එළවළු ගොඩ ගැහෙයි එහෙත් ගොවියා අසරණයි

904

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පසුගිය සතියේ එළවළු ටොන් පන්ලක්ෂයක පමණ තොගයක් ලැබී තිබුණ බව මාධ්‍ය වාර්තා කර තිබේ. යල් කන්නයේ අස්වැන්න මෙලෙස වෙළෙඳ පළට පැමිණෙන්නේ ගොවියා මුල් නොවුණු ඡන්ද වෙන්දේසියකින් අනතුරුවයි. ඒ අතර ලබන මාස් කන්නයේ සිට හෙක්ටයාරයකට රුපියල් විසිපන්දහසක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගෙන ඇත. මැතිවරණ දෙකක් අභියස තිබෙන කල්හි මේ මුදල ජනතාව වෙත ලබා දෙන්නට භාණ්ඩාගාරය සමත් වේ දැයි අප නොදනිමු.

එහෙත් හේන් කොටමින් සිට ඉගෙනුම ලබා විශ්ව විද්‍යාලයට ගිය වත්මන් ජනපතිවරයා ගොවියා පිළිබඳ සැලකිල්ලක් යොමු කිරීමට සමත්ව තිබීම පැසසීමට කාරණයකි.

එළවළු ගොඩ ගැහෙයි එහෙත් ගොවියා අසරණයි

වී ගොවිතැන මෙරට ප්‍රධාන ගොවිතැනයි. නමුත් අතීතයේ සිටම ධාන්‍ය සහ එළවළු භෝග ලබා දුන් හේන් ගොවිතැනද මෙරට ප්‍රධාන ගොවි ආර්ථිකයක් බවට පත්විය. පසුකාලීනව නුවරඑළිය වැනි උස් කඳුකරවල ඇරැඹි එළවළු වගාව විවිධාකාරයෙන් ගොවි ජනතාව අතර අලුත් වානිජ ගොවිතැනක් වශයෙන් ප්‍රකට විය. විශේෂයෙන්ම මහවැලි ව්‍යාපාරය අවසන් කිරීමත් සමග මහවැලි ගොවිබිම්වල සැකසුණු එළවළු සහ මිරිස් ගොවියාගේ ආර්ථික භෝගයන් බවට පත් වී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කරනු ලැබූවේ මේ ගොවියන්ගේ නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් ලබා දීමටයි. විශේෂයෙන්ම විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීම පිණිස වන යෝජනාව අනුව චන්ද්‍රිකා මැතිනියගේ රජය යටතේ 1999 වසරේ දී ඉදිරිපත් විය. සැලසුම එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වූ පී. බී. ජයසුන්දර මහතාගේය. ආයෝජනය මිලියන 116ක් විය. මෙම සැලසුම අනුව ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ කර එම වෙළඳසල් කළමනාකරණය සඳහා භාරයක් පිහිටුවා ලීමට කටයුතු කළහ. මෙම භාරයට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, බැංකු පද්ධතිය, හුරුලු පෝෂිත ගොවි සංවිධානය, දඹුලු ගොවි සමාගම සහ වෙළෙන්ඳන් එකතු වූහ. වගාවේ නියුතු ගොවියාට සාධාරණ මිලක් ලබාදීම පිණිස ගොවියා වෙළෙඳ සල් හිමියා සහ එළවළු ලබා ගැනීමට පැමිණෙන ගැණුම්කරුවන් එකට මුණ ගැසෙන තැනවූයේ මෙම මධ්‍යස්ථානයයි.

ගොවියා විසින් තමන්ගේ භාණ්ඩයට අවශ්‍ය මිල කේවල් කිරීමෙන් පසුව නියම කරන මිල අනුව එක් එක් එළවළු වර්ග අනුව වෙළෙන්දන්ට කොමිස් මුදලක් අයිති වේ. මේ ක්‍රමය අනුව වෙළෙඳසල් 144ක් පුරා සාර්ථක හුවමාරුවක් සිදුවූ ආකාරය දන්නෝ දනිති. ඇතැම් ගොවීන් ගෝනියේ මාලේ (ගෝනිය ඇතුළට නරක් වූ දේ දමා) ගසා වෙළෙන්දාට වංචා කරන්නට උත්සාහ කළ අවස්ථාද ඇත. නමුත් සාර්ථක අතරමැදියකු සෑමවිටම ගෝනිය දෙස බලා ප්‍රමිති සහගත තොගය තෝරා ගන්නට දැන සිටියහ. ගෝවා කැරට් වැනි මිලක් ලැබෙන භෝග අතරේ කැකිරි, පිපිඤ්ඤා, වටානා, බණ්ඩක්කා සහ තක්කාලි වැනි කෙටිකාලීන භෝග වගාවෙන් සහ අලෙවි කිරීමෙන්ද ගොවියා ලාභයක් ලැබූහ.

වසර විසිපහකට පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දෙස හැරී බලන කල්හි ගොවියාගේ පැත්තෙන් සහ වෙළෙන්ඳාගේ පැත්තෙන්ද සතුටු විය නොහැකි වන තත්ත්වයක් උද්ගතව තිබේ. පෙර දක්වා ඇති පරිදි පැරණි ගොවීන් සහ වෙළන්දා අතර හොඳ සම්බන්ධයක් ගොඩ නඟාගෙන තිබුණි. විශ්වාසය මත ගනුදෙනු කෙරිණ. ඒ නිසා සාර්ථක ගොවීන් මෙන්ම සාර්ථක ව්‍යවසායකයන්ද බිහිවූහ. පසුගිය කාලයේ දී රටේ ඇති වූ දේශපාලන පරිවර්තනයන් නිසා මේ සම්බන්ධය සහ විශ්වාසය පලුදු වී ඇත. වෙළෙන්ඳා සහ ගොවියා අතරට නාඩි බලන්නෙකුද එක්වී තිබේ. ඔහු ගොවියාගෙන් සහ වෙළෙන්ඳාගෙන් යන දෙදෙනාගෙන්ම කොමිස් මුදලක් ලබා ගනී. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටතට පවා වෙළෙඳාම අද පැතිර පවතින්නේ මේ නිසාය. මළු වශයෙන් ලැබෙන එළවළු තැලී පොඩිවී අපතේ යෑම සිදුවන අතර කැකිරි වැනි භෝගද වටානා වැනි භෝගද අසීමිතව ලැබීම නිසාද අපතේ යයි. අපතේ යෑම පාලනය කිරීමට ප්ලාස්ටික් කූඩා හඳුන්වා දී තිබුණද එය මෙතෙක් සාර්ථක වී නැත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය බිහි කරන කාල වකවානුවේ පැවති මානුෂික මුහුණුවර දැන් නැත. කළමනාකරණ භාරය පැවතියද එයට මුල්වූ රජයේ නිලධාරීන් කර ඇර තිබේ. දඹුල්ල දේශපාලන අධිකාරිය හෙබවූ අය නිසා අයථා ගනුදෙනු රැසක් ඔඩු දුවා ඇත. කඩ කාමර දොළසක් වෙළෙන්ඳන් නොවන පුද්ගලයන් අතට පත් වන්නේ ඒ නිසාය. ප්‍රධාන වශයෙන් එළවළු සහ පලතුරු සඳහා වෙන්ව තිබුණු මේ ස්ථානය තුළ අද වනවිට ලූනු සහ අල අලෙවි කරන වෙළෙඳසල් හතළිහකට අධික සංඛ්‍යාවක් පවතී. ඒවායේ අලෙවි කරනුයේ මෙරට අස්වැන්න නොවන අතර විදෙස්වලින් ගෙන්වා බෙදාහරින අල සහ ලූනු ගොඩගසා පවතී. පෙර දක්වා ඇති පරිදි කළමනාකරණ භාරයේ ඇතැම් පිරිස් විසින් ඒ කඩ පිටස්තරයන්ට විකූණා දමා ඇති අතර මේ තත්ත්වය මත නිසි කළමනාකරණයක් නොමැතිව ආර්ථික මධ්‍යස්ථානය අයාලේ ගොස් තිබේ. පසුගිය සතිය වනවිට එළවළු ටොන් ලක්ෂ පහක් පැමිණි බවද ඒවා විකුණා ගත නොහැකිව ගොවීන් ලතෝනි ගැසූ ආකාරයද දකින්නට වූයේ එක් අතකින් මෙම ස්ථානයට යාපනය මැදවච්චිය වැනි තැන්වලින්ද භෝග පැමිණෙන නිසාය.

අනෙක් අතින් භෝග විවිධාංගීකරණයක් නැත. තක්කාලි අස්වැන්න විනාශ වී යෑම වැළැක්වීම පිණිස නාවුල ඇතිකළ කර්මාන්ත පුරයේ සෝස් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළද එය වසා දමා තිබේ. භෝග විවිධාංගීකරණයට සකස් කළ කුඹුක්කඳන්වල ගොවි ගම්මානය අතහැර දමා තිබේ. මේවා අහම්බෙන් සිදු වූ ක්‍රියාදාමයන් නොවේ. එළවළු තොග සතුන්ට කන්න දමන තත්ත්වයකට පවා අද ඇදි වැටී තිබෙන්නේ මෙම මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වයේ පවතින දුර්වලතාවයන් නිසාය. ඒ අතර පිට පළාත්වලින් මෙහි පැමිණෙන වෙළෙන්ඳන් අඩු වැඩි වශයෙන් මිල සඳහන් සියලුම එළවළු තොග වශයෙන් මිලට ගෙන විවිධ නගරවල මංමාවත් අසල තබාගෙන පන්සීය සීයට විකුණති. එවිට ඒ පුද්ගලයා අසීමිත ලාභයක් ලබන්නේ ඉතා අඩු මිලට ගත හැකි එළවළුද මේ තොග අස්සේ තිබෙන බැවිනි. පන්සීය සීයය බැගින් දෙන බව කීවද එක එළවළුවක් පමණක් එලෙස පාරිභෝගිකයාට ලබාගත නොහැකිය. දෙකක් හෝ තුනක් ගත යුතුය. එවිට මේ ප්‍රවාහනකරුවාට අසීමිත ලාභයක් ලැබෙන අතර ගොවියාත් පාරිභෝගිකයාත් ගසාකෑමට ලක් වේ.

කලකට ඉහත මහ බැංකුව විසින් ගොවීන් හා වෙළෙන්ඳන් උදෙසා සරුසාර නම් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන්හ. ඒ මගින් ව්‍යවසායකයන් බවට පත් වූ සාර්ථක පුද්ගලයන් අපමණ සිටියහ. ඔවුහු දඹුලු ආර්ථික මධ්‍යස්ථානයට නොයා කොළඹ ව්‍යාපාරික ආයතන සමග සෘජුව ගනුදෙනු කරමින් සාර්ථක වී සිටියහ. අද ඒ මැදිහත් වීම මහ බැංකුවෙන් සිදු වන්නේ නැත. කළමනාකරණ භාරයට ලංකා බැංකුවත් අයත් වන අතර ඔවුනට ආර්ථික මධ්‍යස්ථානයේ කඩයක්ද හිමිව තිබුණි. මහ බැංකුව බලාපොරොත්තු වූයේ ලංකා බැංකුව හරහා සරුසාර ණය යෝජනා ක්‍රමය තූළින් ගොවීන්ට අඩු පොළියට ණය ලබා දීමයි. එය සිදු වූයේ නැත. බැංකු කළමනාකරුවන්ට අවශ්‍ය පරිදි වැඩි පොලියට ණය ලබාදීම සිදු වේ. එළවලු ටොන් පන්ලක්ෂයක් හුවමාරු වන දඹලු ආර්ථික මධ්‍යස්ථානයෙහි සිදුවන මුදල් සංසරණය පිළිබඳව මහ බැංකුව සතුව වාර්තා පවා ඇතැයි මම නොසිතමි. මන්ද දළ ජාතික නිෂ්පාදනය පිළිබඳ දත්ත එකතු කරන කල්හි මේවා මඟහැරෙන බව පෙනෙන්නට ඇති බැවිනි. එවිට කෘෂිකර්මයේ දායකත්වය සියයට හයට වඩා ඉහළ නගින්නේ නැත. විදෙස් මූල්‍යාතනවලින් ණය ගන්නට සිදු වන්නේ මෙම බොරු දත්ත මගින් දේශපාලනඥයන් සහ රට මුලා කරන බැවිනි.

ගොවියා වෙළෙන්ඳා සහ අලෙවිකරුවා අතර මානුෂික සම්බන්ධයක් ගොඩ නඟමින් නිසි කළමනාකරණයක් මගින් අස්වනු සහ අලෙවිය සමබර කරන්නේ නම් එළවළු අපතේ යන්නේ ද නැත. සාර්ථක රාජ්‍ය පාලනයේ දී මෙවැනි ආර්ථික සූක්ෂම නිදර්ශනයන් පිළිබඳ විනිවිද යෑමක් අත්‍යවශ්‍ය වේ. දේශපාලනඥයන්ට පමණක් නොව නිලධාරීන්ටද එය අත්‍යවශ්‍ය වේ. පොහොර සහනාධාර දී ගොවීන් දිරිමත් කළාට පමණක් සෑහෙන්නේ නැත. ඒ මගින් ක්‍රියාශීලි වන ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ මනා විශ්ලේෂණයක නිරන්තරයෙන් යෙදිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment