්බන්ධයෙන් අදටත් කිසිවක් සොයා ගැනීමට පොලිසියට හැකිව නැත. තාජුඩීන් යනු විශිෂ්ට රගර් ක්‍රීඩකයෙකි. ඔහුගේ ඝාතනය සහ ප්‍රභූ පුතුන් කිහිපදෙනකුගේ නම් ඈඳී තිබිණ. ඔහු මරා ඔහුගේම මෝටර් රථය තුළට දමා ගිනි තබන ලදැයිද සමහරු කියති. මේ මරණය ගැන අපට කිව නොහැකි කතාවක් එදා සිටම පොලිසියට තිබිණ. ඒ නිසාම මේ මිනීමැරුම ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට පොලිසියට අදටත් හැකිව නැත. අපගේ කතුවැකිය මෙතැනින් අවසන් කරනු ලැබේ. ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන සොයා ගත්තත් නොවිසඳුණු අපරාධ ලෙස ඉතිහාසයට එක්වෙනවා ඇත. පරම්පරා කිහිපයක ඇවෑමෙන් මේ කතා යට යන අතර අලුත් කතා උඩ ඒමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment