ග්‍රහ අපලයන් යැයි කියූ සැනින් මුලින්ම සිහිවන්නේ තමාගේ ජන්ම පත්‍රය යි. තමාගේ ජන්ම පත්‍රයට අනුව තම ජීවිත කාලය පුරා ම නොයෙකුත් ග්‍රහ අපල තත්ත්තවයන් ඇතිවන අතර, ඒරාෂ්ටක අපල යනු ඕනෑම පුද්ගලයකුට තම ජීවිත කාලය තුළ බලපාන භයානක අපල තත්ත්වයකි. ජ්‍යොතිෂය පිළිබඳ අල්ප දැනුමක් හෝ ඇති කෙනකු ඒරාෂ්ටක කියූ සැනින් බිය වෙති. නමුත් තමාට අපල කාලයක් ඇති වන්නේ කවදා ද යන්න පෙර සිට හඳුනාගෙන එයට කළ යුතු නිසි පිළිවෙත් සිදු කරන්නේ නම් සහ පස්පවින් වැළකී ධර්මිෂ්ට ව ජීවත් වන්නේ නම් ඒරාෂ්ටකයට බිය විය යුතු නැත. එනම් ඒරාෂ්ටකය නිසා ඇතිවන භයානක විපත් තත්ත්වයන් ඒවා සිදුවීමට පෙර වළක්වා ගැනීමේ හැකියාව පවතින බවයි.
කෙසේ නමුත් ඒරාෂ්ටකය කුමන අවස්ථාවේ උදාවේ ද? එහි බලපෑම කෙසේද? යන කරුණු ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වේ. ඒරාෂ්ටකය යනු ශනි ග්‍රහයාගේ ගෝචර ගමන පදනම් කරගෙන ඇති වන්නා වූ තත්ත්වයකි. එනම් ශනි ග්‍රහයා ලග්න භාවයත් ඉන් දෙවැන්නත්, 12 වැන්නත් යන ස්ථානවල ගෝචර වීමත් (ලග්න ඒරාෂ්ටකය) ලග්නයෙන් 8 වන භාවය ගෝචර වීම (ලග්න අෂ්ටම), උපතේදී සඳු සිටින භාවය ගෝචර වීම (ජන්ම ඒරාෂ්ටකය) හා උපතේදී සඳු සිටී භාවයෙන් 8 වන භාවය ශනි ගෝචර වීම (ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය) යන අපල ලෙස හඳුන්වයි.
මෙහිදී භාවයක අංශක 30ක් ඇති හෙයින් එක භාවයක ගමන් කිරීම සඳහා ශනි ග්‍රහයාට අවම වශයෙන් වසර 2 1/2ක කාලයක් ගත වේ. මෙහිදී ඒරාෂ්ටකය තීරණය කිරීම සඳහා ජන්මියාගේ ලග්නය හා චන්ද්‍ර ස්ඵුටකය දැන ගත යුතු වේ. එයට අනුව ඒරාෂ්ටකයට අදාළ වන භාවයන් තීරණය කළ යුතු අතර එම ස්ථානවලින් ශනිගේ ගෝචරය පදනම් කරගෙන ඒරාෂ්ටක අපලය ලබන කාලය නිවැරදිව තීරණය කළ යුතු වේ. එනම් සෙනසුරු ග්‍රහයා රාශිය මාරු වූ පමණින් ඒරාෂ්ටකය උදාවීම හෝ අපලය අවසාන වීම සිදු නොවේ. මෙය භාව සංකල්පය වේ.
යම් කෙනකුට ඒරාෂ්ටකයක් ලැබූවිට, එම ඒරාෂ්ටකය කාලය තුළ ගෘහ ජීවිතය සම්බන්ධ ගැටලූ ඇතිවීම, හිදිසි අනතුරු හා විපත් අධ්‍යාපනයේ බිඳ වැටීම්, ව්‍යාපාර බුන්වත් වීම, නිකරුණේ නින්දා අපහස ලැබීම, නොසිතූ ලෙස රෝග ඇතිවීම, චිත්ත පීඩා ඇති වීම, තම ආර්ථික තත්ත්වය පහත වැටීම, හෝ මරණය පවා ඇති විය හැක. එසේම ඒරාෂ්ටක කාලය තුළදී ධනය ලැබිම, විභාගවලින් ජයග්‍රහණ ලැබීම, ගේ දොර ඉදිකිරීම් සිදුකිරීම්, යාන වාහන මිලදී ගැනීම හෝ විවාහ මංගල කටයුතු පවා සිදු විය හැක. මෙයට හේතු වන්නේ කේන්ද්‍රයේ සෙනසුරුගේ බල දුබල තාවය, චන්ද්‍රයාගේ බල දුබල තාවය, ඒරාෂ්ටක කාලය තුළදී ගත කරන මහ දශා අන්තර් දශාවල බල දුබලතාවය, අනෙකුත් ග්‍රහයන්ගේ ගෝචර ගමන ආදිය පදනම් කරගෙන ඉහත සඳහන් කළ සිදුවීම් සිදුවිය හැක. මෙහිදී ජ්‍යොතිෂවේදියා විසින් ඉහත සඳහන් කළ සියලූම දේ සම්බන්ධව නිවැරදි ලෙස ගණනය කිරීම සිදු කළ යුතු වේ. උදාහරණයක් ලෙස ජන්ම පත්‍රයක චන්ද්‍රයා වෘශ්චික රාශියේ 20 වන අංශකයේ තැන්පත්ව ඇතැයි සිතමු. (චන්ද්‍ර ස්ථුටකය වෘශ්චිකයේ අංශක 20 එවිට ජන්ම ඒරාෂ්ටක කාලය වන්නේ ශනි වෘශ්චික රාශියේ අංශක 5 සිට ධනු රාශියේ අංශක 5 දක්වා ගමන් කරන කාලපරිච්ෙඡ්දය යි. මෙහිදී ඒරාෂ්ටකයේ බල දුබල භාවය තීරණය කර ගැනීමේදී භාව ඵලයට පදනම්ව රාශි ඵලය ගළපා ගත යුතු වේ. පිළිවෙළින් ශනි, මේෂ, කටක, වෘශ්චික, සිංහ රාශිවල දුර්වල වේ. ඉහත සඳහන් කළ ස්ථානයක් (ඒරාෂ්ටකයට අදාළ භාවයක්* ඉහත රාශියකට සම්බන්ධ වුවහොත් ඒරාෂ්ටකය බලවත් වේ. එවිට අයහපත් ප්‍රතිඵල ගෙන දේ. එසේම, ඉහත සඳහන් කළ රාශියක චන්ද්‍රයා පිහිටිවිට ඒරාෂ්ටකය බලවත් වේ. එසේම ඉහතන සඳහන් රාශියක රාහු සඳු සමග යෝග වීම හෝ ලග්නය 12 වැන්න, 8 වැන්න, 2 වැන්න (භාවවල) යන ස්ථානවල පිහිටියේ ද ඒරාෂ්ටකයේ බලපෑම අයහපත් වේ.
එසේම අමාවක දිනයක හෝ ඊට ආසන්න දිනයක ඉපදීම එනම් රවි චන්ද්‍ර යෝග වූ අයගේ ජන්ම ඒරාෂ්ටකය හා ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය වඩා අයහපත් වේ. මෙහිදී මේෂ හා වෘශ්චික ලග්න හිමියන්ට මෙය ප්‍රබල යෝගයක් වුවත් (අමාත්‍ය යෝගය හා ධර්මකර්මාධිපති යෝගය) ඒරාෂ්ටකය ලැබූවිට ඔවුන්ට කරදර බාධා ඉතා අධික වේ. මීට අමතරව ජන්මියාගේ ශනි ප්‍රබල නම් (තුලා, මකර, කුම්භ) රාශියක ශනි ඇතිවිට ඒරාෂ්ටකයේ බලපෑම අවම වේ.
සෑම ජ්‍යොතිෂ න්‍යායකට ම අනුව ඒරාෂ්ටකය පිළිබඳව යහපතක් ලියවී නොමැති අතර (නාඩි සම්ප්‍රදායික ජ්‍යොතිෂය, කි‍්‍රෂ්ණමූර්ති, භාව, ජෙමිණි ආදී) ඒරාෂ්ටකය කාලෙඡ්ද කිරීමේදී නිරෝගිකම සැප සම්පත් ලබාදෙන, යහපත් කටයුතු සිදුවන කාල සීමාවන් ඇත. එක්ව සමභාවිතයට අනුව සෑම පුද්ගලයකුගේම ජීවිත කාලයෙන් හරි අඩක් පමණ ඒරාෂ්ටක අපල ඇත. එහිදී තදබල අපල ජීවිත කාලයෙන් අඩකට වඩා පවතීද? මරණය සිදුවන්නේ එක් වරකි. නමුත් ලෙඩ රෝග ඇතිවීම කීප වරක් ඇති විය හැක. ඒවා දීර්ඝ කාලීනව පවතින ඒවා සහ කෙටි කාලීනව පවතින ඒවා වශයෙන් කොටස් කළ හැක. එහිදී ඒරාෂ්ටකයෙන්ම මෙවැනි දේ සිදු නොවේ. එවැනි අවස්ථාවක මහ දශාව, අන්තර් දශාව, ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම පාදක කරගෙන, පලාපල කථනය සිදුවිය යුතුය. දුර්වල අයහපත් ග්‍රහයන්ගේ ලග්නයට අහිතකර ග්‍රහයන්ගේ මහ දශා, අන්තර් දශාවල සෙනසුරු ඒරාෂ්ටකයක් උදා වුවහොත් ගින්දරට දර දැමූ විට ගින්න විශාල වනවා සේ ජන්මියාට අනතුරු කරදරවල බලපෑම ඉතා අධික වී මරණය පවා ගෙන දිය හැක. ඒරාෂ්ටක කාලවලදී ධර්මිෂ්ට වුවහොත් එහි අයහපත් බලපෑම අවම කරගත හැකි අතර වත්පිළිවෙත් කිරීම, යන්ත්‍ර පැළඳීම මගින් මෙහි බලපෑම අවම කරගත හැක.
කර්ම කාරකය ලෙස හඳුන්වන දුකට අධිපති ශනි, යහපත් වූ ජන්මියාට යහපත් ප්‍රතිඵල ලබා දෙයි. එනම් ඒරාෂ්ටකය අවස්ථාවක් කර ගනිමින් අධ්‍යාපනය ලැබීමට, නිවාස ඉදිකිරීමට, විවාහ ජීවිතයට ඇතුළු වන්නට, දරුවන්ගේ කටයුතුවලට කැප වන්නට මෙන්ම විශාල ඉඩම් වගා කිරීම වැනි බොහෝ දුක් විඳීමට සිදු වන්නා වූ කටයුතු කිරීම තුළින් ඒරාෂ්ටකය ආයෝජනයක් කර ගැනීමට ධර්මිෂ්ට පුද්ගලයන්ට හැක. ධර්මිෂ්ට වීම යනු පන්සිල් සුරැුකීම, මානසික ඒකාග්‍රතාවය රඳවා ගැනීම වේ. එනම් ඒරාෂ්ටක කාලසීමාව තුළ භාවනා කිරීම ඉතා යහපත් වේ. මීට අමතරව ඒරාෂ්ටක අපල සඳහා කරන විශේෂ පිළිවෙත් මගින් ද ඒරාෂටක අපල මඟ හරවා ගතහැකි අතර ජන්මියාගේ මහ දශා, අන්තර් දශා, පාදක කර ඊට අදාළ වත්පිළිවෙත් කිරීම මගින් මෙම ඒරාෂ්ටක අපල මඟ හරවා ගත හැකි වේ. ඔබගේ ජන්ම පත්‍රයට අදාළ වත්පිළිවෙත් සිදු කරන අතරතුර, පහත පිළිවෙත් සිදුකර ඔබගේ ඒරාෂ්ටක අපල තත්ත්වය මඟ හරවා ගන්න.
සෙනසුරාදා දිනක එළතල හා කළුතල 50ට බැගින් ගෙන ඒවා එළඟි තෙලෙන් අනන්න. පසුව එම මිශ්‍රණය කුඩා පිරිසිදු රෙදි කැබැලි 3කට දමා පොට්ටනි 3ක් සාදා ගන්න. එම පොට්ටනි 3 ගිනි කබලක දමා එය ගිනි ගන්නාවිට ගිනි කබල තම හිස වටා තුන් වරක් කරකවන්න. පසුව එය ගිනි ගෙන අවසන් වූ පසු ඉතිරි වූ අළු ටික මහ මුහුදට ගසා ගෙන යෑමට දැමිය යුතුය. මෙය ඒරාෂ්ටකය සඳහා කළ යුතු ප්රතිඵලදායි පිළිවෙතකි.