ඓතිහාසික වැරදි සහ ඓතිහාසික වැරදිකාරයෝ

39

මේ සතියේ පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යතුමන් වර්තමාන ආර්ථික අර්බුදය ගැන විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. මේ කළ ප්‍රකාශයේදී මේ අර්බුදයට ආසන්න හේතූන් ගැන සඳහන් කරමින්, වැරදි පිළිගනිමින් කරුණු දැක්වූවා. වැරදි පිළිගනිමින් වැරදි නිවැරදි කර ගැන්ම සඳහා කටයුතු කරන බව එතුමන් එහිදී සඳහන් කළා. වැරදි පිළිගැන්ම සහ ඒවා නිවැරදි කරගැන්මට කටයුතු කිරීමේ අවශ්‍යතා ගැන සඳහන් කිරීම ගැන එතුමන් කළ ඒ ප්‍රකාශය ගැන ස්තූතිය පුද කරන්නට කැමතියි.

එහෙත් සිදුවිය යුත්තේ වැරදි පිළිගැන්මකට සීමා නොවී, ඉන් ඔබ්බට ගොස් වගවීම ගැන අවධානය යොමු කිරීමයි. එසේ නොවුවහොත් සිදුවන්නේ, ඉදිරියටත් සියලුම පාලකයන් මෙලෙස ජනතා මුදල් සම්බන්ධව මෙලෙස කටයුතු කර, වගවීමකින් තොරව නිදහස්ව යෑම සිදුවීමයි.

එදා මුදල් අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන්, මේ සම්බන්ධ කොටස පමණක් ඔබට උපුටා දක්වන්නට මම කැමතියි.

“අපේ පසුගිය අවුරුදු දෙක, තුනක කාලය තුළත් ගත යුතුව තිබූ යම් යම් තීන්දු තීරණ නොගැනීම, වැරදි ප්‍රතිපත්ති මේකට උදවු කරලා තිබෙනවා. ඒ ගැන කථා දෙකක් නැහැ. මම මුලින් කියපු ආකාරයටම පසුගිය අවුරුදු දෙක තුන තුළ ටැක්ස් (ඒං) කැපීම, ෂඵත්‍ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑම, ඩොලරය අල්ලාගෙන සිටීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කල් ගතවීම ආදිය නොකළ යුතුව තිබුණා. ඒක මේ රජය පැත්තෙන් සිද්ධවුණු වරදක්. ඒ ස්වයං විවේචනය පිළිගන්න අපට අයිතියක් තිබෙනවා. අපට ඒකට ශක්තියක් තිබෙනවා. අනෙක් කරුණ තමයි, අපේ පාලනයෙන් තොරවුණු කෝවිඩ් උවදුර සහ යුක්රේන යුද්ධය. ලංකාව විතරක් නොවෙයි, ලෝකයේ හැම රටක්ම මේ වගේ තත්ත්වයකට මුහුණ දෙනවා.”

කතෝලික ජනතාව දේවස්ථානයට ගොස් ඉරිදා දිනවල දේව මෙහෙයේදී කරන පව් සමා කිරීමේදී භාවිතා කරන ලතින් පද දෙක මගේ සිහියට එනවා. “මේ කුල් පා” “මේ කුල් පා” යනුවෙන්. මෙහි අර්ථය “මගේ අපරාධය, මගේ අපරාධය මට සමාවෙන්න දෙවිඳුනි.” යන්න බව මම අසා තිබෙනවා. මෙහිදී මුදල් අමාත්‍යවරයා කරන වැරදිවලින් අද වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ රටේ පොදුජනතාවටයි. විපාක විඳින්නට සිදුව ඇත්තේ මහජනතාවටයි. මේ වැරදි තීන්දු නිසා අපේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනෙන්නට මුදල් නැතිවෙලා. බෙහෙත් ගෙන එන්නට මුදල් නැතිවෙලා. වරායට සේන්දුවන ගෑස් ටික, භූමිතෙල් ටික, ඩීසල් ටික, පෙට්‍රල් ටික ගැනීමට මුදල් නැතිවෙලා.

මේ වැරදි තීන්දුවලින් සාමාන්‍ය ජනතාව පීඩා වින්දත්, මේ තීන්දුවලින් රටේ සුපිරි ධනවතුන්ට සහන ලැබුණා. ඔවුන්ට ලබාදුන් බදු සහනයෙන් රටේ ආදායම බිලියන හයකින් නැතිවුණා. එය විශාල මුදල් කන්දරාවක්.

අපේ රටේ පොහොසත්ම පවුල් ලක්ෂ දහය, සියයට පනහක් පරිභෝජනය භුක්ති විඳිද්දී, අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ දහය සියයට පහක් පමණක් පරිභෝජනය කරනවා. සහන ලබාදීම සිදුවන්නේ මේ අන්දමටයි. මේ පාලනය වෙතින් සහනාධාර අතිබහුතරයක් ලබාගත්තේ, මේ රටේ වැඩිම ආදායමක් ලබන අයවළුන්ය. මේ විෂම චක්‍රය අනෙක් පැත්තට හැරවීම අද සිදුවිය යුතු ප්‍රමුඛ කටයුත්තක් වෙනවා.

එදා උතුරේ සහ දකුණේ ගිනිදැල් ඇවිළුණු රටක් භාරගෙන, නැතිබැරි මිනිසුන් ඇති හැකි අයවළුන් කිරීමට ජනසවිය තුළින් මුදල් ආධාර ලබාදීමේ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආශිර්වාදය ලබාගන්නට එදා ජනපති ප්‍රේමදාසයන් සමත් වුණා. රුපියල් 2500 ට අඩු පවුල්වල දරුවන් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණවලට යෑමේදී ඔවුනට ප්‍රමුඛතාව දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. අද යුගයේ මෙන් දේශපාලනීකරණය නොවූ, විවෘත ක්‍රමවේදයකින් සැබෑ දුප්පතුන් හඳුනා ගැන්ම සිදු වුණා. අද රට මුහුණ දී ඇති මේ අර්බුදයේදී මේ සැබෑ දුප්පතුන් හඳුනාගෙන, ඔවුන්ගේ ජීවිතවලට පිහිටවීම පළමු ප්‍රමුඛතාව ලෙස සලකා පියවර ගැන්ම අත්‍යවශ්‍ය වෙනවා.

අද අපේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මෙන් අර්බුදයනට මුහුණ දුන් රටවල් බොහෝමයක් සාර්ථකව ඒ අර්බුද ජයගෙන ඇත්තේ නිවැරදි ලෙසින් ඒ තත්ත්වයන් ඇමතීම නිසයි. අද ලෝකයේ ආර්ථික අතින් යායුතු මං ගැන විශාල මතභේද ඇත්තේ නැහැ. අද ලෝකය දෙස බලනවිට අපි දකින්නේ, චීනය, වියට්නාමය, ඉන්දියාව මෙන්ම ජපානය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් සියල්ලම පාහේ බොහෝදුරට පැරණි දේශපාලන න්‍යායන්, මතවාද අමතක කර ප්‍රධාන වශයෙන් සමාන ගමන් මාර්ගයකට ප්‍රවේශවී තිබීමයි.

එදා චීනයේ “සංස්කෘතික විප්ලවය” සමයේදී මා ඕ සේතුංගේ බිරිඳ ඇතුළු හතර දෙනාගේ කල්ලියේ භූමිකාව මට මතකයට එනවා. අද චීනයේ ආර්ථික ප්‍රාතිහාර්යයේ ආරම්භකයා ලෙස සැලකෙන ඩෙන්ග් ෂියවෝ පෙංග්, “ධනවාදයේ” සංකේතයක් ලෙස හඳුන්වා දෙමින්, ඔහු අවමානයට ලක්කිරීම, වධහිංසා පැමිණවීම සිද්ධ වුණා. ඒ සඳහා භට හමුදාවක් ලෙසින් විශාල තරුණ හමුදාවක් මාඕ බිරිඳ ඇතුළු හතර දෙනාගේ කල්ලිය විසින් පාවිච්චි කිරීම මාධ්‍ය විසින් වාර්තා කෙරුණා. එහෙත් වසර කිහිපයකට පසු ඩෙංග් ෂියාවෝ පෙංග් ගේ නවීකරණ විප්ලවය සහ යටපත් කර තිබූ ජනමතය හිස එසවීම අපි දුටුවා. මර්දනයෙන් ජනතා මතය යටපත් කර තබාගැන්මේ උත්සාහය සාර්ථක වූයේ නැහැ. අද චීනය ලොව අමෙරිකාවට සැබෑ අභියෝගයක් වී ඇති ලොව ප්‍රබලතම ආර්ථික යෝධයෙකු බවට පත්ව තිබෙනවා.

ජර්මනියේත් මේ යථාර්ථය අපි දුටුවා. බර්ලින් තාප්පය බිඳ දමමින්, එදා නැගෙනහිර තිබූ අධිපතිවාදී පාලනය යටතේ ආර්ථික අතින් විඳි දුෂ්කරතාවන් මෙන්ම මර්දනයට මුහුණ දෙමින් ජනමතය හිස එසවීම ඉතිහාසය තුළ අපි දකිනවා. එදා බටහිර ජර්මනිය සමග නැගෙනහිර ජර්මනිය එක්වීම, ආර්ථික අතින් බටහිර ජර්මනියට දැරීමට අපහසු ආර්ථික බරක් ලෙසින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීම අප දුටුවා. ඒ එක්සත්ව, එකම රටක්, එකම ජනතාවක් ලෙසින්, නිවැරදි දැක්මකින් යුතුව අධිෂ්ඨානශීලී ගමනකින් එක්සත් ජර්මනිය දැන් ලොව ප්‍රබල ආර්ථිකයක් බවට පත්ව තිබෙනවා.

ජනමතයට අවනත නොවී චීනයේ හතර දෙනාගේ කල්ලිය මෙන්, එසේ නැත්නම් නැගෙනහිර ජර්මනිය එදා පාලනය කළ හොනෙකර් සහ ක්‍රෙන්ස් මෙන්, එසේත් නැත්නම් මුගාබේ සහ ඉඩි අමීන් වැන්නන් මෙන් ඒ මග යනවාද නැත්නම් රටේ ජනමතය තේරුම් ගනිමින් ඊට අවනත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී මග තෝරාගන්නවාද යන්න වත්මන් පාලකයන් තීරණය කළ යුතුව ඇත. රටේ ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේත් අධිපතිවාදී පාලකයන්ට අත්ව ඇති ඉරණම් තුළින් පාඩම් උගත යුතුව ඇත. ජනතාවට සංවේදී විය යුතුව ඇත.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment