ඔය කියන තරම් රටට බඩගිනිද?

455

පෞද්ගලික ආනයනකරුවන් නැත්නම් රටම බඩගින්නේ

බිත්තර මිල අඩු කරන්න පුළුවන්

බඩු ගන්න මිනිස්සු අතේ සල්ලි නැහැ

රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නෑ

වෙළඳ මාෆියාව කියන්නේ බොරුවක්

නැවත වතාවක් රටතුළ ඉන්ධන මිල ඉහළ ගොස් ඇත. මෙවර ඉන්ධන මිල ඉහළ නැංවීම මීට පෙර අවස්ථාවල කරන ලද ඉන්ධන මිල ඉහළ හෝ පහළ නැංවීම හා සසදන කල තරමක් වෙනස්ය. මෙවර ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ නංවන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ නංවන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නංවා ඇත. මෙවර ඉන්ධන මිල ඉහළ නැංවීම වඩාත් සුවිශේෂී මුහුණුවරක් ගනු ලබන්නේ මෙරටදී අලෙවි වන ඩීසල් ලීටරයක මිල පෙට්‍රල් ලීටරයක මිල අභිබවා යෑම හේතුවෙන්ය. සැප්තැම්බර් මස 01 වැනිදා සිට මෙරටදී ඉන්ධන අලෙවි වන්නේ ඉහත සඳහන් සංශෝධන මිල ගණන් යටතේය.

ඉන්ධන මිල ගණන් පිළිබඳ කතාව එතෙකින් නතර වන්නේ නැත. මේ මොහොත වනවිට ද බොහෝදෙනකුගේ මාතෘකාව බවට පත්ව ඇත්තේ එම මිල සංශෝධනය පිළිබඳවය. මෙවර ඉන්ධන මිල ඉහළ යෑම මෙරට ජන ජීවිතයට බලපාන්නේ කෙසේද යන උභතෝකෝටිකයක අභිමුව රටම තුෂ්නිම්භූතව ඇත. එපමණක් නොව දැනටමත් එහි අතුරු විපාක භුක්තිවිඳීමේ අවස්ථාව ද සාමාන්‍ය ජනයාට උදාවී ඇත. ඉන්ධන මිල වැඩිවීමත් සමග රටේ බස් ගාස්තු ද ඉහළ නංවා ඇත. පවතින තත්ත්වය යටතේ කිලෝමීටර හැට හැත්තෑවක දුරක් බස් රථයක ගමන් කොට නැවත නිවසට පැමිණීම පිණිස බස් ගාස්තු ලෙස එක් පුද්ගලයකු රුපියල් 1000 ට ආසන්න මුදලක් වැයකළ යුතුය. අනිකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ද දිනෙන් දින ඉහළ යමින් ඇත.

නිර්මාණය වෙමින් පවතින තත්ත්වය තුළ හෙට දවස එතරම් යහපත් නැත. සියල්ල මුදල මත තීරණය වුවද පවතින අධික ජීවන වියදම හේතුවෙන් රටේ බහුතරයක් ජනතාවගේ මුදල් පසුම්බි හිස් වෙමින් ඇත. ඉන්ධන මිල, ගෑස් මිල නැවත වතාවක් ඉහළ ගොස් ඇති වටපිටාවක් තුළ ඉදිරියේදී මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ යනු ඇතැයි චකිතයක් මේ වනවිට සමාජය තුළින් මතුවෙමින් ඇත. මේ පිළිබඳ ඇත්ත නැත්ත සොයාබැලීමේ අටියෙන් ඉකුත් දිනක මෙරට තොග වෙළෙඳපොළ මෙන්ම සිල්ලර වෙළෙඳපොළ මුල්කර ගත් කතාබහක් සිදුකිරීමට අපට හැකි වූහ. එහිදී මහා පරිමාන ව්‍යාපාරිකයන් මෙන්ම සුළු පරිමාන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ අදහස් අප සමග බෙදාහදාගත් අතර පළමුව ඒ සම්බන්ධව අදහස් දක්වා සිටියේ පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති, වත්මන් මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතාය.

මේ වනවිට සීනි, පරිප්පු ඊට අමතරව බී ලූනු වැනි අත්‍යවශ්‍ය ආහාර වර්ග කීපයක පමණක් මිල යම් තරමක් දුරකට වැඩිවෙලා තිබෙනවා. නමුත් වෙළෙඳපොළ තුළින් මේ හැම දෙයක්ම හිඟයකින් තොරව මිලට ගන්න පුළුවන්. බොරු බියක් ඇතිකර ගන්න අවශ්‍ය නෑ. ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර මුළුමනින්ම රට ඇතුළට ගෙන්වන්නෙ පුද්ගලික අංශයෙන්. ඒ කටයුත්තට රජය මැදිහත් වෙන්නෙ නෑ. පහුගිය කාලේ තෙල්, ගෑස්, බෙහෙත් ආදී දේවල් මිලට ගන්න මේ රටේ ජනතාවට පෝලිම්වල ඉන්න සිද්ධ වුණා. නමුත් අපේ රටේ සීනි, පරිප්පු, හාල් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිණිස පෝලිම් හැඳුනද? නැහැ. රටේ ඩොලර් තිබුණද? ඒත් නෑ. නමුත් අපි අපේ දේපළ පවා උකසට තබල ඊට අමතරව රට රටවල වෙළෙඳපොළ සමග අපේ තිබෙන සම්බන්ධකම් පාවිච්චි කරල රටේ මිනිස්සුන්ට කන්න ටික ගෙනත් දුන්න. ඒව ගැන කවුරුවත් අගය කරල කතා කරන්නෙ නෑ. ඒක වෙනම කතාවක්. අපි නැවතත් බඩු මිල ගැන කතා කරමුකෝ. ජාත්‍යන්තරයෙන් යම් දෙයක් ගෙන්වද්දි එහි මිල අපේ පාලනයෙන් තොරයි. මිල තීරණය කරන්නේ ඒ අය. ඒ මිලට අපි බඩු ටික ගන්න කැමති නම් දෙනව. මුලින්ම මේ රටේ ජනතාව ඒ බව තේරුම් ගත යුතුයි. උදාහරණයක් ගත්තොත් ලබන වසරේ ඉන්දියාවේ මහ මැතිවරණය පවත්වනව. අත්‍යවශ්‍ය ආහාර වර්ග පිණිස දැවැන්ත වෙළෙඳපොළක් ක්‍රියාත්මක ඉන්දියාව ලබන අවුරුද්දෙ පවත්වන මහ මැතිවරණය හේතුවෙන් දැනටමත් බී ලූනු සඳහා බද්ධක් පනවල තියෙනව. දැන් ඉන්දියාවේ බී ලූනු මිල වැඩියි. ඊළඟට ඒ අය සීනි නිෂ්පාදනය නතර කළා. දැන් අපේ රටට සීනි ගේන්නෙ බ්‍රසීලයෙන්. එකට එකක් මිල වැඩි වුණා. පරිප්පු ඉන්දියාවෙන් ගේන්න බැරි වුණොත් ඕස්ට්‍රේලියාවෙන්, කැනඩාවෙන් අපිට පරිප්පු ගෙන්වන්න සිද්ධ වෙනව. එතනදිත් මිල වැඩිවීමක් සිද්ධ වෙනව.

ඔය කියන තරම් රටට බඩගිනිද?

මේක අපි කරන දෙයක් නොවෙයි. මේ ඇත්ත තත්ත්වය තේරුම් නොගෙන අපේ රටේ ඇතැම් පාර්ශ්ව කෑගහනව රට ඇතුළෙ වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක වෙනව කියල. මාධ්‍ය මගින් මේව රටට දුන්නට පස්සෙ සාමාන්‍ය ජනතාව මේක පිළිගන්නව. ආනයනකරුවන් වශයෙන් අපි කරන්නෙ සෙල්ලමක්, එහෙම නැත්නම් සූදුවක් නොවෙයි. අපි කරන්නෙත් වෙළෙඳාමක්. ඒ වෙළෙඳාම ඇතුළෙත් ලාභ, පාඩු කියන දෙකම තිබෙනව. පෞද්ගලික අංශය වශයෙන් ලොකු අවදානමක් සහිතව තමයි අපිත් ව්‍යාපාර කටයුතු කරගෙන යන්නෙ. ඒ අවදානම කොච්චරද කියල කියනව නම් පසුගිය වසර 20ක් වැනි කාලය තුළ අපේ රටට සීනි ආනයනය කළ මහා පරිමාන ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් තමන්ගේ ව්‍යාපාර කටයුතු නතර කරල දැම්ම. රට ඇතුළෙ වෙළෙඳ මාෆියාවක් තිබුණ නම් එහෙම වෙනවද? රජය ඒ අවදානම ගන්නෙ නෑ. එහෙම ගන්නව නම් රජයට පුළුවන් වෙන්න ඕන සීනි පරිප්පු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ රටට ගෙන්වන්න. ආනයන අපනයන වෙළෙඳාම කියන්නෙ විවෘත වෙළෙඳාමක්. මුදල් අතේ තිබෙනව නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් ලෝක වෙළෙඳපොළේ පවතින බඩු මිල අඩු වැඩි කරන්න ඒ කාටවත් බැරි වෙනව. අන්න ඒ නිසා කවුරු කවුරුත් මේ තත්ත්වය තේරුම්ගත යුතුයි. එහෙම තත්ත්වයක් මිසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් මේ වනවිට රට ඇතුළෙ නැහැ.

ඉන් අනතුරුව පිටකොටුව කරවල තොග වෙළෙඳපොළ තුළට පිවිසි අප කරවල තොග මිල ගණන් පිළිබඳ යම් සොයාබැලීමක් සිදුකරන ලදී. එහිදී අදහස් දැක්වූ තොග ව්‍යාපාරිකයන් කීපදෙනෙක් සඳහන් කර සිටියේ මේ දිනවල ආනයනික කරවල වල මිල පෙර පැවති තත්ත්වයේ රැඳී තිබෙන මුත් දේශීයව නිෂ්පාදනය කරනු ලබන කරවල වර්ග කීපයකම මිල ගණන් 50%ක පමණ ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවක්ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පිටකොටුව විල්සන් ස්ටෝර්ස් අධිපති තොග ව්‍යාපාරික විල්සන් මහතා ‘කරවල වෙළෙඳාම ගැන කතා කරනව නම් ලංකාවෙ දැනටත් වැඩියෙන්ම අලෙවි වෙන්නෙ වියළි හාල්මැස්සා. අපේ මුහුදෙන් අල්ලන හාල්මැස්ස පමණක් රටේ පරිභෝජනයට ප්‍රමාණවත් නෑ. ඒ හින්ද රටවල් කීපයකින් අපේ රටට හාල්මැස්ස ආනයනය කරනව. කාලයක පටන් ඕක තමයි සිද්ධ වුණේ. ඊට අමතරව අපේ මුහුදින් අල්ලගෙන ඇවිත් අපේ රටේම වේලල අපේම වෙළෙඳපොළට නිකුත් කරන කරවල වර්ග කීපයකුත් තිබෙනව. රට සාමාන්‍ය තත්ත්වයට පත්වුණාට පස්සෙ ඒ කියන්නෙ දැනට මාස තුන හතරක පමණ කාලයක සිට අපේ රටේ නිෂ්පාදනය කරන කරවල මිල ගණන් යම්තාක් දුරකට පහළ වැටුණා. කීරමින්, හුරුල්ල, සාලය, බෝල්ලු වගේ අපේ රටේ කරවල මිල ගණන් මේ දවස්වල එදාට වැඩිය ගොඩක් අඩු මිලට තමයි අලෙවි කරන්නෙ. නමුත් කොච්චර අඩුවට තිබුණත් මේ වෙද්දි කරවල වෙළෙඳාම 50% කින් පහළ වැටිල ඉවරයි. එහෙමත් වියදම් කරන්න මුදලක් මේ වෙද්දි මිනිස්සු අතේ නැහැ. කරවල පමණක් නොවෙයි මාළු මිල අරන් බලන්න. මේ වෙද්දි මාළු මිල අඩුයි. නමුත් අලෙවියේ වැඩිවීමක් නෑ. බෙහෙත් ටික ගන්න, ලයිට් වතුර බිල් ගෙවන්න, දරුවන්ට උගන්වන්න වියදම් කළාට පස්සෙ මිනිස්සු අතේ කෑමට කියල අමතර මුදලක් වියදම් කරන්න බැරි තත්ත්වයක් තමයි දැනට රටේ තියෙන්නෙ. ඒ හින්ද තෙල් මිල දැනට මේකට ගාව ගන්න නරකයි. නමුත් ඉදිරියට ඒ බරත් දුප්පත් මිනිස්සුන්ගෙ හිස මතට වැටෙයි කියන අවදානමක් බොහෝ දෙනෙක් තුළ පවතිනව.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති අනුරසිරි මාරසිංහ

දැන් වසරකට ආසන්න කාලයක් තිස්සේ බිත්තර මිල පිළිබඳ ප්‍රශ්නයක් රටේ පවතිනව. නමුත් ඒ සඳහා බිත්තර නිෂ්පාදකයට, ඒ වගේම වෙළෙන්ඳට හා පාරිභෝගික ජනතාවට පිළිගත හැකි විසඳුමක් දෙන්න රජය අපොහොසත්වෙලා තිබෙනව. අද ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් සතොස හරහා රුපියල් 35ට මිලදී ගන්න දුප්පත් ජනතාවට අවස්ථාව ලැබිල තිබෙනව. නමුත් ලංකාවෙ වැඩියෙන්ම බිත්තර නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක දෙක වන පුත්තලම හා කුරුණෑගල ඒ අවස්ථාව අහිමි කරලත් තිබෙනව. සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් අනුව තමයි ඒ අවස්ථාව කුරුණෑගල හා පුත්තලමට අහිමි වෙන්නෙ. බිත්තර සම්බන්ධව රට තුළ පවතින ගැටලුවට සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මුළුමනින්ම වග කියන්න ඕන. වැරදි සංඛ්‍යාලේඛන මත හිඳගෙන ඒ අය තමයි බිත්තරයේ මිල තීරණය කරන්නෙ. ඒ තීරණය අනුව තමයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන්නෙ. සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියන්නෙ රාජ්‍ය ආයතනයක්. ඒ නිසා ඒ අය තීරණය කරන මිලට අභියෝග කරන්න වෙන කාටවත් බෑ. අපේ රටේ දෛනික බිත්තර පරිභෝජනය ලක්‍ෂ 65ත් 70ත් අතර අගයක් ගත්ත කාලයක් තිබුණ. නමුත් මේ වනවිට ඒක 50% කින් පමණ පහත වැටිල ඉවරයි. එහෙම තත්ත්වයක් තුළ අදත් අපේ රටේ බිත්තරයක තොග මිල රු. 40ක් වෙනව. රුපියල් 20ට අඩුවෙන් අදත් බිත්තරයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තිබියදී තමයි ඒ වගේ දෙගුණයක මිලකට තොග අලෙවි කරන්නෙ. ගොවිපලෙන් රු.40ක් දීල බිත්තර අරගෙන අද තියෙන ඩීසල් මිලත් එක්ක බිත්තරයක් රු. 42ට වගේ මුලකට කඩේට දැම්ම කියල බිත්තර වෙළෙන්දට ලාබයක් ගන්න බෑ. ඒ හින්ද ඉන්ධන මිල වැඩිවීම වෙළෙන්දට ඍජුවම බලපාන කරුණක් බවට පත්වෙනව. ඒ හින්ද අඩුම මුදලකට මිලදී ගත හැකි ප්‍රෝටීන් බහුල ආහාරයක් වන බිත්තරයක්වත් හෙට අනිද්ද වෙනකොට මේ රටේ දරුවන්ට දෙන්න බැරිවෙනව.’

පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව හෙළිදරව් කරගත් කරුණු මත රටේ සිල්ලර වෙළඳපොළ තුළ මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර වර්ගවල මිල ගණන් සහ වෙළඳපොළ හැසිරෙන ආකාරය පිළිබඳව සොයා බැලීමේදී හෙළිදරව් වූවේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග කීපයක මිල ගණන් යම් ඉහළ යෑමට ලක්වෙමින් තිබෙන ආකාරයක්ය. ඉන්ධන මිල සංශෝධනයට පෙර සිටම ඒ තත්ත්වය පැවති බව පෙන්වා දුන් ව්‍යාපාරිකයන් කීප දෙනෙක් වැඩිදුරටත් සඳහන් කර සිටියේ එවැනි තත්ත්වයක් තුළ මේ දිනවල එළවළු මිල අසාමාන්‍ය ලෙස පහළ යමින් පවතින බවය. ඒ සම්බන්ධව කීප දෙනකුගෙන් වැඩිදුරටත් විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ මිල ඉහළ පහළ යෑම කෙසේ වෙතත් මේ වනවිට ‘මුදල්’ පිළිබඳ ප්‍රශ්නයක් රට තුළ පවතින බවත් එහි බලපෑම මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ පටන් සමස්ත වෙළඳපොළටම දැනෙමින් පවතින බවත්ය. එම කතාබහ පිණිස කොළඹින් බැහැර ව්‍යාපාරිකයන් කීප දෙනෙක් හා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් පුද්ගලයන් කීප දෙනෙක් අප සමඟ එක්වූහ. පහත පළවන්නේ මේ දිනවල ඔවුන් අත්විඳිමින් සිටින වෙළඳපොළ අත්දැකීම් කීපයක්ය.

අරුණ ශාන්ත මහතා (වෙළඳ ව්‍යාපාරික)

මේ වෙද්දි වෙළඳාමේ ලොකු කඩා වැටීමක් තිබෙනවා. බඩු මිල පිළිබඳ විවිධ මත පළවෙනවා තමයි. ගනුදෙනුකරුවෝ ඇවිත් අපෙන් අහනවා හෙට අනිද්දා වෙද්දි හාල්, අල, ලූනු හිඟයක් එනවා ඒක ඇත්තද කියලා. අපි දන්න තරමින් එහෙම දෙයක් නෑ. මම කරවල ව්‍යාපාරිකයෙක් තොග සහ සිල්ලර වශයෙන් මම බිස්නස් එක කරගෙන යනවා. කරවල මිල ගණන් ගත්තොත් කීරමින්, සාලයා, ලින්නා ඇතුළු අපේ රටේ කරවල වර්ග කීපයක මිල දැන් දවස් කීපයක ඉඳලා අඩුයි. අපි දැන් වෙළඳාම් කරන්නෙ ඒ වාසිය පාරිභෝගිකයාට දීලා. නමුත් මේ වෙද්දි කරවල බිස්නස් එක 50% ක් පමණ ප්‍රමාණයක් අඩු වෙලා. වෙනදට හාල් මැස්සො පෙට්ටි 20 ක් සතියකට අලෙවි කළා කියලා හිතන්න. දැන් පෙට්ටි 10 ක් වත් සතියකට විකුණන්න බෑ. ඒකෙන් අදහස් වෙන්නෙ මිනිස්සු කරවල කන්නෙ නෑ කියලා නොවෙයි.

එදා හාල්මැස්සා ග්‍රෑම් 250 ගෙනිච්ච කෙනා අද ගෙනියන්නේ ග්‍රෑම් 100 යි. එක පැත්තකින් තේ දලු මිල අඩුයි. දැන් හුඟ දෙනෙක් ළඟ මුදල් නෑ. ඒකයි ඇත්ත කතාව. පිට පළාත්වල වෙළඳාම අඩුවීම කොළඹ තොග වෙළඳපොළටත් බලපානවා. අපි සතිපතා කොළඹ ගිහින් වෙනදට කරවල කිලෝ 500 ක් ගෙනවා නම් අද ගේන්නේ ඒකෙන් භාගයයි.”

එළවළු වෙළෙඳ ව්‍යාපාරික නිහාල් මහතා

අද ලංකාවෙ එළවළු මිල ගණන් ගත්තොත් එකට එකක් තරමටම මිල පහළ ගිහින් තිබෙනව. එළවළු වර්ග දෙක තුනක් තරමක මිලකට අලෙවි වෙනව. අනිත් හැම එළවළු වර්ගයක්ම කිලෝ එකක් රුපියල් 200ක වගේ මිලකට තමයි මේ දවස්වල සිල්ලරට අලෙවි වන්නෙ. ඊයෙ පෙරේදා තෙල් මිල නැවත වැඩිවුණා. නමුත් එළවළු මිල ගණන් සඳහා තවමත් ඒ මිල වැඩිවීම බලපාල නැහැ. යම් හෝ බලපෑමක් සිද්ධ වුණා නම් මේ වනවිට එළවළු මිලත් ඉහළ යනව. නමුත් තවමත් එහෙම වුණේ නැහැ. වෙළෙන්දෝ වශයෙන් අපිත් කැමතියි අපේ ළඟට එන පාරිභෝගිකයට උපරිම සහනයක් යටතේ බඩු ටික අලෙවි කරන්න. නමුත් අද සිද්ධවෙලා තියෙන්නෙ මොන තරම් බඩු ලාභ වුණත් පාරිභෝගිකයෝ නෑ. උඩහ පළාත්වල එළවළු කුණු කූඩයට දාල ගොවියෝ ගෙදර යනව. කොළඹ තොග වෙළෙඳාමත් එහෙමයි. ඒකට හේතුව තමයි මිනිස්සුන්ගෙ අතේ සල්ලි නෑ. අපිට ආදායමක් හොයන්න නම් පාරිභෝගිකය ළඟ මුදල් තියෙන්න ඕන. අපි රස්සාව විදිහට බඩු ටිකක් ගෙනත් දාල කඩ ඇරගෙන ඉන්නව තමයි. නමුත් වෙනදට කරපු බිස්නස් එකෙන් තුනෙන් එකක්වත් මේ දවස්වල කරන්න බෑ.

එස්. බ්‍රාහ්මණ මහතා (විශ්‍රාමික රාජ්‍ය සේවක)

ලංකාවේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්ත පිරිස ගත්තොත් ලක්‍ෂ ගාණක පිරිසක් ඊට අයත් වෙනව. මේ හැම කෙනකුටම අද ජීවත් වෙන්න විශාල මුදලක් අවශ්‍යයි. ඒකට හේතුව තමයි බස් ටිකට් එකේ සිට හැම දෙයක්ම දවසින් දවස මිල ඉහළ යෑම. නමුත් මේ සෑම වියදමක්ම දරාගන්න වෙන්නෙ මාසෙකට වරක් හිමිවන විශ්‍රාම වැටුපෙන්. තමන් ලබන විශ්‍රාම වැටුපෙන් කාටවත් බරක් නොවී ජීවත් වෙන්න පුළුවන් කාලයක් විශ්‍රාමිකයටත් තිබුණ. නමුත් පහුගිය කාලෙ රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් එක්ක ඒ හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්ත. අද විශ්‍රාම වැටුප අරගෙන තමන්ගෙ බේත් හේත් ටික ගත්තට පස්සෙ වෙන දෙයක් කරන්න මුදලක් ඉතිරි වෙන්නෙ නෑ. අවුරුදු පනස් පහ, හැට වෙනකම් රාජකාරි කරල කෙනෙක් විශ්‍රාම ගියාට පස්සෙ ඒ මනුස්සයට තියෙන එකම ආදායම තමයි විශ්‍රාම වැටුප කියන්නෙ. නමුත් අද වෙලා තියෙන්නෙ මේ මාසෙ විශ්‍රාම වැටුප අතට අරගෙන ගෙදර ආවට පස්සෙ ඊළඟ මාසේ විශ්‍රාම වැටුප ගන්න යන්න කාගෙන් හරි මුදලක් ඉල්ලගන්න වෙනව. ඒ තරමටම මේ වෙද්දි වියදම අධිකයි. කැමති කෑමක් කන්න, ආස කරන ගමනක් යන්න පුළුවන්කමක් අද නෑ. කොටින්ම කිව්වොත් අද විශ්‍රාමික ප්‍රජාව කියන්නෙ තමන්ගෙ දුවා දරුවන්ගෙන් රක්ෂාවෙන පිරිසක් පමණයි.

ඉහත සඳහන් අදහස් සියල්ලෙන් පැහැදිලි වෙමින් පවතින්නේ මෙරට සමස්ත වෙළඳපොළ මේ දිනවල යම් කඩා වැටීමකට ලක්වෙමින් පවතින බවය. රට පුරා ආර්ථික මධ්‍යස්ථාන තුළ එළවළු අතිරික්තයක් පවතින්නේ එබැවින්ය. මස් මාළු බිත්තර වෙළඳපොල තුළ ද මේ තත්ත්වයේ වෙනසක් නැත. බඩු මිල ඉහළ යෑමේදී පාරිභෝගික ප්‍රජාව මැසිවිලි නඟන්නේ යම් සේද මේ වනවිට එළවළු ගොවියන් ඇතුළු එළවළු ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර අඩාල වීම පිළිබඳව මැසිවිලි නගමින් ඇත. රටේ සාමාන්‍ය ජනතාවට ද මුදල් පිළිබඳ බරපතළ ප්‍රශ්නයකට මැදිවී ඇත. මේ සියලු කාරණ තුළින් පැහැදිලි වන්නේ ලැබෙමින් පවතින ආදායම වියදම් සඳහා ප්‍රමාණවත් නොවන බවය. ඒ හැරුණු කොට මේ වනවිට රට තුළ භාණ්ඩ හිඟයක් දකින්න නොලැබෙන අතර ඉන්ධන මිල මෙරට වෙළඳපොළ ආර්ථිකයට බලපානු ලබන්නේ මොන ආකාරයට දැයි තවම අනාවැකි පළ කළ නොහැකිය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment