දරුවන් විදේශගතවීම දිනෙන් දින ඉහළ යෑමත්, මෙරට දරු උපත් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් පහත යෑමත් දැවැන්ත සමාජ ප්‍රශ්නයකි. එහෙත් එහි පවත්නා භයංකාරත්වය ඊනියා බුද්ධිමතුන් කිසිවෙකුත් නිසි ලෙස හඳුනාගෙන ඇති බවක් නොපෙනේ. අනෙක් අතට ඩොලර් සෙවීම මිස කඩාවැටෙන පවුල් සංස්ථා හෝ අහිමිවී යන මානව සම්පත පිළිබඳ සංවේදිතාවක් ආණ්ඩුවට හෝ නැත. එසේ හංකවසියක් හෝ ඇත්නම් මේ මොහොතේ කළ යුත්තේ මෙම ප්‍රශ්නය තවදුරටත් ඔඩුදුවන්නට ඉඩ නොදී මේ මොහොතේ ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමය. ආදරණීය මව්වරුන්ගේ පියවරුන්ගේ දෑස්වල හංගා සිටින ර්‍ණකඳුළු කැට, ඔවුන්ගේ වේදනාව ඩොලර්වලට හිලව් කරන්නට හැකියාවක් නැති බව වගකිවයුත්තන් පැහැදිලිවම පිළිගත යුතුය. එහෙත් එවැනි පිළිගැනීමක් තාමත් දැකගන්නට හැකියාවක් නැත.
ගෙවීගිය 2024 වර්ෂය යනු මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබිණි. ඒ අනුව ගෙවුණු වසරේ පුද්ගලයන් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතව ඇත. එයින් පිරිමි ශ්‍රමිකයන් 185,162 හා කාන්තාවන් 127,674 ක් වන බව නිල දත්ත විසින් අනාවරණය කරන අතර පසුගිය වසර 6 තුළ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබේ. මෙම පිරිසෙන් අතිබහුතරය වයස අවුරුදු 20-40 අතර පිරිස බවත්, ඔවුන් ශ්‍රම ශක්තියෙන් ඉහළ වටිනාකම සහිත පිරිස බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.
තරුණ තරුණියන් විදේශගතවීම කෙරෙහි විවිධ සාධක බලපානු ඇත. ආර්ථික ගැටලු, පවුල් පසුබිම, මෙන්ම රටේ පොදු දේශපාලන, සමාජ – ආර්ථික වටපිටාවද ඊට ඉවහල් වන බව කිව හැකිය. මන්දයත් අද දවසේ තරුණ දරුවන් සිටින මව්පියවරුන්ගේ නිතර මුවඟ රැව්දෙන වචන වී ඇත්තේ ‘අපේ දරුවන්ට මේ රටේ කවදා හොඳ අනාගතයක් හැදෙයිද?’ කියල නම් කියන්න බෑ” යන්නය. ඒසේත් නැතිනම් මේ රටේ කවදාවත් අනාගතයක් නම් නෑ යන්නය. මේ හේතුව නිසාම ගේ දොර, ඉඩකඩම්, යාන වාහන පවා උකසට තබමින් හෝ සින්නකරවම විකුණමින් බොහෝ මව්පියන් තම දරුවන්ගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරදෙන්නට කටයුතු කරනු දකින්නට ලැබේ. ජාවාරම්කරුවන්ට හසුවීමෙන් හෝ ගමනාන්ත රටේ සුදුසු රැකියා පරිසරයක් හා නවාතැන් පරිසරයක් නොලැබුණු බොහෝ දෙනකුට අතැම්විට වසර ගණනාවක් දුක් විඳ හිස අතින් ආපසු එන්නට සිදුවෙයි. තවත් අයට ජීවිත අවදානමක් පවා නැතුවා නොවේ. ඒ සියලු අවදානම් සහගත තත්ත්වයන් තුළ වුවද, කිසිදු ගැටලුවකට ලක්නොවී නීත්‍යනුකුල මාර්ගය ඔස්සේම විදේශගත වන්නට අවස්ථාව උදා වුවායයි සිතුවද, ගැටලු එතැනින් නිමාවන්නේ නැත. ඇතැම්විට එය තවත් ප්‍රශ්න රාශියක ආරම්භයද, විය හැකිය.
මව්පියන්ට තම ආදරණීය දරුමල්ලන් තරමට වටිනා අන් සම්පතක් ලොව ඇත්තේ නැත. කුඩා කාලයේ සිට ඇතැම්විට තමන් කුසට නිසි අහරක් නොගෙන පවා තම දරුවන් බඩගින්නේ නොතබන මව්වරුන් පියවරුන් කොතෙක් ඇතිද? එහෙව් මව්පියන් තම දරුවන් වෙනුවෙන් ජීවිතයේ හොඳම කාලය දුක් වේදනා විඳිමින් දරුවන් වෙනුවෙන්ම ඇප කැපවී සිට ජීවිතයේ අවසාන කාලයේ ලෙඩකට දුකකට හෝ තම දරුවන් ළඟ හිඳිවී යයි බලාපොරොත්තු තබා ගැනීම වැරදිද? නැත. කිසිසේත්ම නැත. මරණාසන්න මොහොතේදී තම ආදරණීය පුතුගේ හෝ දියණියගේ අතින් වතුර උගුරක් බීම ඔවුන්ගේ අවසන් ප්‍රාර්ථනය නොවේ යයි කාට නම් කිවහැකිද? එහෙත් දරුවන් විදේශගතවීමේ ප්‍රවණතාව දිනෙන් දිනම වර්ධනය වෙද්දී මෙකී අහිංසක මව්පියන්ගේ අවසන් අවිහිංසක ප්‍රාර්ථනාව හෝ ඉටුවන්නේ ඉතාමත් කලාතුරකිනි. විදෙස්ගත දරුවන්ට තම මව්පියන් බලන්නට පැමිණීමට හැක්කේ වසරකට හෝ වසර දෙක තුනකට වතාවක් පමණකි. දුරකථන ඇමතුමකින් දුක සැප විමසීමට වඩා දෙයක් කරන්නට ඔවුන්ට හැකියාවක් ඇත්තේ නැත. සැබවින්ම බාල වියේ කට ගෑ රං කිරි කටේ ණය ගෙවන්නට ඔවුන්ට කිසිදාක හැකිවන්නේ නැත. මන්ද යත් මනුෂ්‍ය ජීවිතය, මව්පිය සෙනෙහස යන කවරදාක හෝ මිල මුදලට, ඩොලරයට ලංසු තබන්නට හැකියාවක් ඇති දෙයක් නොවේ. මේ නිසාම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටවීමේ ර්‍ණපර්යන්තයේ බිම කඳුළුවලින් තෙත් නොවනු දිනයක් තිබිය හැකි නොවේ. මෙම ගැට ලු ව එතරම්ම ඛේදජනකය.
කඩාවැටෙන, ඉහිරෙන පවුල් ජීවිත, දරුවන්ට අහිමිවන ආදරය රැකවරණය නිසාම දරුවන් දුරාචාරයට යොමුවීම හෝ අපචාර ඇතුළු දුරාචාරයන්ට පහසුවෙන් ගොදුරු කරගැනීමට පවත්නා හැකියාව, පිළිබඳ මානුෂීය තක්සෙරුවක් කිසිදාක අපට තිබුණේ නැත. දැනටත් නැත. මේ නිසාම වත්මන් ආණ්ඩුවේ බලධරයින් පවා විදෙස්ගත වන්නන් තවදුරටත් ඒ සඳහා පොළඹවන වැඩසටහන්, පහසුකම් සැලසීම මිස එයින් පුද්ගලිකව පවුල් හා ජීවිතවලට සිදුවන දේත්, පොදුවේ බුද්ධිගලනය ඇතුළු රටේ මානව සම්පතට වෙන දේත්, ගැන නිසි තක්සේරුවකින් කටයුතු කරනු දක්නට නොලැබේ. එය ඉතාම ඛේදනීය තත්ත්වයකි. නොඒසේනම් පුනරුදයක් උදා වූ බව පවසමින් පුරසාරම් දොඩන අතරේ තවදුරටත් තරුණියන්, කාන්තාවන් මැදපෙරදිගට පටවා රටට විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයා ගන්නට මාන බලන්නේ නැත.
පුරා දශක ගණනාවක් පය බරවාට පිටිකර බෙහෙත් බඳින්නා සේ රජයද, පෞද්ගලික ඒජන්සිද, අතරමැදි තැරැව්කරුවන්ද, විදෙස්ගතවීමම ප්‍රවර්ධනය කරනු දකින්නට ලැබේ. රටට හෙණ ගැහුවත් තමාට පළක් නැතැයි සිතමින් විදේශයන්ට වී සිටින පිරිස්ද, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මව්පිය සෙනෙහස ගැන චාටු කතා කියන්නටත්, රට ගැන ආඩම්බරවීමටත් උනන්දුවෙනු පෙනෙයි. දිය නටනා තෙක් සැණකෙළි කෙළින කකුළුවන් සේ තාවකාලික වින්දයක් ලබන බව සත්‍යයක් වුවද, සමාජයක් ලෙස අප ඇතුළතට කඩාවැටෙන බව හඳුනාගන්නට තවත් කාලයක් ගත වෙනු ඇත. බෝතලය අලුත් වුවද ඇත්තේ පරණ වයින්ම ය. විදෙස්ගතවීම මුළුමනින්ම වැරදියි යන්නට හෝ ලොව පවතින සාහාසිකම අපරාධය එය යන්නට හෝ අර්ථදැක්වීමක් හෝ පිළිගැනීමක් මෙයින් අදහස් නොකෙරෙයි. වෙනත් අයුරකින් කිවහොත් හුදු මතුපිටින් බලනවාට වඩා වැඩි යමක් මෙහි අන්තර්ගත බව අප පිළිගත යුතුය. සාමාජීය ලෙස සිදුවන පරිහාණිය ගැනද, අපට නිසි තක්සේරුවක් නැති නම් රටක් ලෙස කිසිසේත්ම ඉදිරියට යා නොහැකිය. මෙහි අනෙක් පස ඛේදවාකය නම් වාර්ෂික උපත් අනුපාතය සැලකිය යුතු පහළ මට්ටමටක යාමය. එනම් සිටින දරුවන් තම මව්පියන් මෙරට තනිකොට විදෙස්ගතවීමෙන් රටේ ශ්‍රම සම්පත බුද්ධිගලනයක් තුළින් අහිමිවීමය. ඊට සමගාමීව අනෙක් පසින් දරු උපත් සිදුනොවීමෙන් මෙරට වැඩිහිටි ජනගහණය පිම්මේ වර්ධනය වීමය.
පුරෝකථන ඇතත් නැතත් 60%ක පමණ වැඩිහිටි ජනගහණයක් ඉදිරි වසර කිහිපය තුළ නඩත්තු කරන්නට අපට සිදුවනු ඇත. සුබසාධන අංශය ඉතාමක් පහළ අඩියක පවත්නා, ආර්ථික වශයෙන් බංකොළාත්වී යාම්තමින් හිස ඔසවන රටක අතිවිශාල ධනස්කන්ධයක් ඊට යට කරන්නට හැකියාවක් අපට ඇත්දැයි විමසුම් ඇසින් බැලිය යුතුය. නව පරපුරේ ගැබිණි මාතාවන් එන්න එන්නම අඩුවීම දකින්නට හැක්කේ කොළඹ අවට පමණක් නොවේ. කොළඹින් පිට ගම්බද පරිසරය තුළ පවා මෙම සංඛ්‍යා දත්ත නිසි ලෙස අනාවරණය වෙයි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගෙයින් ගෙට ගොස් ‘තාම නැද්ද වෙනසක්’ යයි අසන පණිවිඩකරුවන් පමණක් බවට පත්ව ඇත. මේ පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය මගින්ද, කරුණු අනාවරණය කර තිබිණි. එකී නිල සංඛ්‍යා දත්ත මෙසේය.
ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතිකයේ සැළකිව යුතු අඩුවීමක් වාර්තා වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. ඒඅනුව මෙරට වාර්ෂික උපත් අනුපාතය 350,000 සිට 250,000 දක්වා අඩු වී ඇති බව ඔහු අනාවරණ කරයි. ඔටිසම් රෝගයට අමතරව පිළිකා, දියවැඩියාව වැනි රෝගවලට ද දරුවන් ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව ද හෙළි වී ඇතැයි ඔහු සඳහන් කරයි. පවතින තත්ත්වය යටතේ දරුවන් ආරක්ෂා කරගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් අවධාරණය කරයි. තත්ත්වය මෙසේ වීනම් දරුවන් රට පටවා ඩොලර් සෙවීම ඒකායන අරමුණ කර ගැනීම අපට කෙතරම් හිතකර වනු ඇත්දැයි යළි යළිත් සිතාබැලිය යුතු නෙවේද?
අතීතය කෙසේ වෙතත් අප වර්තමානය ගැන විමසිලිමත්වෙමින් ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ කාලයේ දරුවන් දහ දොළොස් දෙනකු වදන අම්මලා සිටියද, මේ යුගයේ දරුවන් දෙදෙනකු හදන අම්මලා වුවද ඇත්තේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්න මෙන් කලාතුරකිනි. ගමක් මැනවින් නිරීක්ෂණය කරනු ලැබුවහොත්, ප්‍රදේශයක්, රටක් තුළ කෙසේදැයි අනුමාන කළ හැකිය.
රටේ වටිනාම තරුණ ජවයෙන් යුතු ශ්‍රම ශක්තිය නොදන්නා රටකට යවා, රටේ සංවර්ධනයට දායක කරගත හැකි ශ්‍රම සම්පතක් අපතේ යවා තිබේ. එක් පසෙකින් තමන්ගේ ජීවිත කාලයම පරදුවට තබා රැකගත්, ආදරණීය දරු දැරියන්ගේ ආදරය රැකවරණය අහිමිව සමාජයේ කුඩාම ව්‍යුහය වන පවුල් ඒකකය අමු සොහොනක් බවට පත්කරගෙන තිබේ. තවත් පසෙකින් දින දින ඉහළ යන ජීවන වියදම, ආර්ථික ගැටලු, තරුණ අසහනය, අපේක්ෂාභංගත්වය ආදී බොහෝ සාධක නිසාම දරුවන් වැදීම අත්හිටවූ හෝ බොහෝ කාලයකට කල්දැමූ තරුණ මව්පියන්ය. එවිට සිටින අය අහිමි කරගනිමින්, හිමිවන්නට සිටින අයද අහිමි කරගනිමින් වගේ වගක් නොමැතිව මේ මොහොතේ දෛනික ජීවිතය ගත කරන අපට අනාගතයේ මේ රටේ වගකීම උසුළන්නට නිදුක් නිරෝගී, මනුෂ්‍යත්වයෙන් හා ආදරයෙන් පිරුණු ජීවිත සහිත පුරවැසියන් දකින්නට හැකියාවක් ඇත්දැයි විශ්වාසය තැබිය නොහැකිය. සැබවින්ම මෙම ඛේදවාචකය හුදු සරල සංසිද්ධියක් නොව රටේ අනාගතයට දරුණු ප්‍රතිඵල ගෙන ආ හැකි කාරණයක් බවත්, අප සෑම සියලු දෙනාගේම අවධානය මේ කෙරෙහි යොමුවිය යුතු බවත් අවසාන වශයෙන් ලියා තබමි. එසේ නොමැති වුවහොත් දරුවන්ට ඉසුරු පතා තමන්ගේ මුළු ජීවිතයම කඳුළු සළන ආදරණීය මව්පියන් දිවා රෑ වගුරන කඳුළුවලට, හෙළන සුසුම්වලට ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් එකතු නොවෙනු ඇත.
- ආචාර්ය රංග ජයකොඩි