එස්ටීඑෆ් එකට කසිප්පු තිත්පළේදී කොටුවූ පාතාල සුද්දා ගංජා හේන් දෙකක් වමාරයි

309

දකුණේ ක‍්‍රියාත්මක වු ප‍්‍රබල පාතාල කල්ලියක සාමාජිකයකු සමග තවත් පුද්ගලයකු සූරියවැව මහගල්වැව ප‍්‍රදේශයේ කැලෑබද ප‍්‍රදේශයක කසිප්පු ජාවාරමක් හා ගංජා හේන් දෙකක් පවත්වාගෙන යමින් සිටියදී ලද තොරතුරකට අනුව සිදුකළ වැටලිමකදී සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (16 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කලක් දකුණේ ක‍්‍රියාත්මක වු ප‍්‍රබල පාතාල කල්ලියක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව කියන සූරියවැව, මහගල්වැව, මහසෙන්පුර පදිංචි 42 හැවිරිදි අනුක්කන්ගල සුද්දා නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

අත්අඩංගුවටපත් සැකකරුගෙන් සිදුකල ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව ඒ ආසන්නයේ කැලෑවක් තුළ තිබී සැකකරු විසින් පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් සමග එම හේනේ සේවය කළ තණමල්විල කුමාරගම පදිංචි 37 හැවිරිදි පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමේදී කසිප්පු පෙරීමට යොදාගත් සැලැන්ගි, ගෑස් සිලින්ඩර 01ක්, ගෑස් ලිප් 01ක්, යකඩ බැරල් කිහිපයක් සමග ගෝඩා මිලි ලීටර් 32,000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා හේන් දෙකේ තිබී අඩි හතරක් පමණ උස ගංජා ගස් 3500ක්ද විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලීසියට බාරදීමට කටයුතු කෙරුණු අතර සැකකරුවන් හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කළාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුරනාත දිසානායක, ප‍්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ආනන්ද පේමසිරි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකායේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව ප‍්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් උප පොලිස් පරීක්ෂක මිහිරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මත්තල – දිලීප් එන්. ජයසේකර


advertistmentadvertistment