එළිසමය නිසදැස හා කවිය

381

ප‍්‍රකට සාහිත්‍යධරයකු, කවියකු, කෙටිකතාකරුවකුවන දයාසේන ගුණසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ආරම්භක කර්තෘ මණ්ඩලය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් ය. එකල ඔහු වඩාත් ප‍්‍රචලිත වූයේ තීරු ලිපි රචකයකු වශයෙන්ය.

1974 වර්ෂයේදී ‘රන් තැටියක කඳුළු’ කාව්‍ය සංග‍්‍රහය පිණිස රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගන්නා එතුමන් ඉන් වසර හතකට පසුව (1981) දිවයින ඉරිදා සංග‍්‍රහයට රචනා කරන ලද මෙම ලිපිය නැවත පළ කරනු ලබන්නේ එතුමන්ට කරනු ලබන ගෞරවයක් පිණිසය.

කවිය ආශ්චර්යමත් දෙයකි. රළු පරළු ගොරහැඬි ලෞකිකත්වය යන ගුණයක් කවියෙහි ගැබ් වෙයි. එහෙයින් කවියක් නිර්මාණය කිරීම මෙන්ම කවියක් රස විඳීම ද එකසේ ආශ්චර්යමත්ය. කවිය හදවතින් පමණක්නොව, මනසින්ද රස විදිය යුත්තකි. අපේ භාවමය ජීවිතය රැුඳී ඇත්තේ හදවතෙහිය. බුද්ධිමය ජීවිතය මනසෙහි රැුඳී පවතියි. කවියක් පූර්ණව රස විඳීම සඳහා ලොව සුඛ දුඃඛ ආදිවූ සියුම්ව කම්පනයවන හදවතක්ද එබඳු හදවතකට විවෘතව ඇති මනසක් ද අවශ්‍යය.

සංවේදිතාවය

ප‍්‍රතිභාපූර්ණ කවියා තම අත්දැකීම් නිසා තමන් තුළ ඇතිවන සියුම් සංවේදනා කාව්‍ය නිර්මාණ බවට පෙරළයි. සහෘදයාගේ හදවත එම නිර්මාණ භාවමයව ග‍්‍රහණය කරයි. එකී භාවයන් රස බවට පත් වන්නේ මනසේදීය. එහෙයින් කවියක් රස විඳීම එම කවියෙහි රස පූර්ණතාවය මෙන්ම සහෘදයාගේ සංවේදතාවය මත රඳා පවතී. එහෙත් හැම සහෘදයකුම සමාන සංවේදතාවයෙන් යුක්ත යැයි අපේක්‍ෂා කළ නොහැකිය. පුද්ගලයකුගේ සංවේදිතාවය මූලිකවම සහජ ගුණයකැයි මම සිතමි. දෙවනුව ඔහුගේ සමාජියික අධ්‍යාපනික හා ආගමික පසුබිම ඒ කෙරෙහි බලපායි. ළඳරු වියේ හැදීම, වැඞීම මෙහිලා විශේෂයෙන්ම වැදගත්ය. මේ හේතු නිසා අධි සංවේදී භාවයේ සිට ඌන සංවේදිභාවය දක්වා විවිධ මට්ටමේ සංවේදිභාවයෙන් පුද්ගලයෝ වෙති. මෙම ප‍්‍රභේද සහ අනු ප‍්‍රභේද නිසා ඇතිවන සංකීර්ණත්වය තුළ එකම කවිය එක සමානව රස විඳිය හැකි සහෘදයින් දෙදෙනෙකු හෝ සොයා ගැනීම දුෂ්කරය. කෙසේ වුවද තියුණු සංවේදිතාවයෙන් යුත් අය ඉතාම වාසනාවන්තයෝය. කවිය මෙන්ම අනෙකුත් කලාවන් නිසා උපරිම මානසික සුවයක් හා තෘප්තියක් ලබාගත හැකි වනුයේ ඔවුන්ට පමණි.

සාහිත විලාසිතා

කවිය ජනිත විය යුත්තේ ජීවිතය තුළිනි. මනෝමය හරඹ හෝ වදන් හරඹ කවිය විය නොහැකිය. කාලීනව පැවැති සාහිත විලාසිතා’’ නිසා එවැනි හරඹ කවි ලෙස පිළිගැනුණු වකවානු වූ බව සැබෑවකි. මාතර යුගයේ බිහි වූ දුෂ්කර බන්ධන ඊට හොඳ නිදසුනක් වෙයි. එහෙත් සෙසු විලාසිතා මෙන්ම සාහිත්‍ය විලාසිතා ද කාලයක් සම`ග නැසී යයි. කාලයේ හෝ යුග විපර්යාසයේ ප‍්‍රහාරයෙන් වැන සී නොයන්නේ සම්භාව්‍ය සාහිත්‍ය පමණකි. මන්දයත් එහි හරය වනුයේ ජීවිතය හෙයිනි.

ජන කවිය මෙම සත්‍යයේ එක් ප‍්‍රභේදයකි. උගත්කමින් වටම සුමටම, මනා ලෙස ඔපමට්ටම් වූ සුන්දරත්වයක් නැතත් සහජ කවීත්වය හා අත්දැකීමෙන් ලද ගැඹුරු ජීවිත පරිඥානය එහි නිදන්ව ඇත. එහෙයින්ම කාලයේ හා යුග පෙරළියේ විනාශයට බොහෝ දුරට ඔරොත්තු දීමේ ශක්තිය ජන කවිය තුළ පවතියි. ජීවිතයෙන් ලබන අත්දැකීම් නිසා කවියකු ගේ සිතෙහි පිළිසිඳ ගන්නා කවි සංකල්පනාව ඒ මොහොතේම කවියක් ලෙස බිහි කළ නොහැකිය. මවු කුසෙහි පිළිසිඳගත් කලලය වැඩෙන්නා සේම කවිය ද මෝරා වැඩිය යුතුය. එහෙත් මවට මෙන් කාල සීමාවක් කවියාට නැත. සංවේදී හදින් හා මනසින් යුත් උසස් කවියකුගේ චිත්ත සන්තානයෙහි නැතත් කවි පිළිසිඳ ගනියි. ඉන් සමහරක් පැය කීපයකින්, දින කීපයකින් හෝ සති කීපයකින් බිහිවිය හැකිය. තවත් සමහරක උපත සඳහා මාස ගණන් වසර ගණන් ගතවෙයි. මේ අතර ඇතැම් කවි උපත නොලබාම මිය යා හැකිය. සිතෙහි පහළ වූ කවි සංකල්පනාවක් කාව්‍යමය ගුණයෙන් යුතුව, ක්‍ෂණිකව, පළ කිරීමට සමත් කවියෙකු කාලත‍්‍රයේ කොතැනක හෝ වෙත්ද යන්න සැකයෙකි. ‘‘හිටිවන කවිය’’ යනුවෙන් හඳුන්වනු ලබන වචන හරඹයට කවිය යන උතුම් නාමය භාවිත කිරීම අප විසින් කවියට කරනු ලබන ලොකුම අපහාසයයි. මෙම වචන හරඹය කවිය ලෙස හැඳින්විය හැකි නම් ශාරීරික ව්‍යායාම මුද්‍රා නැටුමක් ලෙසත් වෙළෙඳ ප‍්‍රචාරක චිත‍්‍ර උත්තම ඝනයේ චිත‍්‍ර නිර්මාණ ලෙසත් කපිරිඤ්ඤා ගායන හා වාදන රාගධාරී සංගීතය ලෙසත්

පිළිගැනීමෙහි වරදක්ද නැත. කවියාගේ කවි සංකල්පනාව කවියක් ලෙස බිහිවන්නේ භාෂා මාධ්‍ය තුළිනි. එහෙයින් කවි සංකල්පනාව මෙන්ම කවි බසද වැදගත්ය. කවියා අමුතු බසක් උපයෝගී කර ගනිතැයි මින් අදහස් නොකැරෙයි. එනමුත් ඔහු බස යොදන ආකාරයෙහි අපූර්වත්වයක් ඇත. ඔහුගේ බස සරලය. මට සිළුටුය. සුඛ නමය එමෙන්ම රූපකාත්මකය.

චිත්ත රූපය

බසෙහි ඇති සෑම වචනයකින්ම අපේ සිතෙහි රූපයක් මැවෙයි. අප එම වචනයෙහි අරුත වටහා ගන්නේ එසේ මැවෙන චිත්ත රූප තුළිනි. එහෙත් හැම වචනයක්ම එක හා සමාන රූප මැවීමේ ශක්තියෙන් යුක්ත නොවේ. මෙහි ඉතා පැහැදිලි ප‍්‍රභේද මෙන්ම ඉතා සියුම් ප‍්‍රභේද ද වෙයි. මෙම ප‍්‍රභේද වචනයක අභ්‍යන්තර ගුණයෙහි මෙන්ම එම වචන අසන තැනැත්තාගේ අත්දැකීම් මත රඳා පවතී. හිම යන වචනය ඇසෙත්ම හිමි සියැසින් දැක ඇති පුද්ගලයා තුළ මැවෙන චිත්ත රූපය චිත‍්‍රයකින් හෝ ඡුායාරූපයකින් හිම දැක ඇති පුද්ගලයා තුළ මැවෙන චිත්ත රූපයට වඩා බෙහෙවින්ම ප‍්‍රබලය. එමෙන්ම ආරංචි මාත‍්‍රයෙන් හෝ හිම ගැන අසා නොමැති පුද්ගලයා තුළ එම වචනය ඇසීමෙන් කිසිදු චිත්ත රූපයක් බිහි නොවන්නට ද ඉඩ ඇත.

අම්මා යන වචනය චිත්ත රූප මැවීමේ ශක්තිය අතින් ‘‘මව’’ මෑණි යන සමාන අරුත් දෙන වචනවලට වඩා ප‍්‍රබලය. මෙය භාවිතය නිසා ඇති වූ ශක්තියකි. එහෙත් කවියේ ඇතැම් තැන්වලදී මව හෝ මෑණි යන වචන අම්මා යන්නට වඩා තියුණුව යොදා ගන්නට හැකි වෙයි. ඊට බෙහෙවින් හේතු වන්නේ පද සංයෝජන යයි ‘‘වැදූ අම්මා’’ යන්නට වඩා ‘‘වැදූ මව’’ යන්න හැ`ගීම් ඇති කිරීම අතින් ප‍්‍රබලය. එමෙන්ම කනට ද මිහිරිය. අම්මණ්ඩි යන්න අම්මා යන්නට වඩා වෙනස් හැ`ගීමක් ඇති කරයි. අම්මාවරු යයි කියනවිට ඇති වන්නේ මේ හැමෙකකටම වඩා වෙනස් වූ හැ`ගීමකි. මණ්දාකිණිය යනු කොළඹ යුගයේ එළිසම කවීන් ඉතා ආශා කරන වචනයකි. එහෙත් ඉන් මොනම චිත්ත රූපයක් හෝ මැවෙන්නේද? වාචාර්ථයෙන් ගත් කළ මන්දාකිණිය යනු සෞරග‍්‍රහ මණ්ඩල කෝටි ප‍්‍රකෝටි ගණනාවකින් යුත් තාරකා පද්ධතියකි.

ප‍්‍රභේද

දක්‍ෂ සංගීතඥයා ස්වර අතර ඇති සියුම් ප‍්‍රභේදයන් උපයෝගීකර ගනිමින් සංගීත නිර්මාණයෙහි යෙදෙන්නා සේ ප‍්‍රතිභාපූර්ණ කවියා වචන තුළ හා වචන අතර ඇති සියුම් ප‍්‍රභේද අවබෝධකර ගනිමින් කාව්‍ය කරණයෙහි යෙදෙයි.

සංගීතයෙහි ඇත්තේ සීමිත ස්වර පද්ධතියක් වුවද ස්වර සංයෝජනය මගින් නව්‍ය වූද අපූර්ව වූද සංගීත නිර්මාණ බිහි කිරීමේ ශක්තිය උසස් සංගීතඥයා සතුව ඇත. මෙම ශක්තියම ප‍්‍රතිභාපූර්ණ කවියා තුළ ද පවතී. මෙහිදී ස්වර වෙනුවට ඔහු භාවිත කරන්නේ වචනයි. හැම වචනයකම පාහේ වාචාර්ථය ඉක්මවා යන ගුණයක් ඇත. ධ්වනිය යනුවෙන් හැඳින්වෙන මෙම ගුණය අර්ථ ධ්වනිය, ශබ්ද ධ්වනිය යනුවෙන් ප‍්‍රභේද වෙයි. පෙර අපර දෙදිග පඬිවරුන් විසින් කවියෙහි ආත්මය ලෙස හඳුන්වාදී ඇත්තේද ධ්වනියයි. හිස් තාර බැරලයකට මුගුරකින් ගැසූවිට මතුවන ගොරහැඩි හඬ ජනිත වූ මොහොතේම මැකී යන්නකි. එහෙත් වීණාවක හෝ සිතාරයක සියුම් තතකින් මතුවන මුදු සිහින් ස්වරය බොහෝ වේලාවක් ගතවනතුරු නින්නාද වෙයි. එම නින්නාදය සවනට නෑසී ගිය පසුවද සිතට ඇසේ. වචනයකින් නැෙඟන ධ්වනිය ද ඊට සමානය. වචන හෙවත් පද සංයෝජනයෙන් මතුවන ධ්වනිය ඉතාම ප‍්‍රබලය. සහෘදයාගේ මනසෙහි මැවෙන චිත්ත රූප සජීවී ගුණය ලබනුයේ ධ්වනියෙනි. අර්ථධ්වනිය මෙන්ම ශබ්ද ධ්වනියද සියුම්ව යොදමින් කරන පද සංයෝජනයට සිංහල පi සාහිත්‍යයෙන් දැක්විය හැකි හොඳම නිදර්ශනය ගුත්තිලයේ සුර`ගන රැ`ගුම් වැනුමයි. කවියා අදහස් කරන මුඛ්‍ය රසය තීව‍්‍ර එන අයුරින් රිද්මය, අනුප‍්‍රාසය, උපමා උපමේය ආදී කාව්‍යෝක්තීන් යොදාගත හැකි ආකාරය සම්බන්ධයෙන්ද එම කවි පෙළ ගුරු කන්හීලා සැලකිය හැකිය. ඉන් බිහිවන චමත්කාරය මනස තුළ නින්නාදවෙමින් ජීවිත කාලයක් පවතින්නේ එහෙයිනි. එම කවි පෙළ කියවීමෙන් නොව සිහි කිරීමෙන් පවා සිතෙහි ඇතිවන්නේ අපූර්ව චමත්කාරයකි.

ස්ඵන්දනය

බසෙහි ඇති මෙම අශ්චර්යමත් අපූර්ව බලය සිය කාව්‍ය නිර්මාණ සඳහා උපරිම යොදාගත හැකි වනුයේ බස මැනවින් දන්නා කවියාට පමණකි. බස දැනගැනීම යනු හුදෙක් වියරණය දැනීම නොවේ. කවියා බසෙහි නාඩි ස්ඵන්දනය දැන ගත යුතුය. පැරණි බස, නූතන බස

ග‍්‍රන්ථාරූඪ බස හා ව්‍යවහවෝචිත බස ගැන පිරිපුන් දැනුමක් හා අවබෝධයක් ඇති කවියාට පද සංයෝජනයෙන් දැක්විය හැකි දස්කම් සැබැවින් විශ්වමය ජනකය. සහෘදයා ගේ මනස සහ හදවත ඔහු අත සියුම් වීණා තත් බවට පත්වේ. කවිය හදවතේ මෙන්ම මනසින්ද රස විඳිය යුත්තකැයි පෙරදී සඳහන් කෙරිණි. උසස් කාව්‍ය නිර්මාණයක එම ගුණාංගයන්ගේ මනා සමතාවයක් වෙයි. හදවත පමණක් අමතන භාවාතිශය කවිය කිසිසේත්ම මනසට ගෝචර නොවේ. එහෙයින් ප‍්‍රබුද්ධ සහෘදයා විසින් එබඳු කවිපිටු දකිනු ලබයි. කොළඹ යුගයේ කවීන් ලෙස හැඳින්වෙන පිරිස වෙතින් අද බිහිවෙන නිර්මාණ බොහෝමයක්ම මෙම ගණයට අයත්ය.

ව්‍යංගය

හුදෙක් මනස පමණක් අමතන කවිය මෙහි අනෙක් අන්තයයි. මනෝමය හරඹ ලෙස හැඳින් විය හැකි එබඳු නිර්මාණ බොහෝවිට නීරසය. පේරාදෙණි නිසදැස් කවි කුලයෙන් මෙබඳු කාව්‍ය නිර්මාණ බහුලව බිහි විය. භාවමය ගුණයෙන් තොරවීම නිසා එම කවීන්ගේ නිර්මාණවල උපමා රූපක ධ්වනිය හා ව්‍යංගය බඳු කාව්‍යෝක්තීන් හුදෙක් තුන් තේරවිලි හා ප‍්‍රහෙලිකා බවට පත් වී ඇති අයුරු දකින්නට ලැබේ. සිංහල කවි සම්ප‍්‍රදායට සහමුලින්ම පටගැනිවූ මෙම කවි සහෘදයින් විසින් පිටු දකිනු ලැබීම පුදුමයක් නොවේ. නිර්මාණයට නිදහස අවශ්‍ය බව කවුරුත් පිළිගනිති. අනුන් විසින් පනවන ලද හෝ තමන් විසින් පනවා ගන්නා ලද හෝ සීමාවන් තුළ සිරවුවෙකුට නිර්මාණ කාර්යයහි යෙදීම දුෂ්කරය. එබඳු අයකු බොහෝවිට කලාකරුවෙකුට වඩා පූර්ව නිශ්චිත මිනුමක් අනුව ඇඳුමක් මහන සන්නාලිකුට සමානය. සිංහලයෙහි නව කවි පරපුර සන්නාලියන් නොවෙති. නිදහස්ව සිතා නිදහස්ව ලිවීමට ඔවුන් අද පෙළඹී සිටින්නේ එහෙයිනි. එහෙත් ඔවුන් එම නිදහස යොදා ගන්නේ හැම නිදහසකට පසු බිමෙහි තිබිය යුතු සංවරය ඇතිව ද යන්න ප‍්‍රශ්නයකි.

එළිසම කවීන් වැඩි දෙනෙකුම තමන් වෙත යම් පමණකින් හෝ වූ කවීත්වය එළිසමයට පුද කළා සේ නව පරපුරේ කවීන් බොහෝ දෙනෙක් සිය කවීත්වය නොරීතියෙන් යටපත් කර ගනිති. නිදහස නිසි පරිදි යොදා ගැනීම සඳහා අවශ්‍ය සංගමය සම්ප‍්‍රදායෙන් ලබාගත යුතු බව මෙතෙක් ඔවුන්ට නොවැටහීම සිංහල කවියේ වැඞීමට බාධාවකි.

කෙසේ වුවද සාම්ප‍්‍රදාය කරින් ගෙන යන කරඬුවක් නොව නව මත ඔස්සේ යෑමට උපකාරීවන ආලෝක ධාරාවක් ලෙස සලකන කවීන් අතලොස්සක් දෙනා හෝ නව පරපුර තුළින් බිහිවීම සිංහල කවියේ අනාගතයට සුබ පෙර නිමිත්තකි. සුදුසු කළ එළිසමය යොදා ගැනීමටත්, හැම විටම රිද්මය රැුකීමටත් ඔවුහු මැලි නොවෙති. එමෙන්ම මෙම කවීහු කවියේ රටාව හා බස පිළිබඳව අත්හදා බැලීම්වල ද යෙදෙති. සාම්ප‍්‍රදාය ඔවුනට රුකුලක් මිස බාධාවක් නොවේ.

සිංහල කවියේ අනාගතය ඇත්තේ සාම්ප‍්‍රදායවාදීන් හෝ සාම්ප‍්‍රදා විරෝධී විප්ලවවාදීන් අත නොව මෙම කවීන් අතය. ඒ බව ඔවුන්ගේ නිර්මාණවලින් දැනටමත් සනාථ වී ඇතැයි අපි සිතමු.

එළිසමය නිසදැස හා කවිය
advertistmentadvertistment
advertistmentadvertistment