ඒ ගොල්ලො ගෙදර යයි අපි හිරේ යයි…….

1252

මේ රටේ දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙමින් පවත්නා බව පෙනේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැති ඇමැතිවරුන් විසින් දෙනු ලබන නියෝග නිලධාරීන් විසින් නොසලකාහරිනු ලැබීමේ ප්‍රවණතාවක් හටගෙන ඇත. මේ සම්බන්ධ උදාහරණ දෙකක් මෑත කාලීනව ඇති විය. ඉන් පළමුවැන්න නම් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සහ ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර අතර හටගෙන තිබෙන ආරවුලයි. විදුලි බිල වැඩිකළ යුතු යැයි කංචන විජේසේකර කියන අතර ජනක රත්නායක කියන්නේ එසේ විදුලිබිල නැංවීම වැරදි බවයි. තමා විදුලිබල පනතට ගරු කරන නමුත් ඇමැතිට ගරු නොකරන බව ජනක රත්නායක කියා තිබේ. එසේම විදුලිබිල වැඩි කළහොත් උසාවි යන බව ද ඔහු සඳහන් කර ඇත. මෙය බරපතළ අර්බුදයකි. පාලන තන්ත්‍රය තුළ වඩා බලගතු වන්නේ නිලධාරියා ද, නො එසේ නම් දේශපාලනඥයා ද වන ප්‍රශ්නය මෙහිදී හටගනී. කිසියම් පරිපාලන කටයුත්තක දී නිලධාරියා හා දේශපාලනඥයා යන දෙදෙනාම 50% පනහේ බලයක් සහිතව හැසිරුණොත් තීරණ ක්‍රියාත්මක වන්නේ නැත. තම 50% බලය අනුව තමා බලගතු බව නිලධාරියා සිතන අතර, තමා සතු 50% අනුව තමන්ට බලය ඇති බව දේශපාලනඥයා කල්පනා කරයි.

මෙහි දී පාර්ශ්ව දෙකට ම සමාන බලයක් තිබුණොත් දෙදෙනාගෙන් කවුරුවත් දිනන්නේ නැත. ඒ පිළිබඳ උදාහරණයක් ගෞතම බුදුන්වහන්සේ විසින් දෙසා වදාරනු ලැබ ඇත. කිසියම් පාර්ශ්ව දෙකක් අතර යුද්ධයක් නොහට ගැනීමට නම් එම පාර්ශ්ව දෙකම සමාන ලෙස බලවත් වියයුතු බව හෝ සමාන ලෙස බල ශූන්‍ය විය යුතු බව බුදුහු කියති. දෙගොල්ලන්ටම බලයක් නැත්නම් ඒ දෙගොල්ලෝම යුද්ධයකට යන්නේ නැත. එසේම දෙගොල්ලොට ම සමාන බලයක් ඇත්නම් ඒ දෙගොල්ලො ම යුද්ධයකට යන්නේත් නැත. එයට හේතුව සමාන බලයක් තිබෙනවිට දී ජයග්‍රහණයක් වාර්තාකර ගැනීමට බැරි වීමය. ඒ නිසා බලය යන සාධකයේ දී අඩුම ගණනේ 1% කවත් වැඩි ප්‍රතිශතයක් අවශ්‍ය ය. ආණ්ඩුව රජයේ දේපළක් පුද්ගලික අංශයට විකුණනවිට 51% ක් තමන් වෙත තබාගෙන 49%ක් එය මිලදී ගන්නාට ප්‍රදානය කරයි. එවිට වැඩි බලය හිමිකාරයා ආණ්ඩුව වන බැවින් අවසන් තීරණ ගැනීමේ දී ආණ්ඩුව ජයග්‍රහණය කරයි. මේ න්‍යායට අනුව ජනක රත්නායක සහ කංචන විජේසේකර යන දෙදෙනාම සමාන ලෙස බලගතු පුද්ගලයන් වූ විට ප්‍රශ්න විසඳාගැනීමට නොහැක.

මේ තත්ත්වය පිළිබඳ මෑත කාලීන දෙවැනි උදාහරණය වන්නේ ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සහ ගමනාගමන ඇමැති බන්ධුල ගුණවර්ධන අතර හටගෙන තිබෙන කාරණයකි. මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් පටන් ගන්නා විශේෂිත බස් සේවයක් තමන්ට නොදන්වා අවලංගු කිරීම නිසා ගමනාගමන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බව ඇමැති බන්ධුල ගුණවර්ධන දන්වා ඇත. එහෙත් ඉල්ලා අස්වීමේ අදහසක් තමන් තුළ ඇති බවක් ගමනාගමන සභාපති කිංස්ලි රණවක පෙන්වන්නේ නැත. ඔහු කියන්නේ මේ රටේ පොදු දේපළ පුද්ගලික දේපළ ලෙස සැලකීමට ඇමැතිවරුන් පුරුදුව සිටින බවය. ලංකා ගමනාගමන මණ්ඩලය තමාගේ හෝ තම පවුලේ පුද්ගලික දේපළක් ලෙස බන්ධුල ගුණවර්ධන විසින් සලකනු ලබන බව මේ ප්‍රකාශයෙන් හැඟේ. අන්තිමේ දී මේ නඩුව විසඳීමට විධායක ජනාධිපතිතුමාට භාරවන අතර පැත්තක් ගැනීමට නොහැකිව ඔහු ද අමාරුවේ වැටේ. ජනක රත්නායක, කංචන විජේසේකර, කිංස්ලි රණවක, බන්ධුල ගුණවර්ධන යන හතරදෙනාම කෙළින් හෝ වක්‍ර ලෙස පොහොට්ටුවේ කට්ටිය වෙති. එතැන යූඇන්පී කාරයන් හෝ සමගි ජන බලවේගයේ කට්ටිය හෝ අනුර දිසානායකගේ කට්ටිය හෝ කුමාර් ගුණරත්නම්ගේ කට්ටිය නැත. මෙතැන දී කාකොටා ගන්නේ එකම ලයිට් වයර්එකේ වසා සිටි එකම ජාතියේ කුරුල්ලන් රැළකි.

1977 දී ජේ. ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ඔහුගේම මිනිහෙකු වූ අගවිනිසුරු නෙවිල් සමරකෝන් ඔහු සමග ගැටෙන්නට පටන් ගත්තේය. ජනාධිපතිවරයකු සහ අගවිනිසුරුවරයකු අතර ගැටුමක් හටගත්විට එය ලෙහෙසි කෙළියක් වන්නේ නැත. එම ගැටුමට මැදිවන අයට සිදුවන්නේ අලින් දෙදෙනකු ගහගන්නා විට ඒ මැදින් ගිය රිළවාට අත් වූ ඉරණමයි. දේශපාලනඥයන් සහ නිලධාරීන් එකිනෙකා සමග ගැටෙනවිට ජනතාවට ද රිළවුන් බවට පත්වීමට සිදුවන අතර එමගින් සිදුවිය හැකි අනර්ථය ඉතා දරුණුය. දේශපාලනඥයා බලගතු වූ විට නිලධාරියා බලගතු වීම ද භයානක ය. සෝවියට් සංගමයට කෙළවුණේ මුලින්ම දේශපාලනඥයා බලගතු වීමත්, ඊළඟට දේශපාලනඥයා පරදවමින් නිලධාරියා බලගතු වීමත් නිසා ය. දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් විසිනි. දේශපාලනඥයා කිසියම් වැරදි තීන්දුවක් දෙන බව නිලධාරියාට හැඟුණවිට ඔහු එම තීන්දුව ක්‍රියාත්මක කිරීම මඟහරියි. ඡන්දයෙන් පසු දේශපාලනඥයා පැරදුනහොත් ඔහුට ගෙදර යෑමට හැකිවන අතර, වැරදි තීන්දු ක්‍රියාත්මක කළ තමන්ට හිරේ යෑමට සිදුවන බව නිලධාරියා කියයි.

යහපාලන ආණ්ඩු කාලයේ දී මේ තත්ත්වය ඇස්පනාපිට ප්‍රදර්ශනය විය. ඊට පෙර පැවැති රාජපක්‍ෂ ආණ්ඩුවේ සිටි නිලධාරීන්ට උසාවි, පොලිසි පමණක් නොව, රිමාන්ඩ් හිරගෙදරට යෑමට පවා සිදුවිය. ඒ නිසා දේශපාලනඥයා ප්‍රකාශයට පත්කරන සෑම තීන්දුවක් දෙසම කිසියම් සැකයකින් බැලීමටත් එම තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමටත් නිලධාරියාට පුළුවන. මේ පුරුද්ද දිගේ ටික කලක් රට ගමන් කරනවිට නිලධාරියා ඉබේට ම බලගතු වීමට පටන් ගනී. මෙතැන් සිට ජනාධිපතිට සහ අගමැතිට රට පාලනය කිරීමේ දී දුෂ්කරතාවට මුහුණදීමට සිදුවේ. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා කිරීමට ඇත්තේ ඉතා සරල දෙයකි. ඒ වූ කලී තම තමන්ගේ ප්‍රමාණය කොතරම් ද යන්න දේශපාලනඥයන් සහ නිලධාරීන් වෙන වෙනම අවබෝධකර ගැනීමය.

advertistmentadvertistment
advertistmentadvertistment