ඔබේ දරුවා අනතුරේ… කොළඹ, කුරුණැගල, රත්නපුර ළමා අපයෝජන වර්ධනයක්… කොවිඞ් සමගම තත්ත්වය වැඩිවෙලා

1534

මාස හයට ළමා අපයෝජන 4740ක්… දිනකට දුරකථන ඇමතුම් 200ක්

කළුවරට පවා බය තමාගේ දියණිය හැරෙන්නටවත් ඉඩක් නැති අඳුරු කාමරයක හිර කර වධහිංසා පමුණුවා මරා දමා ඇතැයි දැන් ඉශාලිනීගේ මව නීතියේ සාධාරණය ඉල්ලා හඬා වැටෙයි. ජීවිතයේ සුන්දරම අවධිය මෙහෙකාර සේවයට කැප කළ ඉශාලිනි මියගියේ ඇගේ මරණය සම්බන්ධයෙන් බොහෝ සැක සංකා ඉතිරි කරමිනි. ඉශාලිනීගේ මරණයත් සමඟ ළමයින් සම්බන්ධයෙන් වන කාරණාවන් පිළිබඳව බොහෝ දෙනා යළිත් කතා කරන්නට පටන් ගත්තේ මතවාද පවා ගොඩනඟමිනි.

සේයාගේ ඝාතනයට, විද්‍යාගේ අභිරහස් මරණයට සාධාරණයක් ඉල්ලා හඬ නැඟූවා ලෙසම අද බොහෝ පිරිසක් ඉශාලිනී වෙනුවෙන් සාධාරණය ඉල්ලා හඬනඟති.

ගල්කිස්සේ පහළොස් හැවිරිදි දැරියක් සමාජ ජාල හරහා අලෙවිකරමින් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ පුවතේ උණුසුම මැකෙන්නටත් පෙර තැනින් තැන ළමා අපයෝජන සම්බන්ධයෙන් තොරතුරු රැල්ලක් ලෙස වාර්තා වෙමින් පවතී.

ළමා අපයෝජන සම්බන්ධයෙන් දිනකට දුරකථන ඇමතුම් 200 ක් පමණ ලැබෙන බව හා 2021 වසරේ ජනවාරි 01 දා සිට ජූනි 30 දක්වා පමණක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 4740ක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

නමුත් වාර්තා වූ සිදුවීම් මෙන්ම විවිධ හේතූන් මත වාර්තා නොවන සිදුවීම් ද බොහෝමයක් තිබිය හැකි නොවේද? සේයාගේ සිදුවීමේදී ළමයින් සම්බන්ධයෙන් වන නීති නිසි ලෙසම ඉටුකළා නම් ළමා අපයෝජකයන්ට දැඩි දඬුවම් පැමිණවූවා නම් අද ඉශාලිනීට මෙන්ම බොහෝ ළමයින්ට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් අත් වන්නේ කෙසේදැයි මහජනතාව වගකිවයුතු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරයි. එලෙසම ඉශාලිනීටත් අනෙක් දරුවන්ටත් වූ අසාධාරණකම්වලට නීතිය ක‍්‍රියාත්මක වන්නේ කෙලෙසදැයි ඔවුන් අවධානයෙන් බලා සිටියි.

දිනෙන් දින වැඩිවන ළමා අපයෝජන පිළිබඳ සැබෑ තත්ත්වය හා මහජනතාව අසන ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගෙන් තොරතුරු විමසූ විට ඔවුන් පැවසුවේ මෙවැනි කතාවකි.

මේ වසරේ (2021) මුල් මාස හයට විතරක් ළමා අපයෝජන පැමිණිලි 4740ක ප‍්‍රමාණයක් ලැබිලා තියනවා. කායික, ලිංගික හිංසන, මානසික පීඩා, කෲරත්ව ආදී සියලූම වර්ගවල ළමා අපයෝජන දිවයිනේ සෑම ප‍්‍රදේශයකින්ම වාර්තා වුණා. විශේෂයෙන්ම කොළඹ (508), කුරුණෑගල (384), රත්නපුර (337) ප‍්‍රදේශවලින් තමයි වැඩිම ළමා අපයෝජන සිදුවීම් වාර්තා වෙන්නේ.”

මෙතරම් ළමා අපයෝජන ප‍්‍රමාණයක් වාර්තා වෙද්දී ඒ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ අදහස් විමසීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ සැලසුම් හා තොරතුරු සමාජ විද්‍යා සහ නීතිවේදී ශානිකා මලල්ගොඩ මහත්මියව සම්බන්ධ කර ගත්තෙමු. ළමා අපයෝජන සම්බන්ධයෙන් ඇය මෙසේ අදහස් දැක්වූවාය.

‘‘මේ දවස්වල ළමා අපයෝජන හා අපචාර ගැන වැඩි වශයෙන් කතා කරනවා. සමහර පුද්ගලයන් ළමයා කියන්නෙ කවුද කියලවත් අඳුරගෙන නෑ. 1989 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ දී අවුරුදු 18ට අඩු ඕනෑම තැනැත්තෙක් (ගැහැණු, පිරිමි) ළමයෙක් ලෙස අර්ථ දක්වලා තියෙනවා. ලංකාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 40 වන වගන්තියට අනුව ළමයෙක් කියන්නේ අවුරුදු 18ට අඩු කෙනෙක් කියලා නිර්වචනය කාරලා තියෙනවා.”

  • අපයෝජනය, අපචාර හා අපහරණය ගැන හරියටම දැන ගන්න

‘‘ළමයා ඕනෑම ආකාරයේ වැරදි ක‍්‍රියාවකට වැඩිහිටියන් විසින් යොදා ගන්නවා නම් ඒක ළමා අපයෝජනයක් විදියට තමයි සලකන්නේ. එලෙසම ළමයි වැරදි විදියට හැසිරෙනවා නම් ඒක ළමා අපචාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කෙටියෙන්ම කියනවනම් ළමයාට කරන වැරදි අපයෝජන ලෙසත්, ළමයින් කරන වැරදි අපචාර ලෙසත් හඳුන්වන්න පුළුවන්.

නීත්‍යානුකූල භාරකාරත්වයේ ඉන්න ළමයෙක් (ගැහැනු ළමයෙක් නම් අවුරුදු 16 වෙනකම්, පිරිමි ළමයෙක් නම් අවුරුදු 14 වෙනකම්) භාරකරුවන්ගෙන් අවසරයක් නැතිව පැහැරගෙන යෑම අපහරණය කියලා හඳුන්වනවා.”

  • කොවිඞ් එක්ක ළමා අපයෝජන රැල්ලක්

කොවිඞ් ව්‍යාප්තියත් සමඟ සංචරණ සීමා පැනවීම නිසා නිවෙස් තුළටම වී ළමයින් කාලය ගත කළ ද එම කාල සීමාව තුළ ද ළමා අපචාර සහ අපයෝජනය සම්බන්ධයෙන් සිදුවීම් ගණනාවක්ම වාර්තා වූ බව ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි. මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවීමත් සමඟ තාක්ෂණය අවභාවිත වීම නිසා මෙලෙස ළමා අපචාර සිදුවීම් වැඩි වන්නට ඇති බව ද එම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. කෙසේ වෙතත් පසුගිය ජූනි දාහත් වැනිදා සිට මේ දක්වා කාලය තුළදී ළමුන් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ පට 17,600 කට වැඩි ප‍්‍රමාණයක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් එම වරදකරුවන් සොයා විශේෂ පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක කළ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

  • නිවසින් පිටදී වගේම නිවසේදීත් ළමයා අනාරක්ෂිතයි

සාමාන්‍යයෙන් ළමයෙකුට ආරක්ෂිතම ස්ථානය නිවස ලෙස පිළිගැනුණ ද අද වන විට නිවෙස් තුළදීම ළමා ජීවිතය අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ. පහරදීම, හිරිහැර කිරීම ලිංගික අපයෝජන මෙන්ම මෙහෙකාර සේවයට යොදා ගැනීම හා මානසික හිංසනයන්ට ලක්කිරීම වැනි දේ නිවෙස් තුළදීම වැඩිහිටියන්ගේ හා දෙමාපියන්ගේ දැනුවත් වීමෙන් හෝ දැනුවත් වීමකින් තොරව සිදුවිය හැකියි. ළමයින්ගේ ස්වභාවික භාරකරුවන් වන මව පියා අතින් මෙන්ම තාවකාලික භාරකරුවන් අතින්ද ඉහත සඳහන් කළ ලෙස ළමයින් අපයෝජනයට ලක් වීමට අවස්ථාව තිබේ.

‘‘සාමාන්‍යයෙන් ළමයින්ව අපයෝජනට යොදවා

නොගන්නා කෙනෙක් නැති තරම්. සමහර අවස්ථාවල තාත්තගෙන්, සීයාගෙන්, බාප්පාගෙන්, මාමාගෙන්, සහෝදරයන්ගෙන් පවා අපයෝජනයට ලක් වෙනවා. හොඳ නරක කියල දෙන ඇතැම් ගුරුවරුන්ගෙන්, ආගමික නායකයන්ගෙන් ළමයින්ට බොහෝ ගැටලූකාරී තත්ත්ව ඇති වෙනවා. ඒ නිසාම මම දෙමාපියන්ට අවධාරණය කරලම කියනවා ඔබේ දරුවන් ඕනෑම ස්ථානයක ඕනෑම මොහොතක ඕනෑම පුද්ගයකු අතින් අපයෝජනයට ලක් වීමට ඉඩකඩ තියෙනවා කියලා. ඒ නිසා එවැනි පුද්ගලයන් සහ අවස්ථාවන් පිළිබඳව අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීම දෙමාපියන්ගේ වගකීමක්.” ලෙසින් අධ්‍යක්ෂවරිය කියා සිටියි.

  • ළමයින් නොසලකා හැරීම බරපතළ අපරාධයක්

ළමයෙකුට අපයෝජනයක් සිදු විය හැකි මූලිකම ක‍්‍රම හතරකි. කායික පීඩාවන් පැමිණවීම, මානසික පීඩාවන්, ලිංගික හිරිහැර සහ නොසලකා හැරීම එම කොටස් වේ. ලිංගික අපයෝජන බරපතළ තත්ත්වයක් ලෙස සැලකුවද නොසලකා හැරීම පිළිබඳව බොහෝ දෙනකු ද විමසන්නේ නැත. එහෙත් නොසලකා හැරීම හා ළමයින් කෙරෙහි වන අවධානය අඩු කිරීම කායික මානසික සහ ලිංගික පීඩනයන්ට ළමයින් ගොදුරු වීමට ප‍්‍රධානතම හේතුවයි.

‘‘අපි ලිංගික අපයෝජන ගැන වැඩි වශයෙන් කතා කළාට දරුවන්ව නොසලකා හැරීම සහ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවධානය දරුවන්ට නොලැබීම නිසා තමයි මේ හැම අපරාධයක්ම සිද්ධ වෙන්නේ. දරුවන්ගේ ආරක්ෂාවේ මූලිකම වගකීම පැවරිලා තියෙන්නේ ස්වභාවික භාරකරු වන මවට හා පියාට. ඒ නිසා දරුවන්ට ආහාර පාන ලබාදීම, රැකවරණය ලබාදීම වගේම දරුවන්ගේ මානසික, කායික නිරෝගීතාවය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත් දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ වගකීමක්. ඒ නිසා අම්මලා තාත්තාලා පවුල් ආරවුල් ඇති කරගන්නව නම්, අනියම් සම්බන්ධතා නිසා තමන්ගේ පවුල මඟහැර ගන්නවනම්, එහෙම නැත්නම් ටික් ටොක් ෆේස්බුක් වගේ දේවල් පස්සේ ගිහින් දරුවන් කෙරෙහි තියෙන අවධානය අඩු කරනවා නම් එතැනදී දරුවන් බරපතළ ලෙස මානසිකව කඩා වැටෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හොරකම්වලට වගේම විවිධ ලිංගික අත්හදා බැලීම් වලට පවා ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ඇත්තේ ඔබ අතේ මිස විකල්ප ආයතන සතුව නොවන බව තරයේ මතක තබා ගන්න.”

  • වයසට ගැළපෙන පරිදි ලිංගිකත්වය සම්බන්ධයෙන් ළමයින්ට උගන්වන්න

වයස අවුරුදු දාසය දක්වා සියලූම දරුවන් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය වේ. අවුරුදු 18 දක්වාත් ඉන් ඔබ්බටත් පුද්ගලයන්ට ඉගෙන ගැනීමට අවස්ථාව ඇත. මෙලෙස ඉගෙන ගැනීමේදී නිවෙස් තුළින් මෙන්ම පාසල තුළිනුත් දරුවන්ට ඒ ඒ වයස් සීමාවන්ට ගැළපෙන ලෙස ලිංගිකත්වය සම්බන්ධ කාරණාවන් ඉගැන්වීම අත්‍යවශ්‍යම කාරණාවකි.

‘‘දරුවන්ගේ ශරීරයෙහි වෙනස්කම් ගැන, වෙනත් පුද්ගලයන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන්, හැඟීම් චිත්තවේග පාලනය සම්බන්ධයෙන් ඒ ඒ වයස් වයසට ගැළපෙන ලෙසින් කියා දීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු කාරණාවක්. එහෙම නැති වෙද්දී කුතුහලයත් එක්ක සමාජයට ප‍්‍රවේශ වන දරුවන් වැරදි දේ වුණත් හරි දේ වුණත් ඒවා අත්හදා බලමින් ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒ නිසා මම යෝජනා කරනවා සෑම දෙමාපියන්ට සහ ගුරුවරුන්ටම නිවසේදී වගේම පෙර පාසලේ ඉඳලම ක‍්‍රම ක‍්‍රමයෙන් දරුවන්ට ඔවුන්ගේ ශරීරය සම්බන්ධ කාරණාවන් කියලා දෙන්න කියලා.

ළමා ආරක්ෂක කමිටු, මාධ්‍ය සමාජ, ශිෂ්‍යය නායක කණ්ඩායම් හරහා ළමා අපයෝජන වළක්වන්න වගේම ළමයින් ආරක්ෂා කර ගන්න පාසල් මට්ටමින් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ශිෂ්‍යයන් එකතු වෙලා මේ අවස්ථාවේ දරුවන් ආරක්ෂා කර ගත යුතුයි.” ශානිකා මලල්ගොඩ මහත්මිය පැවසුවාය.

  • ළමයින් ගැන 1929 ට කියන්න

ළමයින් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් හෝ යම්කිසි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකථන අංකයට දැනුම් දිය හැකියි. එය සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම පැය 24 පුරාම ක‍්‍රියාත්මක සේවාවකි.

නමුත් මෙයට පැමිණිලි ලබා දීමේදී සත්‍ය තොරතුරු ලබා දීමට මහජනතාව වගබලා ගත යුතු අතර අපයෝජනයන්ට ලක්වන දරුවන් පිළිබඳ තොරතුරු, සැකකරුවන් සම්බන්ධ තොරතුරු ආදිය පැහැදිලිව ලබාදීම සිදුකළ යුතුවේ. තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ රහස්‍යභාවය පිළිබඳ වගකීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දරයි.

යම්කිසි ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් පටිගත කළ සාක්ෂි ඇත්නම් වීඩියෝ පට හෝ ඡායාරූප ඇත්නම් වට්ස්ඇප් සහ වයිබර් හරහා (0773220032) පැමිණිලි අංකය සටහන් කර ලබාදීමටද හැකියාව ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය තුළින් ද වැඩි විස්තර දැනගත හැකිය.

  • ළමයින් වෙනුවෙන් මේ ආයතනත් සූදානමින්

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක, අධිකරණ වැනි අමාත්‍යාංශ ද ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහාය දක්වන බව එම ආයතනයේ නිලධාරීන් පවසයි.

මේ වන විට ළමා ආරක්ෂක අධිකාරිය තුළ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් ද පිහිටුවා ඇති අතර ලැබෙන පැමිණිලි පිළිබඳව මෙන්ම තොරතුරු සොයාගෙන ගොස් යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් ද සොයා බලා නීතිමය කටයුතු ගැනීමට අවශ්‍ය දේ සම්පාදනය කරයි.

ළමා අපයෝජන හා සම්බන්ධ නීතිමය පසුබිම පිළිබඳව අධ්‍යක්ෂවරිය මෙසේ අදහස් දැක්වූවාය.

‘‘කුමන ආකාරයේ ළමා අපයෝජනයක් සිදු කළත් ඒක බරපතළ වරදක්. කොහොම වුණත් දරුවන් සම්බන්ධයෙන් තීරණ ගද්දි කිසිදු භේදයකින් තොරව වරදකරුවන්ට දඬුවම් දීමට කටයුතු කරනවා. සිර දඬුවම්, දඩ අය කිරීම්, වන්දි ලබා ගැනීම් ආදී දඬුවම් පමුණුවනවා. වරදේ ස්වභාවය අනුව තමයි දඬුවම් තීරණය කරන්නේ.

අපි දෙමාපියන්ට කියනවා දරුවන් බිලිගන්න බලාගෙන ඉන්න තැරැව්කරුවන්ගෙන් ඔබේ දරුවා පරිස්සම් කර ගන්න. මෙහෙකාර සේවයට අහිංසක දරුවන්ව දීමේදී සිය දහස් වරක් හිතන්න. දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වගකීමේ කොටසක් ඔවුන්ටත් දෙන්න. වරදක් දැක්ක තැන බය නැතුව කතා කරන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න. ගැහැනු දරුවන් වගේම පිරිමි දරුවනුත් අපයෝජනය වෙනවා. ඒ හින්දා හැම වෙලේම අවධානෙන් ඉන්න. අපේ ආයතනයේ නිලධාරීන්ට මේ රටේ හැම ගෙදරකටම ගිහින් දරුවෝ රැක ගන්න පුළුවන් කමක් නෑ. මූලිකව දෙමාපියන් මේ වගකීම දරමින් අපට සහයෝගය දෙන්න” ලෙස අධ්‍යක්ෂවරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම දරුවන්ටද අන් අයගෙන් ආරක්ෂා වෙමින් ප‍්‍රවේසමෙන් කටයුතු කළ යුතුව ඇති බවත් ඒ මහත්මිය සිහිපත් කළාය.

කොවිඞ් නිසා නිවෙස් තුළටම කොටු වූ දරුවන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ටත් ගුරුවරුන්ටත් මේ මාසයේදී සිතුවිලි සිත්තම් ලෙස චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය අංශය දන්වා සිටියි.

රටක අනාගත පරපුර තිඹිරිගෙයිදීම වළලා දමන්නට උත්සාහා ගන්නා පිරිස කුමන පනත යටතේ වුවද බරපතළ දඬුවම් විඳිය යුතුමය. හයක් හතරක් නොතේරෙන කිරි දරුවන්ගේ පටන් පාසල් ශිෂ්‍යය ශිෂ්‍යාවන් දක්වාත් එයින් නොනැවතී විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ ළමා නිවාස තුළ රැ`දී සිටින දරුවන් පවා අපයෝජනවලට ලක් වෙමින් සිටියි. ලොව හොඳම දේ කෙසේ වෙතත් බියෙන් සැකෙන් තොරව නිදහසේ වැඩෙන්නට, ඉගෙන ගන්නට ජීවිත් වන්නට ළමා පරපුරට නිදහසක් තිබිය යුතුය. රටේ පාලකයන්, ආගමික නායකයන්, වගකිවයුතු නිලධාරීන් ඇතුළු සමස්ත මහජනතාවම දිනෙන් දින වැඩිවන ළමා අපයෝජන රැල්ල නැවතීමට ගත යුතු සෑම තීරණයක්ම නොබියව ගත යුතු කාලය එළඹ තිබේ.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment