ඒ. ටී. ආරියරත්නයන්ගේ අවසන් කටයුතු 20 දා රාජ්‍ය ගෞරව සහිතව

151

අභාවප්‍රාප්ත සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 20 වැනිදා පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය.

දේහය ලබන 20 වැනිදා දහවල් 12.00 දක්වා මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය. ඉන්පසු දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යෑමට නියමිතය.

ඉකුත් 16 වැනිදා රාත්‍රී ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණි.

මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසුවුණි.

1931 වසරේදී උපත ලද ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කලක් කටයුතු කළ ආරියරත්න මහතා සර්වෝදය ශ්‍රමදාන පදනම බිහිකිරීම සඳහා මූලික අඩිතාලම දමන්නේ එම අවධියේදීය.

1950 දශකයේදී ඔහුගේ සංකල්පයකට අනුව බිහිකෙරුණු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය දශක 06ක් පුරා මෙරට සරණක් අවැසි ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ සංවිධානයකි.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරය වෙනුවෙන් දෙස් විදෙස් ඇගයීම් රැසකට ද ආරියරත්න මහතා පාත්‍රවුණි.

ශ්‍රී ලාංකිකයකු වෙනුවෙන් මෙරට පිරිනැමෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ඔහුට පිරිනැමෙන්නේ 2007 වසරේදීය.

එමෙන්ම පිලිපීනයේ රැමෝන් මැග්සේසේ සම්මානයට පවා ඔහු පාත්‍ර වූයේ සර්වෝදය ව්‍යාපාරය හරහා මෙරටට සිදුකළ සේවාව ඇගයීම වෙනුවෙනි.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment