ඒකාධිපති පාලනයක් කරා යන ගමනට බාධාවක් එල්ල වන නිසා අධිකරණය අකර්මන්‍ය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙනවා

70

මහාචාර්ය ජී. එල්. පීරිස්

2015 දී සිදුවූ මහ බැංකු මංකොල්ලයට වඩා වී.එෆ්.එස්. ගනුදෙනුව හරහා සිදුවූ මුල්‍ය වංචාව විශාල බවත් මහ බැංකු මංකොල්ලය සිදුකළේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ බවත් වී.එෆ්.එස් මංකොල්ලය සිදුකළේ ජනාධිපතිවරණයක් ආසන්න මොහොතක බවත් ඒ අනුව මෙලෙස මුදල් සොයන්නේ මැතිවරණ වෙනුවෙන් බව පැහැදිලි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (07 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කෙරුණු විශාලතම මගඩිය වන්නේ වී.එෆ්.එස්. ගනුදෙනුවයි. සංචාරකයන්ට වීසා නිකුත් කිරීම ශ්‍රී ලංකාව තුළ දිගටම සිදුකරගෙන ගිය ක්‍රියාවලියක්. එය අලුත් ක්‍රියාවලියක් නෙවෙයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට වීසා නිකුත් කිරිම භාර දී තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට. ඒ සඳහා මොබිටෙල් ආයතනය සහාය ලබාදුන්නා. මෙම ආයතන වීසා බලපත්‍රයක් නිකුත් කිරිමට අය කළේ ඩොලර් එකක මුදලක්. නමුත් අලුත් යෝජනාව අනුව වීසා නිකුත් කිරීම වී.එෆ්.එස්. ආයතනයට පැවැරුවා. ඒ අනුව ඩොලර් එකක මුදලක් අය කළ සේවාව වී.එෆ්.එස්. ආයතනයට ලබාදුන් පසු ඩොලර් 25 ක් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා.

වී.එෆ්.එස්. ආයතනය මැලේසියාවේ සිට ඉන්දියාවට යන සංචාරකයෙකුට වීසා බලපත්‍රයක් නිකුත් කරන්නේ ඩොලර් ශත 50 ක මුදලකට. ඒ අනුව වී.එෆ්.එස්. ආයතනය මැලේසියාවෙන් අයකරන මුදලට වඩා 50 ගුණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් අය කරනවා. ශ්‍රී ලංකාව වීසා නිකුත් කිරිමේ කොන්ත්‍රාත්තුව වී.එෆ්.එස්. ආයතනය ලබාදීලා තිබෙන්නේ වසර 16 කට. ඒ වගේම ඩොලර් 25 කට නිකුත් කරන වීසා බලපත්‍ර ගාස්තුව වසරින් වසර තවත් ඉහළ යනවා. මේ හරහා ශ්‍රී ලංකාව සිදුවන අලාභය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක්. මෙම මුදල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සම්පුර්ණ ආධාර ප්‍රමාණයෙන් සියයට 37 ක වගේ ප්‍රමාණයක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදල් ආරක්ෂා කරගැනීම සඳහා බලාත්මක ලෙස ශ්‍රී ලංකා අධිකරණය ඉදිරිපත් වෙනවා. ඒ සඳහා රජය ශ්‍රී ලංකා රජය දැවැන්ත ප්‍රහාර ශ්‍රී ලංකා අධිකරණයට එල්ල කරනවා. අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවැසුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කැමතිනම් පිළිගන්න පුලුවන් කැමැතිනම් ප්‍රතික්ෂේප කරන්නත් පුලුවන් කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කැඳවිය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ඒකාධිපති පාලනයක් කරා යන ගමනට බාධාවක් එල්ල වන නිසා අධිකරණය අකර්මන්‍ය කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන ද විවේචන ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම වී.එෆ්.එස්. ගනුදෙනුව හරහා සිදුවණු මගඩිය වගේම මගඩියක් 2015 දී සිදුවුණා. ඒ තමයි මහ බැංකු කොල්ලය. මහ බැංකු කොල්ලයට වඩා වී.එෆ්.එස්

ගනුදෙනුව හරහා සිදුවණු මගඩිය විශාලයි. නමුත් මෙම ගනුදෙනු දෙක අතර සමානතාවයක් තිබෙනවා. මහ බැංකු කොල්ලය සිදුකළේ පාර්ලිමේන්තු මැතිවරණයකට මාස කිහිපයක් තිබියදී. වී.එෆ්.එස්. මගඩිය සිදුකරන්නේ ජනාධිපතිවරණය ආසන්න කාලයකදී. මෙලෙස හොර මගඩි හරහා මුදල් සොයන්නේ ඡන්දය වෙනුවෙන්.

වී. එෆ්. එස්. ආයතනය සමග තිබෙන ගනුදෙනුව නවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පෙර පරිදි වීසා නිකුත් කිරීම සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ හරහා රටට සිදුවුණ විශාල මුල්‍ය පාඩුව වළාක්වා ගැනීමට හැකිවෙලා තිබෙනවා. වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය ලබාදුන්න නඩු තීන්දුව පිළිබඳව සතුටු වෙනවා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment