එළවළු වැඩි වුණත් අඩු වුණත් ප්‍රශ්න

68

උඩරට එළවළු ගොවියා කබලෙන් ළිපට වට්ටනවා සේ හිටි හැටියේ එළවළු මිල ශීඝ‍්‍රයෙන් පහත වැටීමෙන් ලක්ෂ ගණනින් පාඩු විඳීමට හා වියදම් කළ මුදල පවා තමන්ට අහිමි වීමේ දුක්ඛිත තත්ත්වයකට මුහුණදීමට සිදුවී ඇති බව නුවරඑළිය ගොවීහු මැසිවිලි නගති.

සිය ප‍්‍රධාන ජීවිකාව වශයෙන් උඩරට එළවළු වැවිලිකරුවන් ලෙස කටයුතු කරන තමන්ට වර්තමානයේදී සිදුවී සිදු වී ඇති පාඩුව හා අලාභයන් පිළිබඳව (30) මාධ්‍යයට අදහස් දක්වමින් නුවරඑළිය ගොවියන් මෙසේ කීහ.

අපි මේ එළවළු ටික ගලවනකම් බලාගෙන හිටියේ බෙහෙත් පොහොර ටික ගන්න ණයට ගත්තු සල්ලි ගෙවන්නයි.

ගෙදර අයගේ හා නෑදෑයන්ගේ රත්තරන් බඩු ටික බේරලා දෙන්නයි. පහුගිය සති දෙක තුනේම ආර්ථික මධ්‍යස්ථානවල ප‍්‍රධානීන් පත්තරවලට ටීවී වලට කතා කරල එළවළු මිල හිතාගන්න බැරිව ඉහළ ගිහිල්ල කියලා කියද්දි අපේ හිත් වලට ඒ වෙලාවේ ආවේ වචන වලින් කියා ගන්න බැරි තරම් පුදුමාකාර අමුතුම සතුටක්.

ඇත්තෙන්ම අපි ගොවියෝ විදිහට ඒවගේ සතුටුදායක ආරංචියක් එනකම් අවුරුද්දකට කිට්ටු කාලයක් බලන් හිඳියේ ඇ`ගිලි ගැනගෙන.

එහෙත් අපේ බලාපොරොත්තු ඔක්කොම කුඩු කරලා දාලා ආයෙ දඩෝස් ගලා නිදාගෙන නැගිටිනකොට ගණන් ඔක්කොම බැහැලා. අපේ එළවළු තාම ළපටි වුණත් හෙට වෙනකොට තවත් රුපියල් 50 කින් විතර බහින බයට අදම ගලවලා දාන්න සිද්ධ වෙලා තියෙනවා.

අපි සාමාන්‍යයෙන් කුඩා වැවිලිකරුවන් හැටියට අපේ වගාවල්වලින් කිලෝ 2500 පමණ අස්වැන්නක් ලබා ගන්නවා. මේ පාර පොහොර හා රසායනික හිඟයත් එක්ක අපිට තියෙන්නෙ කිලෝ 2000 වගේ අස්වැන්නක්. හැම එළවළුවක්ම ගිය සති දෙකේ තිබ්බට වඩා රුපියල් 100-120 කින් අඩු වෙලා. ඒ වගේ එකවරම අඩු වෙනකොට අපි කිලෝ 2000ක අස්වැන්න ගලවන කොට අපිට දෙලක්ෂ විසිදාහක් පාඩු වෙලා. මේ පාඩුවට වගකිවයුත්තෙක් නැහැ. මේ ගැන අපි කිව්වොත් ගණන් ගන්නෙත් නැහැ. මේ තත්ත්වය උඩ දී ගොවිතැන් කරන්නේ කොහොමද කියල හිතා ගන්නවත් බැරි තැනකට තමයි දැන් ගොවියා පත්වෙලා ඉන්නෙ.

එළවළු වැඩි වුණත් අඩු වුණත් ප්‍රශ්න

ඉස්සර රුපියල් 1500 – 2000 ට ගන්න පොහොර මිටිය දැන් රුපියල් 12,000 ක් වෙලා. රුපියල් 3000 – 4000 යි අතර තිබුණු යූරියා මිටිය දැන් රුපියල් 24000යි. ඒ විතරක් නෙමෙයි ඉස්සර අපි බීජ අල හොන්ඩරයක් ගත්තේ රුපියල් 12000 කට දැන් බීජ අල හොන්ඩරයක් 25000ක් වෙනවා.

පොහොර හිඟයට කලින් ඇට වර්ග තිබ්බෙ ගොඩක් ගණන් අඩුවට ඇට වර්ග සහ වගාවන් සඳහා ඉසින බෙහෙත් වර්ග සඳහා රුපියල් 30% වට්ටමක් හම්බ වෙනවා ඒත් දැන් පැකැට්ටුවේ ගහල තියෙන මිලටම තමයි අපිට දෙන්නේ.

දැන් මාස හය හතකට කලින් ගෝවා පැළ , බීට් පැළ , නෝකෝල් පැළ, සලාද පැළ ලීක්ස් පැළ වගෙ හැම පැළ වර්ගයක්ම රුපියලක් වැඩිම වුණානම් රුපියලයි සත පනහයි, දැන් ඒ හැම පැළ වර්ගයක්ම රුපියල් හතරයි පහයි.

ඒත් එක්ක ගත්තහම මල් ගෝවා, බ‍්‍රකෝලි පැළයක් තිබ්බ රුපියල් 3 ට , දැන් ඒ පැළයක් ගන්න ඒන්නේ රුපියල් 8කට වගේ. මේවා හිතේ හැටියට ගොවියෝ වැඩිකරා නෙමෙයි රජයෙන් ගොවිතැන ආශ‍්‍රිත සියලූම දේවල් හිතේ හැටියට වැඩි කරපු නිසා ගොවියන්ට කර කියාගන්න දෙයක් නැතිව ඒ වගේ දේවල් ඉබේම ගණන් වැඩි වෙනවා.

ඉස්සර වගා කරන භූමි අක්කරයක් බද්දට ගන්නකොට වාර්ෂික බදු රුපියල් ලක්ෂ එකහමාරයි. දැන් රුපියල් ලක්ෂ හතරකට තමා අපිට ගන්න වෙලා තියෙන්නේ.

දැන් වතු කම්කරුවන් හරියට ලොකුකම් පෙන්නනවා. ඉස්සර අපි කම්කරුවෙක් කුලියට වැඩට ගත්තේ රුපියල් 1800ට දැන් රුපියල් 2300ක් දුන්නෙ නැත්තං වැඩට ඉන්නේ නැහැ කියනවා. වතු වැඩ කරන ගැහැනු කෙනෙකුට ඉස්සර දුන්න රුපියල් එක්දහස් දෙසීය වෙනුවට දැන් අපට රුපියල් 1800 ක් වෙන්න වෙලා.

පඩිනඩි ඔක්කොම වැඩි කරලා සේවකයා වැඩට ගත්තහම ඔවුන්ට උදේ වරුවට හා දවල්ට කෑම දෙනකොට ඉස්සර අපි රුපියල් 50ට ගත්ත පාන් ගෙඩිය රුපියල් 80 යි. පරිප්පු මාළුවක් රුපියල් සීයයි. දවල්ට දෙන බත් පැකට් එක ඉස්සර තිබ්බේ රුපියල් දෙසීයට. දැන් ඒකත් තුන්සීයයි. ඒ ඔක්කොම ගනං හදලා බලනකොට එක සේවකයකුට රුපියල් 3000ක් වගේ යනවා. රජය අපට කියන්නේ කොම්පෝස්ට් වලින් වගා කරන්න කියලා. රුපියල් 400ට 500ට කොම්පෝස්ට් තිබ්බා දැන් කොම්පෝස්ට් පොහොර මිටියක් හොයාගන්නවත් නැහැ. එහෙම කාලෙකට පස්සේ ගන්න තිබ්බත් රුපියල් 1300ක් වගේ වෙනවා.

රජය හා කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍ය සංදර්ශන තියලා කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා එකින් මොන තරම් පොහොර ගන්න තියෙනවා කියලා. කාබනික දියර තියෙනවා කියලා. ඒත් ගොවියෝ විදියට අපි තමයි දන්නෙ පොහොර මිටි පිටින් ගන්නවා තියා ඇටයක්වත් හොයාගන්න නැති විත්තිය. මේවා අපි කාටද කියන්නේ.

මේ හැමදේම විඳදරාගෙන ගෙවල්වල තියන රත්තරන් බඩු ටිකත් උගසට තියලා, වැල් පොලියට සල්ලි අරං වගාව කරලා වගාව ගොඩ ගොඩදාගන්න හදනකොට එකපාර සූ ගාලා ගණන් ටික බස්සනවා. ඒකෙනුත් අපිට ලක්ෂ ගානක් පාඩු වෙනවා.

ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ආර්ථික මධ්‍යස්ථානවල තොග මිලට මේ ගානට ගන්නවා, ඒ ගානට ගන්නවා කියලා මාධ්‍යවලින් කිව්වට ඇත්තටම අපිට ඒ ගාන අතට ලැබෙන්නේ නැහැ. ලොරි කුලී වලට කපා හැරලා. සේවක කුලීවලට කපා හැරලා එළවළු ටික තෝරලා අයින් කරලා හොඳම ටික විතරයි ගන්නේ. එතකොට අපිට වෙළෙන්දා කියන මුදලට වඩා සියයට විස්සකට එහා අඩුවෙලා. ඒ මුදල ගන්න සතියක් දෙකක් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ.

මේ හැම ප‍්‍රශ්නයකටම විසඳුම් දෙන එක රජයේ වගකීමක් වුණත් හැමදේටම මාරුවෙන් මාරුවට වටේටම බෝලෙ පාස් කර ගන්නවා ඇරෙන්න කිසිම සාධනීය සැලසුමක් එයාලා ගාව නෑ. එයාලට ඒවට උත්තර කියන්න බැරිනම්, අපි කියන දේත් අහන්න බැරිනම්, ගොවියාගේ ඉරණම තීරණය කරන්නේ කවුද? ඉදිරියට ගොවියාට මොනවද වෙන්නේ? ගොවිකම පමණක් රැකියාවක් හැටියට තියාගෙන ජීවත් වෙච්ච ගොවියාගේ ආර්ථිකය ගොඩනඟන්නේ කවුද ? අපි මේවා කොච්චර කතා කරත් උත්තරයක් ලැබෙන පාටක් නැහැ යනුවෙන් ගොවීන් පවසන්නට වූහ.

මෙලෙස ගොවියන්ට ඇති ගැටලූ හා ප‍්‍රශ්න පිළිබඳව හා ගොවීන් විසින් නතර කිරීම පිළිබඳව අප කළ විමසීමකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නුවරඑළිය එකමුතු ගොවි සංගමය සංගමය සභාපති පූජ්‍ය දෙහිගහහේනේ කොවිද හිමියන් පැවසුවේ ගොවියගෙ බඩට ගසා රජය මේ කරගත්තේ ලොකුම වින්නැහියක් බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ ,

එළවළු වැඩි වුණත් අඩු වුණත් ප්‍රශ්න

රටේ ප‍්‍රධානම ජීවනාලිය වන ගොවියා අප කිසිම දිනක රජයට බරක් වෙලා නැහැ. රජයෙන් කවදාවත් රැකීරක්ෂා ඉල්ලගෙන ගියේ නැහැ. රටේ ආර්ථිකයට මහ`ගු ශක්තියක් වුණා. ඒත් දැන් දුක් විඳින්න වෙලා තියෙන්නෙ ගොවියාටයි අපි මේ දේවල් හැමදාම බණ කියනවා මගේ කිව්වත්, විෂය පථය ගැන කිසිම දැනීමක් නැති ඔලමොට්ටල ඇමැති කෙනෙක් හා වායුසමීකරණය කරන ලද හා කාමර වල සැපට වාඩිවෙලා පුටු රත් කරන නිලධාරීන්ට මේවා තේරෙන්නේ නැහැ. මින් ඉදිරියට හෝ ගොවියා ගැන යම්කිසි තීරණයක් ගන්නේ නම් අනේ පින් සිදුවෙයි මහත්තයෝ ගොවිබිමට ඇවිල්ල මාසයක් වගේ ඉඳලා බලලා තීරණ ගන්න. මේ කරපු වැඬේ හරියට සරමක් ඇඳන් හිටපු මනුස්සයෙකුට කලිසම අඳින්න අඳින්නට කියා උපදෙස් දී, විලි වහගන්න කලිසමක් ලබා නොදී ඇඳන් හිටපු සරම ගලවා ගිනි තිබ්බා වගේ වැඩක්. දැන් ගොවියාට වෙලා තියෙන වින්නැහිය හොඳටම තේරෙනවා ඇති. මින් ඉදිරියට හෝ මෙවන් ඔලමොට්ටල තීරණ නොගන්නවා ඇති අපි විශ්වාස කරමු යැයි උන්වහන්සේ පැවසූහ.

ගොවියන් විසින් න`ගනු ලබන එළවළු මිල ගණන්, මිලදී ගැනීම් හා සම්බන්ධ චෝදනා හා ඔවුන්ගේ ගැටලූ පිළිබඳ සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ගොවියෝ කියන කතා ඇත්ත. ගොවියා දැන් අසරණ වෙලා ඉන්නේ. ඔවුන්ව රැකගැනීම අපගේ යුතුකමක් වෙනවා.

දැන් එළවළු මිල ගණන් ගැන කියනවනම් ලීක්ස් රු. 160-170, ගෝවා රු. 200, කැරට් රු. 400, බිට්රූට් රු. 300, රාබු රු. 40-50 වශයෙන් තමයි යන්නේ, ගොවියන් කියන විදිහට සති 2 කට කලින් ඇත්තෙන්ම මේ එළවළුවල මිල ගණන් 40% කින් පමණ වැඩිකමට තිබුණේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ දැක්වූ අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ වගාව ආශ‍්‍රිත බෙහෙත් පොහොර වගේම වැඩ කුලී වැඩිවීම ගොවියා කියන විදිහටම ඇත්ත. මහා පරිමාණයෙන් වගා කරන අපිටත් ඒක දරාගන්න බැරි එකේ කුඩා ප‍්‍රමාණයෙ ගොවියන්ට ඒක දරාගන්න කොහොමත්ම අමාරුයි. ඉස්සර අපි බෙහෙත් කඬේකින් බඩු ගන්න කොට අපෙන් එවෙලෙට සල්ලි ඉල්ලන්නෙ නැහැ මාසෙකින් වගේ දෙන්න කියලා කියනවා. දැන් ඒ තත්ත්වේ දැන් නෑ එවෙලෙම අපෙන් සල්ලි ඉල්ලනවා. එම තත්ත්වය කුඩා පරිමාණය ගොවියන්ට දරාගන්න බැහැ.

අපි ප‍්‍රසිද්ධියට පත් කරන එළවළුවල මිල ගණන්වලට වඩා අඩුවෙන් එළවළු මිල දී ගැනීමට සිදු වෙන අවස්ථා අනන්තවත් අපිට ඇති වෙනවා. මොකද වැඩි මිලක් දීලා එළවළු මිලදීගන්නා පාරිභෝගිකයන් කැමති නැහැ අවපැහැ වෙච්ච පෙනුම අඩු එළවළු මිලදී ගන්න. දැන් බෙහෙත් පොහොර නැතුව එළවළු පාට අඩු වෙලා මැල වෙලා. කැරට් එහෙම පුපුරනවා ඒ වගේ එළවළු අපිට දෙන්න වෙලා තියෙන්නේ සතිපොළට විතරයි. සතිපොළට යවන එළවළු අපිට පූර්ණ මුදලට ගන්න බැහැ. එයට හේතුව අපිට ඒ එළවළු කල් තියාගන්න ක‍්‍රමයක් නැති නිසා.

නිරන්තරයෙන්ම අපි ගොවියා ගැන හිතනවා. ගොවියන්ට ආරාධනා කරනවා ආර්ථික මධ්‍යස්ථාන සමග සෘජු සම්බන්ධතා තියා ගනිමින් ඔවුන්ගේ එළවළු නිසි ක‍්‍රමවේදයකට අපට ලබා දීමට කටයුතු කරන ලෙස. අපි වගකීමෙන් බැඳිලා ඉන්නවා රටේ ජීවත්වෙන සියලූම එළවළු ගොවියන් රැක ගැනීමේ භාරදූර කටයුත්ත හරි හැටි ඉටුකරන්න යනුවෙන් හෙතෙම පැවසීය.

නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment