නියම් ලෙස හෝ අනියම් ලෙස තෑග්ගක්, ණයක්, පොරොන්දුවක් ලබාදීම හෝ එවැනි එකඟතාවක් ලබාදීම අල්ලස් වරදක්
මැතිවරණ පැමිණිලි ගණන 2098ට නඟී
ඡන්ද අල්ලසක් ලෙස ‘රා’ බොන්නත් දීලා.මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයට පැමිණිලි…
‘රා’ මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා
ඡන්දය ලබාගැනීමට ඇතැම් මහජන නියෝජිතයන් ජනතාවට අල්ලස් ලබාදීම ඉහළ ගිහින්
– මැතිවරණ නිරීක්‍ෂකයන්
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම වගා ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමේ තීරණය 1981 අංක 15 දරන ජනාධිපතිවරයා පත්කර ගැනීම පිළිබඳ පනත යටතේ අල්ලස් ලබාදීමක්
– මැතිවරණ කොමිසම
දැන් රටේ බහුතරයක් ජනතාව බලාසිටින්නේ 21 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය දෙසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද 2024 වසර තුළ අනිවාර්යයෙන්ම රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. ලෝක බලවතුන් ද අපේ රටට ඇස් යොමා සිටින්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණයෙන් වැඩි ජනතා මනාපයෙන් පත්වීමට නියමිත අභිනව ජනපතිවරයා දෙසය. මේ වනවිට ප්‍රධාන පක්‍ෂ හා ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග වදින ජනපතිවරයා ද තම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා ඇත. එම ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් වන රටේ ආර්ථිකය, රට හදන වැඩපිළිවෙළවල් එකිනෙකාට වෙනස්ය. විවිධාකාරය. එමෙන්ම ඔවුන් ඉදිරිපත් කොට ඇති ඇතැම් කරුණු ප්‍රායෝගිකද නැද්ද යන ප්‍රශ්නය ද දැන් මතුව ඇත. එහෙත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අතිශය තීරණාත්මකය, තරගකාරීය. උණුසුම්ය. සමාජයේ ඇතැම් මාධ්‍ය මතවිමසුම් පළ කළ ද එහි යටි අරමුණ තම අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමය. මැතිවරණයකදී ද සිදුවිය හැකි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ද බොහෝය. මෙවර ජනපතිවරණයේදී ද එවැනි මැතිවරණ නීති උල්ලංඝනය වන බව පෙනෙන්නේ අපේක්‍ෂකයන් වැඩිදෙනකු ඡන්දය ලබාගැනීමට ජනතාවට දෙන අල්ලස් නිසාය. එය විටෙක ඡන්ද පොරොන්දු ලෙස ද තවත් විටෙක දීමනා ලෙස ලබාදෙන්නේ කෙසේ හෝ ඡන්දය දිනා තමන් බලයට පැමිණිය යුතු යැයි අදිටන දේශපාලකයාට තිබෙන නිසාය.
මොනවද මේ ඡන්ද අල්ලස්
‘අල්ලස’ යනුවෙන් හැදින්වෙන්නේ, යමකුට යම් ප්‍රයෝජනයක් ලබාගැනීම සඳහා හෝ තමන්ට සිදුවීමට යන අලාභයක් මඟහරවා ගැනීම සඳහා හෝ ගෙවන නීත්‍යනුකූල නොවන හා සදාචාර විරෝධී ගෙවීමකි. ඇතැම් විට අල්ලස් දීම යනු, තෑගි කිරීමක් ලෙස දැක්වීමට සමාජයේ බොහෝදෙනා හුරුව ඇත. තෑගි දීමෙහි වැරැද්දක් නැත. එය මනුෂ්‍ය ප්‍රජාවේ ස්වාභාවික ගතියකි. එහෙත් ඇතැම් අවස්ථාවලදී තෑග්ගේ ප්‍රමාණය, එය දීමට හේතුපාදක වූ පසුබිම විමසා බැලිය යුතුය. ඒ අනුව එය තෑග්ගක් ද අල්ලසක් ද යන්න සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුට අවබෝධ විය යුතුය. අල්ලස් ගැන කතාකරන විට එය විවිධාකාරය. මේ වනවිට මෙරට සමාජය දරුණු ලෙස අල්ලසට ගොදුරුව ඇති අතර එය සමාජයේ සාමාන්‍ය කරුණක් වීම ද ගැටලුසහගතය. ඇතැමකුට නීති රෙගුලාසිවලින් බේරීමටත් තරගවදින අනෙකුත් අය පරදවාලීමටත් මේ කතාකරන ‘අල්ලස’ට පුළුවන. එළැඹෙන ජනාධිපතිවරණයේ ද මේ කියන අල්ලස බෙහෙවින් වැජඹෙන බව ඒකාන්තය. එය දැනටමත් සනාථ වී හමාරය. ‘ඡන්ද අල්ලස්’ යැයි කියූ පමණින් යමකුට ඔළුවට එන්නේ දීමනාය. වැටුප් වැඩිකිරීම්ය. ණය කපාහැරීම්ය.
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනත ලංකාවේ නීතියක් බවට ගැසට් කරන්නේ 1981 මාර්තු 12 දිනය. මෙවර ජනාධිපතිවරණයට ද බලපැවැත්වෙන්නේ එම නීතියමය. එම පනතෙහි මුලින්ම දැක්වෙන්නේ පහත සඳහන් තැනැත්තන් අල්ලස් දීමේ වරදට වරදකරුවන් ලෙස සැලකෙන බවය. එම වගන්තිය දැක්වෙන්නේ මෙසේය.
“79 (ඇ) යම් තැනැත්තකු ජනාධිපති ධුරයට තෝරා පත්කර ගැනීම හෝ මේ පනත යටතේ වූ යම් තෝරා පත්කර ගැනීමකදී යම් ඡන්ද හිමියකුගේ ඡන්දය ලබාදීමට හෝ ලබාදීමට උත්සාහ කිරීමට යම් තැනැත්තකු පෙලඹවීම සඳහා තමා විසින් හෝ තමා වෙනුවෙන් වෙනත් යම් තැනැත්තකු මගින් ඒ තැනැත්තා සඳහා නියම ලෙස හෝ අනියම් ලෙස ඉහත කී යම් තෑග්ගලක්, ණයක්, අර්පනයක්, පොරොන්දුවක්, ලබාදීමක් හෝ එකඟවීමක් දෙන හෝ කරන සෑම තැනැත්තෙක්ම අල්ලස් වරදට වරදකරුවකු වන්නේය.”
නීතිය ද එසේ වුවද එහෙත් එම නීති රීතිවලට පිටින් සිදුකරන ඡන්ද අල්ලස ගැන අප කතා කරන්නේ දැන වැරදි කිරීම සමාජය ගතියක් යැයි සිතෙන නිසාය.
කොමිසමට මඟ හැරුණත් හිටු කියල දෙන ඡන්ද අල්ලස්
මැතිවරණයක ද සිදුවිය හැකි මැතිවරණ නීති රෙගුලාසිවලට පටහැනි සියල්ල මැතිවරණ නීතිවිරෝධී ක්‍රියාවන්ය. එළැඹෙන ජනාධිපතිවරණයේදී ද ඡන්දය ලබාගැනීමට ඇතැම් මහජන නියෝජිතයන් ජනතාවට අල්ලස් ලබාදීම ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්‍ෂකයෝ පවසති. එළැඹෙන ජනාධිපතිවරණයට ද අදාළව පැමිණිලි 84ක් ලැබී තිබෙන බව ද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කොට ඇත. එම පැමිණිලි අතරින් බොහෝමයක් රාජ්‍ය බලය හා දේපොළ අවභාවිතය සම්බන්ධයෙන්ය. ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ මංජුල ගජනායක මහතා කියාසිටින්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ වනවිට පැමිණිලි 44ක් ලැබී ඇති බවයි. එමෙන්ම පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ ජනාධිපතිවරණයට අදාළව තම මෙහෙයුම් මැදිරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9ක් බවය. එයින් පැමිණිලි 4ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධවය. පැමිණිලි 5ක් ප්‍රචණ්ඩ ක්‍රියා ගැනය. ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ 2024.07.31 සිට 2024.09.02 තෙක් වාර්තා වූ පැමිණිලි ගණන 2098ක් බවය. එම පැමිණිලිවලින් 1344ක් වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටය. ඉතිරිය පැමිණිලි 754 වාර්තාවන්නේ ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයටය. එම පැමිණිලි 754 නීති උල්ලංඝනය කිරීම්ය. දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 1266ක් ද ප්‍රචණ්ඩ ක්‍රියා 14ක් ද වාර්තා වී ඇත. වාර්තා වී ඇති වෙනත් පැමිණිලි ගණන 64කි.
මේ වනවිට 2024 වසරේ ප්‍රකාශයට පත්කර තිබෙන ජනපතිවරණයේ තැපැල් ඡන්ද ලබාදී ද අවසන්ය. එහෙත් පසුගිය සැප්තැම්බර් 02 දා රජයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දමන බවය. ඒ සමස්ත රාජ්‍ය සේවය ආවරණය වන පරිදි කාර්යාල සහායක තනතුරේ සිට රියැදුරන්, සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම, නිෂ්පාදන සහකාර, කළමනාකාර සහකාර, මහජන සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය, විකිරණවේදී, ඖෂධවේදී, හෙද නිලධාරි, විදුහල්පති, ගුරුසේවය, පොලිස් නිලධාරි, ග්‍රාම නිලධාරි, පරිපාලන සේවය, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්‍ෂ, කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, වෛi නිලධාරි, රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදා සේවය දක්වාය.
මැතිවරණ පොරොන්දු එතනින් නවතින්නේ නැත. ඒ, ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කිරීමය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගත් බවය. ආණ්ඩුව කියන්නේ ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමට මේ තීරණය ගන්නා බවයි. එහෙත් මෙවැනි සහන ජනපතිවරණයට පෙර ලබාදුන්නා නම් අපේ රටේ ගොවියා වහ බොන්නේ ද නැත. ඔවුන්ගේ ඉඩකඩම් බැංකුවලට උකස් වන්නේ ද නැත. කොටින්ම කිව්වොත් රටේ ජනතාවට වැඩි ගාණට හාල් ටික, එළවළු ටික මිලට ගන්නට වන්නේ ද නැත. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පාරට බැස්ස රාජ්‍ය සේවකයාට එදා මේ කියන පඩි වැඩි කිරීම් ගැන පොරොන්දු දුන්නේ ද නැත. ඒත් දැන් ඒ ගැන පොරොන්දු පත්‍රය ජනතාවට පිරිනමා අවසන්ය. මේ කියන සහන ලැබෙන්නේ එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුවය. ඊට අදාළ අපේක්‍ෂකයා ජයග්‍රහණය කළ යුතුය. ඔහු ජයග්‍රහණය ලැබීමට නම් ඡන්දදායකයා සිය ඡන්දය ඔහු වෙනුවෙන් පාවිච්චි කළ යුතුය. එසේනම් මේ කියන දීමනා ගැන කාටත් පැහැදිලි විය යුතුය.
මැතිවරණ කාලයට ලබාදෙන අල්ලස් ගැන කතාකරන විට ඒවා විවිධය. බොහෝවිට ඡන්දදායකයාට මදුවිතෙන් සප්පායම් වී රසවත් භෝජන සංග්‍රහයක් භුක්ති විඳීමට ද අවස්ථාව ලැබෙන්නේය. නැත්නම් ඡන්දෙ දිනපු ගමන් පක්‍ෂයේ වැඩ කළ අයට රස්සා ලබාදෙන්නේය. ගෙදර රැකියා විරහිත අයෙක් සිටී නම්, අධ්‍යාපන සුදුසුකම් සපුරා නොතිබේ නම් රස්සාවක් ලබාගැනීමට හොඳම ක්‍රමය ඡන්දෙට වැඩ කිරීමය. රටේ බොහෝ රාජ්‍ය ආයතන තුළට රාජ්‍ය සේවකයන් අතිරික්තයක් ඇත්තේ ද මේ කියන ඡන්දෙට වැඩ කරපු අයගෙන් රාජ්‍ය ආයතන පිරවීමය. එහෙව් රාජ්‍ය ආයතන ද අද බංකොලොත්ය. පාඩුය. පෞද්ගලීකරණයට පිඹුරුපත් සාදා අවසන්ය. පසුගිය කාලය තුළ ද අප ඉහත කතා කළ භෝජන සංග්‍රහ, මත්පැන් ලබාදීමේ තොරතුරු වාර්තා විය. ඒ, පන්විල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ජනහමුවකදී පැමිණි පිරිසට දිවා ආහාරය සූදානම් කළ අවස්ථාවක්ය. එහිදී මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන්ට ලැබෙන පැමිණිල්ලකට අනුව එම ආහාර තොගය පන්විල පොලිසිය වෙත භාරදී ඇත. ඒ එක් සිද්ධියකි. අනෙක් සිදුවීම ද වාර්තා වන්නේ එම ප්‍රදේශයෙන්මය. ඒ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකුට පසුගිය 03දා මහනුවර තරු හෝටලයකදී දේශපාලන සාකච්ඡාවක් පවත්වා අනතුරුව දිවා ආහාරය ලබාදීමට සැලසුම් කිරීමකි. මෙවැනි සිද්ධීන් ද එක පක්‍ෂයකට ද ලඝු කොට නොහැක. එවැනි සිද්ධීන් බොහෝමයක් පසුගිය කාලය පුරාම මැතිවරණ නිරීක්‍ෂණ නිලධාරීන්ට වාර්තා වී ඇත. මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන නීති රීති අනුව තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ජනපතිවරණය උදෙසා අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය උදෙසා නිවේදනය කිරීම හරි ද වැරදි ද යන්න ප්‍රශ්න සහගතය. එහෙත් අපේක්‍ෂකයකු ප්‍රවර්ධනය කිරීම, අල්ලස් ලබාදීම, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම් ආදිය මැතිවරණ නීති රීතිවලට අනුව නීතිවිරෝධී බව පැහැදිලිය.
රජයේ දීමනා ගැන කොමිසම කියන දේ
රජයේ දීමනා පිළිබඳව මුලින්ම මැතිවරණ කොමිසම පවසා ඇත්තේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම හා වගා ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමේ තීරණය 1981 අංක 15 දරන ජනාධිපතිවරයා පත්කර ගැනීම පිළිබඳ පනත යටතේ අල්ලස් ලබාදීමක් බවය. කොමිසම කියා සිටින්නේ ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, එම පනතේ 79 වැනි වගන්තියේ ඇ සහ ඈ උප වගන්තිවල පැහැදිලිව මේ බව දක්වා ඇති බවය. එම උප වගන්ති අනුව ඡන්දහිමියකුගේ ඡන්දය ලබාගැනීම සඳහා නියම් ලෙස හෝ අනියම් ලෙස තෑග්ගක්, ණයක්, පොරොන්දුවක් ලබාදීම හෝ එවැනි එකඟතාවක් ලබාදීම අල්ලස් වරදක් ලෙස ද දැක්විය හැකි බවය.
එහෙත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පසුගිය දිනක මාධ්‍ය හමුවේ කියා ඇත්තේ, රාජ්‍ය සේවයේ වැටුප් වර්ධක හා දීමනා සම්බන්ධ නිකුත් කරන ලද නිවේදන තැපැල් ඡන්දය සඳහා බලනොපාන බවකි. ඔහු කියන්නේ, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල පාර්ලිමේන්තුවට පවතින බවත්ය. තව ද වැඩුප් වැඩි කිරීමේ යෝජනා 2025 අය – වැයට ඇතුළත් වන අතර එවැනි තීරණ ක්‍ෂණිකව ක්‍රියාත්මක නොවන බව ද එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කොට අනුමැතිය ද ලබාගැනීමට සිදුවන බවය.
වතුකරේටත් ගිය ඡන්ද අල්ලස්
මැතිවරණකදී ඡන්දදායකයාට ලබාදෙන ඡන්ද පොරොන්දුවලට අමතරව අල්ලසක් දී හෝ ඡන්ද දායකයා රවටා ගැනීම සාමාන්‍ය කාරණයක් බවට පත්වී ඇත. සිමෙන්ති ගඩොල්, ටකරමක්, සිල්රෙද්දක්, හාල් සේරුවකට දෙකකට ඡන්දදායකයා රවටා ගැනීම දේශපාලනඥයකුට ඉතාම ලාභදායි ක්‍රමයකි. මොවුන් රැස්වීමකට ඡන්දදායකයා ගෙන්වා ගන්නේ ද බත් පැකැට්ටුවට, අරක්කු බෝතලයටය. වතුකරයෙන් ද වාර්තා වන්නේ වතුකර කම්කරු ජනතාව රැවටීමට ඡන්ද අල්ලසක් ලෙස රා ලබාදෙන පුවතක්ය. මෙහි නරකම කාරණාව වන්නේ, මෙම රා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ශරීරයට විෂ සහිත වීමය. මේ ගැන කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණය. ඔහු කියන්නේ, මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානය මගින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයට කළ දැනුම්දීමකට අනුව එම රා සාම්පල පිළිබඳ විමර්ශනය ඇරඹූ බවත් එය වතුකරයේ ජනතාවට ලබාදී ඇත්තේ ඡන්ද අල්ලසක් ලෙස බවය. එහිදී රා සාම්පල් සම්බන්ධව සිදුකළ විමර්ශනයට අනුව අනාවරණය වී ඇත්තේ බෙදා දී ඇති රා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවය. වැඩිදුරටත් මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ, තමන්ට සිදුකළ හැක්කේ විෂ සහිත රා නිසා සිදුවිය හැකි සෞඛ්‍ය ව්‍යසනය ගැන සොයා බැලීම පමණක් බවය.
එදත් අදත් හෙටත් ඡන්ද ගුණ්ඩු වලට රැවටෙමු
ලංකාවේ පවතින ආර්ථික හා සමාජයීය තත්ත්වය හේතුවෙන් මෙරට බොහෝ දෙනකු පසුවන්නේ කනස්සල්ලකිනි. ආර්ථික අර්බුදය රටේ ජනතාවට කොතෙක් බලපෑම් සිදුවුවද යන්න ජනතාව සිටින්නේ එදිනෙදා තම ජීවිකාව ගැටගසා ගැනීමේ සටනකය. රටෙහි පවතින තත්ත්වය ද කුමක් වුවද දේශපාලන වේදිකාවේ මැතිවරණ උණුසුම දැන් දිනෙන් දිනම වැඩිවන්නේය. මැතිවරණ වේදිකාව තුළ ඡන්ද අපේක්‍ෂකයන් ටොන් ගණනින් දෙන්නේ ජනතා පොරොන්දුය. දෙසාබාන්නේ බොරු බේගල්ය. දහසක් පොරොන්දුය. මේ ආකාරයට වූ දේශපාලන බලය ලබාගැනීමටත් ගිලිහෙන බලය රැකගැනීමටත් නැව් ගණන් පොරොන්දු දීමට අපේ රටේ දේශපාලනඥයා දක්‍ෂය. කපටිය. අවස්ථාවාදීය. එහෙත් තමාට අපේක්‍ෂිත බලය ලැබූ විගසම එම පොරොන්දු පොරොන්දු ලෙසම පවතිනු ඇත. මේ පොරොන්දු සිහින බවට පත්වී කිසිදා ඉටුනොවන්නේය. මෙය එදත් අදත් ලංකාවේ ඡන්දදායකයාට හුරුපුරුදුය. ගමට පාලමක්, බෝක්කුවක්, ඒදණ්ඩක්, ප්‍රජා ශාලාවක්, රෝහලක්, පාසලක්, කර්මාන්තපුරයක් දෙන බවත් පොහොර සහනාධාරය, ජලය, හානිවූ වගාවට වන්දි, වීවලට මිලක්, තේවලට හොඳ මිලක්, රබර්වලට මිලක් යන මේවා ඡන්දදායකයා ඕනෑ තරම් අසාද ඇත. මේ සියල්ලම ඉටුනොවූ කල ලංකාවේ ඡන්දදායකයා කරන්නේ ඉල්ලීම් ඉල්ලා වීථි බැසීමය. ඡන්ද අපේක්‍ෂකයෝ ද ප්‍රාදේශීය මට්ටමින් බලය ගෙන ජාතික මට්ටමින් ද දැවැන්ත පොරොන්දු ගොන්නක් දී රටේම බලය තහවුරු කර ගනිති. මෙවන් වූ අප්‍රසන්න දුගඳ හමන දේශපාලන වාතාවරණයකදී දේශපාලනඥයන් ගැන රටේ ජනයා පසුවන්නේ බලවත් කලකිරීමෙනි. එය හුදෙක් උද්ඝෝෂණවලින් නොනැවතී තමන්ම විසින් පත්කර ගන්නා ලද ආණ්ඩුව පෙරළා දමන්නට මීළඟ ඡන්දය එනතුරු ඡන්දදායකයා ද සිටින්නේ ඇඟිලි ගැන ගැනය. කොටින්ම කිවහොත් පොරොන්දු දේශපාලනයේ නිරුවත රටටම හෙළි කිරීමටය.
රමින්ද මාවතගේ