‘‘සංචරණ සීමා නිසා එළියට යන්න බෑ. එදා වේල හම්බ කරගත්ත මිනිස්සු හරි අමාරුවක වැටිලා ඉන්නේ. ඉතිරි කරලා තියන හැම සතයක්ම මේ දවස්වල කන්න බොන්න වියදම් කරන්න වෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙහෙත් එළවළු පලතුරු හැමදේම ගිනි ගණන්. ගෙදරට වෙලා හිටියොත් අපිට කීයක්වත් හොයාගන්න අවස්ථාවක් නැති වෙනවා. ඒත් එළියට ගියොත් කොවිඞ් වසංගතයට ගොදුරු වෙනවා. හරි හමං ආදායමක් නැති වුණාට අපිට වියදම් නම් අඩු නැතුව තියෙනවා.”
මේ දිනවල ඉහළ යමින් පවතින බඩු මිල සම්බන්ධයෙන් ජනතාව පවසන්නේ එවැනි කතාවකි.
කොවිඞ් වසංගතයක් සමඟ බොහෝ දෙනකුට තම ආදායම් මාර්ග අහිමි විය. සංචරණ සීමා පැනවීමත් සමඟම බොහෝ දෙනෙකුට තමන්ගේ වෘත්තීන් සඳහා යෑමට නොහැකි විය. තවත් පිරිසක් අත්‍යවශ්‍ය රාජකාරිවල යෙදුන ද ඔවුන්ටද ලැබෙන්නේ වැටුපෙන් කොටසකි. එදාවේල පිරිමසා ගත් මිනිසුන්ට යන එන මං නැත. එලෙස ආර්ථිකය කඩා වැටෙද්දීත් අතවශ්‍ය භාණ්ඩ හා එළවළු, පලතුරු වල මිල දිනෙන් දින දැරිය නොහැකි තරමින් ඉහළ යෑම ජනතාවට තවත් ගැටලූවකි. වසංගතයෙන් ආරක්ෂා වෙමින් දැඩි ආර්ථික කඩාවැටීම් හමුවේ දරු පවුල් නඩත්තු කරමින් තම ජීවිත රැක ගන්නේ කෙලෙස දැයි බොහෝ දෙනෙකු ප‍්‍රශ්න කරයි.
‘‘සංචරණ සීමා පැනවීමත් එක්ක අපිට එළියට යන්න සීමා වැටෙනවා. හැබැයි මේ සීමා තියෙන්නෙ කොටසකට විතරයි කියලත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. ඇති හැකි මිනිස්සු හැමදාම කොයි විදියකින් හරි ජීවත් වෙනවා. පුංචි මිනිහට තමයි මේ හැම කරදරයක්ම. අපේ ගෙවල් ළඟට අත්‍යවශ්‍යම දේවල් අරගෙන එනවා කියලා කිව්වට ඒ ජංගම රථ වලින් බඩු මිලදී ගන්න නම් අපිට හොඳ ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. අතේ තියෙන මුදලට නම් අපිට ඉදිරියේදී කිරි හොදියි බතුයිවත් කාලා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ජංගම වෙළෙඳුන් විතරක් නෙමේ ළඟම තියෙන කඬේ මුදලාලි පවා හිතුමනාපෙට බඩුවල මිල නියම කරනවා. මේ ගැන කාට කිව්වත් වැඩක් වෙන්නේ නෑ. හැමදාම අසරණ වෙන්නේ දුප්පත් මනුස්සයා විතරයි ”
ජංගම වෙළෙඳුන් සහ කුඩා ව්‍යාපාරිකයන් පවා වසංගත තත්ත්වය ඉත්තකු කරගනිමින් අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දමන බවට ජනතාව චෝදනා කරයි.
- සීනි විතරක් නෙමෙයි හැම දේම ගිණි ගණන්
මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ සීනි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වුවද අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලෙහිම මිල ඉහළ දමා තිබේ.
හාල්, පොල්, සීනි, සබන් වැනි භාණ්ඩවල මාසෙන් මාසයට පාරිභෝගිකයාටත් නොදැනෙන විලසින් වෙනස් වෙමින් පවතී. පාලන මිලත් පාරිභෝගිකයාට දරා ගත නොහැකි අවස්ථාවක ඇතැම් වෙළෙඳුන් විසින් පාලන මිලත් පසුකරමින් භාණ්ඩ විකිණීම තවමත් නතර කර නැත.
‘‘මේ වෙද්දි හාල් කිලෝවක මිල එකසිය පනහත් පන්නලා. සුපිරි වෙළඳසැල් වලින් අඩුවට දෙනවා කිව්වට ඒ සහනය හම්බවෙන්නේ කොටසකට විතරයි. සංචරණ සීමා එක්ක හැමෝටම සුපිරි වෙළදසැල් වලට යන්න අවස්ථාවක් නෑ. ගමේ කඩෙන් හරි ගෙවල් ළඟට එන වාහනයකින් හරි බඩු ගන්න ගියාම හාල් කිලෝ එක 150 ටත් වැඩි වෙන අවස්ථා තියෙනවා. පොල්, පොල් තෙල්, තිරිඟු පිටි මේ හැමදේකම මිල වැඩියි. සීනි ගන්න කඩවල් දහයකට ගියොත් කඩවල් දහයේ මිල ගණන් දහයක් තියෙන්නේ” ලෙස කැලණියේ පදිංචි අනුලා මහත්මිය පවසයි.
මිල ගණන් වැඩි වුවද ඇතැම් වවෙළෙන්දෝ සීනිවලට වතුර ඉසිමින්, මිරිස්, තුන-පහ වලට තිරිඟු පිටි කලවම් කරමින් කූට උපක‍්‍රම වලින් ලාබ ලබන බවට ද අපට තොරතුරු අනාවරණය විය. නිවෙස් සමීපයට පැමිණෙන ජංගම වෙළඳ රථවල හා සංචරණ සීමා අතරතුර වෙළඳාම සඳහා විවෘතව තැබූ අලෙවිසැල්වල එළවළු හා පලතුරු මිල ගණන් වැඩි බවට බොහෝ ප‍්‍රදේශවල ජනතාව අදහස් ඉදිරිපත් කරති. එමෙන්ම එළවළු පලතුරු හිඟයක් පවතින බවද එම නිසා මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇති බවද ඇතැම් තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසයි.
පසුගිය එක සහ දෙක දිනයන්හි සියලූම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කළ අතර එළවළු මිල වැඩිවීම සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකින් විමසීමක් කළ විට ඒවායේ වෙළෙඳුන් පැවසුවේ පාරිභෝගිකයන්ට දැරිය නොහැකි තරම් මිලකට කිසිම ආර්ථික මධ්‍යස්ථානයකින් එළවළු සහ පලතුරු අලෙවි නොකරන බවයි.
‘‘මේ වෙද්දි එළවළු හිඟ නිසා මිල වැඩියි කියලා ප‍්‍රචාරයක්ගි යාට එළවළු පලතුරු හිඟයක් නැහැ. වෙනදට දවසගානේ විවෘත කළ ආර්ථික මධ්‍යස්ථාන මේ සංචරණ සීමා නිසා විවෘත කරන්නේ දවස් දෙකක් නැත්නම් තුනක් විතරයි. එහෙම වෙද්දී වෙනදට දවසගානේ අලෙවි වෙන එළවළු පලතුරු මේ දවස්වල එකතු වෙනවා. ඒ නිසා එළවළු වල හිඟතාවයක් නැහැ. අපි ආර්ථික මධ්‍යස්ථාන වලින් තොග වෙළෙඳුන්ට එළවළු අලෙවි කරන්නේ සාමාන්‍ය මිල ගණන් වලටමයි. සමහර අවස්ථාවල බෝංචි, ලීක්ස් වගේ එළවළු කිලෝවක් රුපියල් එකසිය විස්සට අලෙවි කළා. අනෙක් බොහොමයක් එළවළු කිලෝවක මිල 80 – 100 අතර තිබුණේ. ප‍්‍රශ්නය තියෙන්නේ අපෙන් එළවළු අරන් යන තොග වෙළෙන්දන්ට ඒ මිලටම විකුණන්න කියලා අපට බල කරන්න බෑ. ඔවුන් ජනතාව ගැනත් තේරුම් අරගෙන සද්භාවයෙන් ම තමයි මේ මිල ගණන් තීරණය කළ යුතු වන්නේ. මොකද තොග වෙළෙඳුන්ටත් වෙළඳාම් කටයුතු වලදී ගැටලූ රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා” ලෙස පෑලියගොඩ මැනිං පොදු වෙළඳ සංකීර්ණයෙහි හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා ප‍්‍රකාශ කරයි.
- ආර්ථික මධ්‍යස්ථාන වලින් ගන්න මිලටම විකුණුවොත් අපිට ලාභයක් නෑ. තොග වෙළෙන්දෝ කියති.
ආර්ථික මධ්‍යස්ථාන වලින් එළවළු මිලදී ගැනීමට යන අවස්ථාවේ සිට සිල්ලර වෙළෙන්දන්ට සහ පාරිභෝගිකයන්ට එළවළු අලෙවි කිරීම දක්වාම වියදම් රැසක් සිදුවන බවට තොග වෙළෙන්දන් පවසයි. ප‍්‍රවාහනයට, ඉන්ධනවලට, එළවළු පිරිසිදු කිරීම් වලට සහ ගබඩා කිරීම් වලට අලෙවියට ආදිය සියල්ලටම වියදම් දැරීමට සිදුවන නිසා ආර්ථික මධ්‍යස්ථාන වලින් ලබාගන්නා මිලටම පාරිභෝගිකයන්ට එළවළු අලෙවි කළ නොහැකි බවත් එසේ කිරීමෙන් කිසිදු ලාභයක් තමන්ට නොලැබෙන බවත් ජංගම ක‍්‍රමයට අලෙවි කිරීමේදී නිවෙස් සමීපයටම යෑමට සිදුවන නිසා අමතර මුදලක් ද වැය වන බැවින් ඔවුන් කිසිවිටකත් අසාධාරණයක් සිදු නොකරන බවද තොග අලෙවිකරුවන් පෙන්වාදෙයි.
- එළවළු ගන්න එන තොග වෙළෙන්දෝ පිරිසේත් අඩුවක්
කැප්පෙටිපොල, වේයන්ගොඩ, දඹුල්ල මැනිං ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු එකතු වුවද ඒවා මිලදී ගැනීමට පැමිණෙන තොග වෙළෙන්දන් අනෙක් දිනවලට සාපේක්ෂව අඩු බවද එක් එක් ආර්ථික මධ්‍යස්ථාන වල වෙළඳ සංගම් පෙන්වා දෙයි. සංචරණ සීමා පනවා තිබීමත් සමඟ සංචරණයට අවසර ලැබුණේ බලපත‍්‍ර හිමි පිරිසකට පමණි. ඇතැම් තොග වෙළෙඳුන්ට බලපත‍්‍ර ලබාගත නොහැකි වීම නිසා ඔවුන්ට එළවළු මිලදී ගැනීමට හෝ විකිණීමට යෑමට අවස්ථාව ලැබී නැත.
නමුත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ දිනයන් හිදී ඇතැම් පිරිස් විසින් සිල්ලර මිලදී ගැනීම් වලට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ නිකරුණේ කාලය ගත කරන බවත් කොවිඞ් වසංගතය ශීඝ‍්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින මොහොතක එලෙස වගකීම් විරහිතව කටයුතු නොකරන ලෙසත් ආර්ථික මධ්‍යස්ථාන වල සංවිධායකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
- පොහොරත් නැතිව අමාරුවෙන් ගන්න
අස්වැන්නට වටිනාකමක් නෑ. ගොවියෝ හඬ නඟති.
වෙළඳපොළ එළවළු, පලතුරු මිල වැඩි වුවද ගොවියන්ට නිසි මිලක් හිමි නොවන බවට එක් එක් ප‍්‍රදේශවල එළවළු පලතුරු සහ වී ගොවියන් පවසයි. රසායනික පොහොර ගැටලූවත් සමඟ ඇතැම් ගොවියන් වගා කටයුතු නවතා දමා තිබේ. තවත් පිරිසක් කාබනික පොහොර භාවිත කරමින් වගා කිරීම් කළ ද ලබා ගන්නා අස්වැන්න අලෙවි කර ගැනීමට යෑමේදී ඒවාට නිසි මිලක් නියම නොවන බවට ඔවුන් පෙන්වා දෙයි. සංචරණ සීමා පැනවීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීම සීමා කිරීමත්, එළවළු පලතුරු ගොඩගැසීමත් හේතුවෙන් ඇතැම් ගොවියන් තම අස්වැන්න නොමිලයේ ජනතාවට බෙදා දුන් අවස්ථාද වාර්තා වේ. සංචරණ සීමා පැනවීම සමඟ බලපත‍්‍ර ලබා ගැනීමට අපහසු වීම නිසා පෞද්ගලිකව හෝ එළවළු පලතුරු අලෙවි කිරීමට ක‍්‍රමයක් නැති බවටද ගොවියන් පවසයි. රසායන පොහොර නොමැතිව, දිලිර නාශක නොමැතිව, ජලය සපයා ගැනීමේ දුෂ්කරතා සහිතව ණය වෙමින් වගා කටයුතු සිදු කරන ගොවියාට ද සහනයක් සලසන ලෙස ඔවුන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මේ අතර එළවළු, පලතුරු සඳහා පාලන මිලක් නියම කිරීම අපහසු කාර්යයක් වුවද කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක මිනිසුන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණපා සිටින නිසා පාරිභෝගික අධිකාරිය විසින් ගොවියන්, වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් යන පාර්ශ්ව සියල්ලම පිළිබඳව සලකා බලා තීරණ ගත යුතු බවට මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ හිටපු සංවිධායකවරයා පවසයි.
‘‘මේ රටේ ආයතන පිහිටුවලා තිබුණට වැඩක් නෑ ඒවගෙන් ජනතාවට සේවයක් වෙන්නේ නැත්නම්. ආර්ථික මධ්‍යස්ථාන වල තොග හෝ සිල්ලර වෙළෙඳුන්ට විකුණුම් මිලක් නියම කරන්න බෑ. අනෙක එළවළු පලතුරු මිල කාලයෙන් කාලයට වෙනස් වෙනවා. අපෙන් තොග අරන් යන වෙළෙඳුන් ඒවා ඊට වඩා දෙගුණයක් වැඩි මිලට විකුණනවා කියලා අපටත් තොරතුරු ලැබෙනවා. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සොයා බලා තීරණයක් ගත යුතුයි.
දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල සහ වෙළෙඳුන් අත්තනෝමතික ලෙස මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවසුවේ මෙවැනි කතාවකි.
‘‘මේ වෙද්දි හැම භාණ්ඩයකටම වගේ පාලන මිලක් නියම කරලා තියෙනවා. ඒ මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධ තොරතුරු 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන්න කියලා අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”
එමෙන්ම ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන්නේ නම් සහ භාණ්ඩ සඟවා ගනිමින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද ඉහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සිහිපත් කරයි.
මේ අතර වැඩි වන භාණ්ඩ මිල සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් තවමත් තීරණයක් ගෙන නැත. පිරිසක් පවසන්නේ බඩු මිල වැඩිවීම ජනතාවට සිදු කරන අසාධාරණයක් බවයි. තවත් පිරිසක් පවසන්නේ එය අසාධාරණයක් වුවද මේ අවස්ථාවේදී ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැති බවයි.
මේ අතර ජනාධිපතිවරයා විසින් අගෝස්තු තිස් වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර විකිණීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ප‍්‍රකාශයට පත් කර තිබේ. එයට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ආහාර මිල ගණන් පිළිබඳව තීරණ ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීමටත් ජනතාවට සාධාරණ මිලකට ඒවා අලෙවි කිරීමටත් අවශ්‍ය වැඩසටහන් සකස් කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලය ලබාදී තිබේ.
ලංකා ඉතිහාසයේ කවදාවත් නොවූ ලෙස ආනයනකරුවන්, තොග වෙළෙඳුන්, සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියන් විසින් පාරිභෝගික ජනතාව සූරා කමින් සිටින බවත් ඒවා සියයට සියයක්ම ගැසට් පත‍්‍ර මඟින් පාලනය කළ නොහැකි වුවත් පාරිභෝගික අධිකාරියට ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැකිව තිබියදීත් වගකීම් විරහිතව කටයුතු කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
කුමන නීති හා ප‍්‍රතිපත්ති ඉදිරිපත් වුවද භාණ්ඩ සහ ආහාර මිල ගණන් සම්බන්ධයෙන් ඇති ගැටලූවලට තවමත් විසඳුම් ලැබී නැති බවට පාරිභෝගිකයන් පවසයි. පාලන මිලක් නියම කළද මේ අවස්ථාවේ දී බොහෝ ව්‍යාපාරිකයන් තම වෙළඳාම කළු කඩයක් කරගෙන ඇති නිසා ඒ සම්බන්ධව සොයා බලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා මෙන් පාරිභෝගික ජනතාව රජයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේදී හා බෙදාහැරීමේදී ගැටලූ රාශියක් ඇති වන බවත් ඒවාට තවමත් විසඳුම් නැති බවටත් වෙළෙඳුන් කියයි.
ගොවියන්ගේ ගැටලූ වලට පිළිතුරු නොලැබුණහොත් ඉදිරියේදී එළවළු පලතුරු හිඟ වීමට ඉඩ ඇති බවට ගොවියෝ අනතුරු අඟවති.
මේ සියල්ලන්ගේ ගැටලූ විසඳමින් කොවිඞ් නිසා කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවීමට දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලූම බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. එසේ නොමැති වුවහොත් ඉදිරියේදී වසංගතයට මෙන්ම තවත් බොහෝ ගැටලූ වලට පිළිතුරු සෙවීමට ජනතාවට සිදු වනු ඇත.
නිරෝෂා වාසල