ඒඩ්ස්වලින් ඔබ සුරක්‍ෂිතද?

354
අදට යෙදෙන ජාත්‍යන්තර AIDS දිනය නිමිත්තෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි හිටපු තොරතුරු අධ්‍යාපන සහ සන්නිවේදන සම්බන්ධීකාරක වෛද්‍ය ශාන්ත හෙට්ටිආරචිචි මහතා සමඟ සිදු කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සම්පාදිත ලිපියකි.

ජාත්‍යන්තර AIDS දිනය යෙදී තිබෙන්නේ සෑම වර්ෂයකම දෙසැම්බර් පළමු වෙනිදාය. එදිනට සමගාමීව ශ්‍රී ලංකාව පුරාම විවිධ ස්ථානයන්හි ජනමාධ්‍යන්හි විවිධාකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සුලබ කාරණාවකි. නමුත් කනගාටුවට කාරණාව නම් AIDS පිළිබඳ කතිකාවත එදිනට පමණක් සීමා වීමය. නමුත් AIDS අවදානම දිනෙන් දින වැඩි වෙමින් වර්ෂය පුරාම පවත්නා බව ඉතිරි දින 364 හිදීම සමාජයට අමතක වීම බරපතළ කාරණාවකි. එබැවින් AIDS පිළිබඳ දැනුවත්භාවය ඔබට සහ ඔබේ සමීපතමයන් හට නිරෝගී ජීවිතයකට මග කියනු නොඅනුමානය.

ඒඩ්ස්වලින් ඔබ සුරක්‍ෂිතද?
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරචිචි

මානවයාට සම්ප්‍රේෂණය වන ලිංගාශ්‍රිත රෝග පිළිබඳව අවධානය යොමු කරන විට අප ව්‍යවහාරයෙහි සුලබව පවතින්නා වූ පද ද්විත්වයක් ලෙස HIV සහ AIDS හැඳින්විය හැකිය. එකී සුලබ ව්‍යවහාරයෙහි ඉතිහාසය පිළිබඳව සොයා බලන විට මූලිකවම හඳුනාගනු ලබන්නේ HIV වෛරසය නොව AIDS නම් රෝගී තත්ත්වය බවට කරුණු අනාවරණය වේ. ඒ 1981 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ඇතුළු බටහිර රටවල තරුණ කණ්ඩායම් අතර ශරීරයෙහි ප්‍රතිශක්තිය අඩු වීම හේතුවෙන් පැතිරී යන විශේෂ රෝගී තත්ත්වයන් පිළිබඳව වාර්තා වීමත් සමඟය. ඒ හේතුවෙන් එම රෝගී තත්ත්වය AIDS නමින් හැඳින්වීමට කටයුතු කර ඇත. එහිදී අනාවරණය කරගත් සුවිශේෂී කරුණක් වන්නේ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන තරුණ කණ්ඩායම් අනාරක්ෂිත ලිංගික චර්යා පැවැත්වූ පිරිස් බවක්ය. පසුව මේ පිළිබඳව දිගින් දිගටම සිදු කරගෙන යනු ලැබූ පරීක්ෂණ වලින් අනතුරුව 1983 දී රෝග කාරක වෛරසය පිළිබඳව අනාවරණය කරගැනීමට පර්යේෂණ කණ්ඩායම් සමත් විය. එය HIV වෛරසය ලෙසින් 1984 දී නම් කරන ලදී. HIV වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා 1987 වර්ෂයේදී වාර්තා වුවද ඔහු ආසාදිත තත්ත්වයට පත් වන්නේ විදේශ රටක් තුළ දී බව අනාවරණය විය. ඉන් වසර දෙකකට පසු එනම් 1989 දී ලාංකීය සමාජය තුළින් HIV ආසාදිත තත්ත්වයට ගොදුරු වූ පළමු ලාංකික ආසාදිතයා වාර්තා විය. මුල් කාලීනව එනම් 80 දශකය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බොහෝ ආසාදිතයන් විදේශ රටවලින් ආසාදිත තත්ත්වයට පත්වූවන් වූ නමුත් අද වන විට ශ්‍රී ලංකාව තුළින්ම ආසාදිතයන් බවට පත්වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. එලෙස HIV ආසාදිතයන් බවට පත්වන්නන් අතරින් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශය බවට බස්නාහිර පළාත පත් වී ඇති අතර සංඛ්‍යාත්මකව ගණනය කළහොත් 80 දශකයේ මුල් භාගය වන විට මාසයකට වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව අඩු අගයක් ගත්ත ද අද වන විට ආසන්න වශයෙන් මාසයකට හැටක් පමණ ආසාදිත වාර්තා වන අවස්ථාද දක්නට ලැබේ. එසේම 2023 වර්ෂය සලකන විට මෙම වර්ෂයෙහි මුල් කාර්තුව වන විට 165 ක් ද දෙවැනි කාර්තුව වන විට ආසාදිතයන් 181 එකක්ද තෙවැනි කාර්තුවේ දී 139 ද වශයෙන් HIV ආසාදිතයින් වාර්තා වී ඇත. මුල් කාලීනව මෙම ආසාදනයට ගොදුරු වූ පිරිස් වැඩි වශයෙන් මැදිවියේ පුද්ගලයන් වුවද අද වන විට අනාරක්ෂිත ලිංගික චර්යා හේතුවෙන් තරුණ පිරිස් ආසාදිත භාවයට පත්වීම හෙළ ගොස් ඇති අතර සමලිංගික චර්යාව ඔස්සේ රෝගය සම්ප්‍රේෂණය වන ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. එවැනි පසුබිමක මෙකී රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත්භාවය වැදගත් වේ.

HIV (Human Immunodeficiency Syndrome) වෛරසය යම් පුද්ගලයෙකුට ආසාදනය වූවායින් පසුව එම පුද්ගලයා HIV ආසාදිතයෙකු ලෙස හඳුන්වනු ලබයි. HIV වෛරස ආසාදනයෙහි අවසාන ප්‍රතිඵලය AIDS ( Acquried Immunodeficiency Syndrome) නම් රෝගී තත්ත්වය වේ. HIV (Human Immunodeficiency Syndrome) යන පදයෙහි සිංහල අර්ථය වන්නේ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය යන්නයි. එනම් මෙම වෛරසය මගින් මිනිසාගේ සහජයෙන් පිහිටා තිබෙන තත්ත්වයක් වන ප්‍රතිශක්තිය නොහොත් එදිනෙදා වැළඳෙන ආසාදන වලට එරෙහිව ක්‍රියා කිරීමට අපගේ ශරීරයේ පිහිටා තිබෙන ක්‍රමවේදය ඌණ කරනු ලබයි. HIV වෛරසය ශරීරයෙහි ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය වන සුදු රුධිරාණු සෛලයන්හී අඩංගු වසා සෛල තුළට ඇතුළු වී HIV වෛරස සංඛ්‍යාව එම සෛල තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර අවසානයේ දී වසා සෛල විනාශ වීමෙන් කාලයත් සමඟ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය අඩු වී විවිධ රෝග වලට බොහොම පහසුවෙන් ගොදුරු වන තත්ත්වයකට පත්වේ. මේ ආකාරයට HIV වෛරසය ඇතුළු වූ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය කාලයෙන් කාලයට අඩු වී යන විට අවසානයෙහි AIDS නම් රෝගී අවස්ථාවට පුද්ගලයා පැමිණෙයි. HIV ආසාදනය වීම නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වීම හේතුවෙන් ඇති වන්නා වූ රෝග ලක්ෂණ සමූහය AIDS (Acquried Immunodeficiency Syndrome-නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය) යන නමින් හැඳින්වේ. වැදගත්ම කාරණය වන්නේ HIV වෛරසය කිසියම් පුද්ගලයකුගේ ශරීරයට ඇතුළු වූවායින් පසුව AIDS රෝගී තත්ත්වයට පත්වීමට සාමාන්‍යයෙන් අවුරුදු අටක් දහයත් අතර කාලයක් ගත වීමය. අනිත් වැදගත්ම කාරණාව නම් HIV ආසාදනයට ලක් වෙන පුද්ගලයකු මුල් අවුරුදු තුන හතර හෝ පහ තුළ රුධිර පරීක්ෂණයකින් හඳුනාගතහොත් හැර රෝග ලක්ෂණ එතරම් පිටතට නොපෙන්වීමය. මෙලෙස HIV වෛරසය යම්කිසි පුද්ගලයකුගේ ශරීරයට ඇතුළු වූවායින් පසුව වෛරසය ආසාදනය වීමේ මුල් අවස්ථාවේ සිට AIDS රෝගී තත්ත්වය දක්වා වර්ධනය වීම තෙක් අවස්ථා කිහිපයක් පසු කළ යුතුය.

වෛරසය ශරීරගත වී සති 02-04 ත් අතර කාලයකින් පසුව එළඹෙන්නේ HIV ආසාදනයෙහි පාථමික අවස්ථාව (Primary HIV Infection) වේ. හිසරදය, උණ, ශාරීරික වේදනාව, සමෙහි දද, කැස්ස, වසා ගැටිති ඉදිමීම හෙවත් කුද්දෙටි ඇතිවීම, කෑම අරුචිය, වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණයන් මෙම අවධියේ දී දැකගත හැකිය. නමුත් සති දෙකක පමණ කාලයක් ගතවන විට මෙම රෝග ලක්ෂණ ඉවත්වී යෑම සාමාන්‍යයෙන් සිදුවේ. HIV වෛරසය ආසාදනය වීමේ දෙවන අවස්ථාව වන්නේ ප්‍රතිශක්තිය අඩු වීමේ ආරම්භක අවධිය (Early Immune Depletion) වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන අතරතුරදී සුළු අසනීප තත්ත්වයන්ට විටින් විට ලක්වීම මෙම අවධියේ දී සිදුවේ මීට අමතරව සිරුරේ විවිධ ස්ථානයන්හි වසාගැටිති ඉදිමීම ද දැකගත හැකිය. අනතුරුව එළඹෙන්නේ ප්‍රතිශක්තිය අඩු වීමේ අතරමැදි අවධිය (Intermediate Immune Depletion) වෙතටය. මෙම අවධියේ දි සිරුරෙහි ප්‍රතිශක්තිය සැලකිය යුතු පමණකින් අඩු වීමේ ප්‍රතිඵල ලෙස විවිධ රෝග කාරක ආසාදනයන්ට ලක්වීම සිදුවිය හැකිය. උණ, ශරීරයේ බර අඩුවීම, සමෙහි ඇතිවන විවිධ ආසාදන හෝ කැපොසි සාර්කෝමා නම් පිළිකා තත්ත්වයන්, මුඛයෙහි ඇතිවන දිලීර හා වෛරස ආසාදන, ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව හටගන්නා විවිධ ආසාදන මෙම අවධියේ දී දැකිය හැකිය. මීළඟට එළඹෙන්නේ ප්‍රතිශක්තිය විශාල ලෙස අඩුවීමේ අවධිය (Advanced Immune Depletion) ලෙස හැඳින්වෙන AIDS රෝගී තත්ත්වය වෙතටය. මෙම අවධිය තුළදී රෝගියා විවිධ රෝග කාරක ආසාදනයන්ට පහසුවෙන් ලක්වන අතර ශරීරයෙහි බර විශාල ලෙස අඩු වීම, මසකට වැඩි කාලයක් පැවතිය හැකි උණ හෝ පාචනය, පෙනහළු හැරුණුකොට සිරුරෙහි විවිධ ඉන්ද්‍රියන් හා පද්ධතීන්ට පැතිරුණු ක්ෂය රෝගය, අසාමාන්‍ය නියුමෝනියා රෝගී තත්ත්ව, අන්නස්‍රෝතය හෙවත් ඝලනාලය දක්වා පැතිරුණු කැන්ඩිඩා දිලීර ආසාදන, මධ්‍ය ස්නායු පද්ධතියෙහි විවිධ ආසාදන හෝ කලකට ඉහත දී ශරීරගත වූ පැපොල වෛරසය නැවත ක්‍රියාකාරී වීමෙන් ශරීරයෙහි තැනින් තැන හටගන්නා වූ හර්පීස් සොස්ටර් (Herpes Zoster) ආසාදනයන්ට ලක්විය හැකිය.

HIV වෛරස ආසාදිතයෙකු හඳුනා ගැනීමේ වැදගත්ම පරීක්ෂණය වන්නේ HIV රුධිර පරීක්ෂණයයි. එහිදී පරීක්ෂාවට ලක්වන්නේ HIV වෛරසය හේතුවෙන් රුධිරයේ හටගත් ප්‍රතිදේහ පිළිබඳවය. නමුත් වෛරසය ඇතුළු වූ වහාම එනම් සතියක්, දෙකක් ගතවී තිබුණ ද පර්යේෂණයට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිදේහ ශරීරය තුළ හට නොගැනීම හේතුවෙන් ආසාදිත තත්ත්වය නොපෙන්වීමට ඉඩකඩ තිබේ. එබැවින් මුල් කාලීනව මෙම පරීක්ෂණයේ නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට යම් කිසි කාලයක් අවශ්‍ය වූ නමුත් අද වන විට විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වෛරසය ඇතුළු වී සති හයක් ගත වූ පසු පර්යේෂණයට ඉදිරිපත් වී තමා HIV ආසාදිතයෙක් ද නැතිද යන වග තහවුරු කර ගැනීමට රෝගීන්ට හැකියාව පවතී. රුධිර පරීක්ෂාවෙන් පසුව යම්කිසි පුද්ගලයකුගේ ප්‍රතිඵලය positive වුවහොත් ඉන් පසුව HIV ආසාදනය තහවුරු කර ගැනීමේ විශේෂිත රුධිර පරීක්ෂණයක් සිදු කරයි. එම පර්යේෂණය සිදු කරනු ලබනුයේ ජාතික ලිංගාශ්‍රිත ඒඩ්ස් මර්දන වැඩසටහනට අයත් රසායනාගාර තුළ පමණි. එම පර්යේෂණයෙන් පුද්ගලයාගේ ආසාදිතභාවය තහවුරු වුවහොත් එම පුද්ගලයාව HIV සායන වෙත යොමුකොට ප්‍රතිකාර කිරීම ආරම්භ කරයි. එසේම යම්කිසි පුද්ගලයෙකු මෙම රුධිර පරීක්ෂණය සිදු කළ පසු ආසාදිතයෙකු නොවන බවට වාර්තාව පැමිණියහොත් එම පුද්ගලයාට නැවත මාස 3 කදී පමණ පරීක්ෂණයට ලක් වී තමා ආසාදිතභාවයෙන් නිදහස් ද යන වග සැකහැර දැනගැනීමට හැකියාව පවතී. මෙහිදී වැදගත්ම කාරණය නම් තමා HIV ආසාදිතයකු බවට සැකයක් හෝ පවතී නම් අදාළ පුද්ගලයා විසින් HIV රුධිර පරීක්ෂණය සඳහා යොමු වීමය. එහිදී ආසාදිතයකු වශයෙන් තමාගේ ජීවිතයට පවතින හානිය අවම කර ගැනීමට මෙන්ම සමාජය තුළ HIV වෛරසය සම්ප්‍රේෂණය වීම වළකාලීමට ද එම පුද්ගලයාට හැකියාව ලැබේ.

ඒඩ්ස්වලින් ඔබ සුරක්‍ෂිතද?

HIV ආසාදනය නිට්ටාවටම සුව කළ හැකි ඖෂධයක් ලොව කිසිදු රටක් මෙතෙක් සොයාගෙන නැත. දැනට භාවිතයේ පවතින ප්‍රතිවෛරස ඖෂධ (ANTI RETROVIRAL DRUGS) මඟින් සිදුවනුයේ HIV ආසාදිතයකු ගේ රුධිරයේ හටගන්නා වෛරස සංඛ්‍යාව අවම අගයක පවත්වා ගැනීම වේ. එලෙස ප්‍රතිවෛරස ලබාදිය යුතු අවස්ථාව තීරණය කරනුයේ ආසාදිතයාගේ ප්‍රතිශක්තිය පිළිබඳව සොයා බැලෙන CD4 සෛල සංඛ්‍යාව (CD4 CELL COUNT) හෝ වෛරස ප්‍රමාණය (VIRAL LOAD) යන විශේෂිත පරීක්ෂණයන් අදාළ ප්‍රතිවෛරස ඖෂධ නොමිලේ ලබා ගැනීමේ පහසුකම් මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ සලසා ඇති බැවින් කිසියම් ආසාදිතයින්ට කිසිදු මුදලක් වැය නොකර තම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ඇත.

නමුත් ඖෂධ හෝ පරීක්ෂණ මඟින් පමණක් AIDS රෝගය පාලනය කළ නොහැකි අතර ඒ සඳහා HIV සම්ප්‍රේෂණය වන ප්‍රධාන ආකාර පිළිබඳ දැනුවත්භාවය වැදගත්ය. මෙහිදී ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වීම සිදු වන්නේ අනාරක්ෂිත ලිංගික චර්යා හේතුවෙනි. එපමණක් නොව ආසාදිත රුධිරය ශරීරගත වීමකින් ද HIV ආසාදනය විය හැක. එය සිදුවිය හැකි එක් ආකාරයක් ලෙස ආසාදිතයකුට භාවිත කළ සිරින්ජයක් ඉඳිකටුවක් තවත් අයකුට භාවිත කිරීම දැක්විය හැකිය. නමුත් අද වනවිට එම තත්ත්වය අප රට තුළ දක්නට නොලැබේ. එබැවින් එහි අනතුරුදායී තත්ත්වය පිළිබඳව අප අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ එලෙස ආරක්ෂාකාරී ලෙස උපකරණ භාවිත කළ ද මත්ද්‍රව්‍ය නික්ෂේපණය කර ගැනීම සිදු කරන සමාජ කණ්ඩායම් අතර සිරින්ජර් පොදුවේ භාවිත කරනු ලබන අවස්ථා ඇත. එය අවදානම් සහිත තත්ත්වයක. එසේම රුධිර පාරවිලයනය සිදු කරන අවස්ථාවන්හී ද ආසාදිත රුධිරය තවත් රෝගියකුට පාරවිලයනය කළහොත් HIV සම්ප්‍රේෂණය විය හැකිය. නමුත් 80 දශකයේ මැද භාගයේ සිට පමණ ලාංකීය රුධිර පාරවිලයන සේවාව මඟින් ලබාගන්නා රුධිරය HIV පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව පාරවිලයන සඳහා ලබා දීම හේතුවෙන් ලාංකාව තුළ එවැනි සිදුවීම් වාර්තා වී ඇත්තේ කලාතුරකිනි. සම්ප්‍රේෂණය විය හැකි තෙවන ආකාරය වන්නේ ආසාදිත මවකගෙන් දරුවාට ආසාදනය ලැබීමය. නමුත් ආසාදිත මවකට ලැබෙන දරුවා HIV ආසාදනයට ලක් වීමේ අවදානම තිබෙනුයේ 20%-45% අතර ප්‍රතිශතයක් පමණ. එලෙස දරුවා ආසාදනයට පත්වීම ගර්භනී අවස්ථාවේ දී ප්‍රසූතියේදී හෝ ප්‍රසූතියෙන් පසු මවුකිරි දීමේ දී සිදු විය හැකි ය. එහෙත් ගර්භණී මවගේ ආසාදිතභාවය කලින් හඳුනාගත් විට දී දරුවා ආසාදනය වීමේ අවදානම 8%ක ප්‍රතිශතයක් දක්වා අඩු කර ගැනීමේ හැකියාව පවතියි. එවැනි අවස්ථාවකදී ඒ සඳහා මවට ප්‍රති වෛරස ඖෂධ ලබාදීමත් සිසේරියන් සැත්කමකින් දරු උපතට ඉඩ සැලසීමත් උපතින් පළමු සති කිහිපය තුළදී දරුවාට ද ප්‍රතිවෛරස් ඖෂධ සැපයීමත් සිදුකරයි. මෙහිදී කිසියම් ගර්භනී මවකට තමා HIV ආසාදිතයකු බවට සැකයක් පවතී නම් මාතෘ සායනයේ දී සිදුවන වෙනත් රුධිර පරීක්ෂණ සඳහා යොදා ගන්නා රුධිර සාම්පලයෙන්ම HIV රුධිර පරීක්ෂාව සිදු කරගැනීමට ඉඩකඩ හිමි වේ. මීට අමතරව HIV වෛරසය මිනිස් ශරීරයෙන් බැහැර වී බාහිර පරිසරයට නිරාවරණය වීමකදී වෛරසයෙහි ජීවී ස්වභාවය නො පවතින හෙයින් ස්පර්ශයෙන් පොදු පහසුකම් පරිහරණය කිරීමෙන් ආසාදනය සම්ප්‍රේෂණය වීමේ කිසිදු හැකියාවක් නොපවතී. එසේම මදුරුවන් ඇතුළු වෙනත් සත්වයන්ගේ සිරුර තුළ පවා වෛරසයට ජීවී ස්වභාවයෙන් පැවතිය නොහැකි හෙයින් රෝගය මදුරුවන් මගින් පැතිරීමේ අවකාශයක්ද නොමැත. එබැවින් ඉහත ආකාර තුනට පිටතින් වෙනත් කිසිදු ආකාරයකට HIV ආසාදනය සිදුනොවන බව අප දැනසිටිය යුතු කාරණාවකි.

එසේම HIV ආසාදනය වූ පුද්ගලයෙගේ ආයු අපේක්ෂාව බෙහෙවින් අඩු මට්ටමක පවත්නා බවට වැරදි මතයක් සමාජගත සමාජ ගත වී තිබුණ ද නිසියාකාරයෙන් ප්‍රතිකාර ලබාගත් පසුව ඔහුට හෝ ඇයට සැලකිය යුතු කාලයක් ජීවත් ජීවත්වීමට හැකියාව පවතී. ලංකාව තුළ වුවද අවුරුදු 15 – 20 පමණ නිවැරදි ප්‍රතිකාර ගනිමින් මෙම රෝගයත් සමග ජීවත් වන පුද්ගලයන් බොහෝ සෙයින් දක්නට ලැබෙයි.

අද වන විට ලෝකයේ බොහෝ රටවල මෙම රෝගී තත්ත්වය පාලනය කර ගනිමින් සිටින අතර ඒ සඳහා ආසාදිතයන් හඳුනා ගැනීමට ඉදිරිපත් වීමට පෙළඹවීම, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් ලිංගික ශ්‍රමිකයන් වැනි අනතුරුදායී කණ්ඩායම් ඉලක්ක කරගනිමින් නිරන්තරයෙන් විශේෂ දැනුවත් කිරීම සිදු කරනු ලබයි. ලංකාව තුළ ද මෙම දැනුවත් කිරීම් අතීතයේ සිට මේ දක්වාම යම් තරමකට සිදු වුවද පොදු දැනුවත් කිරීම යන්න නිසියාකාරව සිදුවේදැයි සැක සහිතය. එබැවින් HIVසම්ප්‍රේෂණය වීම අවම කිරීමට රෝගියා වෛද්‍යවරයා සහ බාහිර සමාජය යන අංශ තුනටම විශාල වගකීමක් තිබේ. එහිදී රෝගියා විසින් අදාළ පර්යේෂණ සිදු කොට තම ආසාදිත භාවය තහවුරු කර ගැනීමට යොමුවීමත් ඉන්පසුව නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලබාගනිමින් අදාළ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් තම රෝගය තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීම වළක්වාලීමට කටයුතු කළ යුතුය. එසේම වෛද්‍යවරයා විසින් රෝගියාගේ අනවශ්‍ය බිය දුරු කොට මානසික තත්ත්වය හොඳ ආකාරයෙන්ද ආකාරයෙන් පවත්වා ගනිමින් ප්‍රතිකාර සඳහා රෝගියා යොමු කරවීමත් නිසි වෛද්‍ය උපදෙස් නිරන්තරයෙන් ලබාදීමත් සිදු කළ යුතුය.

එච්. කේ. එස්. නවෝදා හඳරාගම
ජන සන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment