ඒ ක්‍රෙඩිට් කාඩ් නෙවෙයි… රත්තරං තීරු… ලලනාවක් දාපු අමුතු සෙල්ලම…

520

වටිනාකම රුපියල් කෝටි 11ට අධිකයි
සැකකටයුතු කාන්තාව ඩුබායි සිට ඉන්දියාව හරහා මෙරටට පැමිණි තැනැත්තියක්

ඉකුත් 14 දා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික කාන්තාවක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සැකකටයුතු කාන්තාව සහ ඇය සන්තකයේ තිබූ රුපියල් කෝටි 11ට අධික රන් තොගය අත්අඩංගුවට ගත් අතර ඒ හරහා නීති විරෝධී අයුරින් මෙරටට රත්තරන් රැගෙන ඒමේ නවතම ක්‍රමය පිළිබඳ නිවැරැදි අනාවරණයක් ද සිදුකර ගැනීමට සමත්ව ඇත.

නීති විරෝධී අයුරින් මෙරටට රන් රැගෙන එන ආකාරය පිළිබඳ ඉතිහාසය විවිධාකාර ය. ඒ විවිධත්වය තුළ වැඩි ඉඩකඩක් පවතින්නේ ගුවන මතින් මෙරට නීති විරෝධී ආකාරයෙන් රන් රැගෙන ඒම පිණිස ය. එම ඉතිහාසය පිරික්සීමේ දී ඇතැම් ගුවන් මගීන් ගුද මාර්ගය තුළ සඟවා ගනිමින් මෙරටට රන් රැගෙන ආ බව සඳහන් පුවත් ද වාර්තා වී ඇත. ඊට අමතරව විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් එම කටයුත්තේ නිරත වූ පිරිස් පිළිබඳවත් එම ඉතිහාසයේම සඳහන්ව ඇත. එවැනි පිරිස් ගුවන්තොටුපළ රේගු අංශය විසින් වරින් වර අත්අඩංගුවට ගත් අවස්ථා මෙන්ම නීතියේ ඇසට වැලි ගසමින් එලෙස රැගෙන එන රන් තොග ගුවන්තොටුපළින් පිටතට රැගෙන එන අවස්ථාවන් ද බොහෝ ඇත. ඉකුත් 14 දා සිදුවන්නේ ද එවැන්නක් ය. අවසන් මොහොතේ දී රේගු ආදායම් අධීක්‍ෂණ නිලධාරීන්ගේ මැදිහත්වීම මත රුපියල් කෝටි 11ට අධික වටිනාකමකින් යුත් කැරට් 24 රන් තොගය ගුවන්තොටුපළින් පිටතට රැගෙන යෑමේ තැත ව්‍යර්ථව යන අතර මෙම මහා පරිමාණ ජාවාරමේ වෙනස බවට පත් වන්නේ මෙතෙක් මෙරටින් වාර්තා නොවූ ආකාරයේ සූක්‍ෂ්ම උපක්‍රම කීපයක් අනුගමනය කරමින් එය ක්‍රියාවට නැංවීමට කටයුතු කර තිබීම ය. රේගු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම ජාවාරම ක්‍රියාත්මකව ඇත්තේ මේ ආකාරයෙන් ය.

ඉන්දියන් ගුවන් සේවයට අයත් ඒ. අයි. 273 දරන ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වන්නේ ඉකුත් 14දා අලුයම 1.52ට පමණ ය. එම ගුවන් යානයෙන් මෙරට පැමිණෙන එක්තරා කාන්තාවක් පිළිබඳව විශේෂ අවධානයකින් පසුවන රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් ගුවන් යානය මෙරටට ළඟාවීමත් සමග එම ගුවන් යානයෙන් මෙරටට පැමිණි ගුවන් මගීන් පිළිබඳව වඩාත් විමසිලිමත් වන්නට ගන්නා අතර සුපුරුදු පරීක්‍ෂා කිරීම් ක්‍රියාවලියෙන් අනතුරුව යානයෙන් පැමිණි බොහෝ ගුවන් මගීන් පිරිසක් පැමිණීමේ පර්යන්තයෙන් පිටත් කොට හැරීමට ද කටයුතු කර ඇත. සැකකටයුතු කාන්තාව රේගු නිලධාරීන්ගේ ඇස ගැටෙන්නේ ඒ අතරතුර ය. තම ගමන් මල්ල ද සමග පැමිණීමේ පර්යන්තය වෙත ළඟාවන කාන්තාව මදකට නතර කර ගන්නා රේගු නිලධාරීන් පළමුව ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කරන අතර ඒ අනුව ඇය කීප වරක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා ඩුබායි වෙත ගමන් කර ඇති බවට තහවුරු කරගෙන ඇත. සැකකටයුතු කාන්තාව මෙවර ද පළමුව ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ එතැන් සිට ඉන්දීය ගුවන් සේවයට ම අයත් ගුවන් යානයකින් කටුනායක වෙත පැමිණ ඇති බව තහවුරු කර ගන්නා රේගු නිලධාරීන් ඇගේ ගමන් මලු පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුව ය. නිතර ගුවන් ගමන්වල නිරත කාන්තාවක් ලෙස ගුවන්තොටුපළ හැසිරීම පිළිබඳ යම් අවබෝධයක් සහිත සැක කටයුතු කාන්තාව පරීක්‍ෂා කිරීම්වලින් තොරව පිටතට පැමිණීම පිණිස හැටහතර මායම් දමා ඇතත් ගමන් මලු පරීක්‍ෂාවෙන් තොරව ඇයව මුදාහැරීමට කටයුතු නො කරන රේගු නිලධාරීන් එතැන් සිට ඇයව සහ ඇය විසින් රැගෙන එන ගමන් මලු සියුම් පරීක්‍ෂාවට ලක් කරන අතර රුපියල් කෝටි 11ට අධික රන් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පරීක්‍ෂා කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ය.

අත්අඩංගුවට ගත් රන් තොගයට අමතරව එම පරීක්‍ෂා කිරීම තුළින් මෙතෙක් අනාවරණය නොවූ වැදගත්ම තොරතුරක් අනාවරණය කර ගැනීමට ද රේගුව සමත් වන අතර එම තොරතුර නම් මෙරටට නීති විරෝධී ආකාරයෙන් රත්තරන් රැගෙන ඒමේ දී ජාවාරම්කරුවන් විසින් අනුගමනය කරන අලුත්ම ක්‍රමවේදයන් පිළිබඳව ය.

ඇයගේ ගමන් මල්ලේ තිබී කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 500ක් බරැති කැරට් 24 රත්තරනින් නිම කළ ක්‍රෙඩිඩ් කාඩ්පත්වලට සමාන රන්පත් 27ක් ඊට අමතරව රන් මාල, මුදු සහ වළලු තොගයක් සොයා ගන්නා රේගු නිලධාරීන් ඉන් නොනැවතී එම ගමන් මලේ සූක්‍ෂ්ම ලෙස අසුරන ලද තවත් පාර්සල් කීපයක් පරීක්‍ෂාවට ලක් කරන අතර කළු පැහැති ටේප් පටිවලින් ආවරණය කරන ලද එම පාර්සල්වල තිබී රන් පැහැති දියරයක් ද සොයාගෙන ඇත. කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 200ක් බරැති එම දියර වර්ගය (Gold Gel) විශේෂයක් බව හඳුනා ගන්නා රේගු නිලධාරීන් එම රන් දියර තොගය ද අත්අඩංගුවට ගන්නා අතර එහි වටිනාකම මෙම සටහන තබන අවස්ථාව වනවිට ද ගණනය කොට නැත. රේගු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉන්දියානු ආදායම් බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් අනුව අදාළ රන් තොගය සහිත කාන්තාව අත්අඩංගුවට ගත් බවත් ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තැනැත්තියක් වන බවත් ය.

මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස අප්‍රකට කතාවක් පවතින අතර අත්අඩංගුවට පත් කාන්තාව එම කතාවේ අංශු මාත්‍රයක් හෝ නො දන්නා බව අපගේ විශ්වාසය බවට පත්ව ඇත. ඇයට ඒ පිළිබඳ දැන ගැනීමට ද උවමනාවක් නැති බව වැඩිදුරටත් අපගේ විශ්වාසය බවට පත්වන්නේ අදාළ සිද්ධියෙන් අනතුරුව මෙරටට නීති විරෝධී ආකාරයෙන් රත්තරන් රැගෙන එන ක්‍රියාවලිය පිළිබඳව කරන ලද සොයා බැලීමකින් අනතුරුව ය.

අපගේ සොයා බැලීම තුළ අනාවරණය කර ගත් තොරතුරුවලට අනුව වෙනත් රටවලින් මෙරටට රන් රැගෙන එන සේම මෙරටින් වෙනත් රටවල් වෙත නීති විරෝධී ආකාරයෙන් රන් රැගෙන යෑම කලක පටන් සිදුවන්නක් ය. එලෙස මෙරට සිට බහුල වශයෙන් රන් රැගෙන යනු ලබන්නේ ඉන්දියාව වෙත ය. ලෝකයේ දැවැන්තම රන් වෙළෙඳ පොළවල් සහිත රටවල් අතරින් එකක් වන ඉන්දියාවට එලෙස රන් රැගෙන යෑමේ දී අතරමැදියන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ට එක් ගුවන් වාරයක් සඳහා රුපියල් 5000ක් හෝ ඊට මදක් වැඩි මුදලක් සපයන අතර එම කටයුත්ත සිදු කරනු ලබන්නේ කාන්තාවන් උපයෝගී කර ගනිමින් ය. එය බොහෝ කලක සිට මෙරට හා ඉන්දියානු රන් වෙළෙඳ පොළ අතර සිදුවන නිත්‍යානුකූල නොවන ගනුදෙනුවක් ලෙස පවතින අතර ඒ සඳහා ඇතැම් රේගු නිලධාරීන්ගේ සහයෝගය හිමිවී ඇති බව ද නොරහසක් ය. මෙරට රන් වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ එම ජාවාරමේ නිරත වෙනම ම පිරිසක් තවමත් ක්‍රියාත්මක තලයේ පසුවන බවත් ය. එය මෙරට රන් වෙළෙඳ පොළ හා සම්බන්ධ අප්‍රකට කතාවක් ය.

ඉකුත් දා අත්අඩංගුවට පත් කාන්තාව සමග මෙරට සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක මහා පරිමාණ රන් ජාවාරමක් සහිත වෙනත් පැතිකඩක් විවරණය වෙමින් ඇත. ඒ අනුව මෙතෙක් කලක් නීති විරෝධී ආකාරයෙන් මෙරට රන් රැගෙන ඒමේ දී අනුගමනය කළ සාම්ප්‍රදායික මුහුණුවරින් මුළුමනින්ම වෙනස් වන අතර මෙවර රුපියල් කෝටි 11ට අධික කැරට් 24 රන් තොගය රටට ළඟා වන්නේ බැංකු ක්‍රෙඩිට් කාඩ් පත් වශයෙන් ය. විවිධ වාණිජ බැංකු විසින් නිකුත් කරනු ලබන ක්‍රෙඩිට් පත්වලට බෙහෙවින් සමාන වන ආකාරයෙන් සකසන ලද එම ක්‍රෙඩිට් කාඩ්පත් තොගයට අමතර එතෙක් මෙතෙක් වාර්තා නොවූ ආකාරයෙන් දියර වශයෙන් ද මෙවර මෙරටට රන් රැගෙන ඒම පිණිස ජාවාරම්කරුවන් සූක්‍ෂ්ම වී තිබීම ය. දියර වශයෙන් මෙරට රන් රැගෙන ඒම අලුත් අත්හදා බැලීමක් ද? එය නැවත ඝන ලෝහයක් බවට පත් කිරීමේ තාක්ෂණයක් මෙරට පවතී ද? එසේත් නැත්නම් එලෙස රැගෙන එන ලද්දේ රන් පැහැති වෙනත් ද්‍රාවණයක් ද ආදී ප්‍රශ්න රැසක් මේ වනවිට මෙරට රන් කර්මාන්තය ආශ්‍රිතව පැන නැඟී ඇති අලුත්ම ගැටලු බවට පත්ව ඇත. මේ පිළිබඳව යමක් දැන ගැනීමේ අටියෙන් පාරම්පරික රන් කර්මාන්තයේ නිරත ‘රන්කරුවන්’ කීපදෙනකුගෙන් අදහස් විමසීමේ දී ඔවුන් සඳහන් කර සිටින්නේ දියර වශයෙන් රන් එහා මෙහා ගෙන යෑමේ තාක්ෂණයක් පිළිබඳව ඔවුන් කිසිවක් නොදන්නා බවත් මීට සියවස් කීපයකට පමණ පෙර ජීවත් වූ රන්කරුවන් එවැනි දේ පිළිබඳ දැනුවත්භාවයෙන් කටයුතු කළ ද කර්මාන්තයක් ලෙස එය දියුණුවීමත් සමග පාරම්පරික දැනුම හා අවබෝධය ක්‍රමයෙන් අභාවයට පත් වූ බවත් ය. නම ගම සඳහන් කිරීමට අකමැති වූ රන්කරුවෙක් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද සඳහන් කර සිටියේ ය.

දේශීය රන් කර්මාන්තය කියන්නෙ සියවස් ගණනාවක් තිස්සේ පැවැති දෙයක්. එදා දේශීය රන්කරුවන් රත්තරන් දිය කරල ආලේපයක් වශයෙන් යොදා ගත්ත බවට අදත් සාක්‍ෂි තිබෙනව. පුරාවස්තු විදිහට හඳුනා ගත් රන් ආලේපිත බුදුපිළිම ඇතුළු විවිධ පිළිම වහන්සේ ඇතුළු නොයෙකුත් දේ ඒ සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. නමුත් එදා හිටිය පාරම්පරික ශිල්පීය ඒ සඳහා භාවිත කළ තාක්ෂණය පිළිබඳ කොතනකවත් සඳහන්වෙලා නැහැ. එම නිසා ඒ පිළිබඳව ඉන් එහාට කතා කරන්න බැහැ. ඊළඟට ස්වර්ණාභරණ නිෂ්පාදනය ගත්තොත් ඒ ක්‍රියාවලියේ එක්තරා තැනක දී රත්තරන් ද්‍රාවණයක් බවට පත් කරනව. නිශ්චිත උෂ්ණත්වයක් තුළ පමණයි එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ. ඒක දිගින් දිගට ම පවත්වගන්න නම් ඒ උෂ්ණත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න වෙනව. පහුගිය දවස්වල අපිත් දැක්ක රත්තරන් දියර තොගයක් (Gold Gel) වශයෙන් අත්අඩංගුවට අරන් තියෙනව කියල. ඒක ඇත්තට ම රත්තරන් නම් නවීනතම තාක්‍ෂණයක් භාවිත කරල ඒ දෙය කරන්න ඇති කියල මම විශ්වාස කරනව. එහෙම නැත්නම් ඒක පිරිසිදු රත්තරන් වෙන්න බැහැ. රන් පැහැති වෙනත් දියරයක් වෙන්න පුළුවන්.

කෙසේ වෙතත් මෙරට කේන්ද්‍ර කොට ගනිමින් ජාත්‍යන්තර රන් ජාවාරම සිදුවෙමින් පවතින බව මෑත කාලය තුළ අත්අඩංගුවට ගත් රත්තරන් හරහා මැනවින් ප්‍රකට වෙන කරුණකි. මෙම ජාවාරම පිටුපස ක්‍රියාත්මක අදෘෂ්‍යමාන හස්තය කුමක්ද එය මෙහෙයවනු ලබන්නේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ තවමත් හරි හැටි අවබෝධයක් ලබාගැනීමට නොහැකි වීම තුළ ගැටලු රාශියක් නිර්මාණය වෙමින් ඇත. ඉන් ප්‍රධානතම ගැටලුව පත්වන්නේ මේ හරහා ජාතික ආර්ථිකයට යම් හානියක් සිදුවේ ද ඒ සම්බන්ධයෙන් ය. කන් පෙති සරසන්නට අරුංගල් දෙක පවා මිලදී ගැනීම සිහිනයක්ව පවතින රටක නීතියේ ඇසට වැලි ගසමින් සිදුකරගෙන යන විවිධ ජාවාරම් අතරින් රත්තරන් වෙන් කර තබන්නට රජය කුමන වෙහෙසක් ගත්ත ද දිගින් දිගට ම රට තුළ මහා පරිමාණ රන් ජාවාරම සිදුවීම තුළ ප්‍රකට වන්නේ බලපුළුවන්කාරයන්ට තවමත් එම නීතීන් අදාළ නොවන බවත් ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment