එස්. එච්. සරත්ගේ චිත්‍ර කලාව නූතනවාදී සංස්කෘතික වියමනක්

93

සාහිත්‍ය, සිනමාව, නාට්‍ය ආදී අනෙක් කලා මාධ්‍ය මෙන්ම චිත්‍ර කලාව ද සියුම් භාව ප්‍රකාශනයට ද රසික ආධ්‍යාත්මය පුබුදු කරවීමට ද සමත් අපූර්ව නිර්මාණ විශේෂයක් බව අවිවාදිතය. ඇතැම් කලා විචාරකයන් පවසන පරිදි මානව ශිෂ්ටාචාරයේ සමාරම්භය තෙක් ඇදී යන කලා ඉතිහාසයෙහි අතිශය ප්‍රබල හා රමණීය අත්දැකීම් සමුදායක් චිත්‍ර කලාව හා බැඳී පවතී. සීගිරි බිතු සිතුවම් මෙන්ම අපේ විහාරස්ථානවල චිත්‍ර සමූහය තුළින් වුවද තහවුරුවන්නේ පොදු ජන ආකර්ෂණය සඳහා චිත්‍ර කලාව ස්වභාවයෙන්ම හිමිකර ගත් ප්‍රබලත්වයයි. මානව හැඟීම් නිරූපනයට අමතරව බෞද්ධ සංස්කෘතික උරුමයක් ලෙස ද ප්‍රචලිත චිත්‍ර සම්ප්‍රදායක් අප සතුව පවතී. එහෙත් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය, සිනමාව, නාට්‍ය වැනි කලා මාධය සඳහා යොමුව තිබෙන රසික අවධානය චිත්‍ර කලාව සම්බන්ධයෙන් නොමැති බව බොහෝ දෙනෙකුගේ අදහසය. එසේම චිත්‍ර කලා විචාරක මැදිහත්වීම් ද ඊටත් වඩා විරල බව පෙනේ.
එහෙත් චිත්‍ර කලාව දීර්ඝ ඉතිහාසයක් වෙත ඇදී යන විදග්ධ මෙන්ම ජනකලාවක් ලෙස ද පිළිගනු ලැබේ. අපේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ‘අපේ වියත් පරපුර’ හා භාෂා සමාජ පරිහානිය’ නමැති ශාස්ත්‍රීය කෘතියෙහි ජාතික ප්‍රබෝධයට උරදුන් චිත්‍ර ශිල්පීන් කීපදෙනෙකු ගැන ඇගැයීමක් කර ඇත. ඒ හතළිහේ දසකය තරම් ඈත අතීතයේදීය. මංජු ශ්‍රී, ස්ටැන්ලි අභයසිංහ, ඩේවිඩ් පේන්ටර් හා ප්‍රකට මූර්ති ශිල්පී තිස්ස රණසිංහ ගැන එහිලා විශ්ලේෂණ කර තිබේ. එකල චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට වික්‍රමසිංහයන් ද
සහභාගි වීමෙන් තහවුරු වන්නේ ද මේ කලා මාධ්‍යයෙහි ගාම්භීරත්වය හා විශිෂ්ටත්වය යැයි කල්පනා කළ හැකිය. දසක කීපයකට පෙර බොහෝ සිංහල බෞද්ධ නිවෙස්වල සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍රයක් එල්ලා තිබුණු ආකාරය ද මෙහිදී සිහිපත් කළ යුතුය.

එස්. එච්. සරත්ගේ චිත්‍ර කලාව නූතනවාදී සංස්කෘතික වියමනක්
එස් එච් සරත්

මහින්දාගමනයෙන් පසු මේ රටේ ඇති වූ අභිනව සංස්කෘතික ප්‍රබෝධයෙහි නියත ඵලයක් ලෙස බෞද්ධ කලා ශිල්ප හා චිත්‍ර හැඳින්විය හැකිය. අනුරාධපුරයෙන් ඇරඹුණු ඒ බෞද්ධ කලා පොළොන්නරුව යුගයේදීත් වර්ධනය වූ ආකාරය පැහැදිලිව දැකගත හැකිය. සමාධි පිළිමය, ගල් විහාරය මෙන්ම සඳකඩ පහණ, වාමන රුප හා වෙනත් පිළිම රැසක්ම අපට ඉතිරි වී තිබේ. ගලින් පිළිම නෙළීමටත්, විහාර ගෙය චිත්‍රයෙන් විචිත්‍ර කිරීමටත් එකල ශිල්පීන් විසින් දක්වන ලද ප්‍රතිභාව විස්මිතය.

බුදුන්වහන්සේගේ කරුණා, මුදිතා, දයා ආදී භාව කළුගලට කැවූ ඒ ශිල්පීන්ට ජාතියේ ගෞරවය හිමිවිය යුතුය. චිත්‍රයට ද ඒ කලාකරුවන්ගේ සෙවණ ලැබෙන්ට ඇතැයි සිතිය හැකිය. කුමක් වුවත් මෙරටේ පොදු ජනතාව අතර ද බෞද්ධ චිත්‍රය, ඇගැයිමට ලක් වූ බව ද කල්පනා කළ හැකිය.

විශ්වකීර්තියට පත් චිත්‍ර ශිල්පීන් වන ලියනාඩෝ ඩාවින්සි, මයිකලැංජිලෝ, රෆායෙල්, එඩ්වඩ් මැනේ, සෙසත් පිකැසෝ ප්‍රමුඛ දීර්ඝ නාමාවලියක් ද මේ ක්‍ෂේත්‍රය පිළිබඳ විමර්ශනය කරනු ලබන කවරකුට වුවද හමුවේ. එසේම ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියකු වූ ජෝර්ජ් කීට් ප්‍රමුඛ තවත් නාමාවලියක් ද වේ. මේ හැම චිත්‍ර ශිල්පියකු පිළිබඳ විවිධ කලා විචාරකයන් විසින් දක්වන ලද අවධානය ද ලේඛනගතව තිබේ. එසේ වුවද ඉහත සඳහන් කළ පරිදිම චිත්‍ර කලාව දීර්ඝ ඉතිහාස පසුබිමකින් යුතු වුවද මෙරටේ ඒ පිළිබඳ විචාර සංවාද ඉතා අඩු බව නිසැකය. නවකතාවක, කවියක, නාට්‍යයක හෝ සිනමාවක අන්තර්ගතය, බුද්ධිමය හා සංස්කෘතික ප්‍රවාද මෙන්ම ඒ හා බැඳුනු කතිකාවන්ගෙන් චිත්‍ර නිර්මාණ ඈත් වූයේ කෙසේද යන්නත් වෙනම සාකච්ඡා කළ යුත්තකි. එසේම නූතන චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍ර නිර්මාණය ගැඹුරු කලාත්මක දෘෂ්ටියකින් සමාජගත කළ ආකාරය ද අපගේ අවධානයට ලක්විය යුතුය. අද දවසේත් අප්‍රමාණ චිත්‍රකලා රසිකයෝ සියවස් ගණනාවක් පැවති ස්ත්‍රී මුහුණ පිකැසෝගේ මෝනාලිසා චිත්‍රයෙන් පරිසමාප්ත වූ ආකාරය අපූර්වත්වයෙන් විඳගනිති. මෙය පිකැසෝගේ නිර්මාණ ප්‍රතිභාවේ අග්‍රඵලයක් මෙන්ම නූතන චිත්‍රකලාවේ පුනරුත්පත්තියක් ලෙස සලකන විචාරකයෝ ද සිටිති. නූතන මිනිසා මුහුණ දී සිටින වේදනාවන්, සමාජ විලාපය, ශිෂ්ටාචාර ගැටුම්, ම්ලේච්ඡ හා ප්‍රචණ්ඩ යුද්ධ නූතන චිත්‍ර ශිල්පීන්ගේ ද තේමාවන් බවට පත්ව තිබේ.

කෙසේ හෝ වේවා චිත්‍ර කලාව පිළිබඳ මගේ මෙම අසම්පූර්ණ ආවර්ජනයන්ට නිමිත්ත වූයේ ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ එස්. එච්. සරත්ගේ වසර පනහක චිත්‍රකලා සැමරුම් සිහිගැන්වූ ‘ප්‍රථම ගමන’ නමැති චිත්‍ර ප්‍රදර්ශනයයි. 1972 සිය ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වූ සරත් මේ වනවිට චිත්‍ර කලාව පිළිබඳ ශාස්ත්‍රාලීය දැනුම ද එහි සියුම් භාව ප්‍රකාශන ශක්තිය හා මානව සබඳතාවන් හි අවියෝජනීය ගැටුම් ද ඇතුළත් දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන රැසක් පැවැත්වූ ප්‍රවීණ කලාකරුවෙකි. සරත් පවසන්නේ ඕනෑම ප්‍රබුද්ධ කලාකරුවකු විසින් කරනු ලබන්නේ ස්වකීය කලා මාධ්‍ය භාවිත කරමින් අපූර්ව වස්තුවක් නිර්මාණය කරනු ලබන බවය.

එස්. එච්. සරත්ගේ චිත්‍ර කලාව නූතනවාදී සංස්කෘතික වියමනක්

සරත් අවධාරණය කරන්නේ චිත්‍ර කලා මාධය භාවිතයේදීත් සමකාලීන සමාජ දේශපාලන අර්බුද පිළිබඳවත් පුළුල් හා දාර්ශනික ප්‍රතිචාර අනිවාර්ය බවය. කිසියම් චිත්‍රයක් මිලට ගන්නා රසිකයා එය හුදු බිත්ති සැරසිල්ලක් ලෙස භාවිත කරන්නකු නොවන බවත් ඔහු පවසනවා.

“අද අප ඉන්නේ ගෝලීය ආර්ථික දේශපාලන රාමුවක. ඒවායේ චලනයන් අපට දැනෙනවා. ජනතාව අලුත් සමාජ වටිනාකම් වෙත දිවයන, පාරිභෝගික නැඹුරුතාවට නගරය මෙන්ම ගමත් අහුවෙලා ඉවරයි. සුව පහසු ජීවිත තරුණ අපේක්‍ෂාවයි. ඔවුන් පිටරටවල් කරා ඇදෙනවා. ඒකත් සමාජ ඛේදවාචකයක්. ගාලුමුවදොර අරගලයට තරුණයන් ආකර්ෂණය වුණෙත් වෙනසක් ඉල්ලමින්.

සරත් කියන්නේ කලාව පාරිභෝගික වුවමනා වෙනුවෙන් සරල සිල්ලර ගණයට පත් නොකර ප්‍රඥාව අවදි කළ යුතු බවය. පාරිභෝජනවාදය අද මහා විපතක්. මැද පන්තිය ඒ නිසා අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින බව ද සරත් පවසයි. චිත්‍රය ඒ සමාජ කම්පනය පිළිබිඹු කරන සෞන්දර්ය ප්‍රකාශනයක් බව ද ඔහු පෙන්වා දෙයි.

සරත්ගේ ‘ප්‍රථම ගමන’ ප්‍රදර්ශනයෙහි එන ‘ඇතාගේ කතාව’ සහ ‘ගවයාගේ කතාව’ නමැති සුවිසල් චිත්‍ර නිර්මාණ දෙක තුළින් ඔහු ආමන්ත්‍රණය කර ඇත්තේ අප මුහුණ දී සිටින සමාජ – ආර්ථික හා දේශපාලනයේම යථාර්ථය හඳුනානොගත් ජනතාවටය.

අපි ඇතාගේ කතාව වෙත මඳක් යොමුවෙමු. එය සිංහල බෞද්ධ සංස්කෘතියේ සමාරම්භයේ සිට නුතන විශ්ව සංස්කෘතිය තෙක් ඈදුනු සංකීර්ණ වෘත්තාන්තයක් ලෙස සරත් නිර්මාණය කර ඇත. මහාමායා දේවිය දුටු සිහිනයෙහි ඇත්පැටවා දෙන සංකේතාර්ථය අපි දනිමු. ඒ ඇතා මිනිස් ශිෂ්ටාචාරයෙහි දිගු මිතුරෙක් ලෙස පැමිණි සත්ත්වයෙකි. පාරිලෙය්‍ය වනයෙහිදී බුදුන් වහන්සේට උවටැන් කරන ඇතා ගැන ද අපි දනිමු. එසේම මිනිස් දුර්ගුණ නිසා නාලාගිරි වෙස් ගෙන බුදුන් නැසීමට එන්නේ ද ඒ ඇතාමය. ඒ ඇතාට රා පොවා සිහිවිකල් කර ඇත. රජදරුවන්ගේ සිට අද දක්වා ඇතා හීලෑ කරගත් අයුරුත්, පෙරහැර සඳහා යොදාගත් අයුරුත් මෙම චිත්‍රයෙහි නිරූපණය වන්නේ පුළුල් සමාජ දේශපාලන අර්ථ හා සංඥා සමඟය. අද අලි – මිනිස් ගැටුමට හේතුව ඒ ඇතාගේ භූමිය බලලෝභී මිනිසා හා බහුජාතික සමාගම් අයිතිකර ගැනීමය. ඇතා ගමට එන්නේ සුපිරි වෙළෙඳසලකට එන පාරිභෝගික ගනුදෙනුකරුවකු ලෙසය. ඔහු එහි තිබෙන විවිධ දේ ආහාරයට ද ගනී. ඔහු ඒවා උත්ප්‍රාසනීය ලෙස දකී.

සරත්ගේ එම චිත්‍රයෙහි දාර්ශනික අරුතක් ද ඇත. ඒ ස්වභාව ධර්මයට පටහැනිව එහි හිමිකරුවකු වන ඇතාගේ භූමිය මිනිසා විසින් ආක්‍රමණය කරනු ලැබීමේ විපාකයට මිනිසාත් අලියාත් වන්දි ගෙවීමේ ඛේදවාචකයයි. මේ පුළුල් තේමාව වර්ණ, හැඩතල, අවකාශ ආදියෙන් උක්ත ජාලයට නැංවීමෙන් චිත්‍ර ශිල්පියා සිය ප්‍රතිභාව ද විශද කර ඇත.

සරත්ගේ අනෙක් තේමාව වූ ‘ගවයාගේ කතාව’ ද පියවරෙන් පියවර අපට පෙන්වා දෙන්නේ ද පාරිභෝගික වෙළෙඳ තරගයෙහි නග්න විලාසයයි. කෘෂි සමාජයක ගවයා පූජනීය සතෙකි. ගවදෙන අපේ කිරි මවය. එහෙත් වෙළෙඳ සමාගම් ඒ කිරි දොවා ගනිමින් සම්ප්‍රදායී ගැමි සංස්කෘතිය වෙනස් කරයි. එළකිරි මහා පරිමාණ නිෂ්පාදනයක් බවට පත්වෙයි. කිරි මෙන්ම මස් ද ලබා ගැනීමට ගවයා යොදා ගනී. එසේ වුවද ගවයා හින්දු භක්තිකයන්ගේ ශිවදෙවි වාහනයයි. සංස්කෘතික හා ආගමික වටිනාකම් වෙළෙඳ සමාජයකට වැදගත් නැත. සරත් මේ විනාශය දකියි. ඇතා මෙන්ම ගවයා ද නිර්මාංශික සත්තුය. එහෙත් අද ඇතා මෙන්ම ගවයා ද අනාරක්‍ෂිත වී සිටිති. කාර්මික විප්ලවය, ව්‍යාපාර වර්ධනය අබියස මේ සියල්ල මුහුණ දෙන ඉරණම ශෝචනීය නොවේදැයි ඔහු අපෙන් අසයි. ස්වභාව ධර්මයෙහි සමතුලිත බව බිඳී යන ලෝකයක මිනිසාගේ ඉරණම කුමක්ද? සරල ජීවන රටාව වෙනුවට අද තිබෙන උජාරු ජීවිතවල ව්‍යාජත්වය ද ඔහුගේ චිත්‍රයෙහි සංකේතවත් වෙයි. ජාතක පොතේ එන බෝසත් ඇතා (සද්දන්ත ජාතකය) සිය දළ ගලවා දෙන සංවේදී කතාව ළමා වියෙහි ඇසූ අප අදත් ඒ ඇතාට උගුල් අටවා වෙඩි තබා මරා දමා දළත් කපා ගනිමු. මානවසිංහ කවියා ලියූ ඇත්ගාලේ දරුපෙම් අද කොහිද?

සාහිත්‍ය, සිනමාව ආදී සෙසු කලාවන්හිදී මෙන්ම චිත්‍ර කලාවේදීත් සම්ප්‍රදාය හා නවීනත්වය නිවැරදිව වටහා ගත යුතු බව සරත් පවසයි. තායිලන්තයේ ශිල්පකොන් විශ්වවිiාලයෙහි චිත්‍ර කලාව පිළිබඳ කළ හැදෑරීම් මේ විෂය ක්‍ෂේත්‍රයෙහි නෙක් දිසාවන් වෙත අවධානය යොමුකිරීමට උපකාරී වූ බව ද ඔහු කියයි. 1985 දී 43 කණ්ඩායමේ ජෝර්ජ් කීට් හා මංජු ශ්‍රී වැනි විශ්ෂ්ටයන්ගේ නිර්මාණ සමඟ තමන්ට ද චිත්‍ර ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ඇරයුම් ලැබීම ඔහු අදත් දැඩි ගෞරවයකින් සිහි කරයි. සුප්‍රකට මූර්ති ශිල්පී තිස්ස රණසිංහ එදා සරත්ට හා හෙන්රි නිව්ටන් දෙදෙනාට ඔහුගේ වියදමින් ලයනල් වෙන්ඩ්ට් කලාගාරය වෙන් කළ බව ද ඔහු කෘතවේදීව මතක් කළේය.

ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියකු වූ ගොගැන් පවසන්නේ සියලු කලාවන් අතර සුන්දරතම කලාව චිත්‍ර කලාව බවය. ප්‍රතිභා පූර්ණ ශිල්පියකුට ස්වකීය පරිකල්පනයෙහි ගැඹුරු ස්මරණ තම චිත්‍රය තුළ නිදන් කළ හැකි බව ද ඔහුගේම අවධාරණයකි. සුසංවාදී වර්ණ සුසංවාදී නාද වැනි යැයි ද ඔහු පවසා තිබේ. ගොගැන්ට ළමා වියෙහිදීම තම උපන් බිම හැරයෑමට ද සිදුව ඇත. ඒ දේශපාලන පුවත්පතක කතුවරයකු වූ ඔහුගේ පියා නිසාය. නැපෝලියන් බොනපාට් බලයට පත් වූ පසු ඔවුන්ට ප්‍රංශයෙන් පලායෑමට සිදුව ඇත. විවිධ වෘත්තීන්ට යොමු වුවද, ගොගැන්ට අවශය වූයේ නව චිත්‍ර කලා සම්ප්‍රදායක් ප්‍රතිෂ්ඨාපනය කිරීමටය. තම සංස්කෘතික උරුමය මත රැඳෙමින් විවෘත ඇසකින් විශ්ව චිත්‍ර කලාව දෙස බැලීමට ගොගැන්ට අවශ්‍ය වූ බව ද කියති.

සරත්ගේ ප්‍රථම ගමන චිත්‍ර ප්‍රදර්ශනයෙහි දේශපාලන තේමා මත පදනම් වූ නිර්මාණ ද විය. අද සමාජ සංවාදයට මුල් වී තිබෙන විදුලි බිල මෙන්ම ජල බිල නිසා මුහුණ දෙන පීඩාවන් ඒ චිත්‍රවලින් පිළිබිඹු විය.

“හුඟ දෙනෙක් රුසියානු විප්ලවය හා සාහිත්‍යකරුවන් අතර වූ සබඳතා ගැන කතා කරනවා. ලෙනින් පවා තොල්ස්තෝයි ගැන ප්‍රශංසා කළානෙ. ඒ තත්ත්වය ප්‍රංශ චිත්‍ර කලාකරුවාටත් හිමිව තිබෙනවා. ඩේවිඩ් නමැති චිත්‍ර ශිල්පියාට සලකන්නේ ප්‍රංශ විප්ලවයේ අසහාය චිත්‍ර ශිල්පියා විදිහටයි.

සරත් අවධාරණය කරන්නේ දේශපාලනය හා ජීවිතය අතර පවත්නා සබඳතාවයි. ඩේවිඩ් විප්ලවය ඇගයූ චිත්‍ර ශිල්පියකු වුවත් ඔහු තම කලාව අභිමානයෙන් සැලකූ ශිල්පියකු බව ද

සරත්ගේ අදහසය. චිත්‍රයක පිළිබිඹු වන්නේ ශ්‍රේෂ්ඨ වටිනාකම් හා උදාර මානුෂික හැඟීම් බව ද ප්‍රංශ චිත්‍ර කලාව හැදෑරීමේදී පසක් වන බව ද සරත් කියයි. ඩේවිඩ්ගේ අගනා නිර්මාණයක් ලෙස ‘සොක්‍රටීස්ගේ මරණය’ දැක්විය හැකිය. ප්‍රංශ විප්ලවයෙහි ප්‍රාඥයකු ලෙස පිළිගන්නා ‘මරා’ චාලට් කෝර්දේගේ පිහි පහරකින් මියගිය අයුරු විදහා දැක්වෙන චිත්‍රයක් ද මරා විසින් නිර්මාණය කරනු ලැබ ඇත. (සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාටකයෙහි උණුසුම් නාන ටැංකියක මරා සිටින අයුරු දැක්විණි.) මාරි ඇන්ටොනයිට් බිසවගේ හිස ගසා දැමූ ආකාරය වුවද ඩේවිඩ් චිත්‍රයට නැගුවේ බිසවගේ අංහකාර විලාසය මූර්තිමත් වන ලෙසය.

සරත් ඉතා නිවැරදිව ප්‍රකාශ කරන්නේ ද චිත්‍රයක නිරූපණය ගැඹුරු ආඛ්‍යානයක් මෙන්ම එහි දාර්ශනික පිවිසුමක් ද තිබෙන බවය. රසිකයකුට චිත්‍රයක් දුරවබෝධ නොවන බව ද ඔහු පවසයි. සුප්‍රකට ඩාවින්චිගේ මෝනාලිසා චිත්‍රය ශ්‍රී ලාංකික සමාජයෙහි සමීප අත්දැකීමක් වී තිබේ. අපේ බෞද්ධ චිත්‍ර කලාව කිසිදු සාක්‍ෂරතාවක් නොමැති සාමාන්‍ය ජනයාගේ ද හෘදයාංගම අත්දැකීම් වී තිබෙන ආකාරය අපි දනිමු. වෙස්සන්තර ජාතකය චිත්‍රයට නැගූ ශිල්පියා ජූජක බමුණාගේ ස්වරූපය දක්වා ඇත්තේ සාහිත්‍යයේ එන ආකාරයට බෙහෙවින් සමීපවය. ජනකවියා මැවූ ඒ රූපය ඔහු බිත්තියෙහි සිතුවම් කළ ආකාරය කෙතරම් අපූරුද? බෞද්ධ සංස්කෘතික උල්පත්වලින් පෝෂණය වීමට අපේ චිත්‍ර ශිල්පීන් නොපසුබට වූ බව සරත්ගේ තවත් අවධාරණයකි. ජෝර්ජ් කීට් ගේ මල්වත්ත විහාරයේ සිරිත් නමැති චිත්‍රයේ ලාලිත්‍ය හා චමත්කාරය අතිශය ශාන්ත රසයක් දනවන්නකි. කීට් ගේ කලාව පිළිබඳ මගේ සීමිත අවබෝධයෙන් වුව ද එහි කාවැදී තිබෙන බෞද්ධ සංස්කෘතික ජීවය හඳුනාගත හැකිය.

ඇත්ත වශයෙන්ම අප ඉහත දැක්වූ සරත්ගේ ඇතාගේ කතාව මෙන්ම ගවයාගේ කතාව ද ඒ ආගමික සංස්කෘතියෙහි අපූර්ව ආලෝක ධාරාවන්ගෙන් යුතු නිර්මාණ ලෙස මම දකිමි. බෞද්ධ හා හින්දු ප්‍රවාද ඔහුගේ ප්‍රතිභාපූර්ණ මනස තුළ උද්දීපනය වූ බව නිසැකය. ඒ චිත්‍රවල එන නාටකීය රිද්මයට විටෙක උත්ප්‍රාසය ද එක් වි තිබේ. එස්. එම්. සරත් යන නම සමඟම රසිකයකුගේ මනසෙහි ගොඩනැගෙන රූපකායක් මෙන්ම අපූර්ව චිත්‍ර ශෛලියක් ද ඇත. ඔහු මේ මහාර්ඝ කලා සම්ප්‍රදායෙහි පූර්වගාමීන්ට, සමකාලීනයන්ට ද ඉතා හෘදයංගම ප්‍රතිචාර දැක්වූ චිත්‍ර ශිල්පියකු ද වේ. චිත්‍ර කලාවේ ශාස්ත්‍රාලීය පරිචයක් මෙන්ම එහි පොදුජන භාවිතය පිළිබඳව ද සියුම් දැක්මක් ඔහු සතුය. චිත්‍ර කලාවේ අභිනව වර්ධනයන් කෙරෙහි ද විවෘත මනසකින් ප්‍රතිචාර දැක්වීම ද ඔහු නොපැකිලෙයි. සිය සෞන්දර්ය ප්‍රකාශනය දේශපාලනය සමඟ අනන්‍ය කරවීමට වඩා එහි නිර්දය විවේචකයකු ලෙස පෙනී සිටිමට ඔහු රිසි බව මගේ කියවීමය. චිත්‍රය පොදු ජනතාව ඥානනය කිරීමේ මගක් බව ද ඔහු වටහා ගෙන ඇත. වෙනත් ආකාරයකින් කිවහොත් ඔහු දේශපාලනයත් සංස්කෘතික ජීවිතයත් විනිවිද දකින්නෙකි. එසේම කලාකරුවා යනු සිය මාධ්‍යයට මෙන්ම සංස්කෘතියට ද ඉඳුරා පටහැනි ව්‍යාජ සටන්කරුවකු නොවිය යුතු බව ද සරත් තහවුරු කර සිටියි.

චිත්‍රය ද කවියක් මෙන් මහා හාස්කමක් බව ඔහු සඳහන් කරන්නේ එහි ගාම්භීරත්වයත් විචිත්‍රත්වයත් දුටු ශිල්පියකු ලෙසය.

● ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment