ආසියාවේම ප්‍රාර්ථනය අරුණ ඔබයි
සුගත්ගේ වාර්තාවත් අලුත් කරයි
ඔබේ සතුටු කඳුළු සැබෑවක් කරන්න මම උපරිමයෙන් දුවනවා යැයි අරුණ දර්ශන කීවේ හැඟුම්බරවය. මගේ රටේ ආදරණීය ජනතාව මගේ ජයග්‍රහණය මුළු හදින්ම පතන බව මම දන්නවා. අවසන් පූර්ව වටයේදීත් රට දිනවා ජය අරගන්න සැලසුමක් අනුව මම කැපවෙනවා යැයිද ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසය රනින් ලියවූ අරුණ දර්ශන ඔලිම්පික් පිරිමි මීටර් 400 ඉසව්වක අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වුණා.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ලොව වැඩිම අවදානය දිනාගන්නා විශ්වයේ වේගවත්ම මිනිසා සොයන සටනට ප්‍රංශයේ පැරිස් නුවර ස්ප්රෙඩීප්රාන්ස් ක්‍රීඩාංගණ අසූ දහසකට අධික ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී ඉතිරී යද්දී ශ්‍රී ලංකාවේ මෙවර ඔලිම්පික් මලල ක්‍රීඩා එකම බලාපොරොත්තුව වූ අරුණ දර්ශන මීටර් 400 මූලික වටයේ 5 වන තරගයට සහභාගි වූයේය. විසි වසරකට පසු ඔලිම්පික් පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් අරුණ දර්ශන මූලික වටයේ 5 වන තරගයේදී තරග බිමට පිවිසියේය.
එහිදී මෙම ඉසව්වේ කප්පිත්තෙක් වූ කිරානි ජේම්ස් සමග කරට කර සටනක නිරතවන්නට අරුණ දර්ශනට හැකියාව ලැබිණි. තියුණු අවසානයක් සටහන් කරමින් අරුණ මෙම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගත්තේ ඔලිම්පික් මලල ක්‍රීඩා බිමේදී ශ්‍රී ලංකා නාමය යළි අවදි කරමිනි. මෙම ඉසව්වේදී අරුණ තම පෞද්ගලික හොඳම කාලයද වාර්තා කරමින් ඔහු තරගය තත්පර 44.99කින් අවසන් කළා.
මෙරට බිහිවූ විශිෂ්ට මලල ක්‍රීඩකයකු වූ සුගත් තිලකරත්නගෙන් පසු මීටර් 400 ඉසව්ව තත්පර 45ට අඩුවෙන් දිව ගිය එකම ක්‍රීඩකයා වන්නේද අරුණ දර්ශනයි. එමෙන්ම ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස අරුණ දර්ශන වාර්තා පොත් අතරට එක්වුණු අතර අනේකවිධ දුක්ගැහැට මැදින් ක්‍රීඩාව කරගෙන යමින් ඔලිම්පික් වරම් හිමිකර ගත් සේරුවාවිල අරුණ දස්කම් අතරට පිවිසෙද්දී පියකු මෙන් සිටි ඔහුගේ පුහුණුකරු අසංක රාජකරුණා මහතා මෙම ජයග්රහණයෙන් පසු ඉතා සංවේදී වූ අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලය හරහාද දැක ගැනීමට ලැබිණි. 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයයේ අරුණ දර්ශන සහභාගි වූ තරගයෙන් ඔහුට තෙවන ස්ථානය සටහන් කර ගැනීමට හැකිවිය.
ඒ අනුව අරුණ දර්ශන තරගවදින පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගය අද රාත්‍රි 11.05ට පැවැත්වීමට නියමිතව තිබිණි.
සිසිර ඉන්ද්‍රජිත්