එහෙව් හඬක් සතු යමෙක් වී නම් හේ කපුගේ ය

255

සොයා නොගොසින දමා නගරය
ගයා හිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
වීදියේ වැඩ සිටී හිමි ඔබ

තාර උණුකර දමා දෙපතුළ
ධූලි නංවා නගී ගිනි කඳ
කෙසේ විකසිත වේද
ඔබෙ සිරි පා තබන්නට
පිපෙන සියපත….

කම්හලේ කළු දුමාරය මැද
තැම්බිලා ගිය ඇටසැකිලි රැස
රංචු ගැසෙනා ගිජු ලිහිණියන්
ගසා කනු දුටුවෝද හිමි සඳ?

හඹා දිව එන අඟුල්මල් වන්
වේදනා දුක් ගැහැට අගහිඟ
කෙසේ දමනය වේද ඔබගේ
දෙපා ළඟ බිම දමා ආයුධ?

මේ රත්න ශ්‍රී ලියූ ගීයකි.
මේ කපුගේ සංගීතවත් කළ ගීයකි.
මේ කපුගේ ගැයූ ගීයකි.
මේ අප වෙනුවෙන් කළ ගීයකි.
මේ වන් ගීතයක් අද දවසේත් බිහිවනු ඇතිද?

බිහි වන්නේ නම් ඒ එදා සුභාවිත ගීතය නම් ගීතයෙහි යෙදුනු ගායක ගායිකාවන් විසින් නම් නොවේ. ඔවුන් අද නිද්‍රාශීලීය. ගීතවල මාර්කට් සොයන්නෙහිය. මෙවැනි ගීතවලට මාර්කට් එකක් නැතැයි සිතන්නෙහිය. මාර්කට් නැති ගීත නොගයන්නෙහිය.

ගයනවා නම් සංගීතඥයා සහ ගීත රචකයා අතින් වියදම් කර ගැයුමට ආරාධනා කළහොත් පමණකිය. ඒත් සමහර විට ඔවුන් ගෙන් ලද මුදලක් මතය. අතිශය කලාතුරකින් නොමිලයේ ගයන්නට තරම් පරිත්‍යාගශීලීත්වයක් ඉතිරි කර ගත් අයද අතරින් පතර හෝ සිටිත්.

ඉහත කී ලෙස තමන්ගේ තේරීමක් නොවී අනුන් නිර්මාණය කර දෙද්දී බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ දායකත්වය ලැබෙන්නේ නිසි සංවේදීතාවක් මත පිහිටා නොවේ. වැඩි වශයෙන්ම පැවරුණු කාර්යය නිම කෙරුමටය.

හිටියා නම් ජීවත්ව, අදද එවැනි ගී ගයන්නට තෝරා ගන්නට ඉඩ ඇති ඒ කුලකයේ එකම ගායකයා කපුගේ වනු ඇත. හැබැයි ඔහු සිටියා නම්, ඔහු එවැනි ගී තෝරා ගත්තේ නම්, ඒ නිසාම අන් ගායක ගායිකාවන්ටද ඒවා නොගයා සිටින්නට නොහැකි වනු ඇත. එබැවින්ම ගයනු ඇත.

අර්ථ පූර්ණ ගීතයට සිංහල ගීත ක්ෂේත්‍රය තුළ තිබූ ඉඩ ඇහිරීමට කපුගේ ගේ මරණය ප්‍රබලම සාධකයක් විය. අනතුරුව අර්ථපූර්ණ ගීතයටම වැඩිපුර හිත යොමුකර සිටි බොහෝ ගීත රචකයන්ට සරල පෙම් ගී තුළ නැළවෙන්නට සිදුවිය. නැති නම් ඈත සිට බලා සිටින්නට පමණක් සිදුවිය.

එහෙව් හඬක් සතු යමෙක් වී නම් හේ කපුගේ ය

මා කියන්නේ අද අප අවට වටපිටාව තුළ කතාවකි. හිටියා නම් කවුරු නැතත් තනියම හෝ ඔහු ඒවා ගයනු ඇත.

අර්ථ පූර්ණ ගීතය කපුගේ ගේ ලෙයෙහි සංඝටකයකි. එය එයින් වෙන් කළ නොහැකිය. එවන් අය තවත් වූයේ නම් අතළොස්සකි.

තවත් බොහෝ අය එය එවැනි ගීත ගායනා කළේ බාහිරින් එන්නත් කර ගත්තා වැනිව ය. හද ලෙයෙහි ඇති නිසා නොවේ.

ගයන්නේ කුමන ගීතයද, ඒ ගීතයට උචිතම හඬක් ඔහු සතුව තිබුණි. එය අද්විතීය එකකි. එයින් හැර අන් කිසිවකින් එම හැඟීම එම සංවේදනය නොදෙන අයුරේ හඬකි එය. හරියටම අද අමරසිරි පීරිසුන් අත්කරගෙන ඇති අනන්‍යතාව බඳු එකකි.

කපුගේ ගේ ගී කපුගේට වඩා හොඳට ස්වර ස්ථාන මත පිහිටා කෙනෙක් ගායනා කළා යැයි සිතමු. එසේ වුවත් එය කපුගේ ගැයූ තරම් එය අපට නොදැනෙනු ඇත. එහෙත්, සමහර හොඳ ගායක ගායිකාවන්ගේ ගීත වෙනත් තවත් ගායකයෙක් ගායිකාවක් විසින් හොඳට ගැයුවොත් එහි රස පෙර ගීතයේ සේම දැනෙන අවස්ථා ද අප අත්විඳ ඇත. කපුගේගේ කිසිදු ගීතයක් එසේ අනෙකෙකු විසින් ගයද්දී ඒ තරමින් දැනී නැත.

කපුගේ ගැයූ ගීත මතු නොව, කපුගේ සංගීතවත් කළ සමහර ගීත පවා අන් ගායකයකු ගයද්දී වුව, මට සමහර විට ඇසෙනුයේ කපුගේගේ හඬින් ඇසෙන්නා සේය. ඒ, එම ගීතය අන් ගායකයා කොතෙකුත් හොඳින් ගායනා කර තිබුණත්, ඊට ලැබෙන්නට තිබූ හොඳම හඬ කපුගේගේ හඬ බැවිනි.

සඳ කිඳුරා මියගියා – ගමට එන්න නංගියේ
පසළොස්වක පෝය දා – අවසන් කටයුතු කළා

රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ ගීතය ශිල්පී ජානක වික්‍රමසිංහ විසින් කොතෙක් හොඳට ගැයුවත් එය මට ඇසෙන්නේ කපුගේ ගේ හඬිනි. මා කියන්නේ අන්න ඒ දැනීම ගැනය.

තිඹිරියාගම බණ්ඩාර, මහින්ද කුමාර දළුපොත සමග එක්ව මා කපුගේ ගැන පොතක් කරද්දී එයට විවිධ නම් දහසක් යෝජනා වුවත්, ඊට හොඳම නම “හඬ” යැයි අප තීරණය කළේ එබැවිනි. එහෙත් මේ කපුගේ “හඬ” ගැන මිස, “හඬ” පොත ගැන කතා කරන වේලාවක් නොවේ.

එහෙව් හඬක් සතු යමෙක් වී නම් හේ කපුගේ ය

කපුගේ,

පාළුව දෙවනත් කරලා නාඬන් උළ ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උළලේනෝ උළලේනෝ උළලේනෝ
උළලේනෝ

ලෙස ගයද්දී එහි ඇති පාළුව මුසු භීතිය අප හදවත් තුළ අඩුවක් නැතිව මවන්නේ ඒ හඬයි.

මාරියාවේ, ඔහෙ නවතින්නේ –
සමා වෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ –
වළාලයට ඉඩ දී පලයන්නේ

යනුවෙන් ගයද්දී වළාලය වුණත් පසුබානු ඇත.

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ –
ගිනි ඇවිලුනා කැණිමඬලට අපෙ නිවසේ
එකපත අනා එකටම කෑ පෙර දවසේ –
මං අමතකද නුඹ රජ වූ අද දවසේ

ලෙසින් ගයද්දී කුමන හේතුවක් නිසා විරසකව සිටින සහෝදරයකුට හෝ සිය සහෝදරයා සොයා දුව ගොස් වැළඳ ගැන්මට සිතෙනු නිසැකය.

අභිසාරිකාවන්ගේ – උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ – ඔබෙනි ඵල ගැනුනේ

ලෙසින් ඔහු ගයද්දී අයාලේ ගිය දිවියක් යහපතට යොමු කළ අයෙකුට දිය හැකි උපරිම ගෞරවනීය හැඟුම එය වනු ඇත.

කපුගේ වෙල්ලස්සේ ගීතය හෙවත්
බිම්බරක් සෙනඟ ගැවසුණු – චන්ද්‍ර සූර්යයා ඉපදුනු
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ

ගීතය ගයද්දී අපට දැනෙන්නේ විදේශිකයන්ගේ ඉඩම් කොල්ලයෙන් පීඩිත ස්වදේශිකයන්ගේ පීඩිත පපු කැනති ගුගුරණ හඬයි.

පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ – අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ

යනුවෙන් ගයද්දී ඒ හඬ බුදුහාමුදුරුවන්ට වුව ඇසෙන සේ ය.

මේ කොයික ගයන්නත් හොඳම කටහඬ තිබුණේ කපුගේටය. එය අන් හඬකින් ගැයුනා කියා ඔබට ඒවා ඒ ලෙසින් නොදැනෙනු ඇත.

ඉතිං කපුගේ දැන් නැත. ඔහු අපව හැරගොස් බොහෝ කලකි.

ඔහු නැති අඩුව දැනෙන්නේ අර්ථමූලික ගීතයකට කරඋර දුන් අයටය. එවැනි ගී රස විඳි අයටය. ඒ අඩුව සපුරන්නට කෙනකු කිසිදා බිහි නොවනු ඇත. සදාකාලික අඩුවක් හිත්හි තබාගෙන එවැනි ගී රසිකයන්ට සිය ඉදිරි දිවිය ගෙවන්නට සිදුවනු ඇත.

කපුගේ බොහෝ විශිෂ්ටතා අතරේ අප මෙහි කතා කරන්නට ඉඩ ඇත්තේ කරුණු ටිකක් පමණි. අපට ඇති ඉඩ සුළුය. කපුගේ ඊට වඩා අතිශයින් දැවැන්තය.

කපුගේට කල්ලියක් තිබුණේ නැත. බොහෝ අයට කල්ලි පැවතුනු සමයන්හිදී පවා කපුගේට කියා ඒ සියලු කල්ලි නිර්මාණ වැඩ කරවාගෙන ඇති බව නිර්මාණ විමසුමේදී හෙළිවන කරුණකි. මන්දැයි විමසුවහොත්, පැවැති පරිසරය තුළ කපුගේ පැත්තකට කර තබා සිය නිර්මාණ කටයුතු කිරීමට ඒ කිසිදු කල්ලියක් එඩිතර නොවූ නිසාය. විවේචනයේදී සමහර විට කපුගේ නිර්දය ය. ඔහු කල්ලි රැක ගැනීම පිණිස අදහස් වෙනස් කර නැත. කල්ලිවල රැඳී සිටීම පිණිස අදහස් පාවා දී නැත. කියන්නට යමක් වේ නම් සෘජුව කීම ඔහුගේ සැටියකි. ඔහුගේ ඒ සෘජුව කීමෙන් බැහැර වන්නට බොහෝ අය පරෙස්සම් විය.

බොහෝ නිර්මාණවල ඇති ඇතුළාන්තයට ගැළපෙන මිනිස්සු නිර්මාණාවලිය තුළ අපට හමු නොවන තැන් අතිශයින් වැඩිය. එහෙත් කපුගේ සිය නිර්මාණවල අන්තර්ගතය හා තමන් අතරේ අවම පරතරයක් පවත්වාගත් ගායකයාය. සංගීතඥයාය. රසවතාය. ඒවා තුළ ඇති මනුෂ්‍යත්වය ඔහු ප්‍රකට කළෙහිය. ඒවා තුළ ඇති සෘජු බව ඔහුගෙන් නිරූපනය විය. ඒවා තුළ ඇති කුළුණු බව ඔහු සිත්හි පැවැතියේය. ඒවා තුළ ඇති ප්‍රතිපත්තිගරුක බව ඔහු උපරිමයෙන් රකින්නට උත්සාහ කළේය. ඒවා තුළ ඇති පරිත්‍යාගශීලී බව ඔහුගෙන් විද්‍යමාන විය. ඒවා තුළ ඇති තරුණයින් කෙරෙහි ඇති ඇල්ම ඔහුගේ අතහිත ලැබූ තරුණ ශිල්පීන් පිරිස ලැයිස්තුගත කිරීමෙන් බලාගත හැකිය.

මුදල් ඔහුට දෙවැනි කරුණකි. මුදල් නැති නම් නිර්මාණයත් නැත යන අදහසේ කිසිදා ඔහු නොසිටියේය. මුදල ඇතත් නැතත් නිර්මාණයක් නම් ඔහු ඒ පසුපස සිටියේය. ඒ නිසාම මුදල් ඔහුට ලොකු නොවීය. ‘කුකුල්ලු මරා විකුණා ලබන සල්ලි කොක් කොක් ගාන්නේ නැති බව’ ඔහු දැන සිටියත්, ඔහු එවැනි සල්ලි අතපත ගෑවේ නැත. නිසි යහපත් අයුරින් සෙවූ මුදල් පවා අවැසි තැන අවැසි පුද්ගලයා අත තබා තුටු සිතින් හිස් අතින් යෑමට හිත දියුණු කරගත් මිනිසෙකි ඔහු. ඉදින් සිය නිර්මාණ සහ සිය ඇතුළාන්තය අතර ඒ තරමින් අවම පරතරයක් තබා ගත් නිර්මාණකරුවෙක් මට ඔහුගෙන් බාහිරව සොයාගත නොහැකිය

එහෙව් හඬක් සතු යමෙක් වී නම් හේ කපුගේ ය

ලංකාවේ කලාකරුවන් ලැයිස්තුවක් ඉල්ලුවොත් සිය දහස් ගණනකගේ ලැයිස්තුවක් දිගහැරෙනු ඇත. එහෙත් ඇත්ත නම්, මෙහි කලාකරුවන් සිටියේ සහ සිටිනුයේ අතළොස්සකි. කලා ශිල්පීන් ඊට වැඩියෙන් සිටී. කලා නිර්මාණවලට දායක වූවන් සහ වන්නන් සිය ගණනේ සිට දහස් ගණනක් දක්වා සිටී. වැඩිපුරම එනම් දසදහස් ගණනින් සිටින්නේ කලාවේ නාමයෙන් කෙරෙන නිර්මාණ නොවන නිෂ්පාදනවලට දායක වූවන්ය. මේ සියල්ල කලාකරුවන් සේ හඳුන්වන සමාජය අතිශයින් පසුගාමීය. කලාවෙහි යමක් කළ පමණින් තමන් කලාකරුවෙක් සේ හඳුන්වා ගන්නෙක් වේ නම් හේ අතිශයින් හීනමානයකින් පෙළෙන්නෙකි. තමන් සිටින නිසි ආස්ථානය තුළ පමණකි තමන් පෙනී සිටිය යුත්තේ.

මේ වැන්නන් අතරේ කපුගේ කලාකරුවෙකි. ඇත්ත මිනිසෙකි, පරමාදර්ශී චරිතයකි.

වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර
චිත්‍රය – අනුර ශ්‍රීනාත්

advertistmentadvertistment
advertistmentadvertistment