ඔන්ලයින් රැල්ලේ මරණ දෙකක් කියාදෙන පාඩමක්

755

හදවත රිදවන මරණ දෙකක් ගැන වාර්තා විය. එකක් බණ්ඩාරගම, ගුන්ගමුව ප‍්‍රදේශයෙනි. අනෙක අගලවත්ත, දාපිළිගොඩ ප‍්‍රදේශයෙනි. වාර්තා වන ආකාරයට ප‍්‍රදේශ දෙකේම මියගොස් සිටිනුයේ පාසල් සිසුන් දෙදෙනෙකි.

නිවසේ කිසිවකු නැති මොහොතක මුළුතැන්ගෙයි කොන්ක‍්‍රීට් කණුවක ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් බණ්ඩාරගම ඉසුරු අශේන් දරුවාට වයස අවුරුදු දහසයකි. ඔහු රයිගම පතහවත්ත ශ‍්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයේ 11 වසර පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. වෛද්‍ය වාර්තාවලට අනුව මොළයේ නහරයක් පිපිරීමෙන් මියගොස් ඇති අගලවත්ත, දාපිළිගොඩ චතූෂ බිම්සර දරුවාට වයස අවුරුදු දහහතකි. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වී සිටින දක්‍ෂ දරුවෙකි. එහෙත් වාර්තා වන ආකාරයට මේ මරණ දෙකටම හේතු වී ඇත්තේ ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමයත් සමඟ ජංගම දුරකථනවලට දැඩිව ඇබ්බැහිවීමෙන් ඇති වූ මානසික රෝග සහ රෝගාබාධයන්ය.

  • බණ්ඩාරගම අශේන්ගේ කතාව
ඔන්ලයින් රැල්ලේ මරණ දෙකක් කියාදෙන පාඩමක්

බණ්ඩාරගම ගුන්ගමුව හර්බට් වික‍්‍රමසිංහ මාවතේ පදිංචිව සිටින මෝලි වික‍්‍රමාරච්චිගේ පුංචි කැදැල්ලේ එකම දරුවා ඉසුරු අශේන්ය. අධ්‍යාපනයට මෙන්ම නර්තනයට ද එක ලෙස දක්‍ෂ අශේන් පතහවත්ත ශ‍්‍රී ස්වර්ණජෝති පාසලේ දීප්තිමත් සිසුවෙකි. මෝලි සහ අශෝකාගේ දෙනුවන බඳු අශේන් පුතු මව්පියන්ගේ මෙන්ම ඥාතීන්ගේ, අසල්වාසීන්ගේ ද ආදරය විඳිමින් කෙළිදෙළෙන් ජීවත් වූ දරුවෙක් බව වාර්තා වේ.

‘‘අපිට හිටිය එකම දරුවා. ඉගෙනගන්නත් හරිම දක්‍ෂයි. පාසල් නිවාඩුවත් එක්ක ඔන්ලයින් ක‍්‍රමයට උගන්වනකොටත් පුතා ඒ වැඩ හරියට කරගෙන ගියා. පාසලෙන් කරන සියලූ පන්තිවලට සම්බන්ධ වුණා. පරණ ෆෝන් එක කැඩුණු නිසා අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යන්න ස්මාර්ට් ජංගම දුරකථනයකුත් අරගෙන දුන්නා. රුපියල් තිස්තුන්දාහක් වෙච්ච ඒ දුරකථනය අපි ගත්තේ ගෙවීමේ පදනම මතයි. ගුරුවරුන්ගේ වැඩ වර්ජනයත් සමඟ ඔන්ලයින් පන්ති නතර වුණත් පුතා ජංගම දුරකථනය නිතර පාවිච්චි කරනවා අපි දැක්කා. ෆෝන් එකෙන් ගේම් ගහනවත් අපි දැකලා තියෙනවා. ඒත් පුතා ගේම්වලට මෙච්චර ඇබ්බැහිවෙලා ඉඳලා තියෙන විත්තිය දැනගෙන හිටියේ නෑ. මගේ පුතාට මේ ඉරණම අත්වෙන්න ගුරුවරුන්ගේ වැඩ වර්ජනයත් හේතුවක් වුණා. ඒ වැඩ වර්ජනය නැති වුණා නම් පාසල්වල ඔන්ලයින් ඉගැන්වීම් කරනවා. එතකොට පුතාලා වෙන, වෙන දේවල්වලට යොමු වෙන්නෙ නෑ. ගුරු වැඩ වර්ජනය තුළ ඔන්ලයින් අධ්‍යාපනය ලබමින් හිටිය ගොඩක් ළමයි නොමඟ ගිහින් තියෙනවා…’’ අශේන්ගේ පියා වික‍්‍රමආරච්චිට වයස අවුරුදු හතළිස් හයකි. අශෝකා රංජනී මවට වයස අවුරුදු හතළිස් තුනකි. ජීවිතෙන් අඩක් පමණ ගෙවී ගොස් ඇති ඔවුන්ට එකම දරුවාගේ අකල් මරණය විඳ දරාගැනීමට අපහසු බව සැබෑය. එහෙත් තම දරුවා දුරකථනයෙන් කරන ක‍්‍රියාකාරකම් ගැන විමසිලිමත්ව සිටියා නම් එම මව්පියන්ට අද මේ ඉරණම අත් නොවෙන්න ඉඩ තිබුණි.

‘‘අනේ… අම්මේ, තාත්තේ වැඳලා කියන්නම් දරුවන්ට ෆෝන් නම් දෙන්න එපා…’’ සමාජය ඉදිරියේ වික‍්‍රමආරච්චිට මෙවැනි කතා කියන්නට ද ඇවැසි නොවෙනු ඇත. එහෙත් දැන් නොවිය යුතු දේ සිදු වී හමාරය. පසුගිය 11 වැනිදා දහවල් කෑම කා අහවර වී පියා කඬේට ගිය මොහොතට ගෙල වැළලාගෙන මියයෑමට තරම් ඉසුරු අශේන් මානසිකව දැඩි පීඩනයකට පත්ව සිටියේය. බණ්ඩාරගම ඉසුරු අශේන් භවයක නිමාව එසේ අවසාන කරන විට දාපිළිගොඩ බිම්සරගේ ඉරණම් කතාව මෙසේ පෙළගැසිණි.

ඔන්ලයින් රැල්ලේ මරණ දෙකක් කියාදෙන පාඩමක්
  • දාපිළිගොඩ බිම්සරගේ කතාව

අගලවත්ත දාපිළිගොඩ ප‍්‍රදේශවාසීන් පවසන ආකාරයට බිම්සර ද දැඩි සේ දුරකථන භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙකි. දවසේ වැඩි කාලයක් ආච්චිඅම්මාගේ රැකවරණය තුළ ජීවත් වන බිම්සර දීර්ඝ පාසල් නිවාඩු කාලයේදී නිවසෙන් බැහැරට පැමිණ සිටිනවා දුටුවේ කලාතුරකින් බව ප‍්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. එහෙත් බිම්සරගේ පියා සංජීව අප සමඟ පවසා සිටියේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

‘‘පසුගිය 7 වැනිදා පාන්දර පුතාට ඔළුව කැකුමක් ඇවිත් තියෙනවා. පාන්දර පහට විතර බලනකොට නින්දෙන්ම දරුවට සිහිය නැති වෙලා තිබිලා. ඉස්පිරිතාලෙට ගෙනියනකොටත් සිහිය නැතිලූ. නාගොඩ රෝහලට අරගෙන ගියාට පස්සෙ වෛද්‍යවරු පරීක්‍ෂා කරලා බලලා පුතාගේ මොළේ නහරයක් බ්ලොක්වෙලා පුපුරලා කියලා තියෙනවා. මොළේ මැරිලා නිසා ජීවත් කරන්න බෑ කියලත් කියලා තිබුණා…’’ සංජීව කුමාර යුද හමුදා සෙබළෙකි. බිම්සර අසනීප වන විට ඔහු සේවය කරමින් සිට ඇත්තේ යාපනය යුද හමුදා කඳවුරේය. හතළිස් අටවැනි වියේ පසුවන ඔහු එක්දරු පියෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකරන්නීය. ඇයට වයස අවුරුදු හතළිස්හයකි. ඔවුන් දෙපළට සිටි එකම පුතා බිම්සර, අගලවත්ත මිහිඳු පර්ෂද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දීප්තිමත් ශිෂ්‍යයෙකි.

ඔන්ලයින් රැල්ලේ මරණ දෙකක් කියාදෙන පාඩමක්

‘‘මගේ පුතා මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ දැඩි ලෙස දුරකථන භාවිතයට ඇබ්බැහි වෙලා සිටිය නිසා කියලා නාගොඩ ඉස්පිරිතාලෙන් ප‍්‍රචාරයක් යවලා තිබුණා. ඒක අමූලික බොරුවක්. ඒ ගැන මම කොළඹ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් ඇහුවා. පුතාගේ මරණයට ජංගම දුරකථන භාවිතයේ කිසිම බලපෑමක් නෑ කියලා ඒ වෛද්‍යවරු මට කිව්වා. පුතා දුරකථන පාවිච්චි කළෙත් බොහෝම අඩුවෙන්. ඔන්ලයින් ඉගෙනීම් කටයුතු කරගෙන ගියේ ලැප්ටොප් එකෙන්. මගේ පුතා හොඳ දරුවෙක්…’’ සංජීව කියන කතාවට අනුව බිම්සරගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන කතාව බොරුවකි. එවැනි කතා පැතිරවීම බිම්සර පුතුගේ මරණයටත් කරන අපහාසයකි. මේ ජීවිතයට රැගෙන ආ ආයුෂ අවසාන කොට චතූෂ බිම්සර නොයන ගමන් ගියේ සමාජය ඉදිරියේ ප‍්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. එම ගැටලූවට යම් විසඳුමක් ලබාගැනීමේ අරමුණින් මානසික සෞඛ්‍ය පදනම, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කර ගත්තෙමු.

  • ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා කතාව

‘‘අධික ඇබ්බැහිකම සහ ඒකාකාරී ජීවන රටාවක් තුළ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍යයට ඇවැසි නින්ද නැතිකම, එකම විදිහට ඇස්, කන් යොමුවීම නිසා රුධිර පීඩන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මොළයේ ලේ ගමන් කිරීම පිළිබඳ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ තුළින් ක්‍ෂණික මරණය සිද්ධ වෙන්න පුළුවන් බව ලෝකයේ විවිධ පරීක්‍ෂණ තුළින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම ඇබ්බැහිය යනු කෙනෙකුට නතර කරගැනීමට නොහැකි හැසිරීම. පාලනය කරගැනීමට නොහැකි හැසිරීම. දෛනික කාලසටහනේ යම් ක‍්‍රියාවක් ආසීමාන්තිකව සිදුකිරීම. නින්ද හැරුණුකොට අවදියෙන් ඉන්නා කාලය තුළ යම්කිසි කාර්යයක් සඳහා අති ප‍්‍රතිචාර දැක්වීම ඇබ්බැහිවීම ලෙස හඳුන්වන්න පුළුවන්. ඇබ්බැහිය විවිධ අංශවලට බෙදෙනවා. මත්ද්‍රව්‍ය, මද්‍යසාරවලට මිනිස්සු ඇබ්බැහි වෙනවා. ඇබ්බැහිය ඇති වෙන්නෙ මොළය තුළ. මේක රෝගී තත්ත්වයක්. ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමක් ගැන ලෝකයේ කිසිදු තැනක සඳහන් වෙලා නෑ. ඒත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා වගේම තමයි ජංගම දුරකථන සහ පරිගණකවලට ඇබ්බැහිවීම. මේ ඇබ්බැහිය හඳුන්වන්නේ ‘තාක්‍ෂණ ධූර්තය’ කියලා. ධූර්ත වෙනවා කියන්නේ ඇබ්බැහිවීම…’’

ඔන්ලයින් රැල්ලේ මරණ දෙකක් කියාදෙන පාඩමක්

‘‘ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමේදීත්, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමේදීත් මොළයට ඇති වෙන්නේ එකම තත්ත්වයක්. සරලව කියනවා නම් කුඩුකාරයකුට වෙන දේ තමයි ජංගම දුරකථනයට ඇබ්බැහිවීමේදීත් මොළට සිදුවෙන්නේ. ඒ වගේම යම් කෙනෙක් මත්ද්‍රව්‍යයට දෛනිකව ඇබ්බැහි වෙන්නෙ කෙටි කාලයකට. ජංගම දුරකථනයට ඇතිවන ඇබ්බැහිය ඊට වඩා භායනකයි. සමහර අය දවසෙ වැඩි කාලයක් ඉන්නෙ ජංගම දුරකථනයත් එක්ක. කෑම කන මොහොතේදී දුරකථනය ක‍්‍රියාත්මකයි. මහා ?, පාන්දර දෙක, තුන වෙනකම් නිදිවරාගෙන ජංගම දුරකථනයත් එක්ක ඉන්නවා. ඒක මානසික ආබාධයක්. ඒ තත්ත්වයේදී අවට ලෝකය ගැන ඇති සංවේදනය නැති වෙලා යනවා. දෙමවුපියන් පිළිබඳ තියෙන හැඟීම් නැති වෙලා යනවා. ආචාර ධර්ම සියල්ල අමතක වී, දුරකථනයේ තිබෙන දේ පමණක් මොළයට යනවා. ඒකාකාරී හැසිරීම තුළින් මානසික ආතතිය ඇති වෙනවා. ඕනෑම කෙනෙකුට එකම ඉරියව්වකින් සිටින විට ආතතිය වැඩි වෙනවා. ඇබ්බැහි වී සිටින ළමයකුගෙන් හිටි හැටියේ දුරකථනය ගත්තොත්, දුරකථනය නැති වුණොත්, වීඩියෝ ගේම් එකක් පැරදුනත් කෝපයත් සමඟ කලකිරීමක් ඇති වෙනවා. කලකිරීම පිට වෙන්නෙ විශාදය කියන තත්ත්වයෙන්. තමන්ට තමා පිළිබඳ වෛරයක් ඇති වී අවසානයේ දිවි නසාගන්නා තැනට පත් වෙනවා. මේ වෙනකොට පාසල් දරුවො කිහිපදෙනෙක්ම සියදිවි හානි කරගෙන තියෙනවා…’’ මහාචාර්යවරයාගේ අහදස් දැක්වීම අවසානය.

පරණ ජංගම දුරකථනය වෙනුවට අලූත් දුරකථනයක් අරගෙන නොදුන් තරහට ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගත් සිසුවෙක් ගැන පසුගිය දිනක වාරියපොළ ප‍්‍රදේශයෙන් ද වාර්තා විය. ඒ වාරියපොළ ඥානෝදය මහා විද්‍යාලයේ 11 වසර පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි එෙ`ඞ්රමුල්ල ප‍්‍රදේශයේ පිරිමි ළමයෙක් ‘වීඩියෝ ගේම්’ සෙල්ලම් කිරීමට ජංගම දුරකථනය ලබානොදුන් තරහට තම මවට නොසෑහෙන්න පහරදී තිබිණි. එම පහරදීම දුටු පියාට හෘදයාබාධයක් වැළඳී පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ බව ද අපට වාර්තා විය. එමෙන්ම ඔන්ලයින් අධ්‍යාපනය ලබාගැනීමට ජංගම දුරකථන භාවිතයට නැඹුරු වූ දිළිඳු පවුල්වල දරු දැරියන් වීඩියෝ ගේම්වලට බහුල වශයෙන් ඇබ්බැහි වී සිටින බවද වාර්තා වේ. ජංගම දුරකථන සහ සමාජය ගැන දැනුමක් නැති දරුවන්ට හිටි හැටියේ ජංගම දුරකථනයක් සමඟ අන්තර්ජාල පහසුකම් ලැබුණු විට පිස්සු වැටී සිටින බවද ගුරු උපදේශකවරයෙක් අප සමඟ පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා අකමැත්තෙන් වුවද මවුපියන් ලබාදෙන ජංගම දුරකථනය ඇතැම් ළමයි පාවිච්චි කරනුයේ වඳුරන්ට දැලිපිහියක් ලැබුණු ගානට බව සැබෑය. එමෙන්ම ගුරු වැඩ වර්ජනය හේතුවෙන් මාර්ගගත ඉගෙනීම් කටයුතු නතර වූ පසුබිමක ඇතැම් ළමයින් අන්තර්ජාලයේ සැරිසරමින් ‘වැඩිහිටියන්ටත් නොසුදුසු වීඩියෝපට’ නරඹමින්, මනස විකෘති කරන විවිධ වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වී නන්නත්තාර වී සිටින බව ද සැබෑය. එහෙයින් මේ පෙළගැසෙන ඛේදජනක කතා දාමයම අපට බලකර කියනුයේ වැසී තිබෙන මෙරට පාසල් පද්ධතිය කඩිනමින් විවෘත කරන ලෙසය. දුරකථනවලට ඇබ්බැහි වූ තවත් දරුවන් ගෙල වැළලාගෙන මියයන්නට පෙර නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයක් යටතේ පාසල් පද්ධතිය විවෘත කරන ලෙසය. එමෙන්ම ගුරුවරුන්ට ලැබෙන වේතනයේ බරපතළ ගැටලූවක් ඇති බව සැබෑය. එහෙත් එම ගැටලූ විසඳාගැනීමට දැන් රටේ පවතිනුයේ සුදුසු වාතාවරණයක් නොවේ. එහෙයින් පැතිර ගිය වසංගතය තුළ වැසී ගිය රටේ පාසල් පද්ධතිය නැවත විවෘත කර, දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කර ගුරු ගැටලූ විසඳාගැනීමට කටයුතු කිරීම කාලෝචිත බව අපගේ හැඟීමය.

තරංග රත්නවීර
ඡායාරූප – කැස්බෑව ජයසිංහ
අගලවත්ත මහිලාල් පද්මසූරිය

advertistmentadvertistment